විහින්දිගේ තාත්තා බයික් එකක් ගත්තේ විහින්දි එයාගෙ අම්මගේ බඩේ ඉන්න කාලෙමයි. ඒක bajaj
CT 100
බයික් එකක්. තාත්තගේ ඉස්කෝලේ මාමලා කට්ටියක්ම
එකවැරම බයික් ගත්තු හින්ද එයාලට ගෙවන්න ගන්න හම්බ වෙලා. කොහොම හරි විහින්දි
ඉස්කෝලේ පහේ පන්තියට යනකල්ම ගමන් බිමන් ගියේ අම්මයි තාත්තයි එක්ක ඒ බයික් එකේ
තමයි.
බයික් එකේ කතා ගොඩයි. අද කියන්න යන්නේ විහින්දිට
අවුරුද්කුත් මාසයක් විතර කාලේ වෙච්චි දෙයක්.
විහින්දි බයික් එකේ යන්න පුරුදු වුනේ මාස හතරේ
විතර ඉදලා. එයාට මාස හයක් වෙනකොට එයා බයික් එකේ නුවර ආච්චි සීයා බලන්නත් ගියා.
විහින්දි හම්බවෙන්න ඉන්න කාලෙම එයාගේ අම්මගේ හොදම
යාලු නැන්ද කෙනෙකුටත් මල්ලි කෙනෙක් හම්බවෙන්නයි හිටියේ. අම්මයි නැන්දයි දෙන්නම
ගියෙත් එකම ක්ලිනික් එකට. කොහොම හරි විහින්දි ඒ මල්ලි බබාට වැඩිය මාසයක් කලින් මේ
ලෝකේ බලන්න ආවා. ඒ මාමි වැඩ කරන්නේ පොලීසියේ. කොහොම හරි ඒ මල්ලි බබාගේ අවුරුද්දේ
උපන් දිනේ දවසට එන්න කියලා විහින්දිටයි එයාගේ අම්මටයි තාත්තටයි ආරාධනාවක් ලැබිලා.
විහින්දිගේ අම්මටත් ඒ මදැයි. එදාට විහින්දිව හැඩ
කරන හැටි හිත්න්නේ මාසෙක විතර ඉදලා. කොහොම හරි තැනකට ගියොත් එතන ලස්සනටම ඉන්නේ
විහින්දි. ඒ එයාගේ අම්ම ඒ තරමටම ලස්සනට විහින්දිව සරසන හින්ද. එදත් ඉතිං වෙනදා
වගේම ලස්සනටම සැරසිලා විහින්දි පාටි එකට ගියා. මල්ලි බබාට තෑගි ත් අරන් තමයි ගියේ.
එයා එදා හොදට සන්තෝට වුනා. ගොඩක් නැටුවා. සින්දු කිව්වා. රස කෑම කෑවා.
විහින්දිට ගොඩක් සින්දු පුළුවන්. ගොඩක් ළමා ගීත
කටපාඩමෙන් කියන්න එයා දන්නවා. එයා පොඩි කාලේ ඉදලම එයාව නැලෙව්වේ ළමා ගීත දාලයි. තාත්තිගේ කොම්පියුටරේ ළමා ගීත ගොඩක්
තිබ්බා. විහින්දි ඒවා අහන්න බලන්න හරි කැමතියි. ඒ සින්දු දාලා ඒවගේ විදියට නටන්න
එයා ගොඩක්ම කැමතියි. විහින්දි ට නින්ද යන්නෙත් සින්දු දාල දුන්නම තමයි ඒ කාලේ.
|
- පින්තූරය අන්තර්ජාලයෙනි - |
කොහොම හරි හැමෝම කාලා බීලා සතුටු වෙලා ආපහු එන්න
පිටත් වුනා. දරුවන්ට නොගැලපෙන කිසිම දෙයක් නං ඒ පාටි එකේ තිබුනේ නැහැ. ඒ වෙලාට රෑ
අටහමාරට නවයට විතර ඇති. කදාන පැත්තේ ඉදලා අතුරු පාරකින් තමයි ප්‍රධාන
පාරට එන්න තිබුනේ. වෙනදා වගේම විහින්දි අවේ අම්ගෙයි තාත්තගෙයි අතරේ බයික් එකේ සීට්
එක උඩ හිටගෙන. එයා එහෙම ඉන්නේ තාත්ගේ උරහිස් දෙකෙන් හයියයෙන් අල්ලෙගෙනයි. හිටගෙන
යනකොට විහින්දිට වටපිට හොදට පේනවා. ඒ හින්ද එයා යන්නේම එහෙමයි.
කට්ටිය අතුරු පාර දිගේ ආවා. ඉස්සරහින් වම් පැත්තට ලොකු වංගුවක්. ඒ
පැත්තෙන්ම ලොකු තාප්පයක්. වංගුවේ පාරේ වැලි තිබ්බා. ඒක කරුවලට පෙනුනේ නැහැ. වංගුව
ගන්නවත් එක්කම බයික් එක ලිස්සලා ගිහින් පෙරලුනා.
මැද්දේ හිටගෙන හිටපු විහින්දිගේ ඔලුව කෙලින්ම වැදුනේ තාප්පේ.
විහින්දි හයියෙන් කෑ ගහලා ඇඩුවා. බයික් එක පෙරලෙන
සද්දෙට ඒ ළග ගෙදරක කට්ටිය දුවගෙන ආවා. බයික් එකේ සිග්නල් ලයිට් එකක් කැඩිලා තිබුනා
ඇරෙන්නට කාටවත් හීරිල්ලක වත් හානියක් වෙලා තිබුනේ නෑ. මොකද තුන්දෙනාම ඒ වෙලාවේ
හෙල්මට් දාගෙනයි හිටියේ. විහින්දිගේ ඔලුව කෙලින්ම තාප්පේ වැදුනට කිසිම හානියක්
වුනේ නැත්තේ ඒ හින්දයි. “ඒත් ඒ වෙලාවෙ දරුවගේ ඔලුවෙ හෙල්මට් එක තිබුනේ නැත්නං?”
විහින්දිගේ ඒ කාලේ ගොඩාක් පුංචියි. ඒ පුංචි ඔලුවට
හරියන්න හෙල්මට් කිසිම කඩේක තිබුනේ නැහැ. අන්තිමේදී පංචිකාවත්තම පීරලා තමයි
විහින්දිට හරියන ෆයිබර් වලින් හදපු පුංචි හෙල්මට් එක එයාගේ තාත්ත හොයාගෙන තිබුනේ.
හරියට එයාට අවුරුද්දක් වුන දවසේ ඉදලා තමයි ඒ හෙල්මට් එක දැම්මේ. ඊටත් කලින් එයා
බයික් එකේ එක්කන් යන හැම වෙලාවෙම ගොඩාක් ගනකම තියෙන මැදට ස්පොන්ච් දාලා තිබුන
කන්දෙකත් එක්කම වැහෙන තොප්පියක් තමයි එයාට දාගෙන ගියේ.
විහින්දිට අවුරුද්දක් දෙකක් වෙන කාලේ එයාගේ
පුංචිඅම්මත් හිටියේ එයාලත් එක්කමයි. පුංචිඅම්මා කිව්වට එයාත් පුංචි ම තමයි. එතකොට
පුංචිත් ඉස්කෝලේ යනවා. එයා ඉස්කෝලේ අටේ පන්තියේ විතර ඇති. හතර දෙනාම ගමනක් යන්න
වෙන වෙලාවට හරි විහින්දියි තාත්තයි විතරක් යන වෙලාවට හරි විහින්දි යන්නේ බයික් එකේ
ටැංකිය උඩ.
බයික් එකේ ටැංකිය උඩ තමා අනාරක්ෂිතම තැන. හදිසියේ
බ්රේක් පාරක් ගැහුවොත් ඉස්සරහ යන දරුවා උඩින් ගිහින් වැටෙන්නේ ඉස්සරහා රෝදේ ගාවට.
ඒ රොදෙටම වුනත් යට වෙන්න පුළුවන් ඊළගට. ඒ වගේම වෙන වාහනයක හරි වෙන දේක හරි
හැප්පුනොත් උඩින් ගිහින් එකේ වදිනවා දරුවාව. විහින්දිගේ තාත්තා ඒ දේවල් දන්නවා.
ඒත් වෙන කරන්න දෙයකුත් නැහැ. තියෙන එකේ කට්ටියම යන්නත් එපායැ. එහෙම කියලා එයා
අනතුරු වෙන විදියට දරුවව එක්කන් ගියෙත් නැහැ.
විහින්දිගේ තාත්තා කලේ තද බෙල්ට් එකක් අරන් සයිඩ්
කන්නාඩි දෙක අතරට දාපු එක. එතකොට බබාට ඒක අල්ලගෙන යන්නත් පුළුවන්. හදිසියකදි
බ්රේක් පාරකදි ඉස්සහට විසිවෙන එකත් ටිකක් මග ඇරෙනවා. ඒ වුනාට තවත් දෙයක්. දුර
ගමනක් යනකොට මෙහෙම ඒවා අහන්න වෙනවා
“තාත්තේ... දොයි මතයි....”
සමහර වෙලාවට කියන්නේ නැතිවම බබාලට දොයිමත එනවා. විහින්දිගේ
තාත්තට ඒකටත් උත්තරයක් තිබ්බා. එයා බෑග්
මහන කඩේකින් වෙනමම කියල හදාගත්තු පටියක් තිබ්බා. විහින්දිව තාත්තගේ බඩට හේත්තු
කරගෙන එයාවයි තාත්තවයි දෙන්නම හිරවෙන්න පටිය දාලා තද කරගන්නවා ඒ වෙලාවට.
“හරි පැටියෝ.. තාත්තිට හේත්තු වෙලා දොයියාගන්න”
ඔන්න ඔහොමයි විහින්දි පොඩි කාලේ එයා එයාගේ
තාත්තගේ බයික් එකේ ගියේ.
සමහර තාත්තලා අම්මලා දරුවො බයික් වල එක්කන් යන
විදිය දකින කොට විහින්දිගේ තාත්තට හොදටම කේන්ති යනවා. සමහර වෙලාවට එයාලට කතා කරලා මෙහෙම
අහනවා
“මොකක් හරි අනතුරක් වෙලා ඔය දෙන්න බේරිලා දරුවා
මළාට කමක් නැද්ද?”
“පොඩි එකාව මරන්න ද ගෙනියන්නේ”
හෙල්මට් එක කියන්නේ බයික් එකට අයිති උපාංගයක්.
බයික් එකකට නගින කොට ඒක දාගන්න ඕනේ. පොලිසියෙන් බේරෙන්න නෙවෙයි. තමාගේ ආරක්ෂාවට.
ඒකත් නියම විදියට දා ගත්තොත් තමයි අනතුරකදි බේරුමක් තියෙන්නේ. සමහරු හිතන් ඉන්නේ
පොලිසිය ඉන්න තැන්වලදි හෙල්මට් තිබ්බනං ඇති කියලා. සමහර පැතිවල හාමුදුරවන්
වහන්සේලාත් බයික් වල පිටිපස්සේ සීට් එකේ වඩිනවා. ගමන් යන්න පහසුකම් නැති වෙලාවට ඒක
ගැටලුවක් නැහැ. ඒත් උන්නාන්සෙලා හිතන් ඉන්නේ තට්ටේ කියන්නේ හෙල්මට් එක වගේ එකක්
කියලා නං ඒක වැරදියි. පිටිපස්සේ වාඩිවෙලා යන්න පුළුවන් නං ඇයි හෙල්මට් එකක් දාන්න
බැරි?
බයික් එකකින් යන්න වෙන හැම වෙලාවෙම ආරක්ෂාව ගැන
හිතමු. මහපාරේ යන අනාරක්ෂිතම වාහනය තමයි මොටර් සයිකලය. ඒ හින්දා ආරක්ෂිත උපක්‍රම
උපරිමයෙන්ම පාවිච්චි කරමු. ඒක යන කෙනාට වගේම මහ පාරේ යන අටත්, එයාගේ සමීපතම අයටත්
සනීපයක්.
______________________________________________________
මේ කතාන්දර කියවන ඔයාලගෙ අදහස් දැනගන්න විහින්දිගේ තාත්ත ගොඩක් කැමතියි. ඒ හින්දා ඔයාලට හිතෙන දැනෙන දේවල් කොමෙන්ටු ලෙස දාන්න කියලා එයා ඉල්ලනවා. ඒ වගේම මේ වගේ කතා කියවන්න කැමති නම් බ්ලොග් එක Follow කරන්න කියලත් එයා ඉල්ලනවා.