Saturday, December 25, 2021

විමලේ අයියා

එදා ඉස්කෝලේ ගිහින් ගෙදර එනකොට ඇවිල්ලා තිබුන රුපියල් හත්දහස් හත්සීයක වතුර බිල දැකලා ඔලුව කොලොප්පන් වෙලා හිටිය මං කරන්නට දෙයක් නැතිව කල්පනා කර කර හිටියේ. ගෙදර ඔක්කොම ටැප් වැහුවත් එක දිගට මීටරේ කැරකෙනවා කියලා දැක්කේ ඒක බැලුවම. ඒ කියන්නේ ගෙදර කොහේ හරි වතුර කාන්දුවක් තියෙකවා.

වැඩේ තියෙන්නේ අපිට මිදුලක් කියලා හරියට නෑ. තියෙන ටිතත් කොන්ක්‍රිට් කරලයි තියෙන්නේ. වතුර බට කොහෙන් කොහාට යනවද කියලා දෙයියෝ තමයි දන්න්. සැක කරන්ට තැන් තුනක් විතර තියෙනවා. එක තැනක දෙහි ගහක් තියෙනවා. තව තැනක අලිපේර ගහක් තියෙනවා. අනිත් තැන තමයි කුස්සියේ සින්ක් එකේ වතුර යන බට ලයන් එක තියන ටික. මොකද එතන කොන්ක්‍රිට් එක බොල් වෙලා. යටින් මීයෝ හාරලා වගේ. ඒ ඔක්කොමත් හරි නාන කාමරේ යට කොහේ හරි බටයක් කැඩිලා නම්.

මම යකඩ ඉන්නක් අරන් කුස්සියේ ඉදුල් වතුර යන බටය තියෙන තැන පොලව කැඩුවා. මට ඉස්මුරුත්තාව හැදුනේ දැකපු දේට. කුස්සියේ ඉදුල් වතුර ඔක්කොම වලට යන්නේ නැතිව උතුරලා ගිහින් මීයෝ හාරපු වලවල් වලට යනවා. ආපු කුණු ගඳට මට ඔක්කාරෙට වාගේ ආවා. මම ඒක ආපහු වහලා දාලා පැත්තකට වුනා. දැන් ඉතින් මේ අවුල ලිහාගන්ට කවුරු හරි හොයාගන්ට කියලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදලා බැලුවා. කඩේ පැත්තට ගිහින් බැලුවා. කවුරුත් හොයාගන්ට බැරිවුනා.

වෙලාව හවස හතට විතර ඇති.  කවුදෝ ගේට්ටුවට තට්ටු කරන සද්දයක් ඇහිලා ගිහින් දොර ඇරලා බලන කොට විමලේ අයියා. විමලේ අයියා ඇවිත් තියෙන්නේ හවස මම හැමතැනම කවුරු හරි හොය හොය ගියා කියලා කවුරු හරි කියපු පණිවුඩේකට.

විමලේ අයියා අපිට වෙලා තිබ්බ අකරතැබ්බය බැලුවා. හරි මං වැඩේ කරලා දෙන්නම්. එයා කිව්වා.

“දවසේ කුලිය කීයද?” මම ඇහුවා.

“අරහේ නං තුන්දාහක් දෙනවා”

“හරි. හෙට උදේම එන්ටකෝ”  පහුවදා ඉස්කොල නිවාඩු හින්දා කොහොම හරි මේ ප්‍රශ්නේ ඉවරකර ගන්ට ඔනේ හන්දා මං කිව්වා.

“මල්ලි මට රුපියල් දාහක් දෙන්න පුලුවන්ද?”

විමලේ අයියාගේ මූන දිහා හිනා වෙලා බැලුව මම රුපියල් දාහක් එයාගේ අතේ තිබ්බා. ඒ රුපියල් දාහ මොකටද කියලා මං දන්නවා. විමලේ අයියා කියන්නේ කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. කුඩු පැකට් එකක ගාන තමයි එයා ඉල්ලුවේ.

පහුවදා උදේම ATM එකට ගිහ මං රුපියල් දහදාහක්ම අරන් ආවේ මේ වැඩේ කොහෙන් කවදා කෙළවර කරගන්ට පුලුවන් වෙයිද දන්නෙ නැති හන්දා. උදේ හතහමාර වෙනකොටම විමලේ අයියා අපේ ගෙදර.

“අපි කොකටත් දෙහි ගහ යට ඉස්සරලම බලලා ඉමු”

“මාත් ඒක තමයි හිතුවේ. හැබැයි ඔතනින් බට දෙකක් යනවා මං හිතන විදියට. පරෙස්සමෙන් හාරන්න වෙයි.”



උදලු තල දෙකතුනක් හාරපු විමලේ අයියා හෙමීට මගේ ලගට ඇවිත්,


“මල්ලී, රුපියල් දාහක් දෙන්න පුලුවන්ද?”

“ආ.. මං හිතුවේ ඊයේ දාහක් ඉල්ලන් ගියේ උදේට වෙන්න ඇති කියලානේ.”

“ඒක ගෙදර යනකොටත් ඉවරයි” විමලේ අයියා හිනා වෙලා කිව්වා.

මගෙන් රුපියල් දාහක් ඉල්ලා ගත්ත විමලේ අයියා මං ඉක්මනට කනත්ත පල්ලෙහාට ගිහින් එන්නං කියලා පිටත් වුනා. මිනිහා විනාඩි පහළොවකින් විතර ආපහු ආවා. ආපු වෙලාවෙ ඉදලා මෙන්න යකා වගේ වැඩ. මෙන්න පැයක් යන්ටත් කලින් වතුර ලීක් වෙන තැන හොයාගෙන. මට කියලා බටයි ඒ කැලි බැලි ටික ගෙන්නගෙන ලීක් එක හැදුවා. මුල් හින්දා බටේ ඇදවෙලා අලවලා තිබුන තැන් දෙකකින් ගැලවිලා තිබුනේ.

ඊළගට එයා අත ගැහුවේ කුස්සියේ ඉදුල් වතුර යන ලයින් එකේ ලීක් එක හදන්න. අපිට නහය වහගෙන වත් යන්න බැරි වෙන තැන කොන්ක්‍රිට් එක කඩලා ඔක්කොම සුද්ද කරලා බට කැඩුන ඒවා හදලා හවස එක වෙනකොට සම්පූර්ණයෙන්ම කොන්ක්‍රිට් කරලාත් ඉවරවුනා. දැන් ඉතිං මේ මනුස්සටයාට තව වැඩ ඔනේ. ඉස්සරහ රෝලර් ගේට්ටුව දාන වේලේ තාප්පේ කොටසක් කඩන්න වුනා. මං ඇහුවා එතන කොන්ක්‍රිට් කරමුද කියලා. අඩි අටක විතර උසට තීරුවක් දාන්න තිබුනේ. දවල්ට කාලා වැඩේ පටන් ගත්තු කෙනා දෙක හමාර විතර වෙනකොට මෙන්න ඒකත් කරලා ඉවරයි. වටපිට බැලුවම තව කපරාදු කරපු නැති තාප්ප කෑල්ලක් තිබුනා. මං ඇහුවා ඒකත් කපරාදු කරමුද කියලා. හරි කරමු කියපු විමලේ අයියා ලගට ඇවිල්ලා

“රුපියල් දාහක් දෙන්න පුලුවන් ද?”

“එතකොට ඔයාට දෙන්න තියන ගාන හරි නේද?”දාහේ කොලයක් අතේ තියන ගමන් මම ඇහුවා

“හරි හරි.. මං පොඩ්ඩක් කනත්ත පල්ලෙහට ගිහින් එන්නම්කෝ” කියපු විමලේ අයියා විනාඩි පහළොවකින් විතර ඇවිත් ඒ ටිකත් කපරාදු කරලා ඉවර කලා හවස පහ විතර වෙද්දී.  කොහොම හරි මේසෙන් බාස්උන්නැහැ කෙනෙකුයි ගෝලයෙකුයි දෙන්නෙක් එකතු වෙලා දවස් දෙකක් කරන වැඩක් මේ මනුස්සයා තනියෙන් එක දවසින් කලා.

වැඩ කරපු තැන් හැම එකක්ම ලස්සනට අස් කලා. අතුගෑවා. ගත්තු උදැල්ලේ ඉදලාම හේදුවා. පිරිසිදු කලා.

“මං එහෙනං ගිහින් එන්නම්.”

තව රුපියල් සීයෙ කොල තුනක් නවලා මං විමලේ අයියගේ අතේ තිබ්බා.

අපිට අනාගතයක් දීලා විමලේ අයියා එයාගේ එදා දවස ගත කරලා යන්න ගියා.

විමලේ අයියා කියන්නේ දරුවො තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්.



Friday, September 3, 2021

මල්වතු අනු නා හිමිට පිළිතුරු ලිපියක්.




                                                                                                                        2021/09/02

අති පූජ්‍ය මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමින් වහන්සේ වෙත

මල්වතු මහා විහාරය

මහනුවර

 

ගරුතර අනනායක හාමුදුරුවන් වහන්ස,

2021 සැප්තැම්බර් මස දෙවන දින ඔබ වහන්සේ විසින් වැඩ වර්ජන අත්හරින ලෙස ගුරුවරුන්ගෙන් ජන මාධ්‍ය හරහා සිදුකල ඉල්ලීමට පිළිතුරු ලෙස ලියමි.

ඔබ වහන්සේ විසින් වැඩ වර්ජන අතහැර දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වන ලෙසට විවෘත ඉල්ලිමක් කරන ලදි. එම ඉල්ලීම වෙනුවෙන් ගුරුවරයෙක් වශයෙන් මාගේ පිළිතුර ඔබ වහන්සේ වෙත මෙසේ ලිපියකින් ඉදිරිපත් කරමි.

මුලින්ම වැඩවර්ජනයක් යන්න මේ සදහා සුදුසු වචනයක් දැයි මා හට ගැටලුවකි. වැඩ වර්ජනයක් සිදුවීමට නම් රාජකාරි පැහැර හැරිමක් සිදු විය යුතු වන්නේය. එහෙත් මේ අවස්ථාවේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස ගුරුවරු වෙත විධිමත් රාජකාරිමය පැවරීමක් සිදුවී නොමැති බව ඔබ වහන්සේ නොදන්නවා ඇතැයි සිතමි. එබැවින් මේ වන විට සිදුව ඇත්තේ ගුරුවරුන් විසින් තම තමන්ගේ හැකි අයුරින් ස්වෙච්ඡාවෙන් සිදුකල ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් වීමක් පමණී. එය තුල කිසිම රාජකාරි පැහැරහැරිමක් නොමැතිය

එසේම ඔන්ලයින් ඉගැන්වීමට කැමැත්තක් දක්වන ගුරුවරයෙක් වශයෙන් මා හට මෙවැනි ගැටලු රාශියක් ඇත.

ඉගැන්වීම සදහා මා විසින් භාවිතා කල යුතු මෘදුකාංගය කුමක්ද? ඉගැනුම් ඉගැන්වීම් පද්ධතියක් සදහා භාවිතා කල හැකි විවිධ මෘදුකාංග පද්ධති මේ වන විට ඇති අතර විවිධ ගුරුවරු විවිධ මෘදුකාංග භාවිතා කරන්නට ගියහොත් එයින් අසහනයට පත්වන්නේ දරුවන්ය. එබැවින් ඒ සදහා පොදු පද්ධතියක් තිබිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යංශය හෝ වෙනත් අධ්‍යාපන බලධාරියෙක් විසින් එවැන්නක් මේ වන තෙක් නිර්දේශ කර නැත. එසේම එවැනි පද්ධතියක් වේ නම් එය රජය මගින් සපයා දිය යුතු වන්නේය. නැතහොත් ගුරුවරුන්ට එවැන්නක් මිලදි ගෙන තමන්ගේ ඉගැන්වීමේ කටයුතු සදහා භාවිතා කිරිමට හැකියාවක් නැත්තේය. මේ වන තෙක් එවැනි කිසිම දෙයක් සිදුවී නොමැත්තේය.

ඒසෙම ඔන්ලයින් උගන්වනවා යන්න කිසිම ආකාරයට මා හට පැහැදිලි කර ගැනිම අපහසුය. මා කොපමණ කාලයක් උගන්වනවාද? එක් එක් විෂයක් ඉගැන්විය යුතු කාලය කොපමණද? ඉගැන්විම සිදු කරන්නේ කුමන වේලාවේද වැනි කාරණා පැහැදිලි කර ගත යුතුව ඇත. සමහර ගුරුවරු මහ රැ දොලහ පමණ වන තෙක් ඉගැන්විම් සිදු කරන අතර සමහර ගුරුවරු පාන්දර හතරේ පමණ සිට ඉගැන්වීමට පටන් ගතහොත් එය දරුවන්ට මහත් ගැටලුවකි. සමහර ගුරුවරු සතියකට පැය බාගයක් පැයක් උගන්වන අතරෙ සමහර ගුරුවරු සතියට පැය පහක් හයක් උගන්වති. හැම ගුරුවරයෙක්ම පැය හයක් බැගින් උගන්වන්නට ගියහොත් සතියටක පැය ගණන ප්‍රමාණවත් නොවනු ඇත. එසේම ආවරණය කරන විෂය නිර්දේශයේ කොටසක්ද? නැත්හොත් සියල්ලමද?  එබැවින් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය ඇත. එවැනි දේවල් සිදුකල යුත්තේ අධ්‍යාපන බලධාරින් විසිනි.

ඊලග කාරණය අප විසින් භාවිතා කරන උපකරණ පිලිබදවයි. ඔන්ලයින් ඉගැන්වීමට භාවිතා කල යුතු ජංගම දුරකතන, පරිගණක වැනි උපකරණ ඉතා මිල අධික භාණ්ඩ වෙයි. දැනට ගුරුවරුන් විසින් තම පුද්ගලික භාවිතයට ගන්නා යම් උපකරණ සීමිත පිරිසක් ලග තිබුනද ඒවා දිගු කාලිනව භාවිතයට ගැනිම නිසා කැඩි බිදි යාමට ඉඩ වැඩිය. එවැනි විටකද කල යුතු දේ පිලිබදව ගැටලුවක් පවති. උපකරණ මිලදි ගැනිම කෙසේ වෙතත් තමන්ගේ පුද්ගලික උපකරණ භාවිතා කරන විට ඒවායේ නඩත්තු වියදමට වත් යම් දීමනාවක් ලැබිය යුතු යැයි මම සිතමි. ගුරුවරයෙකුගේ ඉතා සුලු වැටුපෙන් ඒවා සිදුකිරිම අපහසු බැවිනි.

එසේම ගුරුවරු බොහෝ දෙනෙක් තාක්ෂණය සම්බන්ධයෙන් අවම දැනුමක් සහිත අය වෙත්. ඔවුනට අදාල මෘදුකාංග සමග කටයුතු කල හැකි ආකාරය පුහුණුව ලබා දීමද වැදගත් වනේනේය. එවැන්නක්ද මේ වන තෙක් සිදුවි නොමැත්තේය.

වැදගත්ම කාරණය වන්නේ මෙයයි. මේ හැම උත්සහයක්ම ගන්නේ දරුවන් වෙනුවෙනි. මෙම ඉගැන්වීමේ කටයුතු සදහා දරුවන් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න ලොකුම ගැටලුවකි. රජයම කියන පරිදි ඔන්ලයින් අධ්‍යාපනට පහසුකම් ඇත්තේ රටේ දරුවන්ගෙන් සියයට හතලිහකට පමණී. එසේ වන විට එම පහසුකම් නොමැති ඉතිරි සියයට හැටක් වන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද?

දහතුන් අවුරුදු අඛන්ඩ අනිවාර්ය අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන්නේ යැයි උදම් අනන ආණ්ඩුවක් තිබුනද මෙම ගැටලු සහගත අවස්ථාවේදි රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස ගත් එකදු ක්‍රියාමාර්ගයක් නැත්තේය.

ගරුතර අනු නායක හාමුදුරුවන් වහන්ස,

මා විසින් ඉහතින් ඇති ගැටලු ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට හේතුව එම ගැටලු ඉදිරිපත් කරන්නට බලධාරියෙක් නොමැති හේතුවෙනි. කිසිදු බලධරියෙක් එම ගැටලු වලට පිලිතුරු මේ දක්වා ඉදිරිපත් කර නොමැත. ඔබ වහන්සේ ගුරුවරුන් වන අපගෙන් ඉගැන්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටින බැවින්, අප විමසා සිටින්නේ එම ඉගැන්විම සිදුකල යුතු ආකාරයයි. ඔබ වහන්සේ එම කාරණාවන්ද අදාල බලධාරින්ගෙන් විමසා හෝ  අද ආකාරයටම විවෘත ජන මාධ්‍යයයෙන් අපව දැනුවත් කරන මෙන් ඉල්ලමි.   

ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් බෞද්ධ සාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරිමට වාසනාව ලැබේවා.

මෙයට

ඉගැන්විමට කැමැත්තෙන් සිටින ගුරුවරයෙක්.


Monday, August 30, 2021

නැවතත් වැඩවසම් යුගයකට.

මා දන්නා ආර්ථික විද්යාවක් නැත්තේය. ඒත් මේ යන විදිය බලන් ඉන්න මට එක එක බහුබූත දේවල් හිතට එන්නේය.

මේ යන විදියට කෙරෙන්නේ රටේ සල්ලි එක තැනකට ගොඩ ගැසෙන එකයි. ඒකෙන් වෙන්නේ ඇති නැති පරතරය වැඩි වෙන එකයි. ඒක එන්න එන්නම වැඩි වෙනවායි.
එක්කෙනෙකුට ආනයනය කරන්න දුන්නම ඒකේ ලාබය කුට්ටිය පිටින්ම එයාට යනවානේ. එතන සල්ලි එකතු වෙනවා.

මට මතක් වුනේ අර පාසල් නිල ඇදුම් දෙන්න කූපන් එකක් දුන්න වැඩේ. ඇත්තටම ඒක රටකට කොච්චර හොද දෙයක්ද කියලා දැන් තේරෙනවා. ඒ කියන්නේ රටේ සල්ලි රට පුරා විසිරෙන එක.
අධ්‍යාපනය ගැන හිතුවොත් දැන් වෙන්නෙත් ඒකම තමයි. ඇති එකා හොදටම ඉගෙන ගන්නවා. නැති එකාට මොකවත්ම නැති වෙනවා. ඇත්තටම කිව්වොත් ගුරුවර්ජනය නිසා වෙච්ච හරියක් නැ. මොකද ඔන්ලයන් ඉස්කෝල වලට ආවේ 40%ක් විතර ලමයි. ඒ යමක් තියෙන කරගන්න පුලුවන් අය. මේ වෙනකොට එයාලගේ අධ්‍යාපනය කොහොමත් කෙරෙනවා. ටියුෂන් පන්ති වලින්. අර 60% ට තමයි මොකවත්ම නැති වෙලා තියෙන්නේ.
රජයේ ප්‍රතිපත්ති වලින් කෙරෙන්නේ ඇති නැති පරතරය වැඩි කරන එක. ඒක වැඩි වෙලා වැඩි වෙලා ගියාම වෙන්නේ ආයෙම වැඩවසම් ක්‍රමයක් ඇති වෙන එක තමයි. මේක ධනවාදය නෙවෙයි. රදලවාදය කිව්වොත් හරි.
තවත් එකක් තමයි, ඔය රජකාලේ හිටියා නේද රදළ කියල කොටසක්. හොදට හොයල බැලුවොත් දැන් කාලේ දේශපාලනය කරන්නේ බහුතරයක්ම ඔය රදළ පෙලපත් වලින් පැවතගෙන එන අය තමයි.
ඉතිං මං ඒකට රදළවාදය කියලා කියන එක වැරදි ද දන්නේ නැහැ.
ඔන්න ඉතිං මං ජෙප්පෙක් කියලා ලේබල් ගහන්න එපා හරිද? මට ඔකුන්ව පෙන්නන්ට බෑ

Monday, August 9, 2021

අධ්‍යාපන ලේකම් ට පිළිතුරු ලිපියක්

මම විදුහල්පති වරයෙක් වුනා නම් අධ්යාපන ලේකම් එවපු මේ ලියුමට මෙහෙම උත්තරයක් රාජකාරි ලිපි ශීර්ෂය යටතේ යවනවා.



ගරු අධ්යාපන ලේකම් තුමනි,
ඔබගේ....... දරණ ...... දිනැති ලිපියට පිළිතුරු වශයෙනි,
ඔබගේ ලිපිය තුලින් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීම කරනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන බව සදහන් කර ඇත. කරුණාකර ඒ පිලිබදව තවදුරටත් පැහැදිලි කර ගත යුතුව ඇත.
මා විදුහල්පති වරයෙක් වශයෙන් ඔන්ලයින් ඉගැන්වීම පිලිබදව පුහුණුවක් ලබා නැත. එබැවින් එම කටයුතු සිදුකලයුතු ආකාරය පිලිබදව ක්රමවේදයක් අධ්යාපන අමාත්යාශයෙන් ලබා දෙන්නේ නම් ඒ අනුව ක්රියාත්මක විය හැකිය.
ඔන්ලයින් ඉගැන්වීම සදහා විවිධ මෘදුකාංග ඇත. පාසැල් කටයුතු සදහා ඔබ විසින් නිර්දේශ කරනු ලබන මෘදුකාංගය කුමක්ද? එම මෘදුකාංගයේ බලපත්ර සහිත පිටපතක් අධ්යාපන අමාත්යාංශය මගින් අප පාසලට ලබාදෙන්නේද? එය අප ලබා ගන්නේ කෙසේද?
අපගේ පාසැලේ බොහොමයක් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම ක්රමවත්ව සිදුකරන ආකාරය පිලිබද දැනුම අඩු මට්ටමක සිටි. ඔවුන්ට ඒ පිළිබදව විධිමත් පුහුණුවක් ලබාගත හැකි ක්රමවේදයක් අධ්යාපන අමාත්යංශය හරහා ක්රියාත්මක වන්නේද? එසේ නම් එම පුහුණුවට මාගේ පාසැලේ ගුරවරුන්ව සම්බන්ධ කර ගන්නේ කෙසේද? මේ දක්වා එවැනි පුහුණුවක් සිදුකරන බවට මා හට දැනුවත් වී නැත.
අපගේ පාසැලේ සිට දරුවන්ට ඔන්ලයින් ඉගැන්විම සදහා ප්රමාණවත් පහසුකම් නොමැත. එබැවින් ගුරුවරුන්ට තම නිවසේ සිට රාජකාරි සිදු කල යුතුව ඇත. එහෙත් ඒ සදහා ඔවුනට ප්රමාණවත් පහසුකම් නොමැති බව ඔවුන් විසින් මා හට දැනුවත් කර ඇත. ඔවුන්ගේ පුද්ගලික භාවිතටය ඇති දුරකතන හෝ පරිගණක මේ සදහා භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිමට මා හට සදාචාරාත්මක අයිතියක් නැත. ඔවුනට ඔවුන්ගේ පුද්ගලික උපකරණ භාවිතා කරන්නේ නම් ඒ වෙනුවෙන් යම් දීමනාවක් හෝ ලබා දෙන්නේ නම් ඔවුනට රාජකාරිමය පැවරීමක් කිරිමට මා හට හැකියාවක් ඇත.
පාසල යනු විෂය දැනුම ලබාදෙන ආයතනයක් පමණක් නොවන බව ඔබ තුමා දන්නා කරුණකි. පාසල තුල සිදුකරන ලබන විෂය බාහිර කටයුතු පිලිබද අධ්යාපන අමාත්යංශය මගින් ගෙන ඇති පියවර කුමක්ද? මාර්ගගතව සිදුකල හැකි ක්රියාකාරකම් පිලිබදව ඔබ විසින් කරනු ලබන යෝජනා මොනවාද?
තවද අප පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් බහුතරයක් ඔන්ලයින් අධ්යාපන කටයුතු සදහා සම්බන්ධ වීමට ක්රමවේදයක් නොමැති පිරිස් වේ. එම දරුවන් වෙනුවෙන් සිදුකිරිමට ඔබ විසින් යෝජනා කරනු ලබන වැඩපිලිවෙල කුමක්ද?
ගරු ලේකම් තුමනි, මෙම කාල සීමාව අප විසින් වෘත්තිය ක්රියාමාර්ග වල නිරත වන කාලයකි. ඒ පිලිබදව වෘත්තිය සමිති මගින් ඔබතුමාව දැනුවත් කර ඇත. ඔබ තුමා විසින් මේ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ක්රමවේද වෘත්තිය ක්රියාමාර්ග වලින් ඉවත් වූ දිනක සිට ක්රියාත්මක කරන බවද දන්වමි. ස්තුතියි.
පිටපත්-
• විදුහලේ සියලුම අධ්යයන අනධ්යනය කාර්ය මණ්ඩලයට
• දෙමාපියන්ට

Thursday, August 5, 2021

දොස්තරගේ තැනට ගියෙමි

පහුගිය දොහක මගේ තාත්තාට මුත්තරා අඩස්සියක් හැදිලා හොදටම අමාරු වෙලා ගමේ ඉස්පිරිතාලෙට ගිහින් එතනින් බැරිතැන නුවර මහ ඉස්පිරිතාලෙට ගිහින් නතර කලා. ඉතිං එතන්දි බටයක් දාලා පහුවදා ටකට් කපාලා ගෙදර එව්වා ඉලග සතියේ ක්ලිනික් එකට එන්ට කියාලා. ඉතිං මං කියපු දාට තාත්තවත් එක්කං ගියා ක්ලිනික් එකට. එයාව යි අම්මවයි කාර් එකේ තියලා මම ගියා නොම්බරයක් අරන් පෝලිමේ ඉදලා වෙලාව ලං වුනාම එක්කන් යන්නං කියලා.


පිස්සු හැදිලා තවත් ටිකක් වෙන්නට මට හිතුනා. මං යනකොටත් පෝලිම දිගය. මිසී ඇවිත් කොලකැලි බලලා කොන්ක්රිට් බංකුවක වාඩි කරවනවාය. ලෙඩ්ඩු වැඩිය. දැං මීටරය අඩිය විය. අඩිය සෙන්ටිමිටරය විය. ටිකකින් බංකුවේ කට්ටිය ඔඩොක්කු වල වාඩි වෙන තරමට සෙනගය. මිසිට ගානක් වත් නැතිව තවත් එහාට වෙන්නට කියා වාඩි කරනවාය.
තාත්තාව නවය හමාරට විතර එක්කන් එන්නට කියා මිසි මට කීවාය. එයාව එතන පඩිපෙලෙන් එක්කන් එන්නට අමාරු හන්දා වාට්ටුව ඇතුලින් එක්කන් ඇවිත් කාමරය අසලින් නතර කරගන්නට යැයිද කීවාය. ඉතිං මං එ වෙලාවට තාත්තව වාට්ටුව මැද්දෙන් එක්නං ඇවිත් දොර ගාවට කිට්ටු කරගෙන පුටුවක වාඩි කරගෙන සිටියා. තවත් ගොඩක් ලෙඩ්ඩු ඒ විදියට එක්කන් ඇවිත් හිටිය.
පැයක් දෙකක් ගියා. තාම නං කතා කරන්නේ නැහැ. කලින් ඇවිත් හිටපු ලෙඩ්ඩුත් ඇතුලට ගත්තා ටික ටික. එකපාරටම එතටන අවා නර්ස් මහත්තයෙක්. කෝ මෙතන ඉන්න ඇන්ටිජන් කරන්න ආව ලෙඩ්ඩු දෙන්න කියලා ඇහුවා. පිස්සු හැදෙයි. තාත්තා හිටපු තැනට එහා බංකුවේ ඇන්ටිජන් කරන ලෙඩ්ඩු දෙන්නෙකි. ඒ නර්ස් මහත්තයා එයාලා එක්ක කතා බහ කරලා එහෙම කාමරයක් ඇතුලට ගිහින් අර හදේ යන කිට ගහන් ඇවිත් එයාලව එක්කන් ගිහින් ටෙස්ට් කරලා යැව්වා. එයාලා හිටපු බංකුවේ තව ලෙඩ්ඩු වාඩිවෙලා හිටියා. කාටවත් ගානක් නැහැ. පස්සේ ආරංචි වුනා එකම වාට්ටුවේ කොරෝනා පොසිටිව් අයයි නැති අයයි දෙකම ඉන්නවා කියලත්. ඇත්තද දන්නේ නැහැ.
කොහොම හරි දොළහ හමාරට විතර තාත්තව පරික්ෂා කලා දොස්තර මහත්තයෙක්. ඊට පස්සේ සති දෙකකට බෙහෙත් දීලා තියනවා. සති දෙකකින් බටේ ගලවනවා. එතකොට හොදවෙලා තිබුනේ නැත්නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා එව්වා.
ඉස්පිරිතාලේ බෙහෙත් තිබ්බේ නැති හන්දා පාමසියෙන් බෙහෙත් අරගෙන අපි ගෙදර ආවා. සතියකින් ඇක්රේ එකකුත් ගන්න තියෙන හින්දා ඊලග සතියේ තමයි මම ගෙදර ගියේ ආයේ. බෙහෙත් ඉවරයිනේ පුතේ කියනකොට මම උඩ ගියා. රැට විතරක් ගන්න තිබුන පෙති උදේ හවස අරගෙන. ඩබල් ඩෝස්. දැන් මොනවා කරන්නද? දොස්තරටම තමයි කියන්න ඔනේ. දොස්තර මහත්තයා ප්රයිවට් චැනල් කරන්න බැලුවම මේ ටිකේම නිවාඩුලු. ඉතිං ඒ දේම කරන තවත් දොස්තර මහත්තයෙක් බලලා එයාව චැනල් කලා.
දොස්තර මහත්තයා ලෙඩාගේ විස්තර අහලා එයාගේ කොම්පියුටරේ ගහගත්තා. ඊට පස්සේ කිව්වා මේ බටේ ගලවන්න වෙන්නේ ඔපරේෂන් එකකින්. ලක්ෂ එකහමාරක් දෙකක් යයි. කොහෙද කරන්නේ ආසිරි කරනවාද? සුවසෙවනේ කරනවාද? කියලා ඇහුවා. මම කිව්වා මම මම ලෙඩා එක්ක ආවේ බෙහෙත් වැරදිලා දෙගුණයක් පෙවිලා හින්දා මොකද කරන්නේ කියලා අහන්නයි කියලා. ඒක ප්රශ්නයක් නැහැ කිව්වා. ඊලගට මොකද කරන්නේ කියලා මගෙන් ඇහුවා.
හොද වෙලාවට මම වාහනේ යතුර කරකව කරකව නෙවෙයි ගියේ. මං බොහොම අහිංසක විදියට ඇහුවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරගන්න බැරිවෙයිද කියලා. ඉන්ට මං ලියුමක් දෙන්නම් කියලා දඩබඩ ගාලා ටයිප් කරලා ලියුමක් දුන්නා. ඕක ඇරන් එයාගේ කිලිනික් එන්න. එතන්දි ටෙස්ට් එකක් කරලා බලලා ඔනෙ වුනොත් විතරක් ඔපරේෂන් කරනවාලු.
ප්රයිවට් එකේ කිසි කතාවක් නැතිව කපන දොස්තර ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙදි ටෙස්ට් කරලාලු කපන්නේ.
කොහොම හරි බෙහෙත ඩබල් බිව්ව එක මොකද දොස්තර මහත්තයෝ. ඒක අවුලක් නැහැ. ආයේ බෙහෙත් බොන්න එපා. වැඩක් නැහැ. කිව්වා.
මම හා කියලා ආවා.
ඊලග සතියේ මම ගෙදර ගියේ දොස්තර කියපු සල්ලි ටිකත් ලැහැස්ති කරගෙන මොනවා වුනත් කියලා.
මල්ලිව උදෙන්ම පිටත් කලේ නොම්බරයක් ගන්න. එයා හතරවෙනි නොම්බරේ අරගෙන. අපි වෙලාවට ගියා. ඒත් අටට එන දොස්තර ආවේ නවයහමාරට. වෙනදා දොස්තරලා පහක් හයක් ඉන්න තැන එක දොස්තර නොනෙක් විතරයි. තාත්තව බලලා කිව්වා. අපි බටේ ගලවමු. වතුර ටිකක් වැඩිපුර බොන්නකෝ. ගැටලුවක් නැතිව මුත්රා පිටවුනොත් යන්න පුලුවන් කියලා. ඉතිං තාත්තගේ බටේ ගැලෙව්වා නරස් මහත්තයෙක්. එයාට හොදට වතුර බොන්න දුන්නා. පැයක් විතර යනකොට තාත්තට මුත්රා බර හැදුනා. කිසි ගැටලුවක් නැහැ. වැඩේ හරි. අර කියපු පරික්ෂනත් නැහැ. ඔපරේෂනුත් නැහැ.
සල්ලි ගන්න අවුරුදු අසූවක් වයස මගේ තාත්තව කපන්න ගිය දොස්තරට පින් අනුමෝදන් කරලා එතනින් එන්න ලැස්ති වුනා.
කොහොම හරි ඒ ඉවර වෙනකොට දොස්තර නෝනත් නැහැ. එයා ලෙඩ්ඩු දහයක් විතර බලලා ගිහින්. මිසි නෝනා අනික් ලෙඩ්ඩුන්ට වෙන දින දිලා ආපහු යවනවා.
අනික් දොස්තරලාට කොවිඩ් පොසිටිව්ලු. වැඩකරන අයගෙන් බාගෙට බාගයක් පොසිටිව්ලු.
අනේ මන්දා- වෙන ලෙඩවලට ආපු ලෙඩ්ඩු කි දෙනෙක් පොසිටිව් ඇද්ද දන්නේ නැහැ.

Sunday, July 25, 2021

ආදරණීය ගුරුවරුනි, රටක අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා

ආදරණීය ගුරුවරුනි, ඔබ පාසැල් ගුරුවරයෙක් විදියට කරන්න තියන වැඩ රාජකාරි තියෙනවා. පාසලක් හැදිලා තියන ක්‍රමවේද තියෙනවා. ඔබට වැඩ කරන්න තියෙන්නේ ඒ ක්‍රමවේද වලට අනුව. එතනදි ඔබට හිතුන හිතුන දේවල් කරන්න බැහැ. ඔබට හිතුන හිතුන වෙලාවට ඉස්කෝලේ ගිහින් හිතුන හිතුන දේවල් උගන්වන් බැහැනේ. නිකං හිතන්ට පන්ති කාමරයක ඉන්න ළමයි ගනන තීරණය කරලා තියෙන්නේ කවුද? ඒක කරලා තියෙන්නේ ඒ පිලිබදව විද්වතුන් විසින්. ඒ තීරණයට ඔබ එකග වෙනවා ඇර ඔබගේ තීරණ එතන ක්‍රියාත්මක කරන්න බැහැ. විනාඩි 40 කාලච්ඡේදය ඔබට මදිද වැඩිද කියලා තීරණය කරන්න ඔබට අයිතියක් නැහැ. ඔබට තියෙන්නේ ඒ කාලච්ඡේදය තුල ඔබට දීලා තියන විෂය කොටස ආවරණය කරන්න. ඒකත් කරන්න ඔනේ විදිය යම් ප්‍රමාණයකට දීලා තියෙනවා.




රටකට තියෙනවා අධ්‍යාපන අරමුණු කියලා දෙයක්. ඒවා සම්පූර්ණ කරගන්න තමයි පාසැල්, පන්තිකාමර වගේම ඒ තුල ක්‍රියාත්මක වෙන වැඩපිලිවෙලවල් හැදෙන්නේ. ගුරුවරයෙක් ඉන්නේ ඒ නිර්මාණය වෙලා තියන දේවල් ක්‍රියාත්මක කරන්නයි. ගුරුවරයාට හිතෙන හිතෙන දේවල් කරන්න එතනදි බැහැ. ඒ වැඩපිලිවෙල වල් හදන්න තමයි ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය වගේ ආයතන තියෙන්නේ. ඒවගේ ඉන්න නිළධාරින් තමයි ඒ ක්‍රමවේද හදලා ඒවා ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ.
ඒක ඔන්ලයින්ද නැද්ද කියලා අදාල නැහැ.
ඔබට පුලුවන්ද හිතුන පොතක් අරන් ඒකෙන් උගන්වන්න. බැහැනේ. ඒකට නිර්දේශිත ග්‍රන්ථ තියෙනවා. ඔන්ලයින් පන්තියකදි එකතොට ඔබට හිතුන මෘදුකාංගයක් පාච්චි කරන්න පුලුවන්ද? සමහරු සූම් වලින්, සමහරු ටීම් වලින්, සමහරු වට්ස්ඇප් වලින්, සමහරු ටෙලිග්‍රැම් වලින්, තවත් සමහරු මීට් වලින්, තවත් අය තව තව දේවල් වලින් උගන්නවා. ඒක හරිද? කෝ බලධාරින්, අවරුදු එක හමාරක් නිකං පඩි ගත්තේ ගුරුවරුද? ඔබද? කෝ එහෙනං උගන්වන්න පාවිච්චි කරන්න නිර්දේශ කරලා තියෙන මෘදුකාංග. කෝ ඒවා ලබාගන්න ක්‍රමවේද?
ගුරුවරුනි, ඔබට පුලුවන්ද හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙට ගිහින් උගන්වන්න. බැහැනේ. ඒකට පාසල් පවත්වන්නට නිශ්චිත වෙලාවක් තියෙනවා. ඒවා නිකං හිතලු නෙවෙයි. පීරියඩ් එකක කාලය හිතෙන හිතන ගානක් නෙවෙයි. සතියට උගන්වන පීරියඩ් ගාන හිතෙන හිතන ගානක් නෙවෙයි. ඔබට එහෙම කරන්න බැහැ. ඔන්ලයින් පන්තියෙදි ගුරුවරු හිතන හිතෙන වෙලාවට උගන්වනවා. සමහරු උදේ පහටත් පන්ති. සමහරු මහ රැ දොලහටත් පන්ති. එක එක අය හිතෙන හිතෙන වෙලාවල් උගන්වනවා. පැය දෙකක් උගන්වන්න කියලා කොහෙද තියෙන්නේ? දරුවෙක්ට තිරයක් ඉස්සරහා ඉන්න හොද කාලය කොච්චරද? විවේකය දෙන්නේ කොහොමද? කොයි වෙලාවෙද ඉගෙනුම කරන්න හොද? ඒවා ගැන හොයලා තීරණ ගන්ට තමයි අර ආයතන තියන්නේ. ඒවාගේ වැඩකරන නිළධාරින් පහුගිය ටිකේ පඩි ගත්තා නේද? එතකොට කෝ මේ දේවල් වලට වැඩපිලිවෙලවල්? ක්‍රමවේද? දැන් එතකොට නිකං පඩි අරන් තියෙන්නේ ගුරුවරුද? නිළධාරින්ද?
අධ්‍යාපනය කියන්නේ දැනුම පොවන එකම නෙවෙයි. ඊට එහා ගිය අරමුණු ගොඩක් තියෙනවා. පාසැල් වල විවිධ කටයුතු සංවිධානය වෙන්නේ ඒ අනුව. ක්‍රිඩා කටයුතු, විෂය සමගාමි කටයුතු, සමිති සමාගම්, විවිධ උත්සව තවත් තවත් බොහෝ දේවල් තියෙනවා. දැන් ඔන්ලයින් කියලා ඒවා ඔනේ නැද්ද? ඒවාට ආදේශක ක්‍රමවේද හදුන්වා දෙන්න බැරිද? ඔන්ලයින් කරන්න පුලුවන් ක්‍රිඩා නැද්ද? වෙනත් දේවල්, සමිති සමාගම්, රැස්වීම්, තරග එහෙම නැද්ද? ඇයි ඒවට ක්‍රමවේද හදුන්වා දෙන්න බැරි. කෝ මේ නිළධාරින්. අවුරුදු එක හමාරක් තිස්සේ මොනවද කලේ. විෂය සමගාමි ක්‍රියා මොනවද දරුවන්ට හදුන්වා දුන්නේ? දැන් නිකං පඩි අරන් තියෙන්නේ ගුරුවරුද?
නිකං මේක කරන්න මේක කරන්න කියලා මදි. මොකද ඒවට ගුරුවරුන්ව පුහුණු කරන්න ඔනේ. දැන් ඔය අමාත්‍යංශ මට්ටමින් ගුරුවරු පුහුණු කරලා තියෙනවද මේ ඔන්ලයින් උගන්වන්න. නැහැනේ. එහෙනං කියලා දුන්න ක්‍රමයක් නැතිව තමන්ට හිතලු කරන්න ගුරුවරුන්ට අයිතියක් නැහැ.
ආදරණීය ගුරුවරුනි, මතක තියාගන්න. ගුරුවරු කියන්නේ රජයේ සේවකයෝ. රජයේ සේවකයින්ට නියම කරලා තියන රාජකාරි පුහුණු කරලා තියන ආකාරයට අනුව ක්‍රියාත්මක කරනවා මිස හිතලු ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ හින්දා ඔබට නියම කරලා නැති, ක්‍රමවේද හදුන්වාදීලා නැති, ඔබව පුහුණු කරලා නැති දේවල් කරන්න ගිහින් නිකං අමාරුවේ වැටෙන්න එපා.

Tuesday, June 22, 2021

ඔන්ලයින් පන්තියක් කරන්න අමාරුද?

ඇත්තටම නැහැ. හරියට තාක්ෂණික දේවල් ටික දන්න කෙනෙක්ට ඒක මහ දෙයක් නෙවෙයි. ඒ වගේමයි තමන් ලග තියෙන උපකරණ කලමණාකරගෙන ඒ ටික කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවානේ.



ඉතිං මගේ වැඩසටහන් තියෙන්නේ ඒ ගැන උගන්වන්න තමයි. සාමාන්‍යයෙන් මගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළධාරින්, රජයේ සහ පුද්ගලික අංශ වල රාජකාරි කරන රැකියා කරන අයයි. ඉතිං එයලාට ගෙදර ඉදන් තමන්ගේ රාජකාරි හරියට කරන හැටි තමයි මේ පන්ති වලදි පුහුණු කරන්නේ.

සාමාන්‍යයෙන් එක පන්තියක පිරිස හැත්තැවක් අසූවක් විතර ඉන්නවා. ඉතිං මෙයාලට තාක්ෂණය පුහුණු කරන්න මට උපරිම තාක්ෂණය භාවිතා කරන්න වෙනවා. මම මේ අද කියන්න බලාපොරොත්තු වෙන්නේ මං භාවිතා කරන ක්‍රම ශිල්ප ටික. ඒ කියන්නේ ඒ වගේ කරන්නට ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලයි.

මට මගේ කණ්ඩායමේ ඉන්න අයගේ මූණු ටික දැකගන්න එක හරිම වැදගත්. මම කියන දේව එයාල දක්වන ප්‍රතිචාරය මට කතා කරන්න හැකියාව ලබා දෙනවා. එයාලගේ මුහුණු වල හිනාව ඇතිවෙන ඒවා, මුමුණලා කියන වචන, උත්තර දෙන ඒවා, ඔලුව වනන ඒවා, හරිම වැදගත්. ඒ හින්දමයි මගේ පන්තියට සම්බන්ධ වෙන හැමෝම කැමරා ඔන් කරලා තියන්න ඔනේ. මට එයාලව හොදටම පේන්න ඔනේ හින්දා තමයි ගෙදර තියන රුපවාහිනි යන්ත්‍රය ගෙනත් මට ඉස්සරහින් හයි කර ගත්තේ.



ඒ වගේමයි එයාලට මාව හොදට පේන්න එපැයැ. ඒකට ආලොකකරණය ගොඩක් වැදගත්. මට ඉස්සරහින් ටිකක් උඩින් වොට් දහයේ LCD ෆ්ලැස් ලයිට් දෙකක් ගහලා තියෙන්නේ ඒකට. කෙලින්ම ඉස්සරහින් තිබ්බම ඇස් වලට අමාරුයි. ටිකක් උඩින් වෙන්න තිබ්බම එහෙම අවුලක් නැහැ.

මාව හොදට පේන්න කැමරාවත් ගොඩක් බලපානවා. ඒකයි හොදම වර්ගයක මිල අධික වෙබ් කැම් එකක් මම පාවිච්චි කරන්නේ. ඒ වගේමයි ඒක තියන තැන බලන්න. TV එකේ හරි මැදට වෙන්න තමයි හයි කරලා තියෙන්නේ. මම TV එකේ ඉන්න කට්ටිය දිහා බලන් කතා කරන කොට එයාලට පේන්නේ එයාලා දිහා බලන් කතා කරනවා වගේමයි.

දකුණු පැත්තේ තියන මොනිටරය, ඒකේ තමයි මෙයාලගේ වට්ස්ඇප් ගෲප් එක තියෙන්නේ. කට්ටිය වට්ස්ඇප් චැට් එකේ දාන ඒවා මට පේනවා. ඒ වගේම සූම් චැට් එකත් අරන් තියෙන්නේ ඒකට. තව සූම් පාටිසිපන්ස් ලිස්ට් එකත් එතන්ටම අරන් තියෙනවා. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ගෙදර සද්ද ඇහෙන්න ගත්තොත් මම සද්ද නැතිව මෙහෙන් ඒ මයික් එක ඔෆ් කරලා දාන්න එතනින් පුලුවන්.

ඊලගට මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රින් එක. ඒකේ තමයි මම උගන්වල පාඩමට අදාල දේවල් තියෙන්නේ. ගොඩක් වෙලාවට වෙබ් බ්‍රව්සර් 2 ක්, ටැබ් 10 ක් විතර ඔපන් වෙලා තියෙනවා. ප්‍රෂන්ටේෂන් එකක් තියෙනවා. වැදගත්ම දෙයක් තව තියෙනවා. ඒ තමයි ෆෝන් ගැන උගන්වන්න ගන්න ඉමියුලේටර් ඇප් එක. ඒක දුවන්නෙත් මේ ස්ක්‍රින් එකේම තමයි. තව වයිට්බෝඩ් එක ගන්නවා නම් ඒකත් මෙතනමයි තියා ගන්නේ.

වම් පැත්තේ තියන පොඩි ස්ක්‍රින් එක. ඒකත් ගොඩක්ම වැදගත්. ඒ මගේ ෆෝන් එක. ඒකේ පෙන්නේ මීටින් එකේ ඉන්න කෙනෙක්ට මගේ වැඩසටහන පෙනෙන විදිය. සමහර වෙලාවට මම වැරදි ස්ක්‍රින් එකක් ෂෙයා කරලා තියෙන්න පුලුවන්. නැත්නම් ස්ක්‍රින් ෂෙයා කරලා කියලා හිතාන නිකම්ම කියවනවා වෙන්න පුලුවන්. මාව ස්පොට්ලයිට් කරන්න, තව කෙනෙක් ස්පොට්ලයිට් කරන්න අමතක වෙන්න පුලුවන්. ඒවා මට ඒ ඩිස්ප්ලේ එක දිහා බැලුවම පේනවා.

තව මේසේ උඩ ටැබ් එකකුත් තියෙනවා. ඒකත් ඔනේ වෙනවා.්

දකුණු පැත්තේ තව උපකරණ දෙකක් තියෙනවා. මවුස් එකයි, ඩ්‍රෝවින් පෑඩ් එකයි දෙක. ස්ක්‍රින් 3 ක් අතරේ මවුස් එක ගෙනියන එක වුනත් සෑහෙනන පුරුදු කරන්න ඔනේ. මොනවා හරි ලියන්න අදින්න ඔනේ වුනාම ඩ්‍රොවින් පැඩ් එක ගොඩක් වටිනවා. ඇනොටේෂන් වලින් වගේම වයිට්බෝඩ් එක ෂෙයා කරලත් මම ලියනවා.

ඉතිං මේ හැම දෙයක්ම කළමණාකරණය කරගෙන තනියෙම තමයි මම ඉගැන්වීමේ කටයුත්තත් කරන්නේ. ඒකට ගොඩක් ලොකු සන්යමයක් ඔනේ වෙනවා. නිකං හරි හිත කලබලා වෙලා තිබ්බොත්, නැත්නම් අසනීප වෙලා ඉන්න වෙලාවක් උනොත් පස්සේ වීඩියෝව බලන කොට ඒක හොදටම තේරෙනවා.


මේ වගේ එකකදි පසුබිමත් ගොඩක් වැදගත්. වාඩිවෙන පුටුව වගේම මේසය, සහ පසුබිම විශේෂයෙන් සකස් කරලා ඒ වෙනුවෙන්ම කල සැකසුම් තමයි තියෙන්න්.

ඉතිං මේ ටික කිව්වේ ඔයාලටත් දෙයක් ගන්න තියෙයි කියලා හිතාගෙන. ඒ වගේම තමන් ලග තියෙන උපකරණ කළමණාකරය කරගෙන ඔන්ලයින් තමන්ගේ වැඩ කරගන්න හැටි ඉගෙන ගන්න කැමති අයට අපි අලුත් පන්තියක් ලගදිම පටන් ගන්නවා. ඒකට එකතු වෙන්න පුලුවන්. හැම දෙනාටම ජය වේවා.

ලක්ෂ්මන් තිලකරත්න

2021/06/22

Monday, May 17, 2021

ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

 ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

පහුගිය ටිකේ විදුහල්පතිවරයෙක් ගුරුවරුන්ට කියපු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල ගොඩක් උපහාසයට අපහාසයට ලක්වුනා. ඒක දැකලා තමයි මට මේ ටික ලියන්න හිතුනේ.



අධ්‍යාපනය ලබාදෙනවා කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මත සිද්ධ වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. ගුරු පෞරුෂය මත ශිෂ්‍යයා ගුරුවරයා වෙත ආකර්ශනය වෙනවා. ඒ අකර්ශනය තමයි ගුරුවරයා උගන්වන දේට ශිෂ්‍යයා යොමු වෙන ප්‍රධාන තැනක් වෙන්නේ. ඒ සදහා ගුරුවරයාගේ පෙනුම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසයි ගුරුවරයෙක් තමන්ගේ ඇදුම වගේම රුපලාවන්‍ය කටයුතු පිළිබදවත් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මං කියන්නේ. වැරහැලි ඇදගෙන කොණ්ඩෙ රැවුල කපන්නේ නැතිව පන්තියකට පාසලකට ගියොත් එතනදි ගුරුවරයෙක් ශිෂ්‍යයාගෙන් ප්‍රතික්ෂේප වෙන එක අහන්නත් දෙයක් නැහැ. පහුගිය දිනවල සමහර ගුරුවරියන් කුස්සියේ නයිටිය ඇදන් උයන ගමන් පන්ති කරපු ඒවා, සමහර ගුරුවරු යාලුවෝ එක්ක පාටි දාන ගමන් පන්ති කරපුවා අහන්න ලැබුනා. මේවා කෙසේවත් සිදු නොවිය යුතු දේවල්. තමන්ගේ මූන දරුවන්ට පෙන්නලා කතා කරන්න බැරි නම් ඒ ඉගැන්නිල්ලෙන් වැඩක් නැහැ.

අනිත් අතට ගුරුවරයාට හොදට උගන්නන්න නම් දරුවන්ව පේන්න ඕනේ. එතකොට තමයි එයාලගේ කරන වැඩ නිවැරදිව කරන්නට මග පෙන්වන්න පුලුවන් වෙන්නේ. දරුවන්ගේ මුහුණු දකින කොට තමන් කියන දේවල් අවබෝධ වුනාද කියලා ගුරුවරයාට තේරෙනවා. ඒ හින්දා දරුවන්ගේ කැමරා ඔන් එකේ තියන එක ඉගැන්වීම සාර්ථක විමට ගොඩක් බලපානවා.

නමුත් එතනදි පවතින තවත් ගැටලුවක් වනේනේ ශිෂ්‍යන්ගේ නිවෙස් වල තියන පරිසරය අනික් අයට නිරාවරණය වීමයි. විවිධ ඇදුම් ඇදලා හිටියොත් දරුවෝ එවාට අවධානය යොමු කරනවා. සියලු දෙනාම නිල ඇදුම ඇදලා හිටියොත් ඇත්තටම ඒක වෙන්නේ නැහැ. ඒ වගේමයි දරුවන්ටත් පාසල් මානසිකත්වය එනවා. ඉස්කෝලේ ගිහින් යාලුවෝ එක්ක පන්තියේ එකට ඉගෙන ගත්තු හැගිම එනවා. එතකොට ඉගැන්විම කෙතරම් සාර්ථව සිද්ධ කරන්න පුලුවන්ද? මේක ඇත්තටම මට නං ගොඩක් ප්‍රසන්න ඔන්ලයින් ඉස්කෝලෙක පන්ති කාමරයක්.

පාසලක් කියන්නේ විධිමත් විෂය මාලාව විතරක් උගන්වන ආයතනයක් නෙවෙයි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ කියලයි මට හිතුනේ. පාසැලක තියෙනවා සැගවුන විෂයමාලාව කියලා දෙයක්. ඒක නිසා තමයි දරුවෝ ඒ පාසලේ දරුවො වෙන්නේ. පාසලක තියන විනය නිති, ක්‍රියා පිලිවෙත්, වෙනත් ක්‍රියාකාරකම් ආදිය ඒවට ඇතුලත් වෙනවා. ඒ හරහා තමයි ශිෂ්‍යයන් සමාජගත වෙන්නේ. ඔවුන් සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. ජාතික ගීය ගායනා කරන අවස්ථාව, පාසැල ඇරෙනකොට ජත්තමානවක ගාතා කියන අවස්ථාව ඒ වගේ ඒවා.

ඔන්ලයින් පාසලකින් ඒ විදියට තමන්ගේ පාසලේ අනන්‍යතාවය පෙන්නන්න කිසියම් විදුහල්පතිවරයෙක් උත්සහ කරනවා නම් මම නම් ඒ විදුහල්පතිවරයාට ප්‍රසංසා කරනවා. ඇත්තටම ඔහු විශිෂ්ට නියමුවෙක්. උදැසන රැස්විමේ කතාව පවත්වන්න, ශිෂ්‍ය සමිති පවත්වන්න, විවිධ වැඩසටහන් සංවිධානය කරන්න පුලුවන් නම් ඒ ක තමයි කරන්න ඕනේ. එතනයි අපි යා යුතු තැන වන්නේ.

ඔන්ලයින් ටියුෂන් පන්ති වලට සල්ලි ‍ගෙවලා යන ලමයි ඉස්කොලේ ඔන්ලයින් පන්ති වලට එන්නේ නැත්තේ ඒවගේ තියන නිසරු කම හින්දත් වෙන්න පුලුවන්. ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ කියන්නේ ප්‍රධානතම හේතුව ගුරුවරුන්ගේ නොහැකියාව කියලා මං කියන්නේ ඒකයි.  

Sunday, February 21, 2021

කෘෂි වගාව හා වන විනාශය

පෙර වදන

පහුගිය දවස් දෙක තුනේ මගේ FB වෝල් එකේ මං එක එක ප්‍රශ්න ඇහුවා. මං ඇහුව දේට උත්තර දෙන්නේ නැතිව මට බැනපු අය ගොඩක් හිටියා. ඒ අතරේම කට්ටිය හොද උත්තරත් දීලා තිබුනා. ඉතිං මං මෙහෙම වැඩක් කලා.

ඒ පෝස්ට් එකයි ඒකට හම්බ වුන උත්තර ඔක්කොමයි මගේ දුවට දුන්නා කියවන්න කියලා. ඒවා කියවලා එයා ලියපු රචනාව තමයි පහතින් තියෙන්නේ.

බලන්න බුද්ධි කලම්බනය තුලින් කොතරම් අපූරු නිර්මාණ බිහි කරන්න පුලුවන්ද කියලා. ඒ වගේම කොතරම් අපූරුවට දැනුම සමාජගත කරන්න පුලුවන්ද කියලා.

ලක්ෂ්මන් තිලකරත්න

 
කෘෂි වගාව හා වන විනාශය



මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ගන්නා සෑම හුස්මක්ම පිටුපස ප්‍රධාන වශයෙන් රැඳී පවතින්නේ වෘක්ෂ සම්පතයි. එනම් මිනිසාගේ ජීවය රදා පවතින්නේ වනාන්තර වල, ගස්වැල් වල පැවැත්ම මතය.

වනාන්තර යනු විශාල ජෛව විවිධත්වයක් සහිත පද්ධතියකි. එහි ගස් වැල් වලට පමණක් නොව මිනිසාගේ පැවැත්මට වක්‍රව හෝ දායකත්වය සපයන ජීවින් රැසකගේ නිවහනයි. පෘථිවියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සතා සිව්පාවා ඇතුලු මෙම පද්ධතියේම සහය අත්‍යවශ්‍ය වේ. මෙම වන පද්ධති රාශියෙක එකතුවෙන් ලෝකය නම් පද්ධතිය සුරැකිව පවතී. වන වැස්ම තුලින් අප ලබන ප්‍රධානම ඵලය ඔක්ෂිජන් යැයි කෙනෙකුට කිව හැකි නමුත් මුළු විශ්වයම එක් ක්ෂණයකින් දෙපා මුලට රැගෙන ඒමට තරම් විශිෂ්ඨ තාක්ෂණයක් ඇති නව යුගයේ ඔක්ෂිජන් නිපදවීම එතරම් දෙයක් නොවේ.

එසේ නම් අපට වනාන්නතර අවශ්‍ය වන්නේ ඇයි? ප්‍රධාන වශයෙන්ම ශක්ති සමතුලිතතාවය සිදුකරන්නේ එනම් හිරුගෙන් අපට ලැබෙන ශක්තිය බෙදා හරින්නේ සමකාසන්න වනාන්තරය. එහි පතිඵලයක් ලෙස ජල ප්‍රභව බිහිවී ඇත. තවද වනාන්තර වල පදිංචිකරුවන් එනම් ක්ෂුද්‍ර ජීවියාගේ සිට සියලුම සතා සිව්පාවුන් පෘථිවි සමතුලතතාවය රැක ගැනීමට දායක වේ. ආහාර දාම එයට හොදම නිදසුනයි.

වර්තමානයේ දී අප මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් ලෙස කෘෂි වගාව උදෙසා වන විනාශ කිරීම පෙන්වා දිය හැකිය. කෘෂි වගාවේදී සිදු වන්නේ ශාක රෝපනය වුවද එයින් වනාන්තරයක් මගින් ඉටුකරන කාර්යයන් ඉටු නොවේ. වන විනාශට තුලින් ලබන කෘෂි වගාවේ අවසන් ප්‍රතිඵලය වන්නේ කෙටි කාලීන ලාභයකුත් හා කිසිවෙකුටත් පලක් නැති මුඩු බිමකුත් පමණී. වනාන්තරයක් බිහි වීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නකි. එය පරිසරයට අවශ්‍ය කර්තව්‍යයන් සිදු කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ හැඩ ගැසෙයි. එලෙස වනයක් රෝපනය කිරීමට වසර ගණනාවක් ගතවන ක්‍රියාවලියකි. එය කිසි විටෙකත් කෘෂි වගාවක් තුලින් බලාපොරොත්තු විය නොහැකිය. වන විනාශය තුලින් කෘෂි වගාවක් සිදු කිරීම අටුව කඩා පුටුව හැදුවා හා සමය.

වන සම්පත් සුරකිමින් කෘෂි වගාව සිදු කිරීමට බොහෝ ක්‍රම පවතී. කෘෂි බිම්වල භෝග වගා කිරීම ප්‍රමාණවත් නොවන බව පැවසීම නිසා එය ට විකල්පයක් ලෙස වන විනාශය ඉදිරිපත් වී ඇත. කෘෂ භූමි වල වපසරිය දිග පළල ඔස්සේ ගණනය කොට වගා කරන කෘෂි භෝග ප්‍රමාණය් ලබන අස්වැන්න මෙන් දස ගුණයක අස්වැන්නක් ලබා ගැනීමට එම භූමියේ උස සැලකිල්ලට ගනිමින් උස අතට වගා කිරීම මෙයට පිළියමක් ලෙස ගත හැකිය. එසේම භෝග වගා කරන කාලය ද සැලකිල්ලට ගෙන කෘෂි වගාව ඵලදායිව මෙන්ම කාර්යක්ෂමව ඉටු කිරීමට හැකියාව පවතී. භෝග වගාකරන කාලයන් අනුවද අස්වැන්නේ ප්‍රමාණය වර්ධනය කරමින් වන සම්පතේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට හැකිය.

මිනිසාගේ මෙන්ම සමස්ඨ ලෝකයේම පැවැත්ම රදා පවතින්නේ තරදියක් මතය. මෙය සමබර කරන්නේ සමස්ථ ජෛව ලෝකය මගිනි. මෙය සුරැකීම සමස්ථ මිනිස් ප්‍රජාවේම පැවැත්ම තහවුරු කරයි. වන විනාශයෙන් තොරව කෘෂි වගාව සිදු කිරිමට සැවෙම යොමු වෙමු.

පරිසරය අප රකී! රකිමු අප පරිසරය!!

-        විහින්දි සඳින්මා තිලකරත්න -


මූලාශ්‍ර

https://m.facebook.com/story.php?story_fbid=10225508081478635&id=1524437897

Saturday, January 30, 2021

ටයිමින් බෝම්බෙ

මෙහෙම හෙඩිමක් දාලා කොල්ලෙක් බුකියෙ දාපු පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඉතිං ඕක දැක්කම ගොඩක් අතීතෙට ගියා. අපිත් කොල්ලො කාලෙ කරපු ඇට්ටර වැඩ මතක් වුනා.



අවුරුදු දාට කොල්ලො කට්ටිය එකතු වෙලා ගමේම ගෙවල් ගානෙ යනවා. එහෙම ගියාම ගැම ගෙදරකින්ම කාල බීලා වැදලා කරලා එනවා. ඒ අතරේ තමයි එකෙක් පිලිකන්න පැත්තට රිංගලා සාක්කුවෙ දා ඉන්න රතීඤ්ඤා හදුංකූරු එහෙම පාවිච්චි කරලා ඔය ඇටවුම හදලා හංගලා තියලා එන්නෙ. ඉතිං අපි ගිහිං පැයකට විතර පස්සෙ තමයි ඕක වැඩ කරන්නෙ. එතකොට ඉතිං වෙන්නෙ මොකක්ද කියලා හිතගෙන්ට.
හවස් වෙලා ගියාම සමහර ගෙවල් වලට අටවන්නෙ ඔයිට හපන් ඒවා. ඒකට ගන්නෙ හදුන්කූරු නෙවෙයි. මදුරු කොයිල්. මහ රෑ තමයි ඉතිං ගෙදර අය උඩ ගිහිං ඇහැරෙන්නෙ. හොදම ගේම දෙන්නෙ සමහර ගෙවල් වලට. රෑ දහයට, දොලහට, පාන්දර දෙකට විතර පත්තු වෙන්ට ටයිමින් හදලා ගේ වටේ තුන් පැත්තක තුනක් හංගලා එන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ට වෙන්නෙ එදා රෑම ඇහැරලා ඉන්ට. පහුවදාට ඉතිං කුණුහරුප ඉතිරි නෑ. පාර දිගේ බැන බැන යනවා කරපු එවුං දන්නවා නං ඉතිං වෙන දේ හිතාගන්ටකෝ...

Saturday, January 16, 2021

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෙස Z ලකුණ ලබා දීම සුදුසු වන්නේ ඇයි?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබාදීමේදි ශිෂ්‍යයෙක් ලබාගත් පන්ති සාමාර්ථය (උදා- A,B,C,S,W)  සමග ඔහු ලබාගත් Z ලකුණ ලබා දීම සුදුසු යැයි මම යෝජනා කරමි. ඒ සදහා හේතු මවිසින් මෙසේ දක්වනු ලැබේ.

ශිෂ්‍යත්ව විභාගය යනු තරග විභාගයකි. එයින් ලබා ගන්නා ලකුණු අනුව සිසුන්ට තමන් කැමති ජනප්‍රිය පාසැලක් වෙත යාමට අවස්ථාව සැලසේ. එය ඉතා වටිනා අවස්ථාවකි. දක්ෂතා ඇති දරුවෙකුට පහසුකම් සහිත ජනප්‍රිය පාසැලකට ඇතුලත්වීමේ අවස්ථාව එමගින් හිමිවේ. එම අවස්ථාව හිමිකරගත් අයෙකු වශයෙන් එහි අගය මම හොදින්ම දනිමි.



එසේ වුවද මෙම විභාගය නිසා ඇතිවන සමාජ ගැටලු දෙකක් මා විසින් අවබෝධ කොට ගෙන ඇත.

ඉතා ඉහල ලකුණක් ලබා ගත් සිසුන් පවා අසමත් ලෙස වර්ගීකරණය වීම- උදාහරණයක් ලෙස ලකුණු 150 ක් ලබාගත් දරුවෙකු අසමත් ලෙස වර්ගීකරණය වේ. එය සැබවින්ම ඉතා ඉහළ ලකුණකි. වෙනත් විභාගයකදී නම් අධි සාමාර්ථයක් හිමිවන ලකුණකි.

එක් එක් වසරවලදී විභාගයේ පහසු අපහසු ප්‍රමාණය මත එක් එක් වසර වල ලබාගන්නා ලකුණු විසිරිම වෙනස් වේ. ඒ අනුව එකම පාසලට එක් එක් වසරේදි ලබා ගන්නා අවම ලකුණ වෙනස් වේ. ඒ හේතුව නිසා සිදුවන සිත් බිද වැටිම් ඉතා ඉහළය.

මා විසින් යෝජනා කරන යෝජනාව මගින් ඉහත ඇතිවන ගැටලු දෙකම සදහා විසදුම් ලැබේ.

Z ලකුණ මගින් ශිෂ්‍යයා ලබා ගත් ස්ථානය (Rank) හි කිසිදු වෙනසක් නොමැති වේ. එබැවින් ජනප්‍රිය පාසැල් අනුපිලිවෙල සදහා එය ගැටලුවක් නොවේ.

වසර දෙකකදි විභාගය සදහා පෙනී සිටින සිසුන් ගණන ආසන්න වශයෙන් සමාන වන බැවින් විභාගය පහසුතාවය මත z අගය වෙනස් නොවේ. එබැවින් එක් එක් පාසලේ අවම ලකුණු සීමා වසරින් වසර වෙනස් නොවේ.

Z ලකුණ පිලිබද සමාජ අවබෝධය අඩු නිසා ඒ හේතුවෙන් ඇතිවන මානසික පීඩා අඩු වේ.

පහත උදාහරණය බලන්න.

එක් වසරක ළමුන් 10 දෙනෙක් ලබා ගත් ලකුණු වගුවේ පළමු තිරුවේ ඇත. ඊළග වසරේ විභාගය පහසු වීම නිසා ලකුණු 10 ක් වැඩිපුර ගැනීමට හැකිවී යැයි සිතා ඊලග වසරේ සිසුන් 10 දෙනෙකුගේ ලකුණු දමා ඇත. එසේ වුවද වසර දෙකේම Z අගයන් සමාන වෙන බැව් දැකිය හැකිය. ඒවායේ අනුපිලිවෙලද වෙනස් වන්නේ නැත. වසර දෙකේදීම පාසැල් වලට ලබා ගන්නා සිසුන් සංඛ්‍යාව වෙනස් වන්නේ නැති නම් එක් එක් පාසලේ අවම කඩඉම් ලකුණද වෙනස් වන්නේ නැත.

ඉහත කරුණු සැලකිමෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මේ ආකාරයෙන් ලබා දීමට මම යෝජනා කරමි

ශිෂ්‍යයා ලබා ගත් සාමාර්ථය (A, B, C, S, W)

ශිෂ්‍යයා ලබා ගත් Z ලකුණ -