Sunday, April 12, 2020

WhatsApp වලින් උගන්වන්න පුළුවන් ද?


පටන් ගන්න කොටම විහිලුවක් වගේ පෙනේවි. ඒත් ඒ විහිලුව විහිලුවක් නොවන තැනට වග බලාගන්න කරන පුංචි උත්සහයක් විදියටයි මේ ලිපිය ලියන්න උත්සහ කලේ.
මේ දිනවල පාසැල් වහලා. ලබන සතියේ පටන් ගන්න තිබුන එක තවත් කල් ගිහිල්ලා. කවදා ඕක පටන් ගන්න වේවිද කියලා දන්නේ නැහැ. ඒ හින්දම බොහොමයක් පාසැල් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ගැන හිතන්න පටන් අරන්. එයාල විවිධ ක්‍රමවේද අත්හදා බලමින් යනවා.
මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි ‘වට්ස්ඇප්’ ගෲප් සකස් කර ගැනීම. මුලින්ම කොළඹ ලොකු ඉස්කෝල වලින් පටන් ගෙන දැන් ගමේ පොඩි ඉස්කෝලෙටත් ඒක ඇවිල්ලා.
තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදියට මම දන්න දේ නම් ඉගෙනුම් කළමණාකරණයට වට්ස්ඇප් සුදුසු ක්‍රමයක් නෙවෙයි කියන එක. ඒ සදහා සුදුසු platform ගොඩක් තියෙනවා. මම මෙහෙම කියද්දි ඔබටත් එක එක දේවල් මතකයට ඒවි. ඔව්. මමත් ඒවා දන්නවා. අපි ඒවට යන්න ඕනේ තමයි. ඒත් මම අද කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.


වට්ස්ඇප් තමයි සුදුසුම...

ඇයි මං එහෙම කියන්නේ. ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයගෙන් බහුතරය වට්ස්ඇප් පාවිච්චි කරනවා. ඒ හින්දා තමයි කණ්ඩායම එකතු කර ගන්න ලේසිම වට්ස්ඇප් ගෲප් එකක් හදන එක. අලුතින් වෙනත් මොනවත් ඇප් දාගන්න වෙන්නේ නැති හින්දා මේ හරහා බේස් එක හදාගන්න ලේසියි.
ගොඩක් පාසැල් වරද්දා ගත්තු තැන..
ගොඩක් පාසැල් වල පන්ති කාමර වලට වට්ස්ඇප් ගෲප් හදා ගත්තා. සමහර ඒවා කලින් හදාගෙන තිබුන ඒවා. ඉස්කෝල වැහුවම එයාල මේක පාඩම් වලට යොදාගන්න තීරණය කලා. ගොඩක් පාසැල් වලට වැඩ කරන්න ඕනේ වුනා වගේම සමහර ඒවට ඕනේ වුනේ වැඩ කරනවා කියලා පෙන්නන්න. මේක ගෲප් වලට ගුරුවරුන් ඇතුල් කලා. ඉතිං ගුරුවරුන්ටත් මේ ගැන තේරුමක් නැති හන්දා මොනවා හරි කලා.
ටියුෂන් කරන ගුරුවරු එයාලගේ ටියුෂන් පන්ති වල දුන්න ටියුට් ඔක්කොම ගෙනත් එකවැරම මෙතන අතෑරියා. සමහර ඒවා පිටු විස්ස තිහේ pdf. සමහරු පොත් පිටින් පොටෝගහල දැම්මා. ලමයිනුත් චැට් එකේ එක එක ඒවා දැම්මා. දැං ඒක මහම මහ අච්චාරුවක් වුනා. වැලේ වැල් නැතිව ගියා. ගුරුවරුත් අර මහ ගොඩක් එකවැර අතැරලා දාලා අතුරුදහන් වුනා. ලමයිනුත් මොකුත් කලේ නෑ. කරන අය තව අතරමං වුනා. මොනවා කරන්නද? මෙච්චර වැඩ කොහොමද කරන්නේ කියලා. කලත් කවුරු බලන්නද කියලා හිතපු අයත් හිටියා.
අපි කරපු දේ...
අපිත් වට්ස්ඇප් ගෲප් හැදුවා. කලාපෙන් අපිට කියලා එවන කොට අපි ක්‍රියාත්මක වෙලයි තිබුනේ. සමාන්තර පන්ති තුනක් තිබුනට අපි ගෲප් හැදුවේ ශ්‍රේණි මට්ටමෙන්. මොකද අපේ පාසැලේ දෙමාපියන්ගේ තරාතිරම අපි දන්න හන්දා. කොහොම කොහොම හරි දවස් හතරක් මහන්සි වෙලා ලමයි නවසීයකින් තුන්සීයකගේ වට්ස්ඇප් අංක හොයා ගත්තා. ගුරු මණ්ඩලයෙත් තුනෙන් දෙකක් විතර තමයි එකතු කර ගන්න පුලුවන් වුනේ.
කොහොම කොහොම හරි ගුරු රැස්වීමකුත් තිබ්බා. ඒකට පාවිච්චි කලේ වොයිස් මැසේජ් ක්‍රමය. ඒ හරහා ඉදිරි වැඩ පිලිවෙලක් සාකච්චා කර ගත්තා.
ඒ අනුව දවසකට විෂයයන් දෙකකට ගුරුවරු දෙන්නා ගානේ පන්ති වලට දාලා කාල සටහනක් හැදුවා. උත්සහය දවසේ එක දරුවෙක්ට පැය දෙකක තුනක් වැඩෙහි යොදවන්නයි.

වට්ස්ඇප් වලින් උගන්වන්නේ කොහොමද?

පළමුවැනි ආදර්ශ පාඩම. - විෂයය ඉතිහාසය සිංහල වැනි විෂයයක්
ගුරුවරයා voice massage එකකින් දරුවන් ඇමතීම. පාඩම පිළිබද හැදින්වීම. පාඩම විස්තර කිරීම. පින්තූර අවශ්‍ය වෙලාවට ඒවැනි පින්තූර කඩදාසි වල ඇදලා තියාගෙන පින්තූරයක් අරගෙන දැමීම සහ ඒවා විස්තර කිරීම. සටහන් ලබා දීමට ගුරුවරයා හාෆ්ෂීට් කඩදාසි වල සටහන් ලියා පින්තූර ගෙන ඒවා යැවීම. සටහන් පොත් වල ලියාගැනීමට උපදෙස් දීම. ඇගයීමට ගැටලු ලබා දීමට අවශ්‍ය නම් ගැටලු කොලයක ලියා ඒවගේ පින්තූරයක් අරගෙන යැවීම.  දරුවන්ට පිළිතුරු ලියා තමන්ගේ පුද්ගලිකව ඒවා එවීමට පැවසීම හා එවන පිළිතුරු හරි වැරදි බලා ආපසු යැවීම. දවස අවසානයේ දී සමාලෝචනයක් යැවීම.

දෙවැනි ආදර්ශ පාඩම - ගණිතය විෂයය
e-thaksalawa වෙබ් අඩවියෙන් අදාල පාඩමෙහි වීඩියෝව සොයාගෙන එහි link එක ගෙන දරුවන්ට යොමු කිරීම සහ ඉන්පසුව එය අධ්‍යයනය කිරීමට යොමු කිරීම. පෙළ පොතෙහි අදාල අභ්‍යාසය සදහන් කර එය සාදන ලෙස උපදෙස් දීම. දරුවන්ට පිලිතුරු ලියා ගුරුවරයාට පුද්ගලිකව එවීමට උපදෙස් දීම සහ ඒවා නිවැරදි කර යැවීම. පොදු ගැටලු ඇත්නම් දවස අවසානයේ සමාලෝචනයක් ඉදිරිපත් කිරීම. ගැටලු විසදා ඒවා පින්තුර ගෙන සමූහයට යොමු කිරීම.

තුන්වැනි ආදර්ශ පාඩම - නැටුම් විෂයය
ගුරුවරයා අදාල කොටස නටා එය තමන්ගේ ජංගම දුරකතයෙන් වීඩියෝ කර සමූහයට මුදා හැර දරුවන්ට ඒ ලෙසට පුහුණු වීමට උපදෙස් දීම.

හතරවැනි ආදර්ශ පාඩම - සංවාද ක්‍රමය - ඉංග්‍රීසි විෂයය
ගුරුවරයා Voice massage හරහා දරුවන් සමග සජීවී සංවාදයක් ගොඩ නැගීම

පස්වැනි ආදර්ශ පාඩම - සිංහල කවි පන්තියක්
කලින් අදුනාගත් දරුවෙකුට කවි ගානයක් කිරීමට අවස්ථාව ලබාදීම. එය පාඩමට කලින් දරුවාට අමතා වොයිස් මැසේජ් එකක් ලෙසට තමාට ගෙන්වා ගෙන හෝ කණ්ඩාමයට යොමු කිරීමට උපදෙස් දී ඒ සමග පාඩම ගොඩ නැගීම. පැහැදිලි කිරීමට වොයිස් මැසේජ් යොදාගත හැකියි. සටහන් ලබා දිය හැකියි.

හයවැනි පාඩම- තොරතුරු තාක්ෂණය
Zoom, microsoft teems වැනි මෘදුකාංගයක් භාවිතයෙන් සජීවී ඉගැන්වීමක් සැලසුම් කල හැකිය. එවැන්නක සබැදිය වට්ස්ඇප් සමූහයට මුදාහැර අදාල වේලාවට සම්බන්ධ වන ලෙස දැනුවත් කර පාඩම මෙහෙයවීම
-----------------------------
ආධාරක- පෙළ පොත දරුවන් අත තිබෙන බැවින් එය උපයෝගි කර ගත හැකිය. ගුරුවරයා සතුව පෙළ පොත් මේ වන විට නොමැති නම් edupub.gov.lk මගින් ඒවා ඩවුන්ලෝඩ් කර ගත හැකියි.  
අවැසි තරම් පින්තුර සොයා ගත හැකිය. වීඩියෝ වල සබැදි සොයාගත හැකිය.
දෙමාපියන් මේ දිනවල නිවෙස් වල සිටින බැවින් ඔවුන්ගේ සහය ඉගැන්වීම් කටයුතු සදහා යොදා ගත හැකිය.

ඉහල මට්මමේ මෘදුකාංග සහ වේදිකාවන් තිබුනද ඒවා සම්බන්ධව මේ අවස්ථාවේදී සාකච්ඡා නොකරමි. මා මේ අවස්ථාව භාවිතා කලේ ඉතා සරල මට්ටමේ විසදුමක් යෝජනා කිරීමටයි. ඉදිරියේදී වඩා හොද දේවල් ගැන කතා කරමු. මොකවත් නැතිවට වඩා යමක් කරන්නට උත්සහ කරමු. සමස්ථය යට සාධාරණය විය යුතුයි තමයි. ඒත් එහෙම කියලා අවස්ථාව තියෙන අයගේ අවස්ථාව කප්පාදු කරන්නෙ නැතිව සහය වෙමු. ස්තුතියි.
test


7 comments:

  1. අපේ A/L මීඩියා ක්ලාස් එකටත් සර් group එකක් නං හැදුව. හැබැයි ඔය මොකක්වත් නෑ.අඩුතරමෙ papers දාන්නෙත් e තක්සලාවෙන් download කරපුව..කරුමෙ තමා...

    ReplyDelete
  2. ඔව් සමහර තැන් වල ඕක අච්චාරුවක් උනා

    ReplyDelete
  3. නියමයි...ඔබ අපේ පාසලේ මේ whatsapp learning නාට්‍යයේ අධ්‍යක්ෂක......අපි නලුවෝ හරිද.....
    මම ඉතින් හිටපු ගමන් බහුබූතයාගෙ character එකත් ඉඳලා හිටලා අතාරිනවා...කොල්ලන්ට සම්භාව්‍යම බර වැඩිවු⁣⁣ණොත් කියලා😂😂😂😂😂😂....
    ඔහොම යං.......

    ReplyDelete
    Replies
    1. ඹහොම යං. ඔහෙම යං. ඔය කස කාරයේ විතරයි. පෙරහැර ඉස්සරහට එනවා. ජය වේවා. හැමෝගේම සහය නැතුව මේවා දුවන්න බෑ.

      Delete
  4. ඉහලින්ම සාර්ථක වේවා. මල්ලි අපි දැනුම අපිට අයිති දෙයක් කියල හිතුවට ඒක නිකං අපි බොන පිරිසිදු වතුර වගේ හැමෝටම අයිති විය යුතු දෙයක්. හැබැයි සමහරු හිතන්නෙ ඒක මං ලඟ විතරයි තියෙන්න ඔ්න කියල.විශේෂයෙන් තොරතුරු තාක්ෂණ දැනුම. මේකට ගොඩක් බාධක තියෙනවා මං ඉතින් කියන්න ඔ්න නෑ. Collaboration (the action of working with someone to produce or create something.)(මං එහෙම දැම්මෙ සිංහලෙන් මේකට තේරුම් දුන්නම විකාර වෙනව වගේ) නැත්නම් ඉතින් එතනම තමා

    ReplyDelete
  5. තව දෙයක් මං අද ඇහුවා මං තාම දැක්කෙ නෑ බස්නාහිර පළාතේ ඔන්ලයින් උගන්වන්නෙ නැති ගුරුවරුන්ගේ නිවාඩු කපන කථාවක්. ඔන්න ඉතින් එහෙම වුන‌ොත් ගුරුවරු ස්වේච්ඡාවෙන් සද්භාවයෙන් තමන්ගේ ඩේටා දාගෙන‌ෙ මේ කරන්න යන වැඩේ අමාත්‍යංශයෙන්ම අල කරනවා. නැත්නම් ඉතින් පස්සෙ තමන්ම හොයා ගත්ත වගේ ලකුණු දාගන්න යයි.නෙම්සිස් වල වද මල්ලි දන්නව ඇතිනෙ. අප‌ේ ගාල්ල උඩුගම කොට්ඨාසෙ නෙම්සිස් නොකරපු ගුරුවරුන්ගේ වැටුප් කපන්න හදනව කියලත් ආරංචියි.

    ReplyDelete