Monday, August 30, 2021

නැවතත් වැඩවසම් යුගයකට.

මා දන්නා ආර්ථික විද්යාවක් නැත්තේය. ඒත් මේ යන විදිය බලන් ඉන්න මට එක එක බහුබූත දේවල් හිතට එන්නේය.

මේ යන විදියට කෙරෙන්නේ රටේ සල්ලි එක තැනකට ගොඩ ගැසෙන එකයි. ඒකෙන් වෙන්නේ ඇති නැති පරතරය වැඩි වෙන එකයි. ඒක එන්න එන්නම වැඩි වෙනවායි.
එක්කෙනෙකුට ආනයනය කරන්න දුන්නම ඒකේ ලාබය කුට්ටිය පිටින්ම එයාට යනවානේ. එතන සල්ලි එකතු වෙනවා.

මට මතක් වුනේ අර පාසල් නිල ඇදුම් දෙන්න කූපන් එකක් දුන්න වැඩේ. ඇත්තටම ඒක රටකට කොච්චර හොද දෙයක්ද කියලා දැන් තේරෙනවා. ඒ කියන්නේ රටේ සල්ලි රට පුරා විසිරෙන එක.
අධ්‍යාපනය ගැන හිතුවොත් දැන් වෙන්නෙත් ඒකම තමයි. ඇති එකා හොදටම ඉගෙන ගන්නවා. නැති එකාට මොකවත්ම නැති වෙනවා. ඇත්තටම කිව්වොත් ගුරුවර්ජනය නිසා වෙච්ච හරියක් නැ. මොකද ඔන්ලයන් ඉස්කෝල වලට ආවේ 40%ක් විතර ලමයි. ඒ යමක් තියෙන කරගන්න පුලුවන් අය. මේ වෙනකොට එයාලගේ අධ්‍යාපනය කොහොමත් කෙරෙනවා. ටියුෂන් පන්ති වලින්. අර 60% ට තමයි මොකවත්ම නැති වෙලා තියෙන්නේ.
රජයේ ප්‍රතිපත්ති වලින් කෙරෙන්නේ ඇති නැති පරතරය වැඩි කරන එක. ඒක වැඩි වෙලා වැඩි වෙලා ගියාම වෙන්නේ ආයෙම වැඩවසම් ක්‍රමයක් ඇති වෙන එක තමයි. මේක ධනවාදය නෙවෙයි. රදලවාදය කිව්වොත් හරි.
තවත් එකක් තමයි, ඔය රජකාලේ හිටියා නේද රදළ කියල කොටසක්. හොදට හොයල බැලුවොත් දැන් කාලේ දේශපාලනය කරන්නේ බහුතරයක්ම ඔය රදළ පෙලපත් වලින් පැවතගෙන එන අය තමයි.
ඉතිං මං ඒකට රදළවාදය කියලා කියන එක වැරදි ද දන්නේ නැහැ.
ඔන්න ඉතිං මං ජෙප්පෙක් කියලා ලේබල් ගහන්න එපා හරිද? මට ඔකුන්ව පෙන්නන්ට බෑ

Monday, August 9, 2021

අධ්‍යාපන ලේකම් ට පිළිතුරු ලිපියක්

මම විදුහල්පති වරයෙක් වුනා නම් අධ්යාපන ලේකම් එවපු මේ ලියුමට මෙහෙම උත්තරයක් රාජකාරි ලිපි ශීර්ෂය යටතේ යවනවා.



ගරු අධ්යාපන ලේකම් තුමනි,
ඔබගේ....... දරණ ...... දිනැති ලිපියට පිළිතුරු වශයෙනි,
ඔබගේ ලිපිය තුලින් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීම කරනු ඇතැයි ඔබ බලාපොරොත්තු වන බව සදහන් කර ඇත. කරුණාකර ඒ පිලිබදව තවදුරටත් පැහැදිලි කර ගත යුතුව ඇත.
මා විදුහල්පති වරයෙක් වශයෙන් ඔන්ලයින් ඉගැන්වීම පිලිබදව පුහුණුවක් ලබා නැත. එබැවින් එම කටයුතු සිදුකලයුතු ආකාරය පිලිබදව ක්රමවේදයක් අධ්යාපන අමාත්යාශයෙන් ලබා දෙන්නේ නම් ඒ අනුව ක්රියාත්මක විය හැකිය.
ඔන්ලයින් ඉගැන්වීම සදහා විවිධ මෘදුකාංග ඇත. පාසැල් කටයුතු සදහා ඔබ විසින් නිර්දේශ කරනු ලබන මෘදුකාංගය කුමක්ද? එම මෘදුකාංගයේ බලපත්ර සහිත පිටපතක් අධ්යාපන අමාත්යාංශය මගින් අප පාසලට ලබාදෙන්නේද? එය අප ලබා ගන්නේ කෙසේද?
අපගේ පාසැලේ බොහොමයක් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම ක්රමවත්ව සිදුකරන ආකාරය පිලිබද දැනුම අඩු මට්ටමක සිටි. ඔවුන්ට ඒ පිළිබදව විධිමත් පුහුණුවක් ලබාගත හැකි ක්රමවේදයක් අධ්යාපන අමාත්යංශය හරහා ක්රියාත්මක වන්නේද? එසේ නම් එම පුහුණුවට මාගේ පාසැලේ ගුරවරුන්ව සම්බන්ධ කර ගන්නේ කෙසේද? මේ දක්වා එවැනි පුහුණුවක් සිදුකරන බවට මා හට දැනුවත් වී නැත.
අපගේ පාසැලේ සිට දරුවන්ට ඔන්ලයින් ඉගැන්විම සදහා ප්රමාණවත් පහසුකම් නොමැත. එබැවින් ගුරුවරුන්ට තම නිවසේ සිට රාජකාරි සිදු කල යුතුව ඇත. එහෙත් ඒ සදහා ඔවුනට ප්රමාණවත් පහසුකම් නොමැති බව ඔවුන් විසින් මා හට දැනුවත් කර ඇත. ඔවුන්ගේ පුද්ගලික භාවිතටය ඇති දුරකතන හෝ පරිගණක මේ සදහා භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිමට මා හට සදාචාරාත්මක අයිතියක් නැත. ඔවුනට ඔවුන්ගේ පුද්ගලික උපකරණ භාවිතා කරන්නේ නම් ඒ වෙනුවෙන් යම් දීමනාවක් හෝ ලබා දෙන්නේ නම් ඔවුනට රාජකාරිමය පැවරීමක් කිරිමට මා හට හැකියාවක් ඇත.
පාසල යනු විෂය දැනුම ලබාදෙන ආයතනයක් පමණක් නොවන බව ඔබ තුමා දන්නා කරුණකි. පාසල තුල සිදුකරන ලබන විෂය බාහිර කටයුතු පිලිබද අධ්යාපන අමාත්යංශය මගින් ගෙන ඇති පියවර කුමක්ද? මාර්ගගතව සිදුකල හැකි ක්රියාකාරකම් පිලිබදව ඔබ විසින් කරනු ලබන යෝජනා මොනවාද?
තවද අප පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් බහුතරයක් ඔන්ලයින් අධ්යාපන කටයුතු සදහා සම්බන්ධ වීමට ක්රමවේදයක් නොමැති පිරිස් වේ. එම දරුවන් වෙනුවෙන් සිදුකිරිමට ඔබ විසින් යෝජනා කරනු ලබන වැඩපිලිවෙල කුමක්ද?
ගරු ලේකම් තුමනි, මෙම කාල සීමාව අප විසින් වෘත්තිය ක්රියාමාර්ග වල නිරත වන කාලයකි. ඒ පිලිබදව වෘත්තිය සමිති මගින් ඔබතුමාව දැනුවත් කර ඇත. ඔබ තුමා විසින් මේ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන ක්රමවේද වෘත්තිය ක්රියාමාර්ග වලින් ඉවත් වූ දිනක සිට ක්රියාත්මක කරන බවද දන්වමි. ස්තුතියි.
පිටපත්-
• විදුහලේ සියලුම අධ්යයන අනධ්යනය කාර්ය මණ්ඩලයට
• දෙමාපියන්ට

Thursday, August 5, 2021

දොස්තරගේ තැනට ගියෙමි

පහුගිය දොහක මගේ තාත්තාට මුත්තරා අඩස්සියක් හැදිලා හොදටම අමාරු වෙලා ගමේ ඉස්පිරිතාලෙට ගිහින් එතනින් බැරිතැන නුවර මහ ඉස්පිරිතාලෙට ගිහින් නතර කලා. ඉතිං එතන්දි බටයක් දාලා පහුවදා ටකට් කපාලා ගෙදර එව්වා ඉලග සතියේ ක්ලිනික් එකට එන්ට කියාලා. ඉතිං මං කියපු දාට තාත්තවත් එක්කං ගියා ක්ලිනික් එකට. එයාව යි අම්මවයි කාර් එකේ තියලා මම ගියා නොම්බරයක් අරන් පෝලිමේ ඉදලා වෙලාව ලං වුනාම එක්කන් යන්නං කියලා.


පිස්සු හැදිලා තවත් ටිකක් වෙන්නට මට හිතුනා. මං යනකොටත් පෝලිම දිගය. මිසී ඇවිත් කොලකැලි බලලා කොන්ක්රිට් බංකුවක වාඩි කරවනවාය. ලෙඩ්ඩු වැඩිය. දැං මීටරය අඩිය විය. අඩිය සෙන්ටිමිටරය විය. ටිකකින් බංකුවේ කට්ටිය ඔඩොක්කු වල වාඩි වෙන තරමට සෙනගය. මිසිට ගානක් වත් නැතිව තවත් එහාට වෙන්නට කියා වාඩි කරනවාය.
තාත්තාව නවය හමාරට විතර එක්කන් එන්නට කියා මිසි මට කීවාය. එයාව එතන පඩිපෙලෙන් එක්කන් එන්නට අමාරු හන්දා වාට්ටුව ඇතුලින් එක්කන් ඇවිත් කාමරය අසලින් නතර කරගන්නට යැයිද කීවාය. ඉතිං මං එ වෙලාවට තාත්තව වාට්ටුව මැද්දෙන් එක්නං ඇවිත් දොර ගාවට කිට්ටු කරගෙන පුටුවක වාඩි කරගෙන සිටියා. තවත් ගොඩක් ලෙඩ්ඩු ඒ විදියට එක්කන් ඇවිත් හිටිය.
පැයක් දෙකක් ගියා. තාම නං කතා කරන්නේ නැහැ. කලින් ඇවිත් හිටපු ලෙඩ්ඩුත් ඇතුලට ගත්තා ටික ටික. එකපාරටම එතටන අවා නර්ස් මහත්තයෙක්. කෝ මෙතන ඉන්න ඇන්ටිජන් කරන්න ආව ලෙඩ්ඩු දෙන්න කියලා ඇහුවා. පිස්සු හැදෙයි. තාත්තා හිටපු තැනට එහා බංකුවේ ඇන්ටිජන් කරන ලෙඩ්ඩු දෙන්නෙකි. ඒ නර්ස් මහත්තයා එයාලා එක්ක කතා බහ කරලා එහෙම කාමරයක් ඇතුලට ගිහින් අර හදේ යන කිට ගහන් ඇවිත් එයාලව එක්කන් ගිහින් ටෙස්ට් කරලා යැව්වා. එයාලා හිටපු බංකුවේ තව ලෙඩ්ඩු වාඩිවෙලා හිටියා. කාටවත් ගානක් නැහැ. පස්සේ ආරංචි වුනා එකම වාට්ටුවේ කොරෝනා පොසිටිව් අයයි නැති අයයි දෙකම ඉන්නවා කියලත්. ඇත්තද දන්නේ නැහැ.
කොහොම හරි දොළහ හමාරට විතර තාත්තව පරික්ෂා කලා දොස්තර මහත්තයෙක්. ඊට පස්සේ සති දෙකකට බෙහෙත් දීලා තියනවා. සති දෙකකින් බටේ ගලවනවා. එතකොට හොදවෙලා තිබුනේ නැත්නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා එව්වා.
ඉස්පිරිතාලේ බෙහෙත් තිබ්බේ නැති හන්දා පාමසියෙන් බෙහෙත් අරගෙන අපි ගෙදර ආවා. සතියකින් ඇක්රේ එකකුත් ගන්න තියෙන හින්දා ඊලග සතියේ තමයි මම ගෙදර ගියේ ආයේ. බෙහෙත් ඉවරයිනේ පුතේ කියනකොට මම උඩ ගියා. රැට විතරක් ගන්න තිබුන පෙති උදේ හවස අරගෙන. ඩබල් ඩෝස්. දැන් මොනවා කරන්නද? දොස්තරටම තමයි කියන්න ඔනේ. දොස්තර මහත්තයා ප්රයිවට් චැනල් කරන්න බැලුවම මේ ටිකේම නිවාඩුලු. ඉතිං ඒ දේම කරන තවත් දොස්තර මහත්තයෙක් බලලා එයාව චැනල් කලා.
දොස්තර මහත්තයා ලෙඩාගේ විස්තර අහලා එයාගේ කොම්පියුටරේ ගහගත්තා. ඊට පස්සේ කිව්වා මේ බටේ ගලවන්න වෙන්නේ ඔපරේෂන් එකකින්. ලක්ෂ එකහමාරක් දෙකක් යයි. කොහෙද කරන්නේ ආසිරි කරනවාද? සුවසෙවනේ කරනවාද? කියලා ඇහුවා. මම කිව්වා මම මම ලෙඩා එක්ක ආවේ බෙහෙත් වැරදිලා දෙගුණයක් පෙවිලා හින්දා මොකද කරන්නේ කියලා අහන්නයි කියලා. ඒක ප්රශ්නයක් නැහැ කිව්වා. ඊලගට මොකද කරන්නේ කියලා මගෙන් ඇහුවා.
හොද වෙලාවට මම වාහනේ යතුර කරකව කරකව නෙවෙයි ගියේ. මං බොහොම අහිංසක විදියට ඇහුවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරගන්න බැරිවෙයිද කියලා. ඉන්ට මං ලියුමක් දෙන්නම් කියලා දඩබඩ ගාලා ටයිප් කරලා ලියුමක් දුන්නා. ඕක ඇරන් එයාගේ කිලිනික් එන්න. එතන්දි ටෙස්ට් එකක් කරලා බලලා ඔනෙ වුනොත් විතරක් ඔපරේෂන් කරනවාලු.
ප්රයිවට් එකේ කිසි කතාවක් නැතිව කපන දොස්තර ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙදි ටෙස්ට් කරලාලු කපන්නේ.
කොහොම හරි බෙහෙත ඩබල් බිව්ව එක මොකද දොස්තර මහත්තයෝ. ඒක අවුලක් නැහැ. ආයේ බෙහෙත් බොන්න එපා. වැඩක් නැහැ. කිව්වා.
මම හා කියලා ආවා.
ඊලග සතියේ මම ගෙදර ගියේ දොස්තර කියපු සල්ලි ටිකත් ලැහැස්ති කරගෙන මොනවා වුනත් කියලා.
මල්ලිව උදෙන්ම පිටත් කලේ නොම්බරයක් ගන්න. එයා හතරවෙනි නොම්බරේ අරගෙන. අපි වෙලාවට ගියා. ඒත් අටට එන දොස්තර ආවේ නවයහමාරට. වෙනදා දොස්තරලා පහක් හයක් ඉන්න තැන එක දොස්තර නොනෙක් විතරයි. තාත්තව බලලා කිව්වා. අපි බටේ ගලවමු. වතුර ටිකක් වැඩිපුර බොන්නකෝ. ගැටලුවක් නැතිව මුත්රා පිටවුනොත් යන්න පුලුවන් කියලා. ඉතිං තාත්තගේ බටේ ගැලෙව්වා නරස් මහත්තයෙක්. එයාට හොදට වතුර බොන්න දුන්නා. පැයක් විතර යනකොට තාත්තට මුත්රා බර හැදුනා. කිසි ගැටලුවක් නැහැ. වැඩේ හරි. අර කියපු පරික්ෂනත් නැහැ. ඔපරේෂනුත් නැහැ.
සල්ලි ගන්න අවුරුදු අසූවක් වයස මගේ තාත්තව කපන්න ගිය දොස්තරට පින් අනුමෝදන් කරලා එතනින් එන්න ලැස්ති වුනා.
කොහොම හරි ඒ ඉවර වෙනකොට දොස්තර නෝනත් නැහැ. එයා ලෙඩ්ඩු දහයක් විතර බලලා ගිහින්. මිසි නෝනා අනික් ලෙඩ්ඩුන්ට වෙන දින දිලා ආපහු යවනවා.
අනික් දොස්තරලාට කොවිඩ් පොසිටිව්ලු. වැඩකරන අයගෙන් බාගෙට බාගයක් පොසිටිව්ලු.
අනේ මන්දා- වෙන ලෙඩවලට ආපු ලෙඩ්ඩු කි දෙනෙක් පොසිටිව් ඇද්ද දන්නේ නැහැ.