Friday, September 3, 2021

මල්වතු අනු නා හිමිට පිළිතුරු ලිපියක්.




                                                                                                                        2021/09/02

අති පූජ්‍ය මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමින් වහන්සේ වෙත

මල්වතු මහා විහාරය

මහනුවර

 

ගරුතර අනනායක හාමුදුරුවන් වහන්ස,

2021 සැප්තැම්බර් මස දෙවන දින ඔබ වහන්සේ විසින් වැඩ වර්ජන අත්හරින ලෙස ගුරුවරුන්ගෙන් ජන මාධ්‍ය හරහා සිදුකල ඉල්ලීමට පිළිතුරු ලෙස ලියමි.

ඔබ වහන්සේ විසින් වැඩ වර්ජන අතහැර දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ වන ලෙසට විවෘත ඉල්ලිමක් කරන ලදි. එම ඉල්ලීම වෙනුවෙන් ගුරුවරයෙක් වශයෙන් මාගේ පිළිතුර ඔබ වහන්සේ වෙත මෙසේ ලිපියකින් ඉදිරිපත් කරමි.

මුලින්ම වැඩවර්ජනයක් යන්න මේ සදහා සුදුසු වචනයක් දැයි මා හට ගැටලුවකි. වැඩ වර්ජනයක් සිදුවීමට නම් රාජකාරි පැහැර හැරිමක් සිදු විය යුතු වන්නේය. එහෙත් මේ අවස්ථාවේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස ගුරුවරු වෙත විධිමත් රාජකාරිමය පැවරීමක් සිදුවී නොමැති බව ඔබ වහන්සේ නොදන්නවා ඇතැයි සිතමි. එබැවින් මේ වන විට සිදුව ඇත්තේ ගුරුවරුන් විසින් තම තමන්ගේ හැකි අයුරින් ස්වෙච්ඡාවෙන් සිදුකල ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් වීමක් පමණී. එය තුල කිසිම රාජකාරි පැහැරහැරිමක් නොමැතිය

එසේම ඔන්ලයින් ඉගැන්වීමට කැමැත්තක් දක්වන ගුරුවරයෙක් වශයෙන් මා හට මෙවැනි ගැටලු රාශියක් ඇත.

ඉගැන්වීම සදහා මා විසින් භාවිතා කල යුතු මෘදුකාංගය කුමක්ද? ඉගැනුම් ඉගැන්වීම් පද්ධතියක් සදහා භාවිතා කල හැකි විවිධ මෘදුකාංග පද්ධති මේ වන විට ඇති අතර විවිධ ගුරුවරු විවිධ මෘදුකාංග භාවිතා කරන්නට ගියහොත් එයින් අසහනයට පත්වන්නේ දරුවන්ය. එබැවින් ඒ සදහා පොදු පද්ධතියක් තිබිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යංශය හෝ වෙනත් අධ්‍යාපන බලධාරියෙක් විසින් එවැන්නක් මේ වන තෙක් නිර්දේශ කර නැත. එසේම එවැනි පද්ධතියක් වේ නම් එය රජය මගින් සපයා දිය යුතු වන්නේය. නැතහොත් ගුරුවරුන්ට එවැන්නක් මිලදි ගෙන තමන්ගේ ඉගැන්වීමේ කටයුතු සදහා භාවිතා කිරිමට හැකියාවක් නැත්තේය. මේ වන තෙක් එවැනි කිසිම දෙයක් සිදුවී නොමැත්තේය.

ඒසෙම ඔන්ලයින් උගන්වනවා යන්න කිසිම ආකාරයට මා හට පැහැදිලි කර ගැනිම අපහසුය. මා කොපමණ කාලයක් උගන්වනවාද? එක් එක් විෂයක් ඉගැන්විය යුතු කාලය කොපමණද? ඉගැන්විම සිදු කරන්නේ කුමන වේලාවේද වැනි කාරණා පැහැදිලි කර ගත යුතුව ඇත. සමහර ගුරුවරු මහ රැ දොලහ පමණ වන තෙක් ඉගැන්විම් සිදු කරන අතර සමහර ගුරුවරු පාන්දර හතරේ පමණ සිට ඉගැන්වීමට පටන් ගතහොත් එය දරුවන්ට මහත් ගැටලුවකි. සමහර ගුරුවරු සතියකට පැය බාගයක් පැයක් උගන්වන අතරෙ සමහර ගුරුවරු සතියට පැය පහක් හයක් උගන්වති. හැම ගුරුවරයෙක්ම පැය හයක් බැගින් උගන්වන්නට ගියහොත් සතියටක පැය ගණන ප්‍රමාණවත් නොවනු ඇත. එසේම ආවරණය කරන විෂය නිර්දේශයේ කොටසක්ද? නැත්හොත් සියල්ලමද?  එබැවින් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාවය ඇත. එවැනි දේවල් සිදුකල යුත්තේ අධ්‍යාපන බලධාරින් විසිනි.

ඊලග කාරණය අප විසින් භාවිතා කරන උපකරණ පිලිබදවයි. ඔන්ලයින් ඉගැන්වීමට භාවිතා කල යුතු ජංගම දුරකතන, පරිගණක වැනි උපකරණ ඉතා මිල අධික භාණ්ඩ වෙයි. දැනට ගුරුවරුන් විසින් තම පුද්ගලික භාවිතයට ගන්නා යම් උපකරණ සීමිත පිරිසක් ලග තිබුනද ඒවා දිගු කාලිනව භාවිතයට ගැනිම නිසා කැඩි බිදි යාමට ඉඩ වැඩිය. එවැනි විටකද කල යුතු දේ පිලිබදව ගැටලුවක් පවති. උපකරණ මිලදි ගැනිම කෙසේ වෙතත් තමන්ගේ පුද්ගලික උපකරණ භාවිතා කරන විට ඒවායේ නඩත්තු වියදමට වත් යම් දීමනාවක් ලැබිය යුතු යැයි මම සිතමි. ගුරුවරයෙකුගේ ඉතා සුලු වැටුපෙන් ඒවා සිදුකිරිම අපහසු බැවිනි.

එසේම ගුරුවරු බොහෝ දෙනෙක් තාක්ෂණය සම්බන්ධයෙන් අවම දැනුමක් සහිත අය වෙත්. ඔවුනට අදාල මෘදුකාංග සමග කටයුතු කල හැකි ආකාරය පුහුණුව ලබා දීමද වැදගත් වනේනේය. එවැන්නක්ද මේ වන තෙක් සිදුවි නොමැත්තේය.

වැදගත්ම කාරණය වන්නේ මෙයයි. මේ හැම උත්සහයක්ම ගන්නේ දරුවන් වෙනුවෙනි. මෙම ඉගැන්වීමේ කටයුතු සදහා දරුවන් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න ලොකුම ගැටලුවකි. රජයම කියන පරිදි ඔන්ලයින් අධ්‍යාපනට පහසුකම් ඇත්තේ රටේ දරුවන්ගෙන් සියයට හතලිහකට පමණී. එසේ වන විට එම පහසුකම් නොමැති ඉතිරි සියයට හැටක් වන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා පියවර කුමක්ද?

දහතුන් අවුරුදු අඛන්ඩ අනිවාර්ය අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන්නේ යැයි උදම් අනන ආණ්ඩුවක් තිබුනද මෙම ගැටලු සහගත අවස්ථාවේදි රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස ගත් එකදු ක්‍රියාමාර්ගයක් නැත්තේය.

ගරුතර අනු නායක හාමුදුරුවන් වහන්ස,

මා විසින් ඉහතින් ඇති ගැටලු ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට හේතුව එම ගැටලු ඉදිරිපත් කරන්නට බලධාරියෙක් නොමැති හේතුවෙනි. කිසිදු බලධරියෙක් එම ගැටලු වලට පිලිතුරු මේ දක්වා ඉදිරිපත් කර නොමැත. ඔබ වහන්සේ ගුරුවරුන් වන අපගෙන් ඉගැන්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටින බැවින්, අප විමසා සිටින්නේ එම ඉගැන්විම සිදුකල යුතු ආකාරයයි. ඔබ වහන්සේ එම කාරණාවන්ද අදාල බලධාරින්ගෙන් විමසා හෝ  අද ආකාරයටම විවෘත ජන මාධ්‍යයයෙන් අපව දැනුවත් කරන මෙන් ඉල්ලමි.   

ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් බෞද්ධ සාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරිමට වාසනාව ලැබේවා.

මෙයට

ඉගැන්විමට කැමැත්තෙන් සිටින ගුරුවරයෙක්.