Thursday, May 28, 2020

නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.


මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී.  මම බෞද්ධයෙක් විදියට පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරනකොට. අපි කවදාවත් එහෙම දෙයක් විදලා නැහැ. ලොකු පිට්ටනියක් මැද්දේ හදපු කහපාට සිවුරු වලින් වටකරපු චිතකයක තමයි අපේ හාමුදුරුවෝ නමක් අපවත් වුනාම ආදාහන කටයුතු සිද්ධ කලේ. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ ගම්පහ මහ දිසාවටම ප්‍රධාන සංඝ නායක වුනත් දේහය ආදාහනාගාරයේ ආදාහයනය කරනවා කියලා කවුරුවත්ම මොකුත්ම කිව්වේ නැහැ. ඒ අපි හැමෝම රටක නීතියට ගරු කරන නීතිගරුක පුරවැසියෝ හන්දා.
තාමත් රටේ නිරෝධානය නීති බලාත්මකයි. 100 කට වඩා එකතැනක රැස්වෙන්න දෙන්නේ නෑ. ඒක රජයේ වගේම සෞඛ්‍ය අංශ ගත්තු තීරණයක්. අපි ඒකට ගරු කරනවා.
ඒත් තොන්ඩමන් මහත්තයා? අපි දේශපාලඥයෙක් විදියට එතුමාට ගරු කරනවා. දෙමළ නියෝජිත වරයෙක් විදියට දකිනවා. ඒත් මේ වෙලාවෙ මේ කරන දේ හරිද? දේහය හැම තැනම අරගෙන යනවා. මහජන ගෞරවයට තියෙනවා. ඒ මදිවට ලොකු පිට්ටනියක මහ සෙනගක් මැද්දේ ආදාහයන කරන්න ලැස්ති කරලා. ඒ මොකද? එයාට විතරක් අමුතු සැලකිලි. අනික තොණ්ඩමන් කියන්නේ දෙමළ මිනිස්සු ගොඩක් ගරු කරන චරිතයක්. ඒ වගේ කෙනෙක්ගේ අවසන් කටයුතු වලට ඒ මිනිස්සු යන්නේ නැති වෙයි කියලා හිතනවාද? දේහය බලන්න මීටරේ තියාන යයි කියලා හිතනවාද? මම නම් මේ කරන දේවල් වලට එකග නැහැ. මොන හේතුවට කරනවාද කියලා දන්න කෙනෙක් ඉනන්නවා නම් පැහැදිලි කරලා දුන්නොත් හොදයි. මට මෙතන දේශපාලනයක් වත් ජාති ආගම් භේදයක් වත් නැහැ. ඒත් මේ කරන දේවල් අපිට තේරෙන්නේ නහැ.
මොනවා වුනත් දෙමළ මිනිසුන්ට කරන අසාධාරණයක් විදියටයි මම මේක දකින්නේ. ඹවුන්ට එකතු වෙන්නට ඉඩ දීලා ඔවුන්ට කරදරය වැටුනොත් පව්. කවුරු වුනත් මේ වෙලාවේ බොර දියේ මාලු බාන්න උත්සහ කරනවා නම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.
-        ලක්ෂ්මන් තිලකරත්න -
-        2020/05/28

Wednesday, May 20, 2020

ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ


 රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිරිවෙන් වල පොඩි හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් යමක් කරන්න කියලා.


ඉතිං මං කල්පනා කලා. ධීරානන්දේ ක්‍රමේ හරියන්නේ නැහැ සමස්ථ පිරිවෙන් පද්ධතිටම. මොකද අපි යමක් කරන්න ඹ්නේ වැඩිම පිරිසටකට ළගා වෙන්න හැකි විදියකට. ඒ වගේම විශාල පිරිසක් සම්බන්ධ වෙන තැනකට පාලන කටයුතු පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නත් ඹ්නේ.
බහුතරයක් පොඩි හාමුදුරුවන් ළග ජංගම දුරකතන තියෙනවා. ඒ ගැන කල්පනා කරලා තමයි microsoft 365 හරහා මේ පද්ධතිය සංවර්ධනය කරන්නට මම අදහස් කලේ. ඒ ගැන හිතලා ව්‍යාපෘති යෝජනාවක් අධ්‍යක්ෂ හාමුදූරුවන්ට හදලා දෙන්න මට පුලුවන් වුනා දවස් දෙකක් තුනක් විතර යනකොටම.
ඒ කටයුතු පිළිබදව සැහිමටකට පත්වෙන බව උන්වහන්සේගේ කතාවෙන් මට තේරුනා. ඉන්පස්සේ microsoft ශ්‍රී ලංකා නියෝජිත ටෙක් වන් ආයතනයට කතා කරලා ගිණුම් විසිදහසක් ලබා දිය හැකිදැයි විමසා සිටියා. ඒ ගිණුම් විසිදහසක් සහිත පද්ධතියක්  දින දෙකක් ඇතුලත ලබා ගන්නට මට  පුලුවන් වුනා. ඒ සියල්ලම වගේම ඒ සදහා සේවා සහයත් නොමිලයේ.
අවශ්‍ය කටයුතු සදහා මට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් උපරිම සහය ලැබුනා. කටයුතු සිදු කර ගැනීමට මුලින්ම තාක්ෂණ කමිටුවක් පිහිටුවා ගත්තා. ඒ සදහා තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක වරු සහ පරිගණක හැකියාව ඇති ගුරුවරු වරුන්ගෙන් සමන්විත හත් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩාමයක් එකතු වුනා. අපි කට්ටිය එකතු වෙලා කතා කර ගත්තා කරන්න පුලුවන් වැඩපිලිවෙලවල් ගැන.
මුලින්ම පිරිවෙන් අවසාන ශ්‍රේණියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉගැන්වීම ආරම්භ කරන්නට අපි තීරණය කලා. ඊළග ගැටලුව වුනේ සියලුම පහ ශ්‍රේණියේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා නම් ලබා ගැනීමයි. ඒ සදහා යාන්ත්‍රණයක් තිබුනද එය එතරම් විශ්වාසදායක වුනේ නැහැ. එම කටයුතු ප්‍රමාද විය හැකිය. ඒ නිසයි අපි තීරණය කලේ සියලුම පිරිවෙන් සදහා එක් පිරිවෙනකට එකක් බැගින් පරිශීලක ගිණුම් පළමු අදියරේදී ලබා දෙන්නට. එක් ගිණුමකින් පරිශිලකයින් දස දෙනෙකුට සම්බන්ධ වීමේ හැකියාව ඇති නිසා එය තවත් පහසු වුනා. ඒ අනුව පිරිවෙන් සංගණන අංකය හා පිරිවෙනෙහි නම යොදාගෙන ගිණුම් සකස් කිරීම සිදු කරනු ලැබුවා.


ඊළග කටයුත්ත වූයේ ගුරු මණ්ඩලයක් සම්බන්ධ කර  ගැනීමයි. ඒ සදහා පිරිවෙන් අංශයේ විෂය අධ්‍යක්ෂ හිමිවරුන් හා මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරුනා. තමන්ගේ විෂය ඉගැන්වීම සදහා සුදුසු ගුරුවරුන් තෝරා ගැනීම වගේම ඉගෙනුම් සිදු කරන විෂය කොටස තීරණය කිරීමත් ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. ඹවුන් විසින් තෝරා දෙනු ලබන ගුරු මණ්ඩලය හැට දෙනෙක්ගෙන් පමණ සමන්විත වුනා. ඒ සියලු දෙනාම අදියර කිහිපයකින් පුහුණු සැසි පහක් මගින් පුහුණු කරනු ලැබුවා. බොහෝ දෙනෙකුට තනි තනිව ගැටලු විසදා දී පුහුණු කරන්නට සිදු වුනා. ඔවුන් විෂය ප්‍රවීණයන් වුවද තාක්ෂණය හමුවේ ඔවුන්ගේ කටයුතු යම් අභියෝගයට ලක්වුන වෙලාවල් තිබුනා. මොවුන් තෝරා ගැනීමේදි අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට හැකිවීම, පරිගණකයක් තිබීම වැනි කරුණු සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් ලබා දීලයි තිබුනේ.
ඊළග අභියෝගය වුනේ මේ පණිවුඩය ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේට ගෙන යන එක. එ සදහා දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් වුනා. උන් වහන්සේලාට මෙම පද්ධතිය හදුන්වා දීමට රැස්වීමක් පැවැත්වුවා. පසුව උන්වහන්සේලා වෙනුවෙන්ද ගිණුම් විවෘත කර දෙනු ලැබුවා. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් තමන් වහන්සේගේ දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති හිමිවරුන් හරහා සිසුන් සම්බන්ධ කරිමේ කටයුතු සදහා සහය වුනා. ඒ අතරේ විෂය අධ්‍යක්ෂ හාමුදුරුවරු මහත්වරු එහෙමත් තම තමන් ළග තියෙන සම්බන්ධතා මගින් මෙය පිරිවෙන් වෙත ගෙන යාමට කටයුතු කරනු ලැබුවා.
මේ වැඩ හිතන පේන තරම් සුන්දර වුනේ නැහැ. සමහර දවස්වලට පාන්දර දෙක තුන වෙනකන්ම ඇහැරලා.  සමහර ගැටලු විසදන්න වරු ගනන් කල්පනා කරන්න වුනා. කොහොම කොහොම හරි අවසානයේදී ඉළිදක්වන්නට පුලුවන් මට්ටමට ආවා.
ඒකත් විශේෂ දවසක් වුනා. ඒ පිරිවෙන් අධ්‍යාපන අනුශාසක හාමුදුරුවෝ අලුතින් වැඩ බාර ගත්තු දවස. එදාම  අධ්‍යාපන ඇමති තුමා, ලේකම් තුමාලා, අධ්‍යක්ෂ හාමුදුරුවෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවරු  වගේම බොහෝ දෙනෙක් ඉදිරියේ කටයුතු ආරම්භ කරන්නට හැකි වුනා. අද ඉදන් හැමදාම ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙන ක්‍රියාත්මක වේවි. පොඩි හාමුදුරුවෝ හොදින් ඉගෙන ගනීවි.  ඒ පාඩම් එකතු වෙලා අවසානයේදී මහා ඩිජිටල් පුස්තකාලයක් හැදේවි.

මේක ආරම්භයක් විතරයි. ගමන තව දුරයි...

Friday, May 15, 2020

Online හමුවට නිවැරදිව එක්වෙමු


රටේ උද්ගත වෙලා තියන තත්වය එක්ක අපිට මුහුණට මුහුණ හමුවිම් සීමා කරන්නට වෙලා තියෙනවා. ඒ සමගම තමයි ගොඩක් රැස්වීම්, හමු ඔන්ලයින් ක්‍රමයට තියන්න අපි පුරුදු වුනේ.
ඔබ රජයේ නිළධාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්. ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, ආයතනයක සේවකයෙක්, ශිෂ්‍යයෙක් මේ හැම කෙනෙක්ටම මේ දවස් වල ඔන්ලයින් රැස්වීම්, වැඩමුලු, පන්ති ආදියට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා. ඒ තැන් වලදි එක එක අයගේ කාර්යය වෙනස්. ඒ අය හැසිරෙන්න ඕනෙ විදිය වෙනස්. ඒ වගේමයි තමන්ගේ ප්‍රතිරුපය ඉහළ යන එක හානි වෙන එක වගේ දේවල් මේ ඇතුලෙදි වෙන්න පුලුවන්.
ඔන්ලයින් රැස්වීමටක සහභාගි වන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මෙම වීඩියෝ මාලාවෙදි මම ඇතුලත් කලා. ඔබ සියලු දෙනාම එය නරඹන ලෙසට මම යෝජනා කරනවා.

ඔබට දැනගන්නට ගොඩක් දේවල් තියේවි. මේ හැම එකක්ම විනාඩි 4 ට අඩු කුඩා වීඩියෝ. 






 මේ වන විට ඇතුලත් කරලා තියෙන වීඩියො ලින්ක් පහත සදහන් කරලා තියෙනවා. 
Online හමුවට නිවැරදිව එක්වෙමු 01
Online හමුවට නිවැරදිව එක්වෙමු 02
Online හමුවට නිවැරදිව එක්වෙමු 03
Online හමුවට නිවැරදිව එක්වෙමු 04
Online හමුවට නිවැරදිව එක්වෙමු 05

තවත් කොටස් ඉදිරියේදී ඇතුලත් කරන්නම්. ස්තුතියි

Friday, May 8, 2020

ධීරානන්දයට වෙසක්...


මෙවර ධීරානන්දය ට වෙසක් ආනන්දයක් වුනා. මේ වෙසක් උත්සවය වෙන කොහේවත් නැති තරම් ඉහලින් සැමරුවේ ධීරානන්දයේ කියලා මං බය නැතිව කියනවා. ඔව් අපි සැම අතින්ම ඉහලයි. එහෙම කියන්නේ අභිමානයෙන්. මේ වෙසක් වෙනුවෙන් ධීරානන්ද වැඩසටහන. මෙතන තියෙන්නේ කරන්න කියලා කියපුවා නෙවෙයි කරපුවා.
  • වෙසක් වෙනුවෙන් සතියක් පුරා සෑම දිනකම උදේ දහම් සිතිවිල්ලක් වැඩසටහන
වෙසක් දින වැඩසටහන
  • උදෑසන ශීල සමාදානය සහ බුද්ධ වන්දනාව - තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ සිට සජීවි විකාශය
  • පෙ.ව. 9.00 ට ධර්ම දේශනය
  • දහවල් සම්බුද්ධ පූජාව - සජීවී විකාශය
  • සවස 6 - සිල් පවාරණය සහ බෝධි වන්දනාව - සජීවී විකාශය - මාබිම වලහේන ශෛලතලාරාමයේ සිට
  • රාත්‍රි 8 - සිට වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය - තම තමන්ගේ නිවෙස් වල සාදන ලද වෙසක් පහන්කූඩු සහ සැරසිලි තමන්ගේ පන්තිවල සමූහ තුල ප්‍රදර්ශනය
  • වෙසක් තොරණ ප්‍රදර්ශනය - ධීරානන්ද බාලදක්ෂ සමූහය මගින් ඉදිරිපත් කරන වෙසක් තොරණ ප්‍රදර්ශනය
  • වෙසක් සුබ පැතුම්පත් නිර්මාණය
  • වෙසක් කවි සංකල්පනා නිර්මාණ
  • වෙසක් චිත්‍ර දැක්ම

තව තවත් දේවල් ඇති.. මං මේ කිව්වේ මට මතක් වුන දේවල්..
ඇත්තටම පුදුම සතුටක්.. මගේ ජීවිතයේ ලස්සනම වෙසක් තිබ්බේ මේ වතාවේ...
-ලක්ෂ්මන් තිලකරත්න-


Tuesday, May 5, 2020

ධීරානන්දය අද පටන් යුධ පිටියක් වන ලකුණු....

රට අස්ථාවර වී ඇති මොහොතක අධ්‍යාපන ආයතනයක කටයුතු අඛන්ඩව සිදු කරමින් විෂය ඉගැන්වීමේ කටයුතු ඉතා විධිමත්ව සිදු කරන ආයතන අතර ධීරානන්දය ප්‍රමුඛතම ආයතනයක් බවට පත්ව ඇති බව මේ වන විට රටේ බොහෝ දෙනා දන්නා කරුණකි.
විෂය ඉගැන්වීමට අමතරව විෂය බාහිර කටයුතු ආරම්භ කිරිමද ආයතනය වඩාත් ඉහල නැංවීමට හේතු වී ඇත. මේ වන විට විද්‍යායතන බාලදක්ෂ ඒකකය මෙන්ම රතු කුරුස ඒකකයද සිය කටයුතු මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුකරගෙන යනු ලබයි.
ධීරානන්දයට නව පිටුවක් එක් කරමින් අද (2020/05/05) දින ධීරානන්ද අන්තර්ජාල චෙස් සංගමය ආරම්භ කිරීමට නියමිතව ඇත. චෙස් පුහුණු කිරීම සිදු කරනු ලබන්නේ ජාතික පුහුණු කරුවෙකු (National Instructor) යොහාන් ඉෂාර මහතා සහ ප්‍රවර්ධන පුහුණුකරුවෙකු වන (Development Instructor) අසංග සපුමල් පියරත්න මහතා විසිනි.

යොහාන් ඉෂාර මහතා

අසංග සපුමල් පියරත්න මහතා
මීට වසර කිහිපයකට කලින් දිනක එම දෙපල සමගින් පැවැත්වූ චෙස් පුහුණු කදවුරක් වෙනුවෙන් තබන ලද සටහනික් සුලු වෙනසක් කර මම මෙයට එකතු කිරමි.
“කලු රජ්ජුරුවොයි සුදු රජ්ජුරුවොයි දෙන්නම තමන්ගේ සේනාව එක්කරගෙන දෙපැත්තට වෙලා කදවුරු බැදගෙන ඉන්නවා. සෙබලු ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම එයාලගේ නායකයෝත් සෙබලුන්ට පිටිපස්සෙන් ඉන්නවා. රජතුමා විතරක් නෙවෙයි බිසවත් සටනට ඇවිල්ල. මහා යුද්ධයක් පටන් ගන්නයි සූදානම. යුද්ධයක් මෙහෙයවන්න ලේසි නෑ. හොදට යුද ශිල්පය ගැන දැනගෙන ඉන්න ඕනේ. රට රාජ්ජ වල කරක් ගහලා හොදට යුද ශිල්පෙ ප්‍රගුණ කරලා ඉන්න හොද පුහුණුකරුවො දෙන්නෙක් අද ධීරානන්දෙ ට ඇවිල්ලා හරියට යුද්ධ කරන හැටි උගන්නන්න.”
ධීර පුතුන්ට ජය වේවා...
  • ලක්ෂ්මන් තිලකරත්න
2020/05/05