Saturday, January 30, 2021

ටයිමින් බෝම්බෙ

මෙහෙම හෙඩිමක් දාලා කොල්ලෙක් බුකියෙ දාපු පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඉතිං ඕක දැක්කම ගොඩක් අතීතෙට ගියා. අපිත් කොල්ලො කාලෙ කරපු ඇට්ටර වැඩ මතක් වුනා.



අවුරුදු දාට කොල්ලො කට්ටිය එකතු වෙලා ගමේම ගෙවල් ගානෙ යනවා. එහෙම ගියාම ගැම ගෙදරකින්ම කාල බීලා වැදලා කරලා එනවා. ඒ අතරේ තමයි එකෙක් පිලිකන්න පැත්තට රිංගලා සාක්කුවෙ දා ඉන්න රතීඤ්ඤා හදුංකූරු එහෙම පාවිච්චි කරලා ඔය ඇටවුම හදලා හංගලා තියලා එන්නෙ. ඉතිං අපි ගිහිං පැයකට විතර පස්සෙ තමයි ඕක වැඩ කරන්නෙ. එතකොට ඉතිං වෙන්නෙ මොකක්ද කියලා හිතගෙන්ට.
හවස් වෙලා ගියාම සමහර ගෙවල් වලට අටවන්නෙ ඔයිට හපන් ඒවා. ඒකට ගන්නෙ හදුන්කූරු නෙවෙයි. මදුරු කොයිල්. මහ රෑ තමයි ඉතිං ගෙදර අය උඩ ගිහිං ඇහැරෙන්නෙ. හොදම ගේම දෙන්නෙ සමහර ගෙවල් වලට. රෑ දහයට, දොලහට, පාන්දර දෙකට විතර පත්තු වෙන්ට ටයිමින් හදලා ගේ වටේ තුන් පැත්තක තුනක් හංගලා එන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ට වෙන්නෙ එදා රෑම ඇහැරලා ඉන්ට. පහුවදාට ඉතිං කුණුහරුප ඉතිරි නෑ. පාර දිගේ බැන බැන යනවා කරපු එවුං දන්නවා නං ඉතිං වෙන දේ හිතාගන්ටකෝ...

Saturday, January 16, 2021

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෙස Z ලකුණ ලබා දීම සුදුසු වන්නේ ඇයි?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදීමේදි ශිෂ්‍යයෙක් ලබාගත් පන්ති සාමාර්ථය (උදා- A,B,C,S,W)  සමග ඔහු ලබාගත් Z ලකුණ ලබා දීම සුදුසු යැයි මම යෝජනා කරමි. ඒ සදහා හේතු මවිසින් මෙසේ දක්වනු ලැබේ.

ශිෂ්‍යත්ව විභාගය යනු තරග විභාගයකි. එයින් ලබා ගන්නා ලකුණු අනුව සිසුන්ට තමන් කැමති ජනප්‍රිය පාසැලක් වෙත යාමට අවස්ථාව සැලසේ. එය ඉතා වටිනා අවස්ථාවකි. දක්ෂතා ඇති දරුවෙකුට පහසුකම් සහිත ජනප්‍රිය පාසැලකට ඇතුලත්වීමේ අවස්ථාව එමගින් හිමිවේ. එම අවස්ථාව හිමිකරගත් අයෙකු වශයෙන් එහි අගය මම හොදින්ම දනිමි.



එසේ වුවද මෙම විභාගය නිසා ඇතිවන සමාජ ගැටලු දෙකක් මා විසින් අවබෝධ කොට ගෙන ඇත.

ඉතා ඉහල ලකුණක් ලබා ගත් සිසුන් පවා අසමත් ලෙස වර්ගීකරණය වීම- උදාහරණයක් ලෙස ලකුණු 150 ක් ලබාගත් දරුවෙකු අසමත් ලෙස වර්ගීකරණය වේ. එය සැබවින්ම ඉතා ඉහළ ලකුණකි. වෙනත් විභාගයකදී නම් අධි සාමාර්ථයක් හිමිවන ලකුණකි.

එක් එක් වසරවලදී විභාගයේ පහසු අපහසු ප්‍රමාණය මත එක් එක් වසර වල ලබාගන්නා ලකුණු විසිරිම වෙනස් වේ. ඒ අනුව එකම පාසලට එක් එක් වසරේදි ලබා ගන්නා අවම ලකුණ වෙනස් වේ. ඒ හේතුව නිසා සිදුවන සිත් බිද වැටිම් ඉතා ඉහළය.

මා විසින් යෝජනා කරන යෝජනාව මගින් ඉහත ඇතිවන ගැටලු දෙකම සදහා විසදුම් ලැබේ.

Z ලකුණ මගින් ශිෂ්‍යයා ලබා ගත් ස්ථානය (Rank) හි කිසිදු වෙනසක් නොමැති වේ. එබැවින් ජනප්‍රිය පාසැල් අනුපිලිවෙල සදහා එය ගැටලුවක් නොවේ.

වසර දෙකකදි විභාගය සදහා පෙනී සිටින සිසුන් ගණන ආසන්න වශයෙන් සමාන වන බැවින් විභාගය පහසුතාවය මත z අගය වෙනස් නොවේ. එබැවින් එක් එක් පාසලේ අවම ලකුණු සීමා වසරින් වසර වෙනස් නොවේ.

Z ලකුණ පිලිබද සමාජ අවබෝධය අඩු නිසා ඒ හේතුවෙන් ඇතිවන මානසික පීඩා අඩු වේ.

පහත උදාහරණය බලන්න.

එක් වසරක ළමුන් 10 දෙනෙක් ලබා ගත් ලකුණු වගුවේ පළමු තිරුවේ ඇත. ඊළග වසරේ විභාගය පහසු වීම නිසා ලකුණු 10 ක් වැඩිපුර ගැනීමට හැකිවී යැයි සිතා ඊලග වසරේ සිසුන් 10 දෙනෙකුගේ ලකුණු දමා ඇත. එසේ වුවද වසර දෙකේම Z අගයන් සමාන වෙන බැව් දැකිය හැකිය. ඒවායේ අනුපිලිවෙලද වෙනස් වන්නේ නැත. වසර දෙකේදීම පාසැල් වලට ලබා ගන්නා සිසුන් සංඛ්‍යාව වෙනස් වන්නේ නැති නම් එක් එක් පාසලේ අවම කඩඉම් ලකුණද වෙනස් වන්නේ නැත.

ඉහත කරුණු සැලකිමෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මේ ආකාරයෙන් ලබා දීමට මම යෝජනා කරමි

ශිෂ්‍යයා ලබා ගත් සාමාර්ථය (A, B, C, S, W)

ශිෂ්‍යයා ලබා ගත් Z ලකුණ -