Thursday, April 23, 2020

ශ්‍රී ධීරානන්ද විද්‍යායතන අථත්‍ය පාසැල

--------------------
මේ ලිපිය ලියන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හේතුවෙන්.
මේ වන විට ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් අධ්‍යයන අධ්‍යාපන කටයුතු ඉතා විධිමත් අයුරින් සිදුවේ. එය සිදු වන ආකාරය පිළිබද සරල විස්තරයක් මෙහිදී ඉදිරිපත් කරමි.
අප පාසැලේ දෙමාපියන් බහුතරයකගේ පවුල් පසුබිම සලකා බැලූ අප ඔවුන් සම්බන්ධ කරගත හැකි පහසුම මග ලෙස වට්ස්ඇප් සමූහ සෑදිමට තිරණය කලෙමු.
සියලුම ශ්‍රේණි සදහා වෙන වෙනම සමූහ සාදා පන්ති භාර ගුරුවරු විෂය භාර ගුරුවරු එහි ඇඩ්මින් ලෙස යොදා සිසුන් ඇතුලත් කලෙමු.
සියලුම සමූහ සදහා පරිවේණාධිපති හිමි සහ නියෝජ්‍ය පරිවේණාඩිපති හිමිවරු ඇතුලත් කල අතර එමහින් සියලු කටයුතු ඔවුන් හරහා අධීක්ෂණය වේ.
ගුරු රැස්වීමක් කැදවා ගුරුවරුන් ට කරුණු පැහැදිලි කර හැකියාව ඇති අයගේ මූලිකත්වය ඇතිව අනිත් ගුරුවරුන් පහුණු කරන ලදි.
කාල සටහනක් සකස් කර දිනකට එක් පන්තියකට උදය වරුවට සහ සවස් වරුවට බැගින් ගුරුවරු දෙදෙනෙක් යෙදෙන පරිදි සකස් කරන ලදි.
අදාල ගුරුවරු සමූහ තුල අදාල කාල සීමාවේදී ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි. එ සදහා ඔවුන් Text Massages, Voice massages, images video ආදිය උපයෝගි කර ගනු ලබයි.
සියලුම පන්ති වල ඉගැන්වෙන පාඩම් වෙන වෙනම බ්ලොග් පෝස්ට් ලෙස එකතු කරනු ලබයි. ශිෂ්‍යයෙකුට ඕනැම පන්තියක ඔනැම දිනයක් තෝරා එදින ඉගැන්වූ විෂය හා සම්බන්ධ වීමට කටයුතු කිරිමට හැකියාව ඇත.
මේ වෙනුවෙන් බ්ලොක් ලියන්නන් කණ්ඩාමක් මුල සිටම පුහුණු කල අතර දැකට එම කණ්ඩායමේ විද්‍යායතනයේ ගුරුවරු, දෙමාපියන්, ආදිශිෂ්‍යන් වෙනත් බාහිර උදව් කරන අයගෙන් සමන්විත වේ. ඔවුන් ගුරුවරුන් විසින් වට්ස්ඇප් සමූහ තුල උගන්වන පාඩම් එකතු කර බ්ලොග් ලිපි ලෙස සකස් කරනු ලැබේ.
සතියක් අවසානයේ නැවත ප්‍රගති සමාලෝචන ගුරු රැස්වීමක් කැදවා ගැටලු සාකච්චා කර ඉදිරි පියවර දැනුවත් කරන ලදි.
දැනට අප විද්‍යායතන පිරිවෙනෙහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 900 න් 600 ක් පමණ දෙනා අථත්‍ය පාසැලෙහි ඉගෙනුම ලබයි. විද්‍යායතන ආචාර්ය මණ්ඩලය 47 දෙනාගෙන් 35 ක් පමණ දෙනා ඉගැන්වීම් සදහා යොමුවී සිටි.
මේ දැක්වූයේ මේ දක්වා කටයුතු වල සාරාංශයයි. මේ වන විට ඉහත තත්වයෙන් පාසැල අඛන්ඩව පවත්වාගෙන යාමට හැකි තත්වයට පත්වී ඇත.
මේ සියල්ල පරි‍‍වේණාධිපති හිමියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ සාමූහික එකතුවක ප්‍රතිඵලයයි

----------------
කලින් මං කිව්වේ කස කාරයෝ විතරයි කියලනේ. මේ බෙර දවුල් තම්මැට්ං එහෙම.. තව තව නැටුං ඉස්සරහට..
මේ ඒ වෙනුනේ අපගේ පර්යේෂණ යොදවන අවස්ථාවයි...
ධීරානන්ද අථත්‍ය පාසැලේ ඉගෙන ගන්නට රටේම දරු දැරියන්ට ලගදිම අවස්ථාව ලැබේවි.
එතෙක් ඉවසන්න.
----------------
ලක්ෂ්මන් තිලකරත්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ආචාර්ය
බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන
තැඹිලිගස්මුල්ල- මාකොල
2020/04/23

Friday, April 17, 2020

කොරෝනාට බෑ මාව වට්ටන්න...

(මේකේ ගන්න තියන දෙයක් තියෙනවා නං අරගන්න. ලොකුකමක් නෙවෙයි. හිතන්ට දෙයක්.. )


1. මම පිරිවෙන් ගුරුවරයෙක්. පාසැල් වහලා හින්දා ඉගැන්වීම් කටයුතු කරන්න විදියක් නැහැ. ඒත් අපිට රජයෙන් වැටුප් ගෙවනවා. ඒවා අරන් ගෙදරට වෙලා ඉන්න නෙවෙයි. ගෙදරට වෙලා වැඩ කරන්න කියලා. ඒ හින්දා මම අපේ පාසැල virtual හැදුවා. ළමයි 900 ක් හිටපු ඉස්කෝලේන් දැන් ළමයි 480 ක් ඉන්න ඉස්කෝලයක් අපිට තියෙනවා. ගුරු මණ්ඩලය 47 න් 30 ක් විතර ඉන්නවා. ඒ කාලේ වගේම ගුරුවරු පන්ති කාමර වල කාලසටහනට වැඩ කරනවා. දරුවොත් ගෙවල් වල ඉදලා වැඩ කරනවා.
2. මම ටියුෂන් ගුරුවරයෙක් - මම කරගෙන ආව ටියුෂන් පන්ති එකක් වත් නතර කරන්නේ නැතිව කලා. මුදල් ගැන හිතුවේ නැහැ. පුලුවන් නම් මුදල් දෙන්න. නැත්තං කිසිම ගැටලුවක් නැහැ කියලා හැම පන්තියක්ම වෙනදා වගේම කලා. මට මුදල් යම් ප්‍රමාණයක් ලැබුනා.
3. මම ව්‍යාපාරිකයෙක්. මගේ කාර් එකක් පික් මි, ඌබර් දිව්වා. රියදුරෙකුත් වැඩ කලා. ඒවා නැවතුනා. ඒ හින්දා කෙනෙකුට රැකියාවයි, මගේ ආදායමයි නැවතුනා. මම කල්පනා කලා, කාර් එකක් තියාන වෙලෙන්න දාලා බලාන ඉන්න ඕනේ නැහැනේ. ඒකේ පිටිපස්සේ සීට් එක නවලා දාලා තව තට්ටු දෙකක් වෙන්න ලෑලි වලින් තට්ටුවක් ගැහුවා. දැන් ඒක කුරියර් සර්විස් එකක් හරහා කීල්ස් එකේ ඩිලිවරි යනවා.
4. මම ශිෂ්‍යයෙක් - මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මගේ පශ්චාත් උපාධිය හදාරනවා මේ දවස් වල. දැන් විශ්ව විද්‍යාලය ඔන්ලයින් ක්‍රමයට පටන් ගන්න සූදානම්. මේ මාසේ අග ඉදලා. එතකොට මම ඒකටත් ලෑස්තියි.
5. මම දරුවෙක්. මගේ අම්මයි තාත්තයි ඉන්නවා. ගොඩක් දුර. හැම සති අන්තෙම මම එයාලා බලන්න ගියා. ඒත් දැන් යන්න බැහැ. තාත්ත ගොඩක් වයසයි. එයාලට කෑම බිම කිසිම දේක අඩුපාඩුවක් නැහැ. මල්ලි ඒ හැම දේම බලනවා. ඒත් එයාට මං දකින්නේ නැතිව ඉන්න ගොඩක් අමාරුයි. කරන්න දෙයක් නැහැ. මං හැමදාම එයාලට කතා කරනවා. දැන් දවසක් ඇර දවසක් එයලා ඉන්න තැනට මල්ලි අතේ ෆෝන් එකක් යවලා වීඩියෝ කෝල් එකක් අරන් කතා කරනවා. මගේ මූන දැකලා ටිකක් එයාලගේ හිත ටිකක් හැදෙනවා.
6. මම දරු පවුල් කාරයෙක් ගෙ දරම ඉන්න හින්දා ඉතිං ගෙදර ගැන කියන්න ඕනේ නැනේ. ඉස්සරට වඩා ගොඩක් දැන් ගෙදර ගැන මං දන්නවා. ගෙදර හරි ෂෝක්
7. මං මේ ටික කිව්වේ මගේ ලොකු කම කියන්නවත්, කාවවත් වට්ටන්න වත් නෙවෙයි. ටිකක් හිතන්න, පවතින තත්ව වලට අනුවර්තනය වන්න එතකොට හැමෝටම ක්‍රමවේද හමුවේවි.
8. ඔයාට ඕවා කරන්න පුලුවන් වුනාට අපිට බෑ කියලා කණගාටු වෙන්න පසුතැවෙන්න එපා. ටිකක් හිතන්න. අලුත් පාරක්, අලුත් විදියක් හම්බ වෙනවාමයි.
9. ජය වේවා. වාසනා වේවා. නව අදහස් පහළ වේවා. තෙරුවන් සරණයි.

Sunday, April 12, 2020

WhatsApp වලින් උගන්වන්න පුළුවන් ද?


පටන් ගන්න කොටම විහිලුවක් වගේ පෙනේවි. ඒත් ඒ විහිලුව විහිලුවක් නොවන තැනට වග බලාගන්න කරන පුංචි උත්සහයක් විදියටයි මේ ලිපිය ලියන්න උත්සහ කලේ.
මේ දිනවල පාසැල් වහලා. ලබන සතියේ පටන් ගන්න තිබුන එක තවත් කල් ගිහිල්ලා. කවදා ඕක පටන් ගන්න වේවිද කියලා දන්නේ නැහැ. ඒ හින්දම බොහොමයක් පාසැල් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද ගැන හිතන්න පටන් අරන්. එයාල විවිධ ක්‍රමවේද අත්හදා බලමින් යනවා.
මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි ‘වට්ස්ඇප්’ ගෲප් සකස් කර ගැනීම. මුලින්ම කොළඹ ලොකු ඉස්කෝල වලින් පටන් ගෙන දැන් ගමේ පොඩි ඉස්කෝලෙටත් ඒක ඇවිල්ලා.
තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක් විදියට මම දන්න දේ නම් ඉගෙනුම් කළමණාකරණයට වට්ස්ඇප් සුදුසු ක්‍රමයක් නෙවෙයි කියන එක. ඒ සදහා සුදුසු platform ගොඩක් තියෙනවා. මම මෙහෙම කියද්දි ඔබටත් එක එක දේවල් මතකයට ඒවි. ඔව්. මමත් ඒවා දන්නවා. අපි ඒවට යන්න ඕනේ තමයි. ඒත් මම අද කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.


වට්ස්ඇප් තමයි සුදුසුම...

ඇයි මං එහෙම කියන්නේ. ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයගෙන් බහුතරය වට්ස්ඇප් පාවිච්චි කරනවා. ඒ හින්දා තමයි කණ්ඩායම එකතු කර ගන්න ලේසිම වට්ස්ඇප් ගෲප් එකක් හදන එක. අලුතින් වෙනත් මොනවත් ඇප් දාගන්න වෙන්නේ නැති හින්දා මේ හරහා බේස් එක හදාගන්න ලේසියි.
ගොඩක් පාසැල් වරද්දා ගත්තු තැන..
ගොඩක් පාසැල් වල පන්ති කාමර වලට වට්ස්ඇප් ගෲප් හදා ගත්තා. සමහර ඒවා කලින් හදාගෙන තිබුන ඒවා. ඉස්කෝල වැහුවම එයාල මේක පාඩම් වලට යොදාගන්න තීරණය කලා. ගොඩක් පාසැල් වලට වැඩ කරන්න ඕනේ වුනා වගේම සමහර ඒවට ඕනේ වුනේ වැඩ කරනවා කියලා පෙන්නන්න. මේක ගෲප් වලට ගුරුවරුන් ඇතුල් කලා. ඉතිං ගුරුවරුන්ටත් මේ ගැන තේරුමක් නැති හන්දා මොනවා හරි කලා.
ටියුෂන් කරන ගුරුවරු එයාලගේ ටියුෂන් පන්ති වල දුන්න ටියුට් ඔක්කොම ගෙනත් එකවැරම මෙතන අතෑරියා. සමහර ඒවා පිටු විස්ස තිහේ pdf. සමහරු පොත් පිටින් පොටෝගහල දැම්මා. ලමයිනුත් චැට් එකේ එක එක ඒවා දැම්මා. දැං ඒක මහම මහ අච්චාරුවක් වුනා. වැලේ වැල් නැතිව ගියා. ගුරුවරුත් අර මහ ගොඩක් එකවැර අතැරලා දාලා අතුරුදහන් වුනා. ලමයිනුත් මොකුත් කලේ නෑ. කරන අය තව අතරමං වුනා. මොනවා කරන්නද? මෙච්චර වැඩ කොහොමද කරන්නේ කියලා. කලත් කවුරු බලන්නද කියලා හිතපු අයත් හිටියා.
අපි කරපු දේ...
අපිත් වට්ස්ඇප් ගෲප් හැදුවා. කලාපෙන් අපිට කියලා එවන කොට අපි ක්‍රියාත්මක වෙලයි තිබුනේ. සමාන්තර පන්ති තුනක් තිබුනට අපි ගෲප් හැදුවේ ශ්‍රේණි මට්ටමෙන්. මොකද අපේ පාසැලේ දෙමාපියන්ගේ තරාතිරම අපි දන්න හන්දා. කොහොම කොහොම හරි දවස් හතරක් මහන්සි වෙලා ලමයි නවසීයකින් තුන්සීයකගේ වට්ස්ඇප් අංක හොයා ගත්තා. ගුරු මණ්ඩලයෙත් තුනෙන් දෙකක් විතර තමයි එකතු කර ගන්න පුලුවන් වුනේ.
කොහොම කොහොම හරි ගුරු රැස්වීමකුත් තිබ්බා. ඒකට පාවිච්චි කලේ වොයිස් මැසේජ් ක්‍රමය. ඒ හරහා ඉදිරි වැඩ පිලිවෙලක් සාකච්චා කර ගත්තා.
ඒ අනුව දවසකට විෂයයන් දෙකකට ගුරුවරු දෙන්නා ගානේ පන්ති වලට දාලා කාල සටහනක් හැදුවා. උත්සහය දවසේ එක දරුවෙක්ට පැය දෙකක තුනක් වැඩෙහි යොදවන්නයි.

වට්ස්ඇප් වලින් උගන්වන්නේ කොහොමද?

පළමුවැනි ආදර්ශ පාඩම. - විෂයය ඉතිහාසය සිංහල වැනි විෂයයක්
ගුරුවරයා voice massage එකකින් දරුවන් ඇමතීම. පාඩම පිළිබද හැදින්වීම. පාඩම විස්තර කිරීම. පින්තූර අවශ්‍ය වෙලාවට ඒවැනි පින්තූර කඩදාසි වල ඇදලා තියාගෙන පින්තූරයක් අරගෙන දැමීම සහ ඒවා විස්තර කිරීම. සටහන් ලබා දීමට ගුරුවරයා හාෆ්ෂීට් කඩදාසි වල සටහන් ලියා පින්තූර ගෙන ඒවා යැවීම. සටහන් පොත් වල ලියාගැනීමට උපදෙස් දීම. ඇගයීමට ගැටලු ලබා දීමට අවශ්‍ය නම් ගැටලු කොලයක ලියා ඒවගේ පින්තූරයක් අරගෙන යැවීම.  දරුවන්ට පිළිතුරු ලියා තමන්ගේ පුද්ගලිකව ඒවා එවීමට පැවසීම හා එවන පිළිතුරු හරි වැරදි බලා ආපසු යැවීම. දවස අවසානයේ දී සමාලෝචනයක් යැවීම.

දෙවැනි ආදර්ශ පාඩම - ගණිතය විෂයය
e-thaksalawa වෙබ් අඩවියෙන් අදාල පාඩමෙහි වීඩියෝව සොයාගෙන එහි link එක ගෙන දරුවන්ට යොමු කිරීම සහ ඉන්පසුව එය අධ්‍යයනය කිරීමට යොමු කිරීම. පෙළ පොතෙහි අදාල අභ්‍යාසය සදහන් කර එය සාදන ලෙස උපදෙස් දීම. දරුවන්ට පිලිතුරු ලියා ගුරුවරයාට පුද්ගලිකව එවීමට උපදෙස් දීම සහ ඒවා නිවැරදි කර යැවීම. පොදු ගැටලු ඇත්නම් දවස අවසානයේ සමාලෝචනයක් ඉදිරිපත් කිරීම. ගැටලු විසදා ඒවා පින්තුර ගෙන සමූහයට යොමු කිරීම.

තුන්වැනි ආදර්ශ පාඩම - නැටුම් විෂයය
ගුරුවරයා අදාල කොටස නටා එය තමන්ගේ ජංගම දුරකතයෙන් වීඩියෝ කර සමූහයට මුදා හැර දරුවන්ට ඒ ලෙසට පුහුණු වීමට උපදෙස් දීම.

හතරවැනි ආදර්ශ පාඩම - සංවාද ක්‍රමය - ඉංග්‍රීසි විෂයය
ගුරුවරයා Voice massage හරහා දරුවන් සමග සජීවී සංවාදයක් ගොඩ නැගීම

පස්වැනි ආදර්ශ පාඩම - සිංහල කවි පන්තියක්
කලින් අදුනාගත් දරුවෙකුට කවි ගානයක් කිරීමට අවස්ථාව ලබාදීම. එය පාඩමට කලින් දරුවාට අමතා වොයිස් මැසේජ් එකක් ලෙසට තමාට ගෙන්වා ගෙන හෝ කණ්ඩාමයට යොමු කිරීමට උපදෙස් දී ඒ සමග පාඩම ගොඩ නැගීම. පැහැදිලි කිරීමට වොයිස් මැසේජ් යොදාගත හැකියි. සටහන් ලබා දිය හැකියි.

හයවැනි පාඩම- තොරතුරු තාක්ෂණය
Zoom, microsoft teems වැනි මෘදුකාංගයක් භාවිතයෙන් සජීවී ඉගැන්වීමක් සැලසුම් කල හැකිය. එවැන්නක සබැදිය වට්ස්ඇප් සමූහයට මුදාහැර අදාල වේලාවට සම්බන්ධ වන ලෙස දැනුවත් කර පාඩම මෙහෙයවීම
-----------------------------
ආධාරක- පෙළ පොත දරුවන් අත තිබෙන බැවින් එය උපයෝගි කර ගත හැකිය. ගුරුවරයා සතුව පෙළ පොත් මේ වන විට නොමැති නම් edupub.gov.lk මගින් ඒවා ඩවුන්ලෝඩ් කර ගත හැකියි.  
අවැසි තරම් පින්තුර සොයා ගත හැකිය. වීඩියෝ වල සබැදි සොයාගත හැකිය.
දෙමාපියන් මේ දිනවල නිවෙස් වල සිටින බැවින් ඔවුන්ගේ සහය ඉගැන්වීම් කටයුතු සදහා යොදා ගත හැකිය.

ඉහල මට්මමේ මෘදුකාංග සහ වේදිකාවන් තිබුනද ඒවා සම්බන්ධව මේ අවස්ථාවේදී සාකච්ඡා නොකරමි. මා මේ අවස්ථාව භාවිතා කලේ ඉතා සරල මට්ටමේ විසදුමක් යෝජනා කිරීමටයි. ඉදිරියේදී වඩා හොද දේවල් ගැන කතා කරමු. මොකවත් නැතිවට වඩා යමක් කරන්නට උත්සහ කරමු. සමස්ථය යට සාධාරණය විය යුතුයි තමයි. ඒත් එහෙම කියලා අවස්ථාව තියෙන අයගේ අවස්ථාව කප්පාදු කරන්නෙ නැතිව සහය වෙමු. ස්තුතියි.
test


Sunday, April 5, 2020

සොබාදහමෙන් පණිවිඩයක්


මිනිසා උපන් දා සිටම නෙක දේ රැස් කරන්නේ දිවිය එතරම් ඉක්මනින් හැර යන්නට නම් නොවේ.අනාගත දිවියේ සාර්ථකත්වයට සුවහසක් බලාපොරොත්තු සිත තුළ පොදි බැදගෙන දිවා රෑ නොබලා මිනිසා වෙහෙසුනේ සිය බලාපොරොත්තු වලට ප්‍රශ්නාර්ථ එක්කරමින් අතහැර යන්නට ද නොවේ.අපව මෙලොවට රැගෙන ආ ඒ ශක්තියම අපට අද එරෙහිව ක්‍රියා කරනවා.ජීවිතය ඒතරමටම ස්ථීර නොවේ. එයයි ලෝක සත්‍යය.
පරිසරයේ හදගැස්මට සවන්දුන් කාලයක් , වැට කොටු මායිම් නොමැතිව පරිසරය හා ජිවත් වූ කාලයක් අපට තිබුණා.අද අපි ජීවත් වෙන්නේ දියුණු ලෝකයක. අහසට නැගුණු යෝධ යකඩ කඳන්, ඇළ දොළ ගංඟා පොළොවට සමතලා කොට සැතපුම් ගණන් දිවෙන දිගු මංමාවත්, ඒ මත දිවෙන සුඛෝපබෝගි යකඩ යන්ත්‍ර, එයයි අප අද ජීවත් වන දියුණු ලෝකය.ඇත්තෙන්ම මෙයද දියුණුව කියන්නේ? අප කෙතරම් නම් පරිසරයෙන් දුරස් වීද යත් සුළඟක් හමන්නටවත් මඟක් නැහැ දැන්. සෑම තැනකම බාධක.

පින්තූරය අන්තර්ජාලයෙන්

වත්මන් මිනිසුන් විදුලි වැටවල් වලින් සතුන් කොටු කර නිදහස සෙවුවා.වනාන්තර සඟවා යකඩ කදන් තුළින් දියුණුව පැතුවා.එලෙස සතුන් කොටු කළ මිනිසුන්ට අද නිවෙස් තුළකොටු වීමට සිදු වී තිබෙනවා. සිතන්න! මෙයද අපෙන් විය යුත්තේ.මෙම කාලපරිඡ්චේදය ඒ පිළිබඳව අපට සිතන්නට සොබාදහම විසින් ලබා දුන් අවස්ථාවක්.එසේම පරිසරයට නිදහසේ හුස්මක් ගැනීමට පරිසරය විසින් ලබාගත් අවස්ථාවක්.


මිනිසාගේ ජීවන කථාව තුළ ආරම්භයක් මෙන්ම අවසානයක් නියත වශයෙන්ම ලියැවී තිබෙනවා. එය කවදා කෙසේ කොතැනක වේ දැයි යන්න සඳහන් නොවීමයි අප වඩාත් සිතිය යුත්තේ. මීට මාස කීපයකට පෙර අපට මෙම සත්‍ය පිළිබදව නිකමටවත් සිතුනේ නැහැ.සිය අසීමිත බලාපොරොත්තු පසුපස හඹා යමින් කාර්යබහුල ශීග්‍රගාමී දිවිය සුපුරුදු ලෙස ගෙවා දැමුවා. නමුත් නොසිතු විරූ ලෙස අපට මෙවන් තත්වයකට මුහුන දීමට සිදු වේ යැයි ඔබ සිතුවේද?නමුත් ඒ තිත්ත ඇත්ත අද අප ඉදිරියේ ජීවමානව පෙනී සිටිනවා.දිවියේ අස්ථිරතාවය , කවදා නම් අපට මිය යෑමට සිදුවේද යන බිය දැන් මිනිස් හදවත් ගිලගෙන.එදා සිටි මිනිසාත් අද සිටින මිනිසාත් දෙදෙනෙක් ඒදා අපේ ආදරණීයෙකු අසනිප වූ විට  “අනේ අපොයි එයාට වෙච්ච දෙයක්” යැයි පැවසූ අපේ සිත් තුළට අද යමෙක් අසනීප වූ විට මා ඔහුව කොහේදි හරි හමුවී තිබෙනවාද? මා මොහුව ළඟින් ඇසුරු කර තිබෙනවාද? යන  ප්‍රශ්න මතුවන්නේ නිතැතින්මයි. මෙවන් තත්වයකදී සිදුවිය යුත්තේ එයම මුත් මිනිසා ඒ තරමටම සමාජයෙන් ඈත් කර පවුල නමැති ඒකකය තුළ කොටු කිරීමෙන් මෙම සොබාදහම බලාපොරොත්තු වූයේ කුමක්ද?සොබාදහම අපට දිමට උත්සාහ කරන්නේ පළමුව පවුලක් සේ ගොඩනැගී පසුව සමාජය ගොඩනගන්න යන පණිවිඩය නොවේ ද?
ජීවත් වීමේ බලාපොරොත්තුවත් මරණයේ ආරාධනාවත් අතර දෝලනය වන මෙවන් අවස්ථාවක අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?අප අපගේ මාතෘ භූමියේත්,ශ්‍රී ලාංකිකයන්ගේත් හිත සුව පිණිස කළ යුත්තේ කුමක්ද?
එක් අතකින් සොබාදහම විසින් මුළු ලෝකයම උඩුයටිකුරු කරන මේ අවස්ථාවේ අපට ජීවිතය පිළිබඳ යම් නිශ්චිත තීරණයකට එලඹීමට දින 14 ක් දි තිබෙනවා.සත්තකින්ම මෙම දින 14 අන්තයේ අප රැස්කළදෑ පරිහරණයට අපට හැකි වේවිද? අපට සුපුරුදු ලෙස ආදරණීයන් සමඟ සතුටින් සිටීමට හැකි වෙවිද? එය අප කාටවත් නිශ්චිතව කිව නොහැකිය.
පින්තූරය අන්තර්ජාලයෙන්

මෙය සොබාදහම විසින් අපට සිතන්නට දුන් එක් සුවිශේෂී අවස්ථාවක්. අප විසින් පරිසරය වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, සිය පවුල වෙනුවෙන් එපමණක් නොවේ තමා වෙනුවෙන් සිදුකර ඇත්තේ මොනවාද ? යැයි සිතිමට සොබාදහම විසින් අපට ලබාදුන් අවස්ථාවක් මේ. පවුලක් සේ එකට සිටිමට කාර්යබහුල ශීග්‍රගාමී ජිවිතයේ යම් විවේකයකට අපට ලැබුණු අවස්ථාවක් මේ.එපමණක් නොවේ මිනිසත්කම් ඉස්මතු කරන්නටද මෙය හොඳම අවස්ථාවක්.රට මෙවන් ව්‍යවසනයකට පත්ව ඇති අවස්ථාවක එදා වේල සපුරාගන්නා කොපමණ නම් පිරිසක් කුසගින්නේ ඇද්ද? තමා විසින් එකතු කළ පුංචි කැටයක් මේ සඳහා වැය කිරීම මෙවන් අවස්ථාවකදී කිසිවිටකත් අපතේ නොයයි.කැටයක් තුළ සිර වී ඇති මුදල් දැකීමට වඩා  එයින් ඔබ කරන පරිත්‍යාගයේ සතුටු කදුළු දැකිම ඔබේ සිත කෙතරම් නම් සතුටින් පුරවාලිය හැකිද?
මා දන්නවා, ඔබ සුදානම් නෑ, වැද්දන්ගෙන් බණ අසන්න.මා මේ සතුට අත් වින්ද කෙනෙක්.සෑමදාම පාසල් යන විට තාත්තගෙන් රුපියල් 20 ක් ඉල්ලගන්න එක මගේ පුරුද්දක්.ඒ රුපියල් 20 දවසින් දවස එකතු කරලා මම පුරවපු පුංචි කැටය එදා වේල සොයා ගැනිමට වැඩ කරන පවුල් 05 ක කුසගිනි නිවන්න උදවු වුණා.මෙයයි අපට මෙවන් අවස්ථාවකදී සිදුකළ හැකි හොඳම දේ.මේකෙන් කියන්නේ බඩු මළු අරගෙන ගෙයක්ගානේ ගිහිල්ලා තවත් කරදර ගෙදරට ගෙන්නගන්න කියලනම් නෙමෙයි.ඒ සඳහා බොහෝ විකල්ප සමාජය දෙස හොඳින් බැලුවහම හමුවෙනවා. ඔබට හැකිනම් එවන් අයෙකු වෙනුවෙන් ඔබ ඉතිරි කළ පොඩි හෝ දෙයක් වෙන් කිරිමට ඔබ දෙලොවටම යමක් කර ඇති බව සිතා ඔබට සතුටු විය හැක.එය, ඔබ අතින් ඉටු වෙනවාද?
සෞඛ්‍ය සේවාවන් මේවන විටත් සිය ජීවිතය ගැනවත් නොසිතා වෙහෙස වන්නේ මිනිසාගේ නොසැලකිලිමත්කම නිසාම නොවේද?ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් සිය පුංචි දරුවා දෙසවත් නොබලා නිවසේ වෙනම කාමරයක හෝ රෝහලේම හෝ රාත්‍රිය ගෙවනවා. මවකට සිය දරුවාගෙන් දුරස්ව සිටිනවා තරම් වේදනාවක් තවත් ලොව පවතීද?එපමණක් නොවේ ආරක්ෂක නිලධාරීන් ,ඔවුනුත් අප සේම මිනිසුන් නොවේද?කවර හෝ මවකගේ පුතුන් නොවේද? මෙම අවස්ථාවේ ඔවුන්ගේ දිවිය  ඔවුන් කෙතරම් නම්  අනතුරේ හෙලනවාද?අපට ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවස තුළ රැදීසිටීම පමණයි.මොවුන් කරන සේවාව දෙස බැලීමේදී අපට ඇත්තේ ඉතා සුළු කාර්යයක්. එය සිදු කිරීම අපේ යුතුකමක් මෙන්ම වගකීමක්.
සොබාදහම විසින් ඔබට  විවේකිව පවුලක් සේ සිටීමට දුන් මේ අවස්ථාවේ අපගේ මතු යහපත උදෙසා කෙතරම් නම් පිරිසක් මේවන විටත් අවදියෙන්ද? ඔවුන්ටත් සිය ආදරණීයන් හා එක් වීමට , නැවතත් ජීවත් වෙනවා යැයි සිතීමට අවස්ථාවක් ලබාදීමට අප ජාති ආගම් භේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව සිය යුතුකම් ඉටු කරමු.නිවස තුළම රැදෙමු.පරිසරයට සවන් දෙමු.

-විහින්දි සඳින්මා-          
10 ‌‌‌ශ්‍රේණිිය

Friday, April 3, 2020

අන්තර්ජාලය හරහා ඉගැන්වීම පිළිබද මගේ අත්දැකීම් 1

පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ බොහොම අමාරුවෙන්. ඒ ඉන්න ගමන් කල්පනා කලේ කරන්න පුලුවන් දේවල් ගැන. දරුවන්ට අන්තර්ජාලය හරහා උගන්නන්න පුලුවන් නං හොදයි කියන සිතුවිල්ල ආවේ ඊයෙ හවස. ඉතිං ඒක හිතුනම කරන දේවල් ගැන කල්පනා කලා.
දරුවො කිහිප දෙනෙකුට කතා කරලා බැලුවා මගේ අදහස ගැන. දෙන්නෙක් වැඩේට හරි. මොකද ගෙදර හොද ඉන්ටනෙට් ලයින් එකයි, ලැප්ටොප් එකයි තමයි මං බැලුවේ.
මම මුලින්ම හිතුවේ teamviewer හරහා සම්බන්ධ වෙන්න කියලා. එහෙම හිතලා ගෙදර තියෙන ලැප්ටොප් දෙකක් කනෙක්ට් කරලා බැලුවා. වැඩේ අවුලක් නැහැ. කරන්න පුලුවන් වගේ පෙනුනා.
මුලින්ම උගනන්ට ලැස්ති වුනේ දුවෙකුට. දන්නවානේ ඉතිං උසස් පෙළ උනත් කෙල්ලෝ උනහම. කම්පියුටරේ සෙටින්ස් මොනවා හරි හදාගන්න කිව්වත්, මොනවා හරි ඉන්ස්ටෝල් කරගන්න කිවුවත් ඇඹරෙන ඇඹරිල්ල. ඔන්න මෙතනත් එහෙමම තමයි. ඉතිං මොනවා කරන්නද? 10 පන්තියේ ඉන්න එයාගේ මල්ලිට කතා කරලා පොඩි මහන්සියක් වෙලා කොහොම හරි teamviewer ඉන්ස්ටෝල් කරගත්තා.  ලෙඩේ ආවේ කනෙක්ෂන් එක හදාගන්න කොට. වැඩේ කෙරෙන්නෙම නැති පාටයි. පස්සේ බැලින්නම් එහා පැත්තේ ඉන්ටනෙට් යන්නේ ඩොංගල් එකකින්. එයාටෙල් සිග්නල් කණු දෙකයි තියෙන්නේ. එකත් අඩුවැඩි වෙනවා. දෙතුන්පාරක් උත්සහ කරලා වැඩේ අතැරලා දැම්මා.


ඊළගට කලේ වෙනත් දරුවෙකුට කතා කරපු එක. ඒත් දුවෙක්. මං වෙන විදියක් කල්පනා කලා එතන්දි. දුවට chrome හරහා gmail එකකට ලොග් වෙන්න කියලා, එයාගේ මේල් ඇඩ්රස් එකත් ඉල්ලා ගත්තා. ඊළගට මමත් මේල් එකට ලොග් වෙලා hangout වලින් request එකක් තිබ්බා. මගේ මේල් ඇඩ්රස් එකත් එයාට sms එකකින් යවලා එයාට මට වීඩියෝ කොල් එකක් ගන්න කිව්වා. වැඩේ හරි. දැන් එයාට මාව පේනවා . මට එයාව පේනවා. ඒත් තව මදි. ඒ දරුවා කම්පියුටරේ වැඩ කරනවා මං බලාගන්න එපායැ. ඒකට තමයි හැගවුට් වල Screen Share තියෙන්නේ. දකුණු පැත්තේ ඉහල තියෙන තිත් තුන ගාවට ගිහින් screen share ගිහින් මුලු screen එකම share කරන්න කිව්වා. දැන් හරි එයා කරන ඕනේ දෙයක් මට පේනවා. මගේ කම්පියුටරේ ඕපන් වෙලා තියන හැම එකම දරුවා බලා ගන්න ඕනේ නැහැනේ.   තනි window එකක් ෂෙයා කලාම ඒක හරි. PowerPoint presentation එකක්, whiteboard application එකක්, තව ඕනේ නං word document එකක් වගේ තියාගන්න පුලුවන් අවශ්‍ය වෙලාවට පෙන්නන්න. Web browser එකත් ඕනේ නං පෙන්නන්න පුලුවන්. දරුවට එකක් පෙන්නන අතරේ වෙන එකක් සූදානම් කරන්න වුනත් පුලුවන්.
කොහොම හරි දැන් වැඩේ නියමෙට යනවා. දරුවන්ට පුද්ගලික මග පෙන්වීම් කරන්න මට ගැටලුවක් නැහැ.

ඊළග ගැටලුව වුනේ පොදු කණ්ඩායමකට උගන්වන එක. ඒකටත් ක්‍රමයක් හොයාගත්තා. දැන් මං පොදු කණ්ඩායම් විවෘත පන්තිත් කරනවා. ඒ ගැන ඊළග පොස්ට් එකකින් කියන්නම්. 

Thursday, March 26, 2020

9 10 11 දරුවන්ට සිංහල සටහන්....දරුවන් ගැන හිතන අපේ සිංහල ගුරුතුමා ගෙන්

පහුගිය දවස් වල Facebook එකේ රවුං ගගහ ඉන්නකොට තමයි දැක්කේ සිංහල පාඩම් යන පිටුවක්. ඉතිං විහින්දිත් ඉස්කෝලේ 10 පන්තියෙ ඉන්න හන්දා ඒ පන්තියේ පාඩමක් ගැන තිබුන එකකට pdf විදියට දෙන්න පුලුවන්ද කියලා අහලා මම කෙමෙන්ටුවක් දැම්මා. වැඩි වෙලාවක් ගියේ නැහැ. මගෙන් whatsup අංකය ඉල්ලලා පණිවුඩයක් ලැබුනා. බැලින්නම් අර පිටුව කරන සිංහල සර්.



එතුමා නමින් ලහිරු දරණකුඹුර. පාසැල් ගුරුවරයෙක්. මං එතුමට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ගොඩක් හොද ගුරුවරයෙක් කියලා පිළිසදර කතා කරනකොට තේරුනා. ඒ වගේම 9, 10, 11 ශ්‍රේණි තුනට අදාලව සිංහල පාඩම් වලට එතුමා හදලා තියන නිබන්ධන මට එව්වා. එවලා කිව්වා ඒවා අවශ්‍ය දරුවන්ට ලබා දෙන්න කියලා. ඉතිං ඒ ඉල්ලීමට මම මේ විදියට කටයුතු කලේ.
මම ඒ නිබන්ධන ඔක්කොම ගූගල් ඩ්‍රයිව් එකට දැම්මා. මෙතන සබැදිය තියෙනවා. 9, 10, 11 ශ්‍රේණි වල දරුවන්ට සිංහල පාඩම් අවශ්‍ය නම් ඒ ගොඩක් ඒවා මෙතන තියෙනවා. දරුවන්ට ඒවා අරගෙන පාවිච්චි කරන්න පුලුවන්. යාලුවන්ට බෙදාගන්න පුලුවන්.


9 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1oMrORzIMsz4J-1bj_8L73R5SGqFGBXwG


10 ශ්‍රේණිය
https://drive.google.com/open?id=1md3MF0WWxHSW_OZIk9EbM6OCYVazuGQs

11 ශ්‍රේණිය
https://drive.google.com/open?id=18lTPxtjp4Qn7tu4RMfHTfaYsDtxo5sUR


සිංහල අඩවිය FB පිටුව..

ළහිරු සර්.. බොහොම ස්තුතියි..

Wednesday, March 25, 2020

පිරමීඩ තුළ සැඟවුන ‌‌හෙළ උරුමය


 මහා රාවණයන්ගේ ලොව මවිත කළ තාක්ෂණයේ උරුමය ලබා ඉදිවූ පිරමීඩාකාර ගොඩනැගිලි විශේෂය  සමස්ථ විශ්වයේම අවදානය හිමිකරගත්  ඒක් සුවිශේෂි නිර්මාණයක් බව ඔබ අප  හැම දෙනාම  දන්නා රහසකි.විශ්වය හා සිදු වූ බොහෝ ගනුදෙනු වලදී මෙම පිරමීඩ සුවිශේෂී දායකත්වයක් සැපයූූ බව පැවසෙන අතරම අධික ශක්තියක් ඒක් ස්ථානයකට කේන්ද්‍රගතකොට තාරකා දොරටු හරහා සක්වල ජිවීන් සමඟ සමීපව සම්බන්ධතා පැවැත්වූ බව පැවසේ.
තාරකා ‌‌‌‌දොාරටුව
ඊජිප්තූ චිත්‍රාක්ෂරවලින් හමුවූ පිටසක්වල යානයකි

ඊජිප්තු පිරමීඩ හා හෙළයේ මහා රාවණ රජුන් අතර පවතින සම්බන්ධය ලොව විද්වතුන් විසින් විවිධ අයුරින් සාක්ෂ්‍ය සාධක සහිතව සනාථ කොට ඇති අතර ඒ් සඳහා සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර රැසක් උපකාරී වී ඇත.ඒ සඳහා උදාහරණ සැපීමේදී  , රාවණා රජුට නමස්කාර කරණ ක්ෂෝත්‍ර ගනනාවක් පවති.ඒ අතර ඒක් ක්ෂෝත්‍රයක ආරම්භය මෙසේ දැක්වේ. 
            “නමං මං ජිත් රාවෝ .......සදං මං ලියූ සුකම්”
මෙම ක්ෂෝත්‍රයට අනුව රාවණ රජුගේ පෙළපත රාවෝ බව සදහන් වේ. ඊජිප්තු වැසියෝ පවා රාවෝ පෙළපතට ගෞරව  කළහ.රාවෝ පෙලපතෙහි උප පෙලපතක් ලෙස ,ඊජිප්තුවේ සුප්‍රකට රජ පෙලපතක් වන පාරාවෝ පෙලපත ‌බිහි වී ඇති බව කියැවේ.ඊජිප්තු වැසියන් අදහන්නේ රා නම් දෙවියා බව පැවසේ.ඇතැමුන් මෙම රා දෙවියා නම් රාවණා බව පවසයි.රා දෙවියන් ආකාශ ඔරුවේ පැමිණ ඔවුන්ගේ ආත්මය සූර්යා කරා රැගෙන යන බව පාරාවෝ රජ පෙලපතේ විශ්වාසය යි.ඉහත සඳහන් පරිදි රාවෝ දෙවියන් රාවණ රජු වන්නේ නම් පෙර සඳහන් කරන ලද ආකාශ ඔරුව දඬුමොනරය නැතහොත් පුෂ්පක යානය බව අනුමාන කළහැක.මේ පිළිබඳ තවදුරයත් සොයා බැලීමේදි මෑතකදී ඊජිප්තුවේ පිරමීඩයක් තුළ  සිදුකරන ලද කැණීමකින් ඔරුවක ආකාරයේ අහසින් ගමන් කරන ලද යානයක් සොයා ගෙන ඇත. ඒ පිළිබඳ වැඩිදුර කරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ මෙය භාවිතයට ගෙන ඇති යානයක් මුත්  ඒය ජලයේ කිසිසේත්ම ස්පර්ෂ වි නොමැති බවත් අධික වායු කදම්බයන් ගැටීම හේතුවෙන් ඒක්තරා ආකාරයක ඛාදනයට ලක්වී ඇති බවත් ය.ඒමඟින් අපට පෙනී යන්නේ මෙය ආකාශ යානයක් ලෙස භාවිත කළ බව ය. මෙම යානය ඊජිප්තු චිත්‍රවල මදක් ඉහළින් හෝ යමෙකුගේ දෑත් මත හෝ දක්වා ඇත.

ඊජිප්තු පිරමීඩයක් තුලින් හමුවූ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආකාශ යානය
(SOLAR SHIP)
ඊජිප්තු සිතුවමක ඒම යානය දැක්වෙන අයුරු


 දඬුමොණරය යන වදනින් සම්පූර්ණයෙන්ම මොණරෙකුගේ ස්වරූපයේ යානයක් අප මනසේ මැවෙන මුත් සැබැවින්ම ඒහි අරුත වන්නේ දණ්ඩක හැඩයෙන් යුත් අහසට නැගි කළ මොණරෙකු සේ දිස්වන යානය යි.                                
මීට අමතරව ඊජිප්තු පිරමීඩ තුළසිදුකරන ලද කැණීම් වලදී හමු වු රන් පත්ඉරු ද මේ සඳහා සාක්ෂ්‍ය සපයයි.ඒම පත්ඉරු වල ,
            ලංකා පුරයේ සිට අහසින් ආ  සිංහ මිනිසුන් පිරමීඩ තැනීමට මූලික වූ බව දැක්වේ.
ඉහත කුමන සාධකයක් දෙස බැලුව ද පිරමීඩ සෑදිමේ තාක්ෂණය උදෙසා හිමිවන ගෞරවයෙහි අයිතිය හෙළයන් සතුවන බව මනාව පැහැදිලි වේ.
ලොව ප්‍රචලිත සාමාන්‍ය මතය අනුව පිරමීඩ යනු ඒක්තරා ආකාරයක පාරාවෝ මළ සිරුරු මිහිදන් කළ සොහොන් කොතකි.ඇත්තවශයෙන්ම පිරමීඩ නිර්මාණකරුවාගේ අරමුණ වූයේ මෙයම ද ? ඒය ඒසේ වූයේ නම් මතු බවය උදෙසා අඩි සියගණන් උසැති සුවිශාල ඉදිකිරීමකට මෙතරම් කාලය,ශ්‍රමය යෙදවීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ කුමක්ද?
 ඒක්තරා විදිහක අභිරහසක් වූ පිරමීඩ වල පිහිටීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම තාරකාවල පිහිටිම හා පිරමීඩ අතර විශේෂ සම්බන්ධතාවක් පවති. ලෝ ප්‍රකට මෙන්කවුරේ , කෆරේ සහ කූෆු යන ගීසා පිරමිඩ ත්‍රිත්වය ක්ෂිතිජය පුරා විහිදී පවතින තාරකා රටා අතරින් ඒක්තරා විශේෂ තාරකා රටාවක් වන ඔරායන් නැතහොත් දඩයක්කාරයා තරු රටාවේ බද පටි‌යෙහි ඇති තාරකා ත්‍රිත්වය වන ඇල්නිටැක් , ඇල්නිලම් , මින්ටාකා යන තාරකාවලට ලම්බකව පිහිටා ඇත.

ඒපමණක් නොව මෙක්සිකෝවේ ඇස්ටැක්වරුන් විසින් නිර්මාණය කරන ලද පිරමීඩ ත්‍රිත්වයත් (Aztec) , චීනයේ (Xiam) පිරමීඩ ත්‍රිත්වයත් ඔරායන්ගේ බදපටියට ලම්බකව ඉදි කර තිබීම සුවිශේෂී වේ. ඒය කෙසේ වෙතත් අහඹු ලෙස හෝ ඊජිප්තු පිරමීඩ පිහිටි ස්ථානයත් ,මෙක්සිකෝවේ පිරමීඩ පිහිටි ස්ථානයත් , චීනයේ පිරමීඩ පිහිටි ස්ථානයත් මෙම තාරකා ත්‍රිත්වයට අනුව පිහිටා තිබේ.ඒපමණක්නොවේ ශ්‍රි ලංකාවේ පිහිටි රුවන්වැලිසෑය , ජේතවනය  , මිරිසවැටිය යන චෛත්‍යන් ද මෙම තාරකා අනුව පිහිටා ඇති බව පුදුමයෙන් මුත් පැවසිය යුතු ය. පහත ඡායාරූපයේ ඒය පැහැදිලිව දක්නට ලැබේ.

 මෙම පිරමීඩවල ආධාරයෙන් සක්වල ජීවීන් සමඟ තාක්ෂණික ගනුදෙනු සිදුකළ බව මම ඉහතදී ද සදහන් කළෙමි. හෙළයින්වන අප තවමත් ඒය විශ්වාස නොකළත් ශ්‍රි ලංකාව මෙවැනි ගනුදෙනු සිදුකර ඇති බවට ඇමරිකාව දැනටමත් සනාථ කොට ඇත.ඒයට හොඳම සාධකය නම් ඇමරිකානු නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල භාෂාව ඇතුළත් කොට තිබීම යි. මෙය ඒක්තරා ආකාරයක පුදුමය දනවන කාරණයක් වුවත් මෙතුල කුමක් හෝ අභිරහසක් නැතහොත් සත්‍යතාවක් පවතින බව ඉතා හොඳින් පැහැදිලිය.ලොව විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයින්ට පවා අභිරහසක් වූ මෙම විශිෂ්ට පිරමීඩ තාක්ෂණයේ නියම මුල් හිම්කරුවා කවුරුන් විය හැකි ද?


---------
දිගු අභිමානවත් හෙළ ඉතිහාසයක්  සම්පින්ඩනය කිරීමට අන්තර්ජාලයේ පලවු වීඩියෝපට මෙන්ම ලිපි බොහෝමයක් මා කියවූයෙමි.ඒහිදී මා කියවා අසා දැනගත් සහ මා දන්නා කරුණු ද යොදා ගනිමින් ගොනුකරන ලද මෙම ලිපියෙහි යම් අඩුපාඩුවක් හෝ යම් දෝශයක් පවතී නම් පහත comment තීරුවේ ලියන්න.
මා රාවණ ඉතිහාසය පිළිබඳව මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබදව තවත් බොහෝ දෑ දැනගැනීමට කැමැත්තෙමි.ඒ සදහා මීට අමතරව ඔබ දන්නා තොරතුරුද මට comment කරන්න. 

--- විහින්දි සඳින්මා---