Monday, May 17, 2021

ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

 ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

පහුගිය ටිකේ විදුහල්පතිවරයෙක් ගුරුවරුන්ට කියපු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල ගොඩක් උපහාසයට අපහාසයට ලක්වුනා. ඒක දැකලා තමයි මට මේ ටික ලියන්න හිතුනේ.



අධ්‍යාපනය ලබාදෙනවා කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මත සිද්ධ වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. ගුරු පෞරුෂය මත ශිෂ්‍යයා ගුරුවරයා වෙත ආකර්ශනය වෙනවා. ඒ අකර්ශනය තමයි ගුරුවරයා උගන්වන දේට ශිෂ්‍යයා යොමු වෙන ප්‍රධාන තැනක් වෙන්නේ. ඒ සදහා ගුරුවරයාගේ පෙනුම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසයි ගුරුවරයෙක් තමන්ගේ ඇදුම වගේම රුපලාවන්‍ය කටයුතු පිළිබදවත් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මං කියන්නේ. වැරහැලි ඇදගෙන කොණ්ඩෙ රැවුල කපන්නේ නැතිව පන්තියකට පාසලකට ගියොත් එතනදි ගුරුවරයෙක් ශිෂ්‍යයාගෙන් ප්‍රතික්ෂේප වෙන එක අහන්නත් දෙයක් නැහැ. පහුගිය දිනවල සමහර ගුරුවරියන් කුස්සියේ නයිටිය ඇදන් උයන ගමන් පන්ති කරපු ඒවා, සමහර ගුරුවරු යාලුවෝ එක්ක පාටි දාන ගමන් පන්ති කරපුවා අහන්න ලැබුනා. මේවා කෙසේවත් සිදු නොවිය යුතු දේවල්. තමන්ගේ මූන දරුවන්ට පෙන්නලා කතා කරන්න බැරි නම් ඒ ඉගැන්නිල්ලෙන් වැඩක් නැහැ.

අනිත් අතට ගුරුවරයාට හොදට උගන්නන්න නම් දරුවන්ව පේන්න ඕනේ. එතකොට තමයි එයාලගේ කරන වැඩ නිවැරදිව කරන්නට මග පෙන්වන්න පුලුවන් වෙන්නේ. දරුවන්ගේ මුහුණු දකින කොට තමන් කියන දේවල් අවබෝධ වුනාද කියලා ගුරුවරයාට තේරෙනවා. ඒ හින්දා දරුවන්ගේ කැමරා ඔන් එකේ තියන එක ඉගැන්වීම සාර්ථක විමට ගොඩක් බලපානවා.

නමුත් එතනදි පවතින තවත් ගැටලුවක් වනේනේ ශිෂ්‍යන්ගේ නිවෙස් වල තියන පරිසරය අනික් අයට නිරාවරණය වීමයි. විවිධ ඇදුම් ඇදලා හිටියොත් දරුවෝ එවාට අවධානය යොමු කරනවා. සියලු දෙනාම නිල ඇදුම ඇදලා හිටියොත් ඇත්තටම ඒක වෙන්නේ නැහැ. ඒ වගේමයි දරුවන්ටත් පාසල් මානසිකත්වය එනවා. ඉස්කෝලේ ගිහින් යාලුවෝ එක්ක පන්තියේ එකට ඉගෙන ගත්තු හැගිම එනවා. එතකොට ඉගැන්විම කෙතරම් සාර්ථව සිද්ධ කරන්න පුලුවන්ද? මේක ඇත්තටම මට නං ගොඩක් ප්‍රසන්න ඔන්ලයින් ඉස්කෝලෙක පන්ති කාමරයක්.

පාසලක් කියන්නේ විධිමත් විෂය මාලාව විතරක් උගන්වන ආයතනයක් නෙවෙයි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ කියලයි මට හිතුනේ. පාසැලක තියෙනවා සැගවුන විෂයමාලාව කියලා දෙයක්. ඒක නිසා තමයි දරුවෝ ඒ පාසලේ දරුවො වෙන්නේ. පාසලක තියන විනය නිති, ක්‍රියා පිලිවෙත්, වෙනත් ක්‍රියාකාරකම් ආදිය ඒවට ඇතුලත් වෙනවා. ඒ හරහා තමයි ශිෂ්‍යයන් සමාජගත වෙන්නේ. ඔවුන් සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. ජාතික ගීය ගායනා කරන අවස්ථාව, පාසැල ඇරෙනකොට ජත්තමානවක ගාතා කියන අවස්ථාව ඒ වගේ ඒවා.

ඔන්ලයින් පාසලකින් ඒ විදියට තමන්ගේ පාසලේ අනන්‍යතාවය පෙන්නන්න කිසියම් විදුහල්පතිවරයෙක් උත්සහ කරනවා නම් මම නම් ඒ විදුහල්පතිවරයාට ප්‍රසංසා කරනවා. ඇත්තටම ඔහු විශිෂ්ට නියමුවෙක්. උදැසන රැස්විමේ කතාව පවත්වන්න, ශිෂ්‍ය සමිති පවත්වන්න, විවිධ වැඩසටහන් සංවිධානය කරන්න පුලුවන් නම් ඒ ක තමයි කරන්න ඕනේ. එතනයි අපි යා යුතු තැන වන්නේ.

ඔන්ලයින් ටියුෂන් පන්ති වලට සල්ලි ‍ගෙවලා යන ලමයි ඉස්කොලේ ඔන්ලයින් පන්ති වලට එන්නේ නැත්තේ ඒවගේ තියන නිසරු කම හින්දත් වෙන්න පුලුවන්. ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ කියන්නේ ප්‍රධානතම හේතුව ගුරුවරුන්ගේ නොහැකියාව කියලා මං කියන්නේ ඒකයි.  

Sunday, February 21, 2021

කෘෂි වගාව හා වන විනාශය

පෙර වදන

පහුගිය දවස් දෙක තුනේ මගේ FB වෝල් එකේ මං එක එක ප්‍රශ්න ඇහුවා. මං ඇහුව දේට උත්තර දෙන්නේ නැතිව මට බැනපු අය ගොඩක් හිටියා. ඒ අතරේම කට්ටිය හොද උත්තරත් දීලා තිබුනා. ඉතිං මං මෙහෙම වැඩක් කලා.

ඒ පෝස්ට් එකයි ඒකට හම්බ වුන උත්තර ඔක්කොමයි මගේ දුවට දුන්නා කියවන්න කියලා. ඒවා කියවලා එයා ලියපු රචනාව තමයි පහතින් තියෙන්නේ.

බලන්න බුද්ධි කලම්බනය තුලින් කොතරම් අපූරු නිර්මාණ බිහි කරන්න පුලුවන්ද කියලා. ඒ වගේම කොතරම් අපූරුවට දැනුම සමාජගත කරන්න පුලුවන්ද කියලා.

ලක්ෂ්මන් තිලකරත්න

 
කෘෂි වගාව හා වන විනාශය



මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ගන්නා සෑම හුස්මක්ම පිටුපස ප්‍රධාන වශයෙන් රැඳී පවතින්නේ වෘක්ෂ සම්පතයි. එනම් මිනිසාගේ ජීවය රදා පවතින්නේ වනාන්තර වල, ගස්වැල් වල පැවැත්ම මතය.

වනාන්තර යනු විශාල ජෛව විවිධත්වයක් සහිත පද්ධතියකි. එහි ගස් වැල් වලට පමණක් නොව මිනිසාගේ පැවැත්මට වක්‍රව හෝ දායකත්වය සපයන ජීවින් රැසකගේ නිවහනයි. පෘථිවියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සතා සිව්පාවා ඇතුලු මෙම පද්ධතියේම සහය අත්‍යවශ්‍ය වේ. මෙම වන පද්ධති රාශියෙක එකතුවෙන් ලෝකය නම් පද්ධතිය සුරැකිව පවතී. වන වැස්ම තුලින් අප ලබන ප්‍රධානම ඵලය ඔක්ෂිජන් යැයි කෙනෙකුට කිව හැකි නමුත් මුළු විශ්වයම එක් ක්ෂණයකින් දෙපා මුලට රැගෙන ඒමට තරම් විශිෂ්ඨ තාක්ෂණයක් ඇති නව යුගයේ ඔක්ෂිජන් නිපදවීම එතරම් දෙයක් නොවේ.

එසේ නම් අපට වනාන්නතර අවශ්‍ය වන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම ශක්ති සමතුලිතතාවය සිදුකරන්නේ එනම් හිරුගෙන් අපට ලැබෙන ශක්තිය බෙදා හරින්නේ සමකාසන්න වනාන්තරය. එහි පතිඵලයක් ලෙස ජල ප්‍රභව බිහිවී ඇත. තවද වනාන්තර වල පදිංචිකරුවන් එනම් ක්ෂුද්‍ර ජීවියාගේ සිට සියලුම සතා සිව්පාවුන් පෘථිවි සමතුලතතාවය රැක ගැනීමට දායක වේ. ආහාර දාම එයට හොදම නිදසුනයි.

වර්තමානයේ දී අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස කෘෂි වගාව උදෙසා වන විනාශ කිරීම පෙන්වා දිය හැකිය. කෘෂි වගාවේදී සිදු වන්නේ ශාක රෝපනය වුවද එයින් වනාන්තරයක් මගින් ඉටුකරන කාර්යයන් ඉටු නොවේ. වන විනාශට තුලින් ලබන කෘෂි වගාවේ අවසන් ප්‍රතිඵලය වන්නේ කෙටි කාලීන ලාභයකුත් හා කිසිවෙකුටත් පලක් නැති මුඩු බිමකුත් පමණී. වනාන්තරයක් බිහි වීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නකි. එය පරිසරයට අවශ්‍ය කර්තව්‍යයන් සිදු කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ හැඩ ගැසෙයි. එලෙස වනයක් රෝපනය කිරීමට වසර ගණනාවක් ගතවන ක්‍රියාවලියකි. එය කිසි විටෙකත් කෘෂි වගාවක් තුලින් බලාපොරොත්තු විය නොහැකිය. වන විනාශය තුලින් කෘෂි වගාවක් සිදු කිරීම අටුව කඩා පුටුව හැදුවා හා සමය.

වන සම්පත් සුරකිමින් කෘෂි වගාව සිදු කිරීමට බොහෝ ක්‍රම පවතී. කෘෂි බිම්වල භෝග වගා කිරීම ප්‍රමාණවත් නොවන බව පැවසීම නිසා එය ට විකල්පයක් ලෙස වන විනාශය ඉදිරිපත් වී ඇත. කෘෂ භූමි වල වපසරිය දිග පළල ඔස්සේ ගණනය කොට වගා කරන කෘෂි භෝග ප්‍රමාණය් ලබන අස්වැන්න මෙන් දස ගුණයක අස්වැන්නක් ලබා ගැනීමට එම භූමියේ උස සැලකිල්ලට ගනිමින් උස අතට වගා කිරීම මෙයට පිළියමක් ලෙස ගත හැකිය. එසේම භෝග වගා කරන කාලය ද සැලකිල්ලට ගෙන කෘෂි වගාව ඵලදායිව මෙන්ම කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව පවතී. භෝග වගාකරන කාලයන් අනුවද අස්වැන්නේ ප්‍රමාණය වර්ධනය කරමින් වන සම්පතේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට හැකිය.

මිනිසාගේ මෙන්ම සමස්ඨ ලෝකයේම පැවැත්ම රදා පවතින්නේ තරදියක් මතය. මෙය සමබර කරන්නේ සමස්ථ ජෛව ලෝකය මගිනි. මෙය සුරැකීම සමස්ථ මිනිස් ප්‍රජාවේම පැවැත්ම තහවුරු කරයි. වන විනාශයෙන් තොරව කෘෂි වගාව සිදු කිරිමට සැවෙම යොමු වෙමු.

පරිසරය අප රකී! රකිමු අප පරිසරය!!

-        විහින්දි සඳින්මා තිලකරත්න -


මූලාශ්‍ර

https://m.facebook.com/story.php?story_fbid=10225508081478635&id=1524437897

Saturday, January 30, 2021

ටයිමින් බෝම්බෙ

මෙහෙම හෙඩිමක් දාලා කොල්ලෙක් බුකියෙ දාපු පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඉතිං ඕක දැක්කම ගොඩක් අතීතෙට ගියා. අපිත් කොල්ලො කාලෙ කරපු ඇට්ටර වැඩ මතක් වුනා.



අවුරුදු දාට කොල්ලො කට්ටිය එකතු වෙලා ගමේම ගෙවල් ගානෙ යනවා. එහෙම ගියාම ගැම ගෙදරකින්ම කාල බීලා වැදලා කරලා එනවා. ඒ අතරේ තමයි එකෙක් පිලිකන්න පැත්තට රිංගලා සාක්කුවෙ දා ඉන්න රතීඤ්ඤා හදුංකූරු එහෙම පාවිච්චි කරලා ඔය ඇටවුම හදලා හංගලා තියලා එන්නෙ. ඉතිං අපි ගිහිං පැයකට විතර පස්සෙ තමයි ඕක වැඩ කරන්නෙ. එතකොට ඉතිං වෙන්නෙ මොකක්ද කියලා හිතගෙන්ට.
හවස් වෙලා ගියාම සමහර ගෙවල් වලට අටවන්නෙ ඔයිට හපන් ඒවා. ඒකට ගන්නෙ හදුන්කූරු නෙවෙයි. මදුරු කොයිල්. මහ රෑ තමයි ඉතිං ගෙදර අය උඩ ගිහිං ඇහැරෙන්නෙ. හොදම ගේම දෙන්නෙ සමහර ගෙවල් වලට. රෑ දහයට, දොලහට, පාන්දර දෙකට විතර පත්තු වෙන්ට ටයිමින් හදලා ගේ වටේ තුන් පැත්තක තුනක් හංගලා එන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ට වෙන්නෙ එදා රෑම ඇහැරලා ඉන්ට. පහුවදාට ඉතිං කුණුහරුප ඉතිරි නෑ. පාර දිගේ බැන බැන යනවා කරපු එවුං දන්නවා නං ඉතිං වෙන දේ හිතාගන්ටකෝ...

Saturday, January 16, 2021

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෙස Z ලකුණ ලබා දීම සුදුසු වන්නේ ඇයි?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදීමේදි ශිෂ්‍යයෙක් ලබාගත් පන්ති සාමාර්ථය (උදා- A,B,C,S,W)  සමග ඔහු ලබාගත් Z ලකුණ ලබා දීම සුදුසු යැයි මම යෝජනා කරමි. ඒ සදහා හේතු මවිසින් මෙසේ දක්වනු ලැබේ.

ශිෂ්‍යත්ව විභාගය යනු තරග විභාගයකි. එයින් ලබා ගන්නා ලකුණු අනුව සිසුන්ට තමන් කැමති ජනප්‍රිය පාසැලක් වෙත යාමට අවස්ථාව සැලසේ. එය ඉතා වටිනා අවස්ථාවකි. දක්ෂතා ඇති දරුවෙකුට පහසුකම් සහිත ජනප්‍රිය පාසැලකට ඇතුලත්වීමේ අවස්ථාව එමගින් හිමිවේ. එම අවස්ථාව හිමිකරගත් අයෙකු වශයෙන් එහි අගය මම හොදින්ම දනිමි.



එසේ වුවද මෙම විභාගය නිසා ඇතිවන සමාජ ගැටලු දෙකක් මා විසින් අවබෝධ කොට ගෙන ඇත.

ඉතා ඉහල ලකුණක් ලබා ගත් සිසුන් පවා අසමත් ලෙස වර්ගීකරණය වීම- උදාහරණයක් ලෙස ලකුණු 150 ක් ලබාගත් දරුවෙකු අසමත් ලෙස වර්ගීකරණය වේ. එය සැබවින්ම ඉතා ඉහළ ලකුණකි. වෙනත් විභාගයකදී නම් අධි සාමාර්ථයක් හිමිවන ලකුණකි.

එක් එක් වසරවලදී විභාගයේ පහසු අපහසු ප්‍රමාණය මත එක් එක් වසර වල ලබාගන්නා ලකුණු විසිරිම වෙනස් වේ. ඒ අනුව එකම පාසලට එක් එක් වසරේදි ලබා ගන්නා අවම ලකුණ වෙනස් වේ. ඒ හේතුව නිසා සිදුවන සිත් බිද වැටිම් ඉතා ඉහළය.

මා විසින් යෝජනා කරන යෝජනාව මගින් ඉහත ඇතිවන ගැටලු දෙකම සදහා විසදුම් ලැබේ.

Z ලකුණ මගින් ශිෂ්‍යයා ලබා ගත් ස්ථානය (Rank) හි කිසිදු වෙනසක් නොමැති වේ. එබැවින් ජනප්‍රිය පාසැල් අනුපිලිවෙල සදහා එය ගැටලුවක් නොවේ.

වසර දෙකකදි විභාගය සදහා පෙනී සිටින සිසුන් ගණන ආසන්න වශයෙන් සමාන වන බැවින් විභාගය පහසුතාවය මත z අගය වෙනස් නොවේ. එබැවින් එක් එක් පාසලේ අවම ලකුණු සීමා වසරින් වසර වෙනස් නොවේ.

Z ලකුණ පිලිබද සමාජ අවබෝධය අඩු නිසා ඒ හේතුවෙන් ඇතිවන මානසික පීඩා අඩු වේ.

පහත උදාහරණය බලන්න.

එක් වසරක ළමුන් 10 දෙනෙක් ලබා ගත් ලකුණු වගුවේ පළමු තිරුවේ ඇත. ඊළග වසරේ විභාගය පහසු වීම නිසා ලකුණු 10 ක් වැඩිපුර ගැනීමට හැකිවී යැයි සිතා ඊලග වසරේ සිසුන් 10 දෙනෙකුගේ ලකුණු දමා ඇත. එසේ වුවද වසර දෙකේම Z අගයන් සමාන වෙන බැව් දැකිය හැකිය. ඒවායේ අනුපිලිවෙලද වෙනස් වන්නේ නැත. වසර දෙකේදීම පාසැල් වලට ලබා ගන්නා සිසුන් සංඛ්‍යාව වෙනස් වන්නේ නැති නම් එක් එක් පාසලේ අවම කඩඉම් ලකුණද වෙනස් වන්නේ නැත.

ඉහත කරුණු සැලකිමෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මේ ආකාරයෙන් ලබා දීමට මම යෝජනා කරමි

ශිෂ්‍යයා ලබා ගත් සාමාර්ථය (A, B, C, S, W)

ශිෂ්‍යයා ලබා ගත් Z ලකුණ -

Saturday, December 5, 2020

කොරෝනා සහ උකුණා

අපේ රටේ ගොඩක් දෙනාගේ හිසේ උකුණෝ ඉන්නවා. එහෙම කියලා එයාලා ගනන් ගන්නවාද? කාට හරි කියලා උකුණෝ බලා ගන්නවා. අයින් කර ගන්නවා. නැත්තං මොකක් හරි බෙහෙතක් දාලා අයින් කරනවා. තමන්ගේ වැඩ කටයුතු කිසි දෙයක් නතර කරගෙන නැහැ. හැබැයි එහෙම කියලා මේ උකුණා නම් ලේසියෙන් නැති කර ගන්ටත් බෑ.



මෙහෙම දෙයක් වුනොත් හිතන්ටකෝ.
උකුණා කියන්නේ මහ භයානක සතෙක් කියලා ටීවි එකේ ඇඩ් යනවා. උකුණෝ ඉන්න අය මැරෙනවා කියලා දිගටම කියන්ට ගන්නවා. උකුණෝ ඉන්න අයට බෙහෙත් දෙන්ට දොස්තරලා එන්නේ නෑ. මීටර තුන හතරක් ඈතින් ඉදලා ලෙඩ අහලා බෙහෙත් ලියලා දෙනවා. නලාව තියලා බලන්නේ නැ. ඉස්පිරිතාල වහලා. මිනිස්සුන්ට වෙනදා වගේ බෙහෙත් ගන්ට යන්ට නෑ. මිනිස්සු ලෙඩකට බෙහෙතක් ගන්ටත් යන්ට බයයි යනකොට උකුණෝ බොවෙයි කියලා. උකුණෝ ඇති කියලා මහ පාර දිගේ බෙහෙත් ඉහ ඉහ යනවා. මිනිහෙක් මැරුනොත් ඉස්සෙල්ලාම දොස්තරලා බලන්නේ ඔලුවෙ උකුණෝ ඉන්නවාද කියලා. උකුණෝ හිටියොත් ටීවි එකේ වෛද්ය මාධ්ය ප්රකාශක ඇවිත් ඇස් ලොකු කර කර කියනවා උකුණා කාලා මැරුණා කියලා.
කොරෝනා කියනනේ උකුණා කොරන දේ තරං දෙයක් වත් කොරන්නට බැරි එකෙකි. ඒ හින්දා මං යෝජනා කරනවා ඔය ඇස් ලොකු කර කර කියන කෙනාට මීට පස්සේ මැරුන අයගේ පීසීආර් කරන්ට කලිං උකුණෝ ඉන්නවාද කියලා බලලා ඉන්නවා නං ටීවි එක ඉස්සරහට ඇවිත් උකුණෝ කාලා තවත් තුන් දෙනෙක් මැරිලා කියලා කියන්ට කියලා.
මොකද මැරෙන හරියක් මැරෙන්නේ ගෙවල් වලය. ඉස්පිරිතාලෙට ගෙනියන අතරතුරය. මේක මහ වදුරු කුණුහරුපය. ඉදලා හිටලා ඉස්පිරිතාල වලත් මැරෙනවාය. ඒ මැරෙන්නේ හාට් ඇටැක් එකකින් වකුගඩු අමාරුවකින්. ඒ මැරෙන්නේ උණ ඉස්පිරිතාලෙදි. වකුගඩු ලෙඩා උණ ඉස්පිරිතාලේ තියන් අහවල් මගුලක් කරාද කියලා අහන්ට කවුරුවත් ඇත්තේ නැතිය.

Wednesday, November 25, 2020

ඵලදායී ගුරු භූමිකාවක් සඳහා තොරතුරු සාක්ෂරතාවේ අවශ්‍යතාව

ගමගේ විකුම් සම්පත් 

BA., PGDE, MEd, Dip in Productivity, Dip in Library Science  
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය- පිරිවෙන්)



----------------------------------------------

සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකි ය. එම තොරතුරු ප්‍රධාන වශයෙන් පොත් පත්, ශ්‍රව්‍ය දෘශ්‍ය, අන්තර්ජාල, පරිසරය හා සම්පත් පුද්ගලයින් යන මූලාශ්‍රවල පවතියි. එසේ විවිධ මූලාශ්‍රවල ඇති තොරතුරු ලබාගැනීමට, ඇගයීමට හා භාවිත කිරීමට ඇති නිපුණතාව තොරතුරු සාක්ෂරතාවයි. එමෙන් ම තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම ඉගෙනුම ලෙස හැඳින් වේ. ඒ අනුව ගුණාත්මක ඉගෙනුමක් සඳහා  මනා ලෙස තොරතුරු හැසිරවීමේ  හැකියාවක් ලබා තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙලෙස තොරතුරු හා ඉගෙනුම අතර දැඩි අන්තර් සම්බන්ධතාවක් පවත්න හෙයින් ගුරුවරුන්ට මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරත වන්නන්ට තොරතුරු සාක්ෂරතාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතු ය.

කිසියම් අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැකි ය. එනම් නිදසුනක් ලෙස යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක එම ගැටලුවට අදාළ දත්ත රැස්කර ඒවා විශ්ලේෂණය හෝ සාරාංශකරණය මගින් තොරතුරු බවට පත්කරගෙන විසඳුම් සෙවීම සිදු කරනු ලබයි. මෙලෙස ගොඩනගා ගන්නා විද්‍යාත්මක හා තාක්ෂනික තොරතුරු භාවිතයෙන්,

v  නිපුණතාවන් සංවර්ධනය වීම

v  පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් ඵලදායී වීම

v  ගැටලු විසඳීම සඳහා උපයෝගි වීම

v  ගැටලු විසඳීම සඳහා විකල්ප හා විවිධ එළඹුම් ගොඩනගා ගත හැකි වීම

v  අනාගත ගැටලු අවම කර ගැනීමට මග පෑදීම

v  නිෂ්පාදන හා සේවා අංශවල කාර්යක්ෂමතාව හා සඵලදායීතාව වර්ධනය වීම

v  වඩා ඵලදායී තීරණ වලට එළඹිය හැකි වීම

v  සංවර්ධනාත්මක ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනයට මග පෑදීම

යනා දී ප්‍රතිඵල නෙලා ගත හැකි ය. නමුත් මෙවන් ධනාත්මක ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේ තෙරතුරුවල පවත්නා ගුණාත්මක භාවය මත පමණි. නිදසුනක් ලෙස ඔබගේ පන්තියේ සිටින සිසුවෙකුගේ හැසිරීම් රටාව පන්තියේ අනෙක් සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලයත් පන්තියේ අනෙකුත් කටයුතුවලටත් බාධා වන්නේ යයි සිතමු. එවිට පන්නි භාර ගුරුවරයා වශයෙන් එම ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ එම සිසුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔබට සිදුවේ. එහි දී ඔබ මුලින් ම අදාළ සිසුවා සම්බන්ධයෙන් පවතින තොරතුරු අනාවරණය කර ගත යුතු ය. මෙහි දී ඔබ සිසුවාගේ විෂම චර්යාවට බලපාන නිවැරදි හා ගුණාත්මක තොරතුරු අනාවරණය කර නොගෙන පහසුවෙන් හඳුනා ගත හැකි මතුපිට තොරතුරු පදනම් කර ගෙන සිසුවාට යම් දඬුවමක් දුනහොත් බොහෝවිට සිසුවා තවත් දරදඬු විය හැකි ය. නැතිනම් එම දඬුවම හේතුවෙන් ඔහුගේ අනාගතය පවා විනාශ විීමට ඉඩ තිබේ. මෙවැනි සිදුවීම ඔබ කොතෙකුත් අසා දැක ඇත. මෙලෙස යම් ගැටලුවකට ගන්නා විසඳුම් හෝ තීරණ අසාර්ථක වීමට හේතු වන්නේ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධයයි.

ඉහත නිදසුනට අනුව ගුරුවරයාට තොරතුරු වෙත ප්‍රවේශවීම සම්බන්ධ ප්‍රමාණවත් කුසලතාවක් නොමැති බව හඳුනාගත හැකි ය. එනම් දරුවාගේ විෂම චර්යාවට හේතු ප්‍රමාණවත් තරම් අනාවරණය කර ගැනීමට හැකි විවිධ තොරතුරු මූලාශ්‍ර හඳුනා ගැනීමට ඔහු අසමත් ය.

විවිධ පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගත්තද ඒවායේ නිවැරදි භාවය තක්සේරු කර ගැනීමේ කුසලතාව ද ඔහු තුළින් විද්‍යමාන නොවේ. එනම් ලබාගත් තොරතුරුවලින් ළමයාගේ චර්යාව විෂමාකාර වීමට බලපා ඇති හේතු හඳුනා ගත හැකි ද? එම තොරතුරු තොරතුරු නිවැරදි ද? පක්ෂග්‍රාහී ද? එමෙන් ම ලැබූ තොරතුරුවලට අනුව ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත හැකි ද? ආදී ලෙස තාර්කිකව තොරතුරුවල වටිනාකම තක්සේරු කිරීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බවයි.

තොරතුරු භාවිත කර ගන්නා ක්‍රියාමාර්ග ද නිවැරදි නැත. එනම් තොරතුරු භාවිතයෙන් ගන්නා තීන්දුව තුළින් සියළු පාර්ෂවයන්ට යහපතක් ම සිදුවිය යුතු ය. හානියක් සිදු නොවිය යුතු ය. තොරතුරු භාවිතයෙන් අයහපතක් සිදුවන්නේ තොරතුරු භාවිතය පිළිබඳ කුසලතා නොමැති හෙයිනි. බොහෝවිට තොරතුරු වෙත ප්‍රවේශවීම හා ඇගයීම නිවැරදි නොවීමෙන් භාවිතය අනර්තකාරී වේ. මේ අනුව තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධය අපගේ චර්යාව සම්බන්ධ ගැටලු ඇති වීමටත් ජීවිතය අසාර්ථක වීමටත් හේතු වන බව පෙන්වා දිය හැකි ය.

මෙය තවත් නිදසුනකින් පැහැදිලි කර ගනිමු. පසුගිය වසර 40ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අරමුණ ඇති ව ප්‍රතිපත්ති හා සැලසුම් සකසා කොතෙක් ක්‍රියාත්මක කර ඇති ද? නමුත් ලැබූ සංවර්ධනය යථාර්ථවාදී ද? එම ව්‍යාපෘති සඳහා කොතෙක් ණය ගෙන ඇති ද? නමුත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලඟා වී තිබේ ද? ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලෙස හඳුනා ගත හැක්කේ බිලියන ගනණින් ණය කන්ද වැඩි වී ශ්‍රී ලංකාව ණය උගුලක අසු වී ඇතත් අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් වෙතනම් ලඟා වී නොමැති බවයි. එසේ අසාර්ථකත්වයට බලපාන ලද ප්‍රබල හේතුවක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ ප්‍රතිපත්ති හා සැලසුම් කාර්යයේ දී ඊට අදාළ තොරතුරු වෙත පිවිසීමටත් එම තොරතුරු නිවැරදිව ඇගයීමටත් තොරතුරු නිවැරදිව භාවිත කිරීමටත් අපොහොසත් වීමයි.  

ඉහත නිදසුන් අනුව තේරුම් ගත හැක්කේ විවිධ මූලාශවල තොරතුරු කොතරම් පැවතියත් තොරතුරු සාක්ෂරතාව නොමැති නම් ඉන් ප්‍රතිඵලයක් අත් නොවන බවයි. එනම් තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට නම් තොතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍ය බවයි. තොරතුරු සාක්ෂරතාව ලෙස හැඳින්වෙන්නේ,

  • තොරතුරු වලට  කාර්යක්ෂම හා ඵලදායි  ප්‍රවේශවීම
  • තාර්කිකව හා නිපුණ ලෙස  එම තොරතුරු  ඇගයීමකට භාජනය කිරීම 
  • නිවැරදිව හා නිර්මාණශීලීව තොරතුරු භාවිතයට යොදා ගැනීම 

සම්බන්ධ ක්‍රියාවලිය යි. තොරතුරු සමාජයක ජීවත්වන අපට පුද්ගලික හා සාමූහික ජයග්‍රහන ලබා ගැනීම සඳහා තොරතුරු සාක්ෂරතාව ප්‍රබල සාධකයකි.

තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම සැබෑ ඉගෙනුම වන නමුත් අප බොහෝ විට ඉගෙනුම ලෙස හඳුනාගෙන ඇත්තේ තොරතුරු තොරතුරු ලෙස ම ඉදිරිපත් කර විභාගවලින් සමත් වීමයි. ඉන් අධ්‍යපනයෙන් අපේත්ෂිත නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියෙකු බිහි නොවේ. එහෙයින් මෙම හිඩස පිරවීමට මුලින් ම ගුරුවරුන් තොරතුරු සාක්ෂරතාවෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය සාධකයකි.

Monday, October 26, 2020

චයිනීස් හෙම්බිරිස්සාව

මේ දවස් වල ලෝකෙටම පිස්සු හැදිලාය. ලෝකේ පුරා චීන හෙම්බිරිස්සාවක් පැතිරිලාය.

මේක හෙම්බිරිස්සාවක් ය. නිකංම නිකං චීන හෙම්බිරිසාවකි. මේ චීන හෙම්බිරිස්සාව සීයකට බෝ වුනොත් එතනින් හැත්තෑවකට හච්චිමක් වත් යන්නේ නැත්තේය. තව ටික දෙනෙකුට හොටු ටිකක් බේරිලා ඉවර වෙනවායි. තවත් හත් අට දෙනකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙනවාය. ඒ හැදිලා දවස් හත අටකින් හොද වෙනවාය. මේකෙන් කවුරුවත්ම මැරෙන්නේ නැතය.

වෙන්නේ වෙන මගුලක් ය. ඒක කොරන්නේ මහ දැනමුත්තෝ ටිකකි. මොකක් හරි ලෙඩක් අපි හිතමු හාට් ඇටැක් එකක් හැදිලා ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනිච්චා කියලා. එතකොට ඉතිං ඒකට බෙහෙත් කරන්ට එපායැ. එහෙම බෙහෙත් කරන කොට ඒ ලෙඩාට චීන හෙම්බිරිස්සාව හැදුනොත් “බුදු අම්මෝ මෙන්න මේ මනුස්සයාට චීන හෙම්බිරිස්සාව හැදිලා” කියලා දොස්තරලා ටික පන කඩාගෙන දුවන්නේය. වෙනදා කොරපු බෙහෙත කොරන්නේ නැත්තේය. ඉතිං ලෙඩාට දෙයියන්ගේම පිහිටයි. ලෙඩා මැරෙන්නේය. “ලෙඩා මැරිලා තියෙන්නේ චීන හෙම්බිරිස්සාවෙන්”. දොස්තරලා කියන්නේය. පශ්චාත් මරණ පරික්ෂා කොරන්නට තහංචිය. කරොත් දොස්තරලාගේ පශ්චාත් බාගය නැතිවී යන්නේය.

සමහර වෙලාවට මෙලහකටත් අපිටත් ඔය මගුල හැදිලා හොද වෙලත් ඇති. නැත්තං ඉස්සරහට හැදෙයි. හැදිලා දවස් තුන හතරකින් හොද වෙලා යයි. ඔය ලෙඩේට ඉතිං අපි දන්න පුංචිම ගොඩ වෙදකමත් ඇති. පැනඩෝල් කාඩ් දෙක තුනකුයි, පස්පංගුව පැකට් පහ හයකුයි දැම්මම අරන් තියාගන්ට. ඊට වැඩිය කිසි දෙයක් ඕනේ නැහැ.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාර දිගේ බෙටි තියෙනවා, ඒවා පෑගෙයි කියලා අපේ මිනිස්සු ගෙවල් වලට වෙලා කකුල් උස්සං ඉන්නවා. හැබැයි පාරේ ඇති බෙට්ටක් නෑ. දැනෙන්නේ චීනා ඇරපු පඩේක ගදක් විතරයි…