Sunday, January 13, 2019

මාලුවන්ගේ අපූරු ලෝකයට යමු..

අද විහින්දිව දාලා තාත්තා තනියෙන් ගිය ගමනක විස්තරයක් තමයි කියන්න යන්නේ. ටිකක් අලුත් එකක් හින්ද පුරුදු වුනාට පස්සේ එයාව එක්කන් යන්නයි තාත්තා කල්පනා කලේ.

මාළුවෝ වගේ වතුර ඇතුලේ පිහිනාගෙන යන මිනිස්සු.... වචන වලින් කියන්ට බැරි තරං ලස්සන පාට පාට මාලු ඉන්න පරිසරය... ගිලුණු නැව් තියන ගුප්ත පරිසරය.. මේ වගේ දේවල් පොඩිකාලේ ඉදලා කතන්දර කියවලා විඩියෝ, පින්තූර දැකලා හිත ඇතුලේ සැබවින් විදින්ට ආසාවක් තිබුන දෙයක්...

කොහොම හරි පහුගිය දවසක බුකියේ එහා මෙහා යද්දි scuba diving event එකක් දැකලා ඒකට කතා කරලා විස්තර දැනගත්තා තව ටිකක්. ඒක සංවිධානය කරලා තිබුනේ මාධව කියලා මිතුරෙක්. කොහොම හරි පහුගිය දොළොස්වෙනිදා මටත් ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන් වුනා උණවටුන මුහුදෙදි.


Scuba කියන්නේ උපකරණ කට්ටලයට- ඒ කිව්වේ වතුර ඇතුලෙදි හුස්ම ගන්න යොදාගන්න උපකරණ කට්ටලයට. ඒක පාවිච්චි කරලා ගැඹුරු ජලයේ කිමිදෙන එකට තමයි Scuba diving   කියන්නේ. වාහනයක් පදවන්න උනත් පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ උපකරණ දා ගත්තා කියලා නිකම්ම මුහුද යට කිමිදෙන්න බැහැ. ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. නැත්තං ඉතිං කියන්ට ඕනේ නෑනේ.
මුලින්ම scuba diving කරන්න යන හැමෝටම ඒ උපකරණ ගැන අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේමයි වතුර යටදි කතා කරන්න බැහැනේ. එතකොට හස්ත මුද්‍රාවෙන් තමයි අදහස් හුවමාරු කර ගන්නේ. ඒ සංඥා ඉගෙන ගන්න එකත් නවකයෙක් කරන්න ඕනේ. හුස්ම ගැනීමට අවශ්‍ය වාතය පුරවපු ටැංකිය පිටේ බැදගෙන ඒකට සම්බන්ධ තවත් උපකරණ සමුහයක් එල්ලගෙන තමයි යන්න තියෙන්නේ. මේ ටැංකියේ තියෙන්නේ අධි සම්පීඩිත සාමන්‍ය වාතය. සාමාන්‍යයෙන් එක් ටැංකියක බාර් 200 ක විතර ප්‍රමාණයක් වාතය තියෙනවා. පැයක් විතර කිමිදෙන්න ඒ ප්‍රමාණවත්.
ගැඹුර හා වායු ප්‍රමාණ මනින මීටර

තමන් ඉන්න ගැඹුර දැනගන්න මීටරය, ටැංකියේ ඉතිරි වායු ප්‍රමාණය දැනගන්න මීටරය කියන මීටර දෙකත් උපකරණ කට්ටලයට අයත්. අපිට මේ උපකරණ කට්ටලය දා ගත්තම හුස්ම ගන්ට වෙන්නේ කටින්. නහය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ ඇස් ආවරණයෙන්. ඇගේ බරින් 10 න් එකක විතර ඊයම් බරු තියන පටියකුත් ඉනේ බැදගන්න වෙනවා. නැත්තං වතුරෙ ගිලෙන්නේ නැතුව යනවා. ඔක්කොම උපකරණ කට්ටලයේ බර කිලො විසිපහකට වැඩිය වැඩියි. ගොඩබිමේදි බර දැනුනට වතුරෙදි නම් පොඩ්ඩක් වත් බර දැනෙන්නේ නැහැ.
නවකයන්ට තනියෙන් කිමිදෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. සැම නවකයෙක් එක්කම සුදුසුකම් ලැබූ පුහුණුකරුවෙක් එක් අයෙකුට එක්කෙනක් ගානේ සම්බන්ධ වෙනවා. එයාලා තමයි අපිව වතුර ඇතුලේ එකතු කරගෙන යන්නේ. පුහුණුකරුවා හැම වෙලාවෙම ලගින්ම ඉන්න හින්ද බය වෙන්න දෙයක් නැහැ.
ගැඹුරට යන්න යන්න පීඩනය වැඩි වෙනවා. එතකොට වෙන දෙයක් තමයි අපේ කන් අගුලු වැටෙන එක. පීඩන සමාන කර ගැනීම සැම මීටරයක්ම ගැඹුරට යනකොට කරන්න වෙන දෙයක්. හදිසියේ වත් කට ඇතුලට දා ගන්න රෙගියුලේටරය ගැලවෙලා ඉවතට ගියොත් නැවත ඒක සවිකරගන්න හැටි වගේම ඇස් ආවරණය ඇතුලට වතුර පිරුනොත් ඒක ඉවත් කර ගන්න ආකාරයත් මුලින් නොගැඹුරු දියේදී පුහුණු කෙරෙනවා. ඊට පස්සේ තමයි බොට්ටුවක නැගිලා ගැඹුරු දියට යන්නේ.  
මූලික පුහුණුව ලබමින්

 මුලින්ම ජැකට් එකට හුලං පුරවලා ටැංකියත් එක්කම ‍බෝටටුවෙන් පසුපසට වැටෙන්න ඹ්නේ. වතුරට වැටුනට ගිලෙන්නේ නැහැ. ඊට පස්සේ ජැකට් එකේ හුලං අඩු කලාම ගිලෙනවා. පුහුණු කරුවා ළග ඉදලා සම්පූර්ණ ගමනම එක්ක යනවා. ඒ යන ගමන් එයත් එක්ක සන්නිවේදනය කරන්නේ හස්ත භාෂාවෙන්.  
මට මුලදි නම් කරකොවලා අතැරියා වගේ වුනා. ඒත් විනාඩි කීපයක් යනකොට මුහුද ඇතුලෙ ලස්සන පේනකොට ඒක බලන්න ඕනේ වුනා. ඒක පුදුම ලෝකයක්. හිතාගන්ට බැරි අපූරු ලෝකයක්. ලස්සන ලස්සන කොරල් පර, පාට පාට මාළුවෝ අතරේ පීනගෙන යනකොට දැනෙන චමත්කාරය වචනයෙන් නම් කියන්න බැරි තරම්. ඒක විඳින්නම ඕනේ. ප්‍රදීප් සර්ගෙන් ඉල්ලගෙන ගිය GoPro කැමරාවෙන් වතුර යටදි පින්තූරත් ගන්න පුළුවන් වුනා. හැබැයි ඉතිං වතුර යට ඉන්න අතරේ කැමරාවක් එක්ක ඔට්ටු වෙන්න තරං පලවෙනි සැරේ හින්ද අමාරු වුනා.  කැමරාවේ Touch screen එක වතුර යටදි වැඩ කරන්නේ නැති වුනා. ආය උඩට ඇවිත් ඒක හදාන යට යනවට වඩා යට ඉදලා බලලා ලස්සන විදින්න හිතුනා. ලස්සන මාලුවො බලන අතරෙම ගිලුනු නැවක කොටස් තියන තැනකට අපිව එක්ක ගියා.

ඔන්න මුහුද යට චමත්කාරය දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් මං මෙන්න මං සම්බන්ධ වුන තැන ලිංකුව. කතා කරලා යන්න පුළුවන්. එක් අයෙක්ට රු 7500 ක විතර මුදලක් එයාලා අය කරනවා මේ හැම පහසුකමක්ම ඒකට ඇතුලත් වෙනවා. හැබැයි ඒ ලබන අත්දැකීම වින්දනය ඒ මුදලට වඩා ගොඩක් වටිනවා.



8 comments:

  1. පට්ටයි ... මං මේ ඉරිසියාවේ පැලෙනවා

    ReplyDelete
    Replies
    1. පැලෙන්න පෙර පනින්න මුහුදට - ඔය තියෙන්නේ ලිංකුව

      Delete
  2. මුහුදේ යාත‍්‍රා කරමින් අසිරිය දැක්කාට මුහුදේ යට අසිරිය දැකලා නෑ. ස්තූතියි දැනුවත් කලාට ඊලග ගමනට යොදා ගන්න ඔනේ

    ReplyDelete
  3. මාරයි.පීනන්න නොදන්න කෙනෙකුට ඕක අවුලක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නැහැ. කොහොමක් පුද්ගලික මග පෙන්වන්නෙක් සම්පූර්ණ කාලයම ඉන්නවනෙ.

      Delete
    2. අහලා තිබුනෙ කිමිදෙන්න නං පීනන්න දැනගෙන ඉන්න ඕනා කියලයි.

      Delete
  4. කිමිදීමයි පීනීමයි කියන්නේ ඉඳුරාම කාරණා දෙකක්. මේ වගේ මාස්ටර් කෙනෙක් එක්ක සාමාන්‍ය කිමිදීමකට පිහිනීම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවුනාට කිමිදීම විනෝදාංශයක් ලෙස ඉදිරියට ගෙන යෑමට බලා පොරොත්තු වන අයෙකු හට අනිවාර්‍යයෙන්ම පීනීම ප්‍රගුණ කල යුතු වෙනවා.
    මන්ද කිසියම් වගකීමක් ඇති ස්ථානයකින් කිමිදුම් උප කරණ ලබා දෙන්නේ කිමිදීම සඳහා බලපත්‍රයක් හිමි අයෙකු වෙත පමණයි. ලෝකයේ එවන් බලපත්‍ර ලබා දෙන ආයතන රාශියක් වෙතත් අපේ රටේ වඩාත්ම ප්‍රචලිත ආයතනය PADI - Professional Association of Diving Instructors නම් ජාත්‍යන්තර ආයතනයයි. එවන් වූ ඕනෑම ආයතනයකින් (ඇත්තෙන්ම සංගමයකින්) බල පත්‍රයක් ලබාදීමේදී අවම වශයෙන් එක එල්ලේ මීටර් 200 ක් පීනීමේ හැකියාවක් තිබිය යුතු වෙනවා. මේ කිසිදු පාවෙන උපකරණයක උපකාරයකින් තොරව!
    මේ ගැන පෝස්ටුවක් ඉදිරියේ මා ලියනවා.
    කෙසේ වෙතත් කිමිදීම ගැන ලියා ඇති කුළුඳුල් ලිපිය මෙය විය යුතුයි!
    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ඇත්ත‍ටම එය මාගේ ප්‍රථම හා එකම කිමිදුම් අත්දැකීම ගැනයි ලීවේ. එය මාහට අලුත් වගේම අපූරු අත්දැකීමක් වුනා. ඒ නිසයි ලිවීමට අදහස් කලේ.

      Delete