Monday, February 25, 2019

හීං අයියා


මගේ අම්මයි තාත්තයි දෙන්නටම ගොඩක් වයසයි. තාත්තට දැන් හැත්තැ අටක්. දැන් ඉතිං එයාට තනියෙන් දුර බැහැරක යන්න බැහැ. එයාගේ සහොදරයෝ දෙන්නෙක්ම දැනට ජීවතුන් අතර නැහැ. තාත්තගේ නංගි ඉන්නේ මැදිරිගිරියේ. එයගෙත් මහත්තයා නැතිවෙලා. ඒ වගේම එයත් ලෙඩින්. කොච්චර වයසට ගියත් අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි අතර තියෙන බැඳීම නැති වෙන්නේ නැහැ. 
මේ සැරේ ගෙදර ගිය ගමන්..
"තාත්තේ.. හෙට උදේම මැදිරිගිරියේ නැන්ද ව බලල එන්න යන්න ලැහැස්ති වෙන්නකෝ"
"පුතාට මහන්සි නේද?"
"මහන්සි තියෙන්නේ මටනේ.. ඔයාලා දෙන්න ලැහැස්ති වෙන්නකෝ..."
පහුවදා උදේ පහ හමාර වෙද්දි අම්මයි තාත්තයි එක්ක මැදිරිගිරියේ යන්න පිටත් වුනා. 
"එකපාරටම නේ කිව්වේ.. මොනවත් හදාගන්නවත් බැරි වුනා. " වෙනදා නම් නෑදෑ ගෙදරක යනකොට අම්මා වැලිතලප හරි කොකිස් හරි හදනවා. 
මම දඹුල්ලේ හෙල බොජුන් එකෙන් නතර කලා. එතනින් තේ බිව්වා. අම්මා ගෙනියන්න කියලා කොකිස් ගත්තා එතනින්.
"යන ගමන් සිල්ලර බඩු කඩයක් ගාව නවත්තන්නකෝ"
මැදිරිගිරියේ ටවුමේ කෝප්-සිටි එකේ වාහනය නතර කලා. අම්මයි තාත්තයි ගිහින් ගෙදරට ඕනේ කරන දේවල් ටිකක් ගත්තා. සීනි 500 ක් ,තේකොල 100ක්, බීලූණු 500 ක්, කරවල කෑල්ලක්, පරිප්පු, සොයාමීට්, අල, තව තව දේවල් ටිකක් ගත්තා.
මම සල්ලි අදිනව දැකපු තාත්තා.. සාක්කුවට අත දාලා සල්ලි අතට ගත්තා. එතන දාහේ කොලයකුයි පන්සීයේ කොලයකුයි තව සීයේ කොල දෙකු තුනකුයි තමයි තිබ්බේ. එ ඊයෙ හවස වත්තේ තිබුන කෙසෙල් කැනක් විකුණලා ගත්තු සල්ලි ටික.
"හරි හරි මං සල්ලි දෙන්නං..." 
"හා එහෙනං දෙන්නටකෝ.. නංගි බලන්ට ඉතිං අයිය නිකං යන්ටයැ නේද?" මං හිනාවෙලා තාත්තට සල්ලි දෙන්න ඉඩ දීලා පැත්තකට වුනා. ගෙදර යනකොට තාත්තගේ වියදමට කීයක් හරි දීලා යන එක මගේ වැඩක්නේ. 
මැදිරිගිරියේ ඉදලා කිලෝමීටර 10 ක් විතර ගියාම හම්බවෙන පුල්ලියාර හන්දියේ තමයි නැන්දලාගේ ගෙදර තියෙන්නේ. අපි උදේ දහය විතර වෙනකොට එහාට ගියා. 
එහෙ ඉන්නේ නැන්දයි, වයස පනහක් විතර වෙන කසාද බැදලා නැති එයාගේ ලොකු දුවයි විතරයි. අක්කත් වැටිලා අතක් කැඩිලා දැන් මාස හතරක් විතර වෙනවා. ඒ හින්දා එයාගේ වැඩත් හැමදේම කරන්නේ නැන්දා. ඒ මදිවට ගියසතියේ අක්කට බේත් ගන්න ගිහින් එන වෙලාවේ බස්එකෙන් බහිද්දි කකුල ලිස්සලා ගිහින් උලුක් වෙලා. ඇවිද ගන්න බැරි තරම් අමාරුයි. පොඩි අක්කා ඇවිත් දවස් දෙකක් විතර ඉදලා ගිහින්. 
දරුවෝ මොන රස්සා කලත් මොන තැන්වල හිටියත් ගොඩක් වෙලාවට ගම්වල ඉන්න අම්මලා තාත්තලා අසරණ වෙන එක නවත්වන්න ගොඩක් අමාරුයි. මොකද එයාලට නගරෙට හුරු වෙන්න කොහොමත්ම බැහැ. දරු මල්ලෝ එක්ක නගරෙ ඉන්න දරුවන්ට ගමට එන්න කොහොමත්ම බැහැ. ඒක ඉතිං කාගෙවත් වැරැද්දක් නෙවෙයි. 
අපි එනවා දැකපු නැන්දා නොන්ඩි ගගහා අපි ඉස්සරහට ආවා.
"හීං අයියා... දණ ගහන්ටනං අමාරුයි" එහෙම කියපු නැන්දා කොන්ද නමලා වැදලා තාත්තවයි අම්මවයි පිළිගත්තේ. 
අපි ගෙට ගොඩවෙලා ආ ගිය තොරතුරු කතා කලා. නැන්දා කුස්සියට ගිහින් ලිපට දර කෑලි දෙකක් දාලා ගින්දර පත්තු කරලා අපිට තේ හදලා දුන්නා. 
අම්මයි නැන්දයි එකතු වෙලා දවල්ට ඉව්වා. කන ගමන් නැන්ද මෙහෙම කිව්වා.
"මට අද ගොඩාක් සතුටුයි. හරියට අවුරුදු වගේ...."
අයියව දැක්කේ අවුරුදු ගානකට පස්සේ. තාත්තයි මනුස්සයයි නැතිවුනාට පස්සේ ඉතුරු වෙලා ඉන්නේ හීං අයියා විතරයි. ඉතිං ඒ අයියා එයාව බලන්න ආවම සතුටු නැත්තේ මොන නංගිටද? තමන්ගේ අතිං උයපු බත් කටක් අයියට කන්න දෙන්න මොන නංගිද අකමැති? ඉතිං නැන්දට අවුරුදු වගේ සන්තෝස වෙන එක අහන්ටත් දෙයක්ද? සමහර විට අවුරුදු නැකත් වෙලාවටත් ඒ ගෙදර අක්කයි නැන්දයි විතරක්ම වෙන්න ඇති.
කාල බීලා එහෙම ඉවර වෙලා ටික වෙලාවක් ඉදලා හවස එක හමාර විතර වෙනකොට අපි පිටත් වෙන්න කියලා ලෑස්ති වුනා.
"අම්මයි තාත්තයි නැන්දයි එකට ඉදලා පොටෝ එකක් ගමුකෝ..."
නැන්දා දුවලා ගිහින් අලුත් චීත්තයක් ඇඳගෙන ආවා. එයාට පොටෝ එක ගත්තට ගොඩක් සතුටුයි.

ඒ අස්සේ හාල්, පොල්, දොඩම්, දෙහි එහෙම වාහනේට පැටවෙන්න ගත්තා. සමහර ඒවට තාත්ත එච්චර මනාප වුනේ නෑ. කොහොම හරි අයියලා- නංගිලාගේ දේවල් වලට මං ඇගිලි ගහන්න යන්නේ නැතිව කාර් එකේ දොර ඇරලා දාලා පැත්තකට වෙලා හිටයා.
වැදලා කරලා ඉවර වෙලා අපි වාහනයට නැංගා. නැන්දා පිළිකන්න උඩට වෙලා වාඩි වෙලා ඇස්දෙකේ කඳුලු පුරෝගෙන අපි පිටත් වෙන දිහා බලං හිටියා.
තාත්තත් ඇස්වල කදුලු පිහිනවා මං කණ්නාඩියෙන් දැක්කා.

Friday, February 8, 2019

නිකසල මහඑළිය ජාතික වනෝද්‍යානය


සුද්දා හොර්ටන් තැන්න කිව්වට ඒකාලේ ඉදලා කියන්නේ මහඑළිය. අපි කට්ටිය මහඑළියේ ගියේ කුඩා ලෝකාන්තය, මහ ලෝකාන්තය වගේම බේකස් ඇල්ල බලාගන්න ගමන් වනාන්තරේ කට්ටිය දාලා ගිය කුණු එහෙම තිබ්බොත් ඒ ටිකත් එළියට අරන් එනන කියලයි. ඒත් ටිකට් ගන්න තැනදිම ආරංචි වුනේ වනෝද්‍යානය ඇතුලට කිසිම පොලිතින් ප්ලාස්ටික් දේවල් ගෙනියන්න දෙන්නේ නැහැයි කියලා. ඇත්තටම ඒ ගැන සතුටු හිතුනා. ලස්සන වනාන්තරය ඒ විදියටම තියන එක තමයි අපි හැමෝගෙම වුවමනාව. වාහනේ තිබුනා කුණු එකතු කරන බෑග් පැකට් එකක්ම. ඒත් මේ විදියට පාලනය වනවා නම් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ. කොකටත් කියලා එක මල්ලක් ලේන්සුවක ඔතලා සාක්කුවට දාගත්තේ මගදි කවුරු හරි නොසන්ඩාලයෙක් දාලා ගිය දෙයක් තිබ්බොත් අරන් එන්න හිතාගෙන. ඇතුල්වීමේ දොරටුවේදී බෑග්, සාක්කු ඔක්කොම පරික්ෂා කලා. වතුර බෝතල් ගෙනියන්න දෙනවා. ඒවගේ ලේබල් කපලා ගලවනවා. ඒක ගොඩක් හොද වැඩක්. මොකද මේ පොලිතින් ලේබල් ගොඩක් ඒවා ගැලවෙන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතල් ගෙනියන අයගේ විස්තර ලියාගන්නවා. එයාලට ඒවා ආයෙම ගේන්න කියලා උපදෙස් දෙනවා. මොකද කිලෝමීටර දහයක් විතර දුර ගමනක් තමයි ඇවිදින්න තියෙන්නේ.  

මිහිදුම් වනාන්තර කියන වචනේ ගොඩක් ලස්සනයි. ඉතිං මහඑළිය කියන්නේ මිහිදුම් වනාන්තරයක්. කොයි වේලේ මිහිදුමෙන් වැහිලා යයිද කියලා කියන්න බැහැ. ඒ ප්‍රදේශයේ ගෝනුන් බහුලව දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවට ආවේනික කටුසු විශේෂ, මැඩියන් විශේෂ ගනනාවක් ම මහඑළියේ ඉන්නවා. ආවේනික සතුන් වගේම වටිනා ශාක ප්‍රජාවකුත් මෙහි හමුවෙනවා. විශාල තෘණ භූමි, කදුකර වනාන්තර , වගුරු බිම් වගේ සුවිශේෂ පරිසර පද්ධති මේ ප්‍රදේශයේ තියෙනවා.


මෙතරම් මහා විශාල වනාන්තර පද්ධතියක් ආරක්ෂා කර ගෙන ඉන්න ,ඇත්තටම මෙතන සේවය කරන නිළධාරි මහත්තුරු ගොඩක් ලොකු දෙයක් කරනවා. ඒ යාන්ත්‍රණය නැත්තං මේ යන එන මහ සෙනගේ හැටිටට මේ වෙනකොට වනාන්තරයක් නැති වෙන්න ඕනේ. ඕනෙම තැනක් ආරක්ෂා වෙන්නේ එතන පාළනය වන යාන්ත්‍රණය හන්දා.




කිලෝමීටර 10 ක් විතර ඇවිදින්න තියෙන මේ වනාන්තරේ කුඩා ලෝකාන්තය නැරඹුම් ස්ථානයේ දමලා තිබුන ප්ලාස්ටික් බෝතල් 50-60 ක් ඇරෙන්න මග දිගට කසල දකින්ට ලැබුනේ ඉතාම අඩුවෙන්. ඇත්තටම කියනවා නං ටොපි කොලයක් චොකලට් කොලයක් වත් තිබ්බේ කලාතුරකින්. 

මහඑළිය එළිය කරන විරුවො

මිනිස්සු දහස් ගණනක් යන තැනක් ඒ විදියට ආරක්ෂා වෙලා තියෙන එක එතන පාලන අධිකාරියේ ක්‍රියාකලාපය හන්දා කියන එක පැහැදිලියි. ඒ වෙනුවෙන් එයාලා හැම දෙනාටම පරිසරයට ආදරය කරන හැමෝගෙම ආචාරය පිරිනමන්න ඕනේ. පූජනීය පරිසරයක ට යන ඕනෙම කෙනෙකුට ඒක අවලස්සන කරන්න හිතෙන්නේ නැහැ. ඒ ආකල්ප වෙනස ඇතිවෙන්නේ පරිසරයත් එක්කමයි.

මහඑළිය ට එළිය දෙන විරුවෝ

අපේ රටේ හැම තැනම සේවය කරන නිළධාරී මහතුන් මේ පිරිසිදු බිමට පැමිණ බලන්න වටිනවා. එයාලගේ තැනුත් කොහොමද ප්ලාස්ටික් පොළිතින් වලින් බේරාගන්නේ කියලා මහඑළිය ජාතික වනෝද්‍යානයේ කළමණාකාරිත්වය අපිට මොනවාට පැහැදිලි කරලා දෙනවා.

Tuesday, February 5, 2019

පොළොන්නරු යුගයේ නූතන පරපුර...

නුවරඑළියේ ගිහන් එන අතර මගදී කිතුල්ගල පහු කරලා ටිකදුරක් එනකොට දකුණු පැත්තට යන පාරක් ලග තොරණක් ගහලා තිබුනා.
"තාත්තේ.. ලෝකේ ලොකුම සැතපෙන පිළිමේ නෙළනවාලු.. යමුකෝ බලන්න...."
ඒ වෙනකොටත් ටිකක් දුරට ගිහින් තිබුන වාහන ය ආපහු හැරුනා.
රුවන්වැල්ල - හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරායේ ලෝකයේ දිගින් වැඩිම සැතපෙන ශෛලමය බුදුපිළිමය නෙලන ස්ථානය ට යන මාර්ගය බව සදහන් පුවරුවක් වගේම තොරණකුත් එතන ඉදිකරලා තිබුනා. එතනින් ඇතුලට මාර්ගයේ කිලෝමීටර දෙකක් විතර ගියාම තමයි පන්සල හම්බවෙන්නේ. පාරට දකිනකොට ලොකු පෙනුමක් නැති වුනාට කන්ද නැගලා ඉහලට යනකොට ගමේ පන්සලක අපූරත්වය දකින්නට පුළුවන්. 



පන්සලේ චෛත්‍යයත් පහු කරලා තවත් ඉහළට නැංගම පිහිටි ගල් තලාවේ නෙලමින් පවතින පිළිම වහන්සේ දකින්න පුළුවන්.

ඇත්තටම අනුරාධපුරයේ, පොළොන්නරුවේ ගිහින් ඒ ඉතිහාසය ගැන ආඩම්බර වෙන අපිට මෑත ඉතිහාසයේත් ඒ වගේ දක්ෂ ශිල්පියෝ ඉන්නවා කියන්න හොදම සාක්ෂියක් තමයි මේ මහා නිර්මාණය. විශේෂත්වය තමයි සම්පූර්ණ නිර්මාණය  අපේ රටේ පාරම්මරික ශිල්පීන් අතින් සිදුවීම. සබරගමු පළාතේ සංඝනායක ශාස්ත්‍රපති නාරංගස්තැන්නේ ධම්මකිත්ති නායක හාමුදුරුවෝ තමයි මේ මහා නිර්මාණයේ නියමුවානන් වහන්සේ.


රුපියල් දහසේ නෝට්ටුවක් විහින්දිගේ අතට ලැබුනා. දුවේ මේක පිළිමේ හදන්න ආධාරයක් විදියට පූජා කරලා එන්න.
"මේ පිළිමෙ නෙළන්න කෝටි 700 ක් විතර යනවා. ඔයාලා දෙන ආධාර මුදල් වලින් තමයි ඒ දේවල් සිද්ද වන්නේ." එතන හිටපු හාමුදුරුවන් වහන්සේ නමක් කිව්වා.

අවුරුදු දහස් ගණනනක් පවතින ලක්ෂ ගණනකගේ වැදුම් ලබන මහා නිර්මාණයක් කරන්න පුංචි හෝ දායකත්වයක් දෙන්න ඔයාලටත් පුළුවන් නම් මේ පින්තූරයේ විස්තර තියෙනවා.
ගිණුම් අංක- 081-2-001-5-001-4319 මහජන බැංකුව- රුවන්වැල්ල
දුරකතන අංක -033 2265239/ 071 9990409

තෙරුවන් සරණයි!