Thursday, June 14, 2018

පුංචි විහින්දි

පුංචි විහින්දි ඉගෙන ගන්නේ කොළඹ විශාකා විද්‍යාලයේ 8 වෙනි පන්තියේ. පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගේ හොදටම පාස් වුන හින්ද තමයි පුංචි විහින්දිට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් වුනේ. ශිෂ්‍යත්ව විභාගෙට පුංචි විහින්දි ගොඩක් මහන්සි වුනා. එයාගේ අම්මා තමයි ඒ හැම දේම හොයලා බලලා එයාට උගන්නන්ට හොඩක් මහන්සි වුනේ. එයාගේ ලගින්ම ඉදලා හැම දේම හොදට කියලා දීලා එයත් එක්කම එකට වැඩ කරලා සමහර විට දඩුවමුත් කරලා හතර වටේම තියන හැම පන්තියටම ත් එක්කන් ගිහිල්ල ඒ විදියට එයාගේ අම්ම වෙච්ච ලොකු මහන්සියක් හින්දයි විහින්දි අද ලොකු ඉස්කෝලෙක ආඩම්බරයෙන් ඉගෙන ගන්නේ.
ශිෂ්‍යත්වෙ පාස් වුන කාලෙම තමයි විහින්දිගෙ තාත්තා කාර් එකක් ගත්තේ. ඊට පස්සේ තුන්දෙනාටම හැම තැනම ඇවිදින්න පුළුවන් වුනා. විහින්දි උදේට ඉස්කෝලේ යන්නේ තාත්තත් එක්ක. හවසට අම්මා ඉස්කෝලේ ලගට එනවා එයාව එක්කන් යන්න.
විහින්දිගෙ තාත්ත ගුරුවරයෙක්. තොරතුරු තාක්ෂණය වගේම ගණිතය විද්‍යාව වගේ විෂයනුත් කාලයක් ඉගැන්නුවා. ඒත් විහින්දිට තිබුන ප්‍රශ්නේ තමයි එයාගේ තාත්තා එයාට පාඩම් උගන්නන්නේ නැති එක. තාත්තා එයාව ලගින් තියාන කවදාවත්ම පාඩමක් උගන්නලා නැහැ. මේ හින්දා විහින්දිට ගොඩක් දුක හිතුන වෙලාවල් තිබුනා. සමහර වෙලාවට එයා ඇඩුවා. හැබැයි තාත්තා එයාට එකක් කිව්වා. ඔයාට බැරි තේරෙන්නේ නැති ඕනේ දෙයක් අහන්න. ඒ දේ දැනගන්න උදව් කරන්නම් කියලා. එයාව ටියුෂන් පන්ති වලට දාන්න කියලා ඒ හින්දා එයා අම්මටත් කිව්වා. අම්මටත් කරන්න වෙන දෙයක් තිබුනේ නෑ සමහර වෙලාවට.
දවසක් සිංහල ප්‍රශ්න වගයකට උත්තර ලියන ගමන් විහින්දිට ප්‍රශ්නයක් ආවා. වෙන කරන්න දෙයක් නැති හින්ද එයා තාත්තගෙන් ඇහුවා. තාත්තා මොකුත්ම කියන්නේ නැතිව එයාගේ දුරකතනය අතට අරන් කෝල් එකක් අරගෙන විහින්දි අතට දීලා ඔන්න ඉන්නවා හොදට සිංහල දන්න සර් කෙනෙක්. එයාගෙන් අහගන්නකෝ කියලා යන්න ගියා. එයාට තිබුන ප්‍රශ්නය කියලා උත්තරේ අහගන්න වුනේ එයාටමයි. හැබැයි ඒ වැඩේ හොදයි වගේ කියලා හිතුනා. ටික දවසක් යනකොට තාත්ත අදුරන සර්ලට කතා කරලා තියන ප්‍රශ්න විසදගන්න එක විහින්දිට සාමාන්‍ය දෙයක් වුනා. දැන් වෙලාවකට එයාම නොම්බර හොයාන කතා කරන වෙලාවල් තියනවා.
දවසක් එයාට විද්‍යාව පාඩමක දෙයක් තාත්තගෙන් අහගන්න වුනා. ඒත් තාත්තා එයාගේ දුරකතනයෙන් වීඩියෝවක් අරන් එයාට බලන්න දුන්නා. ඒකෙන් පාඩම හොදටම තේරුනා. සමහර දේවල් ගැන තාත්තගෙන් ඇහුවම එයා කියන්නේ ඇයි ඔයාගේ ලැප්ටොප් එක තියනවා නේද? ගෙදර ඉන්ටනෙට් තියෙන්නේ හොයාගන්න එකනේ ඇත්තේ කියලා. ඒ දේ කරගන්න බැරිවුනාම තාත්ත කලේ හොයාගන්න හැටි කියලා දෙන එක විතරයි. දැන් එයාට ඕනේ දෙයක් හොයාගන්න ගූගල් පාවිච්චි කරන්න හොදට පුළුවන්.
විහින්දි ඉස්කෝලේ යන්නේ තාත්තත් එක්කල. යන ගමන් දෙන්නගේ වැඩේ මොකක් හරි ගැන කතා කර කර යන එක. එයා එයාගේ ඉස්කෝලේ දේවල් යාලුවෝ ගැන වගේම වෙන වෙන දේවල් මොනවා හරි කියවනවා. ඒ අතරේ තාත්තා දන්න හර බර දේවල් මොනවා හරිත් දැනගන්න පුලුවන් වෙනවා. මේ ළගදි දවසක උදේ ඉස්කෝලේ යන ගමන් මෙහෙම දෙයක් වුනා.
“තාත්තේ... ඔයාග් ෆෝන් එක දෙන්නකෝ...”
“මොකෝ කෙල්ලේ...?”
“ඉන්දියාවේ භාෂා 20 ක් කතාකරන්නේ කියලා මම මෙතන ලියාගෙන. ඒක වෙන්න බෑනේ”
තාත්තගේ ෆෝන් එක විහින්දිට ලැබුනා. එයා වචන කීපයක් ටයිප් කරලා ඉන්දියාවෙ විස්තර හෙව්වා. විකිපීඩියා පෙරලලා බැලුවා. තවත් වෙබ් පිටුවක් දෙකක් කියෙව්වා. තේරෙන විදියට වචන පටලව පටලව ඉංග්‍රිසි කියෙව්වා. සමහර වචන තාත්තගෙන් ඇහැවා. කොහොම හරි අන්තිමේදි එයා හොයාගත්තු දේවල් තාත්තට කිව්වා
“තාත්තේ ඉන්දියාවෙ විසි ගානක් තියෙන්නේ රාජ්‍ය භාෂා. කතා කරන භාෂා එක් දහස් ගානක්. ඒකෙනුත් වැඩිපුර භාවිතා වෙන ඒවා මෙච්චරයි”
“තව....ඉන්දියාවෙ ජාතික ගී දෙකයි. එකක් National song අනික National Anthem’”
එයා you tube ගිහින් ඒ ගී දෙකම ඇහුවා. දෙතුන් පාරක් නෙවෙයි ඊටත් වැඩිය. කොහොම හරි ඉස්කෝලේ ලගට ගිහින් බහින කොට එයාට ඒ දෙකම කට පාඩම්. තාත්තට අත වනලා යන විහින්දි දිහා බලන් හිටපු එයාගේ තාත්තගේ ඇස්වල කදුලු පුංචි විහින්දි දැක්කේ නැහැ.
“දුවේ.. අද වෙනකොට ඔයා තාත්තිට ඕනේ වුන තැනට ඇවිල්ලා. අද ඔයා ඉස්කෝලෙ පාඩමකට ලෑස්ති වෙලා ගිය විදියට කරන්න පුළුවන් ලොකු අයියලා අක්කලා වත් මං දැකලා නැහැ.” තාත්තට එහෙම කියවුනා.
විහින්දිගේ තාත්තා එයා ට විවේක තියෙන හැම වෙලාවෙම එයාව කොහේ හරි එක්ක යනවා. රට වටේම එයා දැන් ඇවිදලා තියනවා. එයාගේ පන්තියේ එයා තරම් ඇවිදපු වෙන කවුරුවත්ම නැහැ. ඒ වගේමයි ඒ යන හැම තැනම විස්තර ගොඩක් හොයන එක තමයි එයාලන්ගේ වැඩේ. එයාගේ තාත්ත එතන ඉන්න කවුරු හරි කෙනෙක්ව එකතු කරගෙන විස්තර අහගන්න විහින්දිට ඉඩ දෙනවා. එයාට මතකයි එයාලා යාපහුවේ ගිය වෙලාවෙ පුරා විද්‍යාවෙ වැඩකරන නැන්ද කෙනෙක් එයාලව මුළු යාපහුවෙම එක්කන් ගිහිල්ලා අවුරුදු පන්දහසකටත් වැඩිය ඉතිහාසයක් ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම සීගිරිය ගිය වෙලාවෙ ඒ ව්‍යාපෘතිය භාර නැන්ද කෙනක් ඇවිත් මුළු සීගිරියම එක්කන් ගිහින් මුලු දවසක්ම ගොඩක් දේවල් එයාට කියලා දුන්න. කොහේ ගියත් එතන ඉන්න ලොකුම තනතුරක් තියන නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි පුංචි විහින්දිට හොයලා දෙන්නේ එයාගේ තාත්ත. දැන්නං තාත්ත නැතුවත් කොහේ හරි ගිහින් දෙයක් දැනගන්න ඕනේ වුනාම එතන ඉන්න කාගෙන් හරි අහලා දැනගන්න එයාට පුළුවන්.
සීගිරිය ගිහින් ආව දවසේ තමයි ඊලග ප්‍රශ්නේ එයාට වුනේ.
“දුවේ.. ඔයා ගොඩක් තැන්වල ගිහින් තියෙනවානේ. අද ඉදන් ඔයා යන තැන් වල විස්තර පොතක් අරන් ලියන්න ඕනේ. එක තැනක් ගැන එක පිටුවක් ඇති.”
අනේ.. ඒක කරන්නේ කොහොමද? පුංචි විහින්දි එයා සීගිරියෙන් ගෙනාපු විස්තර පොත් ගොඩයි එයා දවසම ඉගෙන ගත්තු දේවල් ගොඩයි අතරේ හිරවුනා. එයා ඇඩුවා... මට බෑ... මට බෑ පිටුවකින් කොහාමද මේවා ලියන්නේ.
ඒත් තාත්තගෙන් නම් ගැලවිල්ලක් වුනේ නැහැ. දවස් ගානක් ගිහින් අන්තිමේදි බේරෙන්න බැරුව එයා මොනවදෝ ලියලා තිබ්බා. ඊට පස්සෙත් යන යන තැන්වල විස්තර පිටුවකින් ලියන්න එයාට සිදු වුනා. සමහර දවස් වල විස්තර ලියලා තිබුනේ නැති හින්ද යන්න ලැස්ති වුන ගමන් නවත්තලා එයාට දඩුවම් ලැබුන වෙලාවලුත් තිබ්බා. හැබැයි දැන්නං එයාට තැනකට ගියාම ඒ ගැන විස්තර ලියන එක එච්චර අමාරු නැහැ. අමතක නම් වෙබ් පිටු කීපයක් පෙරලලා බලලා හරි ලියන්න එයාට පුළුවන්.
ළගදි දවසක පුංචි විහින්දිට එයාගේ තාත්තගෙන් තෑග්ගක් ලැබුනා. ඒක ටිකක් වටින් DSLR කැමරාවක්. තාම එයාට ඒක හසුරවන්න හරියට තේරෙන්නේ නැහැ. ඒත් වැඩි කල් යන්න කලින් ඒකත් එයා ඉගෙන ගනීවි.
මේ දේවල් කියවපු ඔයාලට දැන් පුංචි විහින්දි ගොඩක් ලොකුවට පේන්න අරන් ඇති. ඇත්තටම එහෙම නැහැ. එයා අනිත් දරුවෝ වගේම හරිම හුරතල් පුංචි කෙල්ලෙක් විතරයි.
ඒත් පුංචි විහින්දිගේ තාත්තට මෙහෙම හිතෙනවා.
“දුවේ.... ඔයාව කලඑලි දක්වන්න වෙලාව ඇවිල්ලා”

6 comments:

  1. Great work sir All the best with this work.

    ReplyDelete
  2. කතාව හරිම ලස්සනයි සර්.විහින්දි ආස දේද නැත්තම් තාත්තා ආස දේ ද විහින්දි ගේ අනාගතේ වෙන්නේ, මේ විදිහට කියාලා ප්‍රශ්නයක් තියනවා සර්.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි දුව, ඔයා⁣ගෙ අදහසට. බබා ⁣ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියන ලිපියත් කියවලාද ඔයා මෙහෙම ඇහුවෙ. ඒකත් එහෙම නං තවත් ගොඩක් හිතන්න වෙන දෙයක් ඔයා අහන්නෙ

      Delete
  3. ඔබේ ලිපි ඉතාම අර්ථවත් සහ ධනාත්මකයි. ඔබට සුභ පතනවා.

    ReplyDelete