Thursday, August 15, 2019

කෝට්ටේ අතීත ප්‍රෞඪත්වය දෑස් මානයට

පිටකෝට්ටේ බංගලාහන්දියේ පිහිටි  ඊ.ඩබ්.පෙරේරා  අනුස්මරණ කෞතුකාගාරය කෝට්ටේ යුගයේ තොරතුරු එක්තැනකදී හමුවන ස්ථානයක් ‌‌මෙන්ම කෝට්ටේ යුගය පිළිබද වූ සුවිශේෂී කේන්ද්‍රස්ථානයකි. මුල් කාලයේදී ඊ.ඩබ්. පෙරේරා මහතාගේ පෞද්ගලික නිවාසය වූ මෙම ගොඩනැගිල්ල පසු කලෙක එතුමා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරන ලදී.


ප්‍රකට නීතීඥවරයෙකු  ‍ඊ.ඩබ්. පෙරේරා මහතා එකල ප්‍රබල සමාජ සේවකයෙක්ද විය. කෝට්ටේ රාජධානි පරගැත්තන්ගෙන් නිවහල් රාජධානියක් බවට පත් කරලීමට අති විශාල කැප කිරීමක් කළ පෙරේරා මහතා "කෝට්ටේ සිංහයා" යන විරුදාවලියෙන් පිදුම් ලද්දෙකි. දහනව සියවස අගභාගයට අයත් සේ සැලකෙන මෙම ඊ.ඩබ්.පෙරේරා අනුස්මරණ කෞතුකාගාර ගොඩනැගිල්ල වර්තමානයේදී කෝට්ටේ ඉතිහාසය සදහා වූ මූලාශ්‍ර හා තොරතුරු ඇතුළත් පුරාවිද්‍යා කෞතුකාගාරයක් ලෙස භාවිත වේ. පැරණි කාසි, පැරණි කැටයම් සහිත පුවරු, පුරාණ ආයුධ, භාජන, ආභරණ හා ඉදිකිරීම් සාධක මෙහි කෝට්ටේ යුගයේ ඉතිහාසය මනාව පිළිබිඹු කරන පුරාවස්තු වේ.


කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති පුරාවස්තු අතර ඊ.ඩබ්. පෙරේරා මහතාගේ උපාධි ලෝගුව, අත් බෑගය හා තොප්පිය වැනි බොහෝ දෑ ඉතා ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇත. තවද ඉංග්‍රිසි යුගයෙහි කෝට්ටේ රාජධානියෙ තුළ භාවිත වූ කොඩි, තුවක්කු, කඩු, කිණිසි ආදියද මෙහි දකිනට ඇත.

කෝට්ටේ යුගයේ අතීත ප්‍රෞඪත්වය මැනවින් සුරක්ෂිත කිරිම අරමුණු කර ගත් මෙම කෞතුකාගාරය ශ්‍රී ලාංකික හෙළ අභිමන් ලොවට කියා පාන්නට දරන වෑයම අති මහත්ය.                                                                                                                                                

Thursday, August 8, 2019

වරුවක නිවාඩුවක්- රණවන පුරාණ විහාරයට


එදා ඉරිදා දවසක්. වෙනදා වගේම කැම්පස් එකට ගියාට හවස ලෙච්චර් එක තිබුනේ නැහැ. දැන් තාත්තාටත් ටිකක් සනීපයි.  විහින්දි ටත් වාර විභාගේ හින්දා සදුදා උදේ අනිවාර්යයයෙන් විහින්දිව ඉස්කෝලෙට ඇරලවන්න ඕනේ. ඒ හින්දම කොළඹ යන්න කියලා පිටත් වුනා.

අද යන්න සුරේෂුත් ඉන්නවා. ඒ හින්දා වාහනේ එලවන එක ලේසියි. මහන්සි වෙනකොට එයාට වාහෙනේ දීලා මට ටිකක් පැත්තකට වෙලා ඉන්න පුළුවන්නේ.

“ලක්ෂ්මන් අයියේ, අද වෙලා තියන එකේ කොහේ හරි ගිහින් යමුකෝ. අර ලස්සන පන්සලක් තියෙනවා කිව්වා නේද?” ඒ සුරේෂ්.
“එහෙමද? හා එහෙනං යමුකෝ...”

අපි පේරාදෙනියෙන් පිළිමතලාව පහු කරලා දුම්රිය හරස් පාර ගාවින් දකුණට දැම්මා. එතන ඉදලා කිලෝමීටර දෙක තුනක් යනකොට රණවන පුරාණ විහාරය හම්බෙනවා.
ඇත්තටම පුරාණ විහාරයක් කිව්වට මේකේ ගොඩක් තියෙන්නේ මෑත කාලයේ කරපු ඉදිකිරීම්. ඒවා හරිම ලස්සනයි. ඒ වගේමයි පරිසරය, භූ විෂමතාවය සියල්ලම සලකලා බලලා කරලා තියන අපූරු නිර්මාණ තමයි තියෙන්නේ.

වාහන පාක් එක ළගින් ඇතුලට යනකොටම තියෙන්නේ තොරණ. ඒක ඉන්දියාවේ සාන්චි තොරණ විදියට තමයි හදලා තියෙන්නේ.

බුද්ධ චරිතය, ජාතක කතා වගේ ගොඩක් දේවල් නිදහස් පරිසරයේ භූ විෂමතාවය අනුව ගැලපෙන විදියට අඹලා තියනවා. අක්කර කීපයක භූමියක් පුරාවට මේ නිර්මාණ දකින්න පුළුවන්. අටවිසි බෝධින් වහන්සේ අසල වැඩ ඉන්න අටවිසි බුදුරජාණන් වහන්සේ, මහින්දාගමනය, සත්තිකුම්භ ජාතකය, දහම්සොඬ ජාතකය ඒ අතර කීපයක්. ගොඩක් ඈතට පේන්නේ බුදුරජානන් වහන්සේ ගමන් කරන ඉරියව්වෙන් වැඩ ඉන්න ඉතා විශාල පිළිමය. ඒක කන්ද මුදුනෙමයි තියෙන්නේ. බුදුන් වහන්සේ පසුපස ගමන් කරන අසූ මහා ශ්‍රාවකයින් වහන්සේ ලා ගේ පිළිම හරිම ශාන්තයි.

දරුවන්ට  වැඩිහිටියන්ට දැනුම ලබා ගන්නට වගේම ශ්‍රද්ධාව උපදවාගෙන වන්දනා මාන කරගන්නටත් අපූරු තැනක් තමයි පිළිමතලාවේ රණවන පුරාණ විහාරය. පින්තූර බලලා විතරක් මදි. ඊළඟ ගමනේදි ගිහිල්ලා එන්නත් යන්න ඕනෙම තැනක්....






























Wednesday, August 7, 2019

රියදුරුට නොපෙනෙන පාර




ගොඩක් වෙලාවට අනතුරක් වුනාම හැමෝම කරන්නේ රියදුරාට දොස් කියන එක. ඒත් මං නං කියන දේ තමයි කිසිම රියදුරෙක් අනතුරක් කරන්න කියලා රිය ධාවනය කරන්නේ නැහැ කියන එක. නීති කඩ කරමින් ධාවනය කරනවා කියන්නේ නම් බරපතල වරදක් තමයි.

අද කියන්න යන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වාහනයක් පදවන රියදුරෙකුට නොපෙනෙන තැන් තියනවා කියන එක ගැන.
මට මෙහෙම දේවල් වෙලා තියනවා. පැති කණ්ණාඩියෙන් දකුණු පැත්තෙ පසුපස බැලුවම කිසිම වාහනයක් නැහැ. ඒ හින්දා දකුණට හරවන්න හරි ඉස්සරහ වාහනයට ඉස්සර කරන්න හරි හදන කොටම කණ ගාවින්ම විදගෙන වාහනයක් ඉස්සර කරනවා. මට හොදටම බැනගෙන.  ඉතිං මං කණ්ණාඩියෙන් බැලුවනේ. වාහනයක් තිබුනේ නෑනේ. එහෙම වෙන්න පුළුවන්ද?ඇත්තටම පුළුවන්.
මේ පින්තූරය බලන්න.

පින්තුරයේ වාහනයේ රියදුරුට පැති කණ්ණාඩියෙන් පෙනෙන පරාසය තමයි කහ පැහැයෙන් දක්වලා තියෙන්නේ. ඊට එහායින් තියන අදුරු කලාපය රියදුරුට පෙනෙන්නේ නැහැ. රතු පැහැති වාහනය කොහොමත්ම රියදුරුට පෙනෙන්නේ නැත්තේ එය ඔහුට පසුපසින් තියෙන නිසාත් පැති කණ්ණාඩියෙන් පෙනෙන සීමාවේ නොවන නිසාත් කියන කාරණා දෙකම නිසයි. 

රියදුරෙකුට නොපෙනෙන ඉදිරිපස කලාපයකුත් තියනවා.පින්තූරයේ රතු පැහැති මගියාව රියදුරුට පෙනෙන්නේ නැහැ. ඔහු පදික මාරුවක් හරහා යනවා වෙන්න පුළුවන්. එහෙම වුනොත් වෙන දේ හිතා ගන්න පුළුවන් නේද? ඒ හින්දා පදික මාරුවකින් යන මගීන්ගේ වගකීමක් වන්නේ ඉදිරියෙන් එන වාහනයේ රියදුරාට තමාව දර්ශනය වුනාද කියන එක ගැන අවධානයකින් පාර මාරු වෙන එකයි. එහෙම නැතිව අනතුරකින් වෙන දේ කිසිම විදියකින් යථා තත්තවයට පත් කරන්න බැරි දෙයක් වෙන් පුළුවන්.
පසුපස නොපෙනෙන කොටස බලා ගන්න නම් රියදුරාට පොඩ්ඩක් බෙල්ල හරවලා ඒ පැත්තත් බලන්නම වෙනවා.මේ ටික දැන ගන්න එක වාහන පදවන අයට වගේම පාරේ ගමන් කරන අයටත් හොදයි. ඒකයි මෙහෙම ලියන්න හිතුනේ.