Tuesday, February 18, 2020

ගූගල් පරිවර්තකය ගැන නොදන්නා තොත්ත බබාලට


ගූගල් පරිවර්තකය කියන්නේ ගූගල් සමාගමෙන් හදුන්වා දුන්න ඉතා ඉහල තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා වන මෘදුකාංගයක්. භාෂා පරිවර්තකයක් කියන්නේ ශබ්ද කෝෂයක් නෙවෙයි. එක භාෂාවක වාක්‍යයකින් කියවෙන දෙයක් වචන වල තේරුම අරගෙන දැනගන්න බැරි වෙන්න පුලුවන්. ඉතිං මේ වගේ දේකට මෘදුකාංගයක් නිපදවන කොට කෘතීම බුද්ධිය වගේ ඉතා ඉහළ තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න වෙනවා. ගූගල් සමාගම මේ මෘදාකාංගයට දත්ත කවන්න යොදාගත්තේ ඒ භාෂාවන් භාවිතා කරන ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන උදවියයි. ඉතිං අපේ රටෙත් බොහෝ දෙනෙක් ගූගල් භාෂා පරිවර්තකය සංවර්ධනය කරන්න දායක වෙලා තියෙනවා. දවසින් දවස ඒකේ පරිවර්තන හැකියාව ඉහල යන එකෙන්ම කොතරම් පිරිසක් ස්වෙච්චාවෙන් සිංහල භාෂාව වෙනුවෙන් කැප වෙනවාද කියලා තේරුම් ගන්න පුලුවන්.ඹබත් සිංහල සම්භවයක් සහිත ඉංග්‍රිසි භාෂාව තේරුම් ගැනීමට හැකි අයෙක් නම් සිංහල භාෂාවේ පැවැත්ම වෙනුවෙන් ඔබගේ කාලය වැය කල යුතුයැයි මම හිතනවා. මොකද සිංහල නොවන අයෙකුට සිංහල භාෂාවේ අගය තේරෙන්නේ නැති හන්දයි. සිංහලයෙකුට ජාතක නොවුන සමහරුන්ට සිංහල භාෂාව නිවැරදිව පරිවර්තනය නොවීම විහිලුවක් වන්නට පුලුවන්. ඒත් අපිට ඒක කණගාටුවක්.



ගූගල් පරිවර්තකය වැරදියට පරිවර්තනය කලා යැයි ඔබට තේරුන හොත් කළ යුත්තේ කුමක්ද?


ඔව්. එහෙම අවස්ථාවක් දුටුවොත් ඔබට හැකි ආකාරයට ඒක නිවැරදිව පරිවර්තනය කරලා දෙන්න. ගූගල් ඒක බාර ගන්නවා. ඒ වගේමයි ඔබගේ පරිවර්තනය තුලින් ගූගල් භාෂා පරිවර්තකය සංවර්ධනය වෙනවා. ඉදිරියේදී තවත් කෙනෙකුට නිවැරදිව පරිවර්තනය කර දීමට එය සමත් වන්නට ඔබගේ දායකත්වය උපකාරි වෙනවා.

මේ පුංචි උදාහරණයක්. භාෂා පරිවර්තකය වැරදි වූ විටක මා විසින්  එය නිවැරදි කර දුන් මොහොතක්.




සිංහල භාෂාවේ පැවැත්මට කටයුතු කරන්නට පුළුවන් සිංහල ඔබට විතරයි. ඒක ඔබගේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා වැඩ කරන්න.

ආටානාටිය සූත්‍රයෙන් හෙළිවන බුද්ධ කාලීන සමාජය

පුංචි ඉල්ලීමක්. මා කියවූ ආටානාට සූත්‍රය ලිපිය කියවා ඉන් පසුව ‌මෙය කියවන ‌ලෙස ඉල්ලනවා.
-------------------------

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ පාථිකවග්ග පාලියට අයත් සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය. මේ සූත්‍රය එකල සමාජය පිලිබදව විශාල පැතිකඩක් පෙන්නුම් කරන සූත්‍රයක්.
එම වකවානුවේ බුදුරජාණන් වහන්සේ වාසය කලේ රජගහ නුවර සමීපයේ වූ ගිජ්ජකූට පර්වතයේ. දවසක් රාත්‍රියේ උන්වහන්සේ හමුවන්නට ප්‍රාදේශීය රජවරු හතරදෙනෙක් පිරිවරාගත් පිරිසක් පැමිණෙනවා. ඒ ඹවුන් සම්මත කරගත් නව නීති රාමුවක් බුදුරජාණන් වහන්සේට දැනුම් දීමටයි. එම රජවරු හතර දෙනා නියෝජනය කරන්නේ ජන වර්ග හතරක්. නැත්නම් ගෝත්‍ර හතරක්. ඒ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ සහ නාග කියන ගෝත්‍ර හතරක පිරිස්. ඹවුන් ජීවත් වන්නේ රටෙහි විවිධ දිශා වලයි.
රටේ ජිවත් වන සමහර නරක පැවතුම් ඇති පිරිස් අතින් බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැර සිදුවෙනවා. රටේ ඇතිවන ගැටලුවකට රටේ ප්‍රාදේශීය නායකයෝ එකතු වෙලා පිළියමක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ නව නිති පද්ධතියක් හදුන්වා දෙනවා. නීතිය බල ගැන්වීමට නිළධාරින් පත්කරනවා. ගැටලුවට ලක් වන අයට එයින් මිදිමේ මාර්ගය පැහැදිලි කරලා දෙනවා. රටේ ගැටලුවකදී රජයේ ක්‍රියාකාරිත්වය ඉතා විශිෂ්ට ලක්ෂණ පෙන්නුම් කරනවා.
රටේ හිරු නැගෙන නැගෙනහිර පැත්තෙන් තියෙන්නේ මහා සාගරය. ඒ ප්‍රදේශයේ තමයි ගාන්ධර්ව කුලයේ අය ජිවත් වෙන්නේ. එයාලගේ රජතුමා ධ්‍රතරාෂ්ට්‍රය. ඒ ප්‍රදේශයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ගරු සැලකිලි දක්වන පිරිසක්. එහෙ ඉන්න නරක අය ත් අනික් අයට පේන්නට බුදු හාමුදුරුවන්ගේ හොද කියනවා. නමස්කාර කරනවා. රටේ හිරු බැසයන බස්නාහිර පැත්තේ හිටියේ නාග ගෝත්‍රිකයෝ. එයාලගේ නායකයා තමයි විරූපාක්ෂ. මෙයාලත් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වන අය.
රටේ දකුණු පැත්තේ හිටියේ ඉතා ම්ලේජ ජන කොට්ඨාශයක්. ඒ කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ. ඹවුන්ගෙන් බහුතරය කේලාම් කියන්නාවූ ,නින්දා අපහාස කරන්නාවූ, ප්‍රාණඝාත සිදුකරන්නා වූ, සොරකම් කරන්නා වූ පිරිස් බහුල ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ මිනිසුන් වුවත් බුදුරදුන් ගැන අසා ඇති අයයි. විරූඨ තමයි එයාලගේ නායකයා.
උතුරු කුරු දිවයින කියලා එකක් තියෙනවා. ඒකේ ජීවත් වනේනේ තරමක් වෙනස් ජන කොට්ඨාශයක්. ඔවුන් පවුල් ජීවිත ගත කිරීමක් ගැන සිතන්නේ වත්, ඇදුම් පැලදුම් ගැන වැඩි තැකීමක් වත් කරන්නේ නැහැ. ඒ වුනත් ඔවුන් පිරිමියෙක් හරි ගැහැණියක් හරි බාලකයෙක් හරි බාලිකාවක් හරි එක්ක තමයි සැරිසරන්නේ. ඒ වගේම ඒ අය වගා කරන අය නෙවෙයි. ඉබේ හැදෙන ඇල් සහල් බත් තමයි ආහාරයට ගන්නේ. රජ්ජුරුවෝ අසුන් දිවියන් වාහන කරගෙන ගමන් කරනවා. ඒ වගේම ප්‍රාසාද, උඩුමහල් ගෙවල් එහෙමත් ඒ රජ්ජුරුවන්ට තියෙනවා.
උතුරු ප්‍රදේශයේ යක්ෂයෝ වාසය කරනවා. ඒ යගේ නායකයා කුවේර. ඒ වගේම ආලකමන්දාවත් තියෙන්නේ ඒ පැත්තේ.
බුද්ධ ශ්‍රාවකයින්ට ගැටලු ඇති වන්නේ රටේ මැද ජීවත් වුන නරක ගති තියෙන යක්ෂ ගෝත්‍රිකයින්ගෙන්. එයාලගේ ගති ගුණ මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. එයාලා ගොඩක් අය පස් පව් කරන අය. ඒවට ඇබ්බැහි වෙලා ඉන්න අය. ඒ හින්දා තමයි බුදු හාමුදුරුවෝ පස් පවින් වෙන් වෙන්න කියන එකට අකමැති.
මේවා කියවන යද්දි තමයි ලංකා ඉතිහාසය යි මේ කතාවයි පැටලෙන්න ගන්නේ. බස්නාහිරින්, නැගෙනහිරින් මහ මුහුද, බස්නාහිර පැත්තේ නාගයෝ. රට මැද යක්ෂයෝ. කුවේර, ආලකමන්දාව. මේවා ලංකා ඉතිහාසයේ නම්. වැඩිය හිතන්න බැහැ. එහෙම කියලා බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියලා ඒ දේවල් මත ඉදලා කියන්න කොහොමත්ම බැහැ. එහෙම කියලා හිතට එන ඒවා නොකියත් බැහැ.

Saturday, February 8, 2020

මා කියවූ ආටානාටිය සූත්‍රය


අද නවම් මස පුර පසළොස්වක පෝය දවස. මටත් බණ ටිකක් අහන්න හිතිලා කොහෙන්දෝ අහුවුන කොනක් හන්දා ආටානාටිය සූත්‍රය කියවන්න ගත්තා. ඉස්සෙල්ලා යූටියුබ් එකෙන් ඒ සූත්‍ර දේශනාව ඇහුවා. ඊට පස්සේ වෙබ් සයිට් දෙක තුනක් හොයලා සිංහල තේරුමත් එක්ක තියෙන ඒවගේ සිංහල තේරුම කියවන්න ගත්තා. ඇත්තටම එහෙම වුනේ මං පාලි දන්නේ නැති හන්දා. ඒක හරි ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. මං අපූරු කතාවක් හදාගත්තා ඒක කියවලා. මගේ කතාව අහලා ඉවර වෙලා මං දෙන ලින්ක් එකත් කියවලා ඉවර වෙලා මට බනින්න හරි මං කියන දේ පිලිගන්න හරි පුලුවන්. හැබැයි ඔයාලා දන්න දේ අමතක කරලා, මං කියන දේ අහලා, ඊට පස්සේ මට බැන්නට කමක් නෑ හොදේ.
බුදු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ කාලේ ගොඩක් හිටියා. බුදු හාමුදුරුවෝ උපදෙස් දීලා තිබ්බේ හාමුරුවො දෙනමකට එක පැත්තට යන් නැතිව රට පුරා වැඩලා බණ කියන්න කියලා. ඉතිං හාමුදුරුවෝ එක එක පැත්තට වැඩියේ තනියම.
සමහර පැතිවල නරක මිනිස්සු හිටියා. මනුස්ස ගති නැති අය. ඒ කිව්වේ අමනුස්සයෝ. එයාලගෙන් මේ තනියෙන් යන හාමුදුරුවන්ට විවිධ කරදර වුනා. මොකද ඒ හාමුදුරුවරු කියන්නේ හොඳ කරන්න කියලනේ. හැමදාම සත්තු මරණ, හොරකම් කරන වගේ නරක වැඩ කරලා පුරුදු වුන මිනිස්සුන්ට මේ බණ ඇල්ලුවේ නෑ. ඒ හින්දා ඒ මිනිස්සු මේ හාමුදුරුවන්ට කරදර කලා.
මේ සිද්දිය ප්‍රධානීන්ටත් ආරංචි වුනා. ඒකාලේ හිටියේ ප්‍රධාන ගෝත්‍ර කීපයක මිනිස්සු හිටියා. ඒ ඒ ගෝත්‍රවල නායකයෝ මේ පිළිබද ආටානාට කියන තැනක එකතු වෙලා කතා කලා. මේ කියන කාරනා ඇත්තද කියලා හොයලා බැලුවා. ඇත්ත කියලා දැනගෙන ඒකට පිලියමක් කතා කර ගත්තා. හාමුදුරුවන්ට කරදර කරන අයට දඩුවම් කරන්න තීරණය කලා. කරදරේ විදියට දෙන එක එක විදියේ දඩුවම් තීරණය කලා. ඒ වගේම එක එක පැති වලට ඒ ගැන හොයලා බලන්න, කරදර කාරයෝ අල්ලන්න නිළධාරින් පත්කලා. ඒ නිළධාරින්ට වගකීම් පැවරුවා.

ඊට පස්සේ මේ ගැන බුදු හාමුදුරුවන්ට දැනුම් දෙන්න ඒ නායකයො ටිකයි එයාලගේ පිරිස් එක්කම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආවා. ඒ ආවේ රෑක. ගොඩක් පිරිසක් එලි පත්තු කරගෙන ආවා. එහෙම ඇවිත් බුදු හාමුදුරුවෝ හම්බ වෙලා නමස්කාර කරලා ආගිය තොරතුරු එහෙම කතා කරලා තමන් ආව කාරණය බුදුහාමුදුරුවන්ට පැහැදිලි කලා.
නායකයෝ එකතු වෙලා ඇතිකරගත්තු කතිකාවත ගැන හැමදේම පැහැදිලි කලා. ඒ එක් එක් ගෝත්‍රිකයෝ ඉන්න දිශාවල් ඒ ගම්මාන නගර ගැන පැහැදිලි කලා. ඒවගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා ඉන්න නිළධාරින් කවුද කියලා පැහැදිලි කලා.
මේ කාරණා හැම දෙයක්ම හරියට දැනගෙන යන්න කියලා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයින් ට කියන්න කියලා ඉල්ලා සිටියා. ඒ ඒ ප්‍රදේශ හදුනා ගන්නා හැටි, ඒවාගේ පත්කරලා ඉන්න නිළධාරින්ගේ නම් හැම දේම නිවැරදිව දැනගෙන ඉන්න කෙනෙක්ට කරදරයක් නැතිව ඉන්න පුලුවන් කියලා කිව්වා. මේ දේ කරන්නේ හැමෝගෙම යහපතට කියලා කිව්වා. කාට හරි කරදරයක් වෙනවා නම් වහාම පැමිණිලි කරන්න කියලා කියනවා. කෑ ගහලා කියන්න කියලා කියනවා.  බුදු හාමුදුරුවෝ  ඒ දේ පිළිගත්තා. එයාලා බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා පිටත් වුනා.
පහුවදා උදේම බුදුහාමුදුරුවෝ උන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සියළු දෙනාම කැඳවලා පෙර දවසේ රාත්‍රියේ සිද්ධ වුන දේ දේශනා කරනවා. අදාල කතිකාවත පිළිබදව දැනුවත් කරලා ඒ අනුව කටයුතු කරන්න කියලා දේශනා කරනවා.
පිරිත් පොතේ ආටානාටිය සූත්‍රය දෙපාරක් තියෙන්නේ ඒකයි. ඔතන අමනුස්සයෝ කියන්නේ නරක ගති තියන මිනිස්සු කියලා තමයි මං හිතන්නේ. යක්ෂ, නාග, කුම්භාණ්ඩ කියලා කියන්නේ එක එක ගෝත්‍ර නාම කියලා තමයි මං හිතන්නේ. එහෙම හිතලා බලනකොට ඒ කාලේ තිබුන ගම් ගැන, මිනිස්සුන්ගේ ජීවන ක්‍රම ගැන, වටපිටාවන් ගැන ලොකු විස්තරයක් මේ සූත්‍රය ඇතුලේ තියනවා. මට තියන තව ප්‍රශ්නයක් අපට හුරුඅපේ රටේ  ගම් නම් එහෙමත් ඒ ඇතුලේ තියන එකයි.
මෙන්න ලින්ක් තියෙනවා. මේවා දැන් කියවන්නකෝ. ආටානාටිය සූත්‍රය. මෙතනින්ම අවශ්‍ය නැහැ. කැමති තැනකින් කියවලා බලලා අදහස් කමෙන්ට් කරන්නකෝ.