Friday, May 24, 2019

ඉතිරිකිරීම ආදායම හා වියදම

ඔබ හිතාවි ඔබේ ආදායමට හරියන්න වියදම සකස් වෙනවා කියලා. ඒ හින්දා ඔබට ඉතිරි කරන්න බැහැ කියලා.

මං කියනවා ඒක වැරදියි කියලා.මම කියනවා ඔබේ වියදමට හරියන්න ඔබේ ආදායම සකස් වෙනවා කියලා. ඒක මහ පුදුම දෙයක්.

හිතන්න ඔබ මුදල් සීට්ටුවකට අලුතින් සම්බන්ධ වුනා කියලා. ඔබ කො‍හොම හරි ඒ මුදල ගෙවනවා. ඒ කියන්නේ ඔබගේ ආදායම කොහොම හරි සකස් කරගෙන. ඉතිරි කිරීමත් ඔබේ අත්‍යවශ්‍ය වියදමක් කරගන්න. එවිට ඔබ ඒ විදයම කොහොම හරි කරනවා.

තවත් එකක්. ඒ වියදම අනිත් වියදම් වලට කලින් කරන්න.

හිතන්න ඔයාට රුපියල් දෙදහසක් ලැබුනා කියලා. ඔයා ඒකෙන් නිශ්චිත ප්‍රමාණයක් හිතමු 10% ක් කියලා, ඒ කියන්නේ රුපියල් දෙසීයක් ඉස්සෙරලාම ඉතිරි කරනවා. ඉතිරි  කලාට පස්සේ ඉතිරි වෙන එක වියදම් කරනවා. 

අතට ලැබෙන හැම රුපියලකින්ම ඉතිරි කරන කොටස මුලින් ම ඉතිරි කරනවා.

ටික දවසක් යනකොට ඔයාට පුදුම හිතේවි. ඔයාට හිතාගන්නවත් බැරි තරම් මුදලක් ඔබගේ බැංකු ගිණුමේ පවතිවි.

ඉතිරි කරමු. ජීවිතය දිනමු.

පින්තූරය - අන්තර්ජාලයෙන්


Friday, May 10, 2019

රියානාට ලිපියක්

2019.05.10
නිවසේදී,

බුදු සරණයි !
ආදරණීය මිතුරිය රියානා වෙත,

සුපුරුදු ලෙස මෙම ලිපිය ආරම්භයේදී නම් මම ඔබෙන් සුව දුක් නොවිමසමි. මන්ද යත් රට තුල පවතින කලබලකාරී වාතාවරනය නිසා ඔබ සිත තුල ඇති වී ඇති තත්වය මා හට හොඳින් වටහාගත හැකි නිසාය.
මා මේ ලිපිය ඔබට ලියන්නේ ගෙවුණු දින කිහිපය තුල ඔබ පාසල් නොපැමිණීමත්, පැමිණි දින කිහිපය තුල ඔබ මහත් සිත් වේදනාවෙන් සිටි නිසාත්ය.

අප විවිධ ආගම් වල මිතුරන් වුවත් එකම පාසලේ ශිෂ්‍යාවන් වෙමු. එකට සෙල්ලම් කළ , එකට පාඩම් කළ, එකම පන්තියේ යෙහෙලියන් වෙමු. ඒ මිත්‍රත්වය තුල කිසිදු ආගම් භේදයක් නොතිබුණි. එකම බත් පත රසවිදිනුයේ එනිසාම නොවෙද මිතුරියනි. කවුරුන් කවදා කෙසේ කීිවත් ඔබ බොහෝ මිත්‍රශීලී, කරුණාවන්ත, සංවේදී මිතුරියකි. මම කිසියම් පිරිසක් විසින් කරන ලද මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා මාගේ මිතුරිය අමතක කිරීමට තරම් සැහැසි මිතුරියක් නොවෙමි. ඔබ බෙහෙවින් සතුටු විය යුතු කරුණ නම් සෑම විටම ඔබේ යෙහෙලියන් සැම දෙනාම ඔබ සමඟ වීමයි.

යම් ආගමක් යැයි පවසන ලද අන්තවාදී පිරිසක් විසින් සිදු කරනු ලැබූ මේ ත්‍රස්ත ක්‍රියාව මුළු ලෝකයක් දුකින් වෙලා ඇති මොහොතක ඔබ වෙත එල්ල වන කිසිදු චෝදනාවක් ඔබ පිළිගත යුතු නොවේ. මන්ද යත් එම චේදනා ඔබට අයිති නොවන නිසාය. මාගේ ශාස්තෘ වු බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය.

“අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං - අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ”


“තමා විසින් කරන ලද පාපය තමා කිලිටි කරන්නේ ය.
තමා විසින් නොකරන ලද පාපය තමා පිරිසිදු කරන්නේය.
පිරිසිදු බව හා අපිරිසිදු බව තමා අතම පවතින්නකි.
කෙනෙක් තව කෙනෙකු පිරිසිදු නොකරයි.”

මම එය තවත් හොඳින් පැහැදිලි කරන්නම්,

අප කෙතරම් නිවැරදි වුවත් නොකළ වරදකට වැරදිකාරයෙකු වී ඇනුම් බැනුම් , දඬුවම් විදීමට සිදු වන අවස්ථා ඇත. නිවැරදි අපට යමෙකු දඬුවම් කළ පමණින් අප වැරදිකරුවන් වන්නේ නැත. මක්නිසාද යත් අප වරදක් සිදුකොට නොමැති බැවිනි. අල්ලෙහි තුවාලයක් නැතිනම් මොන තරම් විෂක් අතින් ගනු ලැබුවත් ශරීරයට විෂක් ඇතුළු නොවන බව බුද්ධ දේශනාවයි.
සිදු වූ දේ සියල්ල අතීතයයි. ඒ අතීතයත් ගෙවෙනා වර්තමානයත් තුළින් අනාගතය උදෙසා උගෙන අපි සැම දෙනාම ජාති, ආගම් ,කුල , භේද පසෙකලා අවිහිංසාව පතුරවමු. බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, කුමන ආගමක් හෝ වේවා, එක මව් තුරුලේ වැඩෙන එකම ධජයක් සෙවණේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් ලෙස අපි මුළු ලොව පුරා එකමුතුකමේ රාවය නංවමු. එවිට සැම සිත් තුල අවිහිංසාවේ ධජය නැංවේවි. මාගේ මිතුරියනි, නැවතත් ඔබේ අම්මා අතින් සෑදූ ප්‍රනීත වටලප්පමක රස බැලීමේ ආශාව හිතේ රදවාගෙන ඔබ නැවත සුපුරුදු පරිදි පාසල් පැමිණෙන තුරු අපි මගබලා සිටින්නෙමු.

මීට ,
ඔබේම ආදරණීය මිතුරිය,
විහින්දි.