Sunday, January 13, 2019

මාලුවන්ගේ අපූරු ලෝකයට යමු..

අද විහින්දිව දාලා තාත්තා තනියෙන් ගිය ගමනක විස්තරයක් තමයි කියන්න යන්නේ. ටිකක් අලුත් එකක් හින්ද පුරුදු වුනාට පස්සේ එයාව එක්කන් යන්නයි තාත්තා කල්පනා කලේ.

මාළුවෝ වගේ වතුර ඇතුලේ පිහිනාගෙන යන මිනිස්සු.... වචන වලින් කියන්ට බැරි තරං ලස්සන පාට පාට මාලු ඉන්න පරිසරය... ගිලුණු නැව් තියන ගුප්ත පරිසරය.. මේ වගේ දේවල් පොඩිකාලේ ඉදලා කතන්දර කියවලා විඩියෝ, පින්තූර දැකලා හිත ඇතුලේ සැබවින් විදින්ට ආසාවක් තිබුන දෙයක්...

කොහොම හරි පහුගිය දවසක බුකියේ එහා මෙහා යද්දි scuba diving event එකක් දැකලා ඒකට කතා කරලා විස්තර දැනගත්තා තව ටිකක්. ඒක සංවිධානය කරලා තිබුනේ මාධව කියලා මිතුරෙක්. කොහොම හරි පහුගිය දොළොස්වෙනිදා මටත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුනා උණවටුන මුහුදෙදි.


Scuba කියන්නේ උපකරණ කට්ටලයට- ඒ කිව්වේ වතුර ඇතුලෙදි හුස්ම ගන්න යොදාගන්න උපකරණ කට්ටලයට. ඒක පාවිච්චි කරලා ගැඹුරු ජලයේ කිමිදෙන එකට තමයි Scuba diving   කියන්නේ. වාහනයක් පදවන්න උනත් පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ උපකරණ දා ගත්තා කියලා නිකම්ම මුහුද යට කිමිදෙන්න බැහැ. ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. නැත්තං ඉතිං කියන්ට ඕනේ නෑනේ.
මුලින්ම scuba diving කරන්න යන හැමෝටම ඒ උපකරණ ගැන අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේමයි වතුර යටදි කතා කරන්න බැහැනේ. එතකොට හස්ත මුද්‍රාවෙන් තමයි අදහස් හුවමාරු කර ගන්නේ. ඒ සංඥා ඉගෙන ගන්න එකත් නවකයෙක් කරන්න ඕනේ. හුස්ම ගැනීමට අවශ්‍ය වාතය පුරවපු ටැංකිය පිටේ බැදගෙන ඒකට සම්බන්ධ තවත් උපකරණ සමුහයක් එල්ලගෙන තමයි යන්න තියෙන්නේ. මේ ටැංකියේ තියෙන්නේ අධි සම්පීඩිත සාමන්‍ය වාතය. සාමාන්‍යයෙන් එක් ටැංකියක බාර් 200 ක විතර ප්‍රමාණයක් වාතය තියෙනවා. පැයක් විතර කිමිදෙන්න ඒ ප්‍රමාණවත්.
ගැඹුර හා වායු ප්‍රමාණ මනින මීටර

තමන් ඉන්න ගැඹුර දැනගන්න මීටරය, ටැංකියේ ඉතිරි වායු ප්‍රමාණය දැනගන්න මීටරය කියන මීටර දෙකත් උපකරණ කට්ටලයට අයත්. අපිට මේ උපකරණ කට්ටලය දා ගත්තම හුස්ම ගන්ට වෙන්නේ කටින්. නහය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ ඇස් ආවරණයෙන්. ඇගේ බරින් 10 න් එකක විතර ඊයම් බරු තියන පටියකුත් ඉනේ බැදගන්න වෙනවා. නැත්තං වතුරෙ ගිලෙන්නේ නැතුව යනවා. ඔක්කොම උපකරණ කට්ටලයේ බර කිලො විසිපහකට වැඩිය වැඩියි. ගොඩබිමේදි බර දැනුනට වතුරෙදි නම් පොඩ්ඩක් වත් බර දැනෙන්නේ නැහැ.
නවකයන්ට තනියෙන් කිමිදෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. සැම නවකයෙක් එක්කම සුදුසුකම් ලැබූ පුහුණුකරුවෙක් එක් අයෙකුට එක්කෙනක් ගානේ සම්බන්ධ වෙනවා. එයාලා තමයි අපිව වතුර ඇතුලේ එකතු කරගෙන යන්නේ. පුහුණුකරුවා හැම වෙලාවෙම ලගින්ම ඉන්න හින්ද බය වෙන්න දෙයක් නැහැ.
ගැඹුරට යන්න යන්න පීඩනය වැඩි වෙනවා. එතකොට වෙන දෙයක් තමයි අපේ කන් අගුලු වැටෙන එක. පීඩන සමාන කර ගැනීම සැම මීටරයක්ම ගැඹුරට යනකොට කරන්න වෙන දෙයක්. හදිසියේ වත් කට ඇතුලට දා ගන්න රෙගියුලේටරය ගැලවෙලා ඉවතට ගියොත් නැවත ඒක සවිකරගන්න හැටි වගේම ඇස් ආවරණය ඇතුලට වතුර පිරුනොත් ඒක ඉවත් කර ගන්න ආකාරයත් මුලින් නොගැඹුරු දියේදී පුහුණු කෙරෙනවා. ඊට පස්සේ තමයි බොට්ටුවක නැගිලා ගැඹුරු දියට යන්නේ.  
මූලික පුහුණුව ලබමින්

 මුලින්ම ජැකට් එකට හුලං පුරවලා ටැංකියත් එක්කම ‍බෝටටුවෙන් පසුපසට වැටෙන්න ඹ්නේ. වතුරට වැටුනට ගිලෙන්නේ නැහැ. ඊට පස්සේ ජැකට් එකේ හුලං අඩු කලාම ගිලෙනවා. පුහුණු කරුවා ළග ඉදලා සම්පූර්ණ ගමනම එක්ක යනවා. ඒ යන ගමන් එයත් එක්ක සන්නිවේදනය කරන්නේ හස්ත භාෂාවෙන්.  
මට මුලදි නම් කරකොවලා අතැරියා වගේ වුනා. ඒත් විනාඩි කීපයක් යනකොට මුහුද ඇතුලෙ ලස්සන පේනකොට ඒක බලන්න ඕනේ වුනා. ඒක පුදුම ලෝකයක්. හිතාගන්ට බැරි අපූරු ලෝකයක්. ලස්සන ලස්සන කොරල් පර, පාට පාට මාළුවෝ අතරේ පීනගෙන යනකොට දැනෙන චමත්කාරය වචනයෙන් නම් කියන්න බැරි තරම්. ඒක විඳින්නම ඕනේ. ප්‍රදීප් සර්ගෙන් ඉල්ලගෙන ගිය GoPro කැමරාවෙන් වතුර යටදි පින්තූරත් ගන්න පුළුවන් වුනා. හැබැයි ඉතිං වතුර යට ඉන්න අතරේ කැමරාවක් එක්ක ඔට්ටු වෙන්න තරං පලවෙනි සැරේ හින්ද අමාරු වුනා.  කැමරාවේ Touch screen එක වතුර යටදි වැඩ කරන්නේ නැති වුනා. ආය උඩට ඇවිත් ඒක හදාන යට යනවට වඩා යට ඉදලා බලලා ලස්සන විදින්න හිතුනා. ලස්සන මාලුවො බලන අතරෙම ගිලුනු නැවක කොටස් තියන තැනකට අපිව එක්ක ගියා.

ඔන්න මුහුද යට චමත්කාරය දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් මං මෙන්න මං සම්බන්ධ වුන තැන ලිංකුව. කතා කරලා යන්න පුළුවන්. එක් අයෙක්ට රු 7500 ක විතර මුදලක් එයාලා අය කරනවා මේ හැම පහසුකමක්ම ඒකට ඇතුලත් වෙනවා. හැබැයි ඒ ලබන අත්දැකීම වින්දනය ඒ මුදලට වඩා ගොඩක් වටිනවා.



Wednesday, January 9, 2019

බලන නොබලන දෑස කුමටද?


ඔන්න ඉතිං අවුරුද්දේ අන්තිම නිවාඩුවත් ආවා. විහින්දි මේ නිවාඩුව එනකං මග බලාගෙන හිටියේ. මේ නිවාඩුව එයාට ගොඩක් කැමති එකක් වුනේ ගොඩක් ට්‍රිප් යන්න පුළුවන් හින්දම නෙවෙයි. ඒ තෙනුක මල්ලි එනවා කියලා තිබුන හින්දයි. මල්ලි කිව්වේ එයාගේ පුංචිඅම්මගේ පුතා. එයාලා ඉන්නේ ගොඩක් දුර. මොණරාගල - සියඹලාන්ඩුවේ. මේ නිවාඩුවට ආච්චි ගිහින් මල්ලිව එක්කරගෙන ආවා.
තෙනුක ඉන්නේ හතරේ පන්තියේ. ශිෂ්‍යත්ව විභාගයත් තියෙනවානේ. අක්කට ඕනේ වෙලා තියෙන්නේ මල්ලියාවත් හොදට ශිෂ්‍යත්වේ පාස් වෙන්නයි. ඉතිං සෙල්ලම පැත්තකින් තියලා මල්ලිට පාඩම් කියලා දෙන්න විහින්දි ගොඩක් දවසක ඉදලා ලෑස්ති වෙලයි හිටියේ. තෙනුකත් ගෙදරදි වැඩ කරන්න කිව්වම අම්මට සත්තම දැම්මට අක්කත් එක්ක යස අගේට වැඩ කරනවා.
තෙනුක කොළඹ එන්න කැමති හේතු ගොඩයි. අක්කා එක්ක සෙල්ලං කරන එක වගේම ලොකුතාත්තා එයාව ගොඩක් තැන්වල එක්ක යනවා කියලත් එයා දන්නවා. නිවාඩු කාලේ යන ට්‍රිප් ගැන අක්කා එයාට කියලා තියනවානේ.
"ලොකු තාත්තා.. අපි කොහේ යන්නේ..." තෙනුක එයාලගේ බාසාවෙන් ම කතා කලා
"කොහෙද යන්ට ඕනේ? ලොකු තාත්තලාගේ ගමේ යනවා නුවර. අනිද්දා.. එහේ මල්ලියි නංගියි ඉන්නවා. හතර දෙනාටම ඇති වෙනකං නටන්ට පුළුවන්නේ.  හා ද?"
"හා. ලොකු තාත්තා, එහේ විතරයි යන්නේ?"
"හරි හරී... යනකොට එනකොට කොහොමත් තව ගොඩක් තැන් වලට යනවා. යන ගමන් බලන කොටුව බලන්ට යමු"

"ඈ.... බලන කොටුවට යනවද? ෂෝක්නේ.... " විහින්දි උඩ පැනගෙන ආවා.
"අක්කා.., ඒ මොකක්? කොහේ තියෙන්නේ... ? "
"බලන කියන්නේ මුර කපොල්ලක්. ඒ කියන්නේ රජ කාලේ ආමි චෙක් පොයින්ට් එකක් තිබ්බ තැනක්. උඩරට ආරක්ෂාවට ගොඩක් වැදගත් වෙච්ච බලකොටුවක් තමයි බලන කොටුව. ගිහින්ම බලමුකො. ..."


කොළඹ නුවර පාරේ කඩුගන්නාවෙන් හැරිලා පොත්තපිටිය පාරේ කිලෝමීටර පහක් විතර ගියාම බලන කොටුවට යන්න  පුළුවන්. මේක මුලින්ම හදලා තියෙන්නේ පළවෙනි විමලධර්මසූරිය රජතුමා කියලා තමයි කියන්නේ. කන්ද උඩරටට පිවිසෙන මාර්ගයේ තිබුන ප්‍රධානම බලකොටුවක් තමයි මේ. සතුරන්ට උඩරට ආක්‍රමණය කරන්නට අසීරු වුන ප්‍රධාන හේතුවක් ලෙසටත් මේ බලකොටුව හදුන්වන්න පුළුවන්.  උඩරටට පිවිසෙන මාර්ගයේ බලන ගිරි දුර්ගය ට ඉහලින් කදු මුදුනේ තමයි මෙම බලකොටුව තියෙන්නේ. ඉතිං ගිරි දුර්ගය හරහා එන සතුරන්ට මේ ස්ථානයේ දි තනිකරම ගරිල්ලා ප්‍රහාර තමයි එල්ල වුනේ. ඉහල සිට මහා ගල් පර්වත පෙරලන එක, බාගෙට කපලා තියන ගස් සතුරා මතට පෙරලන එක වගේ උඩරටට ආවේනික ගරිල්ලා ප්‍රහාර හින්දා සතුරන්ට ලෙහෙසියෙන් පරද්දන්න බැරිවුන බලකොටුවක් වුනා.



විහින්දි එයා දන්න දේවලුයි ගූගල් කරලා ඉගෙන ගත්තු තවත් දේවලුයි ගොඩක් දේ මල්ලිට කියලා දුන්නා.
එතන්ට ගියාම අවට ඇති කඳු පන්ති බොහොමයක්ම පැහැදිලිව දකින්නට පුළුවන්. ඒ වගේම බොහෝ ඈත ට පහත් බිම් ද දකින්නට පුළුවන්.  ආරක්ෂක බල කොටුවකට එතන කොයි තරම්ම ගැලපෙනවද කියලා එතන්ට ගිහින් වටපිට බලනකොට හිතා ගන් න පුළුවන්.  

බලක කොටුව අද වන විට සංරක්ෂණය කරලා තියෙනවා. ඒ තැන ඉදිරි පරම්පරාවටත් දකින්නට ඉතිරි කරන එක බලන්නට යන හැමෝගෙම වගකීමක්.