Tuesday, February 18, 2020

ගූගල් පරිවර්තකය ගැන නොදන්නා තොත්ත බබාලට


ගූගල් පරිවර්තකය කියන්නේ ගූගල් සමාගමෙන් හදුන්වා දුන්න ඉතා ඉහල තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා වන මෘදුකාංගයක්. භාෂා පරිවර්තකයක් කියන්නේ ශබ්ද කෝෂයක් නෙවෙයි. එක භාෂාවක වාක්‍යයකින් කියවෙන දෙයක් වචන වල තේරුම අරගෙන දැනගන්න බැරි වෙන්න පුලුවන්. ඉතිං මේ වගේ දේකට මෘදුකාංගයක් නිපදවන කොට කෘතීම බුද්ධිය වගේ ඉතා ඉහළ තාක්ෂණික ක්‍රම භාවිතා කරන්න වෙනවා. ගූගල් සමාගම මේ මෘදාකාංගයට දත්ත කවන්න යොදාගත්තේ ඒ භාෂාවන් භාවිතා කරන ස්වෙච්චාවෙන් ඉදිරිපත් වන උදවියයි. ඉතිං අපේ රටෙත් බොහෝ දෙනෙක් ගූගල් භාෂා පරිවර්තකය සංවර්ධනය කරන්න දායක වෙලා තියෙනවා. දවසින් දවස ඒකේ පරිවර්තන හැකියාව ඉහල යන එකෙන්ම කොතරම් පිරිසක් ස්වෙච්චාවෙන් සිංහල භාෂාව වෙනුවෙන් කැප වෙනවාද කියලා තේරුම් ගන්න පුලුවන්.ඹබත් සිංහල සම්භවයක් සහිත ඉංග්‍රිසි භාෂාව තේරුම් ගැනීමට හැකි අයෙක් නම් සිංහල භාෂාවේ පැවැත්ම වෙනුවෙන් ඔබගේ කාලය වැය කල යුතුයැයි මම හිතනවා. මොකද සිංහල නොවන අයෙකුට සිංහල භාෂාවේ අගය තේරෙන්නේ නැති හන්දයි. සිංහලයෙකුට ජාතක නොවුන සමහරුන්ට සිංහල භාෂාව නිවැරදිව පරිවර්තනය නොවීම විහිලුවක් වන්නට පුලුවන්. ඒත් අපිට ඒක කණගාටුවක්.



ගූගල් පරිවර්තකය වැරදියට පරිවර්තනය කලා යැයි ඔබට තේරුන හොත් කළ යුත්තේ කුමක්ද?


ඔව්. එහෙම අවස්ථාවක් දුටුවොත් ඔබට හැකි ආකාරයට ඒක නිවැරදිව පරිවර්තනය කරලා දෙන්න. ගූගල් ඒක බාර ගන්නවා. ඒ වගේමයි ඔබගේ පරිවර්තනය තුලින් ගූගල් භාෂා පරිවර්තකය සංවර්ධනය වෙනවා. ඉදිරියේදී තවත් කෙනෙකුට නිවැරදිව පරිවර්තනය කර දීමට එය සමත් වන්නට ඔබගේ දායකත්වය උපකාරි වෙනවා.

මේ පුංචි උදාහරණයක්. භාෂා පරිවර්තකය වැරදි වූ විටක මා විසින්  එය නිවැරදි කර දුන් මොහොතක්.




සිංහල භාෂාවේ පැවැත්මට කටයුතු කරන්නට පුළුවන් සිංහල ඔබට විතරයි. ඒක ඔබගේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා වැඩ කරන්න.

ආටානාටිය සූත්‍රයෙන් හෙළිවන බුද්ධ කාලීන සමාජය

පුංචි ඉල්ලීමක්. මා කියවූ ආටානාට සූත්‍රය ලිපිය කියවා ඉන් පසුව ‌මෙය කියවන ‌ලෙස ඉල්ලනවා.
-------------------------

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ පාථිකවග්ග පාලියට අයත් සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය. මේ සූත්‍රය එකල සමාජය පිලිබදව විශාල පැතිකඩක් පෙන්නුම් කරන සූත්‍රයක්.
එම වකවානුවේ බුදුරජාණන් වහන්සේ වාසය කලේ රජගහ නුවර සමීපයේ වූ ගිජ්ජකූට පර්වතයේ. දවසක් රාත්‍රියේ උන්වහන්සේ හමුවන්නට ප්‍රාදේශීය රජවරු හතරදෙනෙක් පිරිවරාගත් පිරිසක් පැමිණෙනවා. ඒ ඹවුන් සම්මත කරගත් නව නීති රාමුවක් බුදුරජාණන් වහන්සේට දැනුම් දීමටයි. එම රජවරු හතර දෙනා නියෝජනය කරන්නේ ජන වර්ග හතරක්. නැත්නම් ගෝත්‍ර හතරක්. ඒ යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ සහ නාග කියන ගෝත්‍ර හතරක පිරිස්. ඹවුන් ජීවත් වන්නේ රටෙහි විවිධ දිශා වලයි.
රටේ ජිවත් වන සමහර නරක පැවතුම් ඇති පිරිස් අතින් බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැර සිදුවෙනවා. රටේ ඇතිවන ගැටලුවකට රටේ ප්‍රාදේශීය නායකයෝ එකතු වෙලා පිළියමක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ නව නිති පද්ධතියක් හදුන්වා දෙනවා. නීතිය බල ගැන්වීමට නිළධාරින් පත්කරනවා. ගැටලුවට ලක් වන අයට එයින් මිදිමේ මාර්ගය පැහැදිලි කරලා දෙනවා. රටේ ගැටලුවකදී රජයේ ක්‍රියාකාරිත්වය ඉතා විශිෂ්ට ලක්ෂණ පෙන්නුම් කරනවා.
රටේ හිරු නැගෙන නැගෙනහිර පැත්තෙන් තියෙන්නේ මහා සාගරය. ඒ ප්‍රදේශයේ තමයි ගාන්ධර්ව කුලයේ අය ජිවත් වෙන්නේ. එයාලගේ රජතුමා ධ්‍රතරාෂ්ට්‍රය. ඒ ප්‍රදේශයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ගරු සැලකිලි දක්වන පිරිසක්. එහෙ ඉන්න නරක අය ත් අනික් අයට පේන්නට බුදු හාමුදුරුවන්ගේ හොද කියනවා. නමස්කාර කරනවා. රටේ හිරු බැසයන බස්නාහිර පැත්තේ හිටියේ නාග ගෝත්‍රිකයෝ. එයාලගේ නායකයා තමයි විරූපාක්ෂ. මෙයාලත් බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දක්වන අය.
රටේ දකුණු පැත්තේ හිටියේ ඉතා ම්ලේජ ජන කොට්ඨාශයක්. ඒ කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ. ඹවුන්ගෙන් බහුතරය කේලාම් කියන්නාවූ ,නින්දා අපහාස කරන්නාවූ, ප්‍රාණඝාත සිදුකරන්නා වූ, සොරකම් කරන්නා වූ පිරිස් බහුල ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ මිනිසුන් වුවත් බුදුරදුන් ගැන අසා ඇති අයයි. විරූඨ තමයි එයාලගේ නායකයා.
උතුරු කුරු දිවයින කියලා එකක් තියෙනවා. ඒකේ ජීවත් වනේනේ තරමක් වෙනස් ජන කොට්ඨාශයක්. ඔවුන් පවුල් ජීවිත ගත කිරීමක් ගැන සිතන්නේ වත්, ඇදුම් පැලදුම් ගැන වැඩි තැකීමක් වත් කරන්නේ නැහැ. ඒ වුනත් ඔවුන් පිරිමියෙක් හරි ගැහැණියක් හරි බාලකයෙක් හරි බාලිකාවක් හරි එක්ක තමයි සැරිසරන්නේ. ඒ වගේම ඒ අය වගා කරන අය නෙවෙයි. ඉබේ හැදෙන ඇල් සහල් බත් තමයි ආහාරයට ගන්නේ. රජ්ජුරුවෝ අසුන් දිවියන් වාහන කරගෙන ගමන් කරනවා. ඒ වගේම ප්‍රාසාද, උඩුමහල් ගෙවල් එහෙමත් ඒ රජ්ජුරුවන්ට තියෙනවා.
උතුරු ප්‍රදේශයේ යක්ෂයෝ වාසය කරනවා. ඒ යගේ නායකයා කුවේර. ඒ වගේම ආලකමන්දාවත් තියෙන්නේ ඒ පැත්තේ.
බුද්ධ ශ්‍රාවකයින්ට ගැටලු ඇති වන්නේ රටේ මැද ජීවත් වුන නරක ගති තියෙන යක්ෂ ගෝත්‍රිකයින්ගෙන්. එයාලගේ ගති ගුණ මේ සූත්‍රයේ දක්වලා තියෙනවා. එයාලා ගොඩක් අය පස් පව් කරන අය. ඒවට ඇබ්බැහි වෙලා ඉන්න අය. ඒ හින්දා තමයි බුදු හාමුදුරුවෝ පස් පවින් වෙන් වෙන්න කියන එකට අකමැති.
මේවා කියවන යද්දි තමයි ලංකා ඉතිහාසය යි මේ කතාවයි පැටලෙන්න ගන්නේ. බස්නාහිරින්, නැගෙනහිරින් මහ මුහුද, බස්නාහිර පැත්තේ නාගයෝ. රට මැද යක්ෂයෝ. කුවේර, ආලකමන්දාව. මේවා ලංකා ඉතිහාසයේ නම්. වැඩිය හිතන්න බැහැ. එහෙම කියලා බුදු හාමුදුරුවෝ ලංකාවේ උපන්නා කියලා ඒ දේවල් මත ඉදලා කියන්න කොහොමත්ම බැහැ. එහෙම කියලා හිතට එන ඒවා නොකියත් බැහැ.

Saturday, February 8, 2020

මා කියවූ ආටානාටිය සූත්‍රය


අද නවම් මස පුර පසළොස්වක පෝය දවස. මටත් බණ ටිකක් අහන්න හිතිලා කොහෙන්දෝ අහුවුන කොනක් හන්දා ආටානාටිය සූත්‍රය කියවන්න ගත්තා. ඉස්සෙල්ලා යූටියුබ් එකෙන් ඒ සූත්‍ර දේශනාව ඇහුවා. ඊට පස්සේ වෙබ් සයිට් දෙක තුනක් හොයලා සිංහල තේරුමත් එක්ක තියෙන ඒවගේ සිංහල තේරුම කියවන්න ගත්තා. ඇත්තටම එහෙම වුනේ මං පාලි දන්නේ නැති හන්දා. ඒක හරි ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. මං අපූරු කතාවක් හදාගත්තා ඒක කියවලා. මගේ කතාව අහලා ඉවර වෙලා මං දෙන ලින්ක් එකත් කියවලා ඉවර වෙලා මට බනින්න හරි මං කියන දේ පිලිගන්න හරි පුලුවන්. හැබැයි ඔයාලා දන්න දේ අමතක කරලා, මං කියන දේ අහලා, ඊට පස්සේ මට බැන්නට කමක් නෑ හොදේ.
බුදු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ කාලේ ගොඩක් හිටියා. බුදු හාමුදුරුවෝ උපදෙස් දීලා තිබ්බේ හාමුරුවො දෙනමකට එක පැත්තට යන් නැතිව රට පුරා වැඩලා බණ කියන්න කියලා. ඉතිං හාමුදුරුවෝ එක එක පැත්තට වැඩියේ තනියම.
සමහර පැතිවල නරක මිනිස්සු හිටියා. මනුස්ස ගති නැති අය. ඒ කිව්වේ අමනුස්සයෝ. එයාලගෙන් මේ තනියෙන් යන හාමුදුරුවන්ට විවිධ කරදර වුනා. මොකද ඒ හාමුදුරුවරු කියන්නේ හොඳ කරන්න කියලනේ. හැමදාම සත්තු මරණ, හොරකම් කරන වගේ නරක වැඩ කරලා පුරුදු වුන මිනිස්සුන්ට මේ බණ ඇල්ලුවේ නෑ. ඒ හින්දා ඒ මිනිස්සු මේ හාමුදුරුවන්ට කරදර කලා.
මේ සිද්දිය ප්‍රධානීන්ටත් ආරංචි වුනා. ඒකාලේ හිටියේ ප්‍රධාන ගෝත්‍ර කීපයක මිනිස්සු හිටියා. ඒ ඒ ගෝත්‍රවල නායකයෝ මේ පිළිබද ආටානාට කියන තැනක එකතු වෙලා කතා කලා. මේ කියන කාරනා ඇත්තද කියලා හොයලා බැලුවා. ඇත්ත කියලා දැනගෙන ඒකට පිලියමක් කතා කර ගත්තා. හාමුදුරුවන්ට කරදර කරන අයට දඩුවම් කරන්න තීරණය කලා. කරදරේ විදියට දෙන එක එක විදියේ දඩුවම් තීරණය කලා. ඒ වගේම එක එක පැති වලට ඒ ගැන හොයලා බලන්න, කරදර කාරයෝ අල්ලන්න නිළධාරින් පත්කලා. ඒ නිළධාරින්ට වගකීම් පැවරුවා.

ඊට පස්සේ මේ ගැන බුදු හාමුදුරුවන්ට දැනුම් දෙන්න ඒ නායකයො ටිකයි එයාලගේ පිරිස් එක්කම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආවා. ඒ ආවේ රෑක. ගොඩක් පිරිසක් එලි පත්තු කරගෙන ආවා. එහෙම ඇවිත් බුදු හාමුදුරුවෝ හම්බ වෙලා නමස්කාර කරලා ආගිය තොරතුරු එහෙම කතා කරලා තමන් ආව කාරණය බුදුහාමුදුරුවන්ට පැහැදිලි කලා.
නායකයෝ එකතු වෙලා ඇතිකරගත්තු කතිකාවත ගැන හැමදේම පැහැදිලි කලා. ඒ එක් එක් ගෝත්‍රිකයෝ ඉන්න දිශාවල් ඒ ගම්මාන නගර ගැන පැහැදිලි කලා. ඒවගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා ඉන්න නිළධාරින් කවුද කියලා පැහැදිලි කලා.
මේ කාරණා හැම දෙයක්ම හරියට දැනගෙන යන්න කියලා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයින් ට කියන්න කියලා ඉල්ලා සිටියා. ඒ ඒ ප්‍රදේශ හදුනා ගන්නා හැටි, ඒවාගේ පත්කරලා ඉන්න නිළධාරින්ගේ නම් හැම දේම නිවැරදිව දැනගෙන ඉන්න කෙනෙක්ට කරදරයක් නැතිව ඉන්න පුලුවන් කියලා කිව්වා. මේ දේ කරන්නේ හැමෝගෙම යහපතට කියලා කිව්වා. කාට හරි කරදරයක් වෙනවා නම් වහාම පැමිණිලි කරන්න කියලා කියනවා. කෑ ගහලා කියන්න කියලා කියනවා.  බුදු හාමුදුරුවෝ  ඒ දේ පිළිගත්තා. එයාලා බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා පිටත් වුනා.
පහුවදා උදේම බුදුහාමුදුරුවෝ උන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සියළු දෙනාම කැඳවලා පෙර දවසේ රාත්‍රියේ සිද්ධ වුන දේ දේශනා කරනවා. අදාල කතිකාවත පිළිබදව දැනුවත් කරලා ඒ අනුව කටයුතු කරන්න කියලා දේශනා කරනවා.
පිරිත් පොතේ ආටානාටිය සූත්‍රය දෙපාරක් තියෙන්නේ ඒකයි. ඔතන අමනුස්සයෝ කියන්නේ නරක ගති තියන මිනිස්සු කියලා තමයි මං හිතන්නේ. යක්ෂ, නාග, කුම්භාණ්ඩ කියලා කියන්නේ එක එක ගෝත්‍ර නාම කියලා තමයි මං හිතන්නේ. එහෙම හිතලා බලනකොට ඒ කාලේ තිබුන ගම් ගැන, මිනිස්සුන්ගේ ජීවන ක්‍රම ගැන, වටපිටාවන් ගැන ලොකු විස්තරයක් මේ සූත්‍රය ඇතුලේ තියනවා. මට තියන තව ප්‍රශ්නයක් අපට හුරුඅපේ රටේ  ගම් නම් එහෙමත් ඒ ඇතුලේ තියන එකයි.
මෙන්න ලින්ක් තියෙනවා. මේවා දැන් කියවන්නකෝ. ආටානාටිය සූත්‍රය. මෙතනින්ම අවශ්‍ය නැහැ. කැමති තැනකින් කියවලා බලලා අදහස් කමෙන්ට් කරන්නකෝ.


Monday, January 13, 2020

අවසානය හා ආරම්භය


අවුරුද්ද අවසානය කතරගම ගමන යොදා ගත්තේ පුරුදු විදියට. ඒ පැත්තේ ගොඩක් තැන් වලට ගිහින් තියන හන්දා යන එන ගමන්  බලන්න තැනක් හොයාගනන ටිකක් අමාරුයි. ඒත් මැප් එකේ එහා මෙයා කැරකුනාම තැනක් හොයාගන්න එක අමාරු නැහැ. මේ ගම න අධ්‍යාපන චාරිකාව යොදාගත්තේ ටිකක් වෙනස් තැනකට

උඩවලව තිලාපියා අභිජනන මධ්‍යස්ථානය.

උඩවලවට ගිහින් අතුරු පාරක් දිගේ ගිහින් වැලි පාරක් දිගේ ටික දුරක් ගිය අපි නතර වුනේ තිලාපියා අභිජනන මධ්‍යස්ථානය ලග. වාහනයෙන් බැහැලා ගිය මම එතන හිටිය මහත්තයෙක් ගෙන් ඇහුවේ මේ තැන ගැන ‌ෙදැනගන්න පුලුවන්ද? කියලා
ඒකට අවසර ලැබුනම එළියට ඇවිල්ලා නෝනයි දුවයි එක්කගෙන ගියා. ඒ මහත්තයා ආයතනය ගැන අපිට ගොඩක් දේවල් කියලා දුන්නා.
වැව් මාලු කියලා අපි කන්නේ තිලාපියා. වැව් වල මාලු හිග වෙනකොට පැටව් ලක්ෂ කීපයක් දැම්මා කියලා අහන්නේ ඒ මාලු පැටව් බෝ කරන්නේ මේ තැන. අවුරුද්දකට මෙතන මාලු පැටව් මිලියන ගානක් බෝ කරනවා. බෝ කරන මාලු පැටව් වැව් වලට මුදා හරින එක තමයි කෙරෙන්නේ. රටේ මිනිස්සුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නට තමයි මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ.
පින්තුරය අන්තර්ජාලයෙන්

තිලාපියා ස්වාභාවිකම බෝ වෙන මාත්‍යසයෙක්. පිරිමි සතුන් ගැහැනු සතුන් නිශ්චිත අනුපාතයකට අනුව ටැංකිය දාලා තිබ්බම පැටව් බෝවෙනවා. පොඩි පැටව් වෙන් කරලා වෙනම ටැංකි වල දාන්න ඹ්නේ. එහෙම නැත්තං පැටවුන් ලොකු මාලුන්ගේ ආහාර වෙනවා. මෙතන අක්කර ගානක ප්‍රදේශයක විශාල ටැංකි ගොඩක් තියෙනවා.
සමහර තැන්වල fish therapy කියලා කකුල්වල මාලු කවා ගන්න වැඩේ කරන්නත් පාවිච්චි කරන්නේ තිලාපියා. ඒත් ඒකට වැඩිපුර පාවිච්චි කරන්නේ රතු තිලාපියා.
එදා වර්ෂ අවසානයේ තරමක් වැඩ අඩු දවසක් වුන හන්දා අපිට ගොඩක් දේවල් දැනගන්න කතා කරන්න වෙලාව හම්බ වුනා.
මධ්‍යස්ථානය ගැන විතරක් නෙවෙයි මධ්‍යස්ථානය භාරව ඉන්න මහත්තයාගේ අධ්‍යාපන ලබපු හැටි විශ්ව විද්‍යාලයේ හදාරපු පාඨමාලා වගේ දේවල් ඒවා කොහොමද මේ තනතුරු වලට එන්න උදව් වුනේ වගේ දේවලුත් අපි කතා කලා. මේ හැමදේම කලේ දරුවගේ අනාගතය වෙනුවෙන්. දරුවා අනාගතේ කවුරු වුනත් කමක් නැහැ. රටේ ලෝකේ මිනිස්සු කරන කියන දේවල් දැනගෙන තමන්ගේ පාර තමන් තීරණය කර ගන්න කෙනෙක් වුනොත් ඇති. එහෙම නැතුව රැල්ලට ගිහින් දොස්තර කෙනෙක් වෙනවා ඉන්ජිනේරුවෙක් වෙනවා කියලා කියන්නෙ නැතිව. ඒක තමයි මගේ පැතුම දරුවා වෙනුවෙන්.

 උඩවලව උක් පර්යේෂණ ආයතනය.

ඊළගට අපි ගියේ උඩවලව උක් පර්යේෂණ ආයතනයට. එතනට ගිහින් ගේට්ටුවේ ආරක්ෂක නිළධාරියෙකුට අවශ්‍යතාව කිව්වා. එයාලා ඇතුලේ කිහිප  දෙනෙකුට කතා කරලා අන්තිමට ගේට්ටුව ඇරලා දීලා කිව්වා නිළධාරි  මහත්තයෙක්  හම්බ වෙන්න කියාලා. අපි ඇතුලට ගියා. ඒ මහත්තයා කාමරේක හිටියා. අපිට හොදට කතා කලා.
ලංකාවට අවශ්‍ය සිනි වලින් 10% ක් තමයි අපේ රට ඇතුලේ නිශ්පාදනය වෙන්නේ. වැඩි අස්වැන්නක් තියන, ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ප්‍රභේද නිපදවන එක මේ ආයතනයේ එක කාර්යයක්. උක් කර්මාන්තය සම්බන්ධව විශාල පර්යේෂණ ප්‍රමාණයක් මේ ආයතනයෙන් කෙරෙනවා. ඒ ගැන විස්තර ගොඩක් අපිට ඉගෙන ගන්න පුලුවන් වුනා.
පින්තුරය අන්තර්ජාලයෙන්

අපි කතා කරපු නිළධාරි මහතා අදාල ක්ෂේත්‍රය පිලිබද ආචාර්ය උපාධියක් තියන කෙනෙක් කියපුවාම මාව උඩ ගියා. එතන ඉන්න නිළධාරින් හැම දෙනාම අවම වශයෙන් m.phill උපාධියක් වත් තියන අය. ඉගෙන ගන්න එකේ වටිනාකම දරුවෙකුට තේරුම් ගන්න ඉගෙන ගත්තු රටට වැඩක් කරන අයත් එක්ක වචනයක් දෙකක් හරි  කතා බහ කරන්න ඹ්නේ.
උඩවලවෙන් පිටත් වුන අපි හවස් වෙද්දි කතකරගම  අපේ නවාතැන්පලට ගියා. දෙවෙනි දවසේ කතරගම කිරි වෙහෙර, දේවාලය, සිතුල්පව්ව විහාරය වන්දනා කර ගත්තා.
මං මේ ටික කිව්වේ අපි දරුවොත් එක්කරගෙන ගමනක් යනකොට ඒ ගමනට එකතු කර ගන්න තැන් ගැන ටිකක් හිනන්නට. වන්දනා ගමන් යන අතරේ හෝටල් වල ගිහින් නැවතිලා එන අතරේ දරුවන්ට වැදගත් වෙන තැනකටත් ගොඩවෙලා එන්න කියන එක.

Monday, January 6, 2020

ගාමිණි මාමාගේ වතුර ප්‍රශ්නය

අපේ දුකට සැපට ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ගාමිණී මාමාය. පහුගිය දවස් වල දවස් දෙක තුනක් වතුර කැපුව හින්දා අපි හැමෝම ලොකු අමාරුවක වැටුනා. ඒ හින්දා තමයි ගාමිණී මාමා එයාලා ගෙදරට නළ ලිඳක් කපා ගත්තේ. නළ ලිඳ හදපු කොම්පෙනියෙන් ටැංකියේ අඩු වුනාම මෝටරේ වැඩ කරන්නත්,  වතුර පිරුනම මෝටරේ නතර වෙන විදියට ගැජට් එකකුත් හයි කරලා දීලා ගිහින් තිබුනේ.
ඒත් වැඩේ වුනේ ලිදේ වතුර ටැංකිය පිරෙන්න මදි වෙන එක. ටැංකියෙ පිරෙන්න කලින් ලිඳේ වතුර ඉවර වෙලා මෝටරේ නිකං දුවන්න ගන්නවා. ඹ්කට උත්තරයක් නැති තැන වුනේ, පැයෙන් පැයට විතර මෝටරේ දාලා ලිදට ටෝච් එක ගහගන බල බලා ඉදලා වතුර ඉවර වෙන කොට මෝටරේ වහන එක. ඹ්ක ඉතිං කොරන්න පුලුවන් වැඩක්යැ.
මට ඒක දකින කොට මතක් වුනේ අපි දරුවන් එක්ක කතා කරන තාක්ෂණික උපකරණ. මේකට පොඩි උත්තරයක් නේ තියෙන්නේ කියලා. මම කලේ Arduno බෝඩ් එකක් ජල සංවේදකයක්, රිලේ එකක් වගේම කන්ටැක්ටරයක් අරගෙන පොඩි ගැජට් එකක් හදපු එක.




Arduno බෝඩ් එකේ තියන IC එක අපිට ඹ්නේ විදියට ප්‍රෝගැම් කරන්න පුලුවන්. ඒ විදියට ප්‍රෝගැම් කරන්න පුලුවන් Pin 14 වගේම අදාන ගන්න පුලුවන් Pin සහ තවත් pin කීපයක්ම මේ බෝඩ් එකේ තියෙනවා. ප්‍රෝගැම් කරන්න තියෙන්නේ C පරිගණක භාෂාවෙන්. ඉතිං මං පොඩි ප්‍රෝගැම් කෑල්ලක් ලිව්වා.
ඒක වැඩ කරන විදිය ගැන කරපු පුංචි වීඩියෝවක් මේ තියනේනේ. 





ඒ හදපු එක එක දිගට වැඩ කරනකොට පොඩි පොඩි අවුල් වෙන්න ගත්තා. සංවේදකය එක දිගට ක්‍රියා කරන කොට එහෙම වෙන්න පුලුවන්. පස්සේ කොඩ් එක ටිකක් සංකීර්ණ කරලා ලිව්වා. අවශ්‍ය වෙලාවට සංවේදකයට විදුලිය සපයලා තත්පර 2 කින් සංඥාව ලබාගෙන සංවේදකය ක්‍රියා විරහිත කරන්න. මේ තියෙන්නේ දෙවෙනියට ලියපු කෝඩ් එක.



කොහොම හරි දැන් සිස්ටම් එක ලස්සනට වැඩ කරනවා. ඔන් ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් උත්තර හොයාගන්න උත්සහ කරන්න. බැරිනං කියන්න. අපි උත්සහ කරමු අපිට තියන ප්‍රශ්න අපිම විසදා ගන්න.

Thursday, December 26, 2019

වීදි දැරිය



හිරුගේ තද රැසින් හිස මගෙ                කකියනවා
නිරුවත් දෙපා පොඩි පාරට දිය                 වෙනවා
අහරක් නොමැති ගත මාගේ                වෙවුලනවා
මළ කෑ ටින් කබල තවමත්                 වේලෙනවා

කුසගිනි දැනේ මහමෙරුවට වඩා                  මට
නැග එයි මවුගෙ මතකය දුක්             නසන්නට
කඳුලැළි වැටුණි නෙතඟින් මවු නැති           දුකට
යන්නට සිතුනිදෝ තනිකම දීලා                   මට

වීදියෙ කෙළවරේ නුග ගස සෙවණ              යට
තනිකම තුරුලෙ උණුසුම් වෙමි              සීතලට
මවකගෙ තුරුලෙ උණුසුම හිමි නැහැනෙ     මට 
මා දැක නොම යන්න අඳ මිනිසෙකු        ලෙසට  




Wednesday, December 25, 2019

පහළ කඩුගන්නාව මාවෙලකන්ද පුරාණ රජමහා විහාරය

සතියකට සැරයක් නුවර කොළඹ පාරේ මම යනවා. ඒ යන වෙලාවෙ කඩුගන්නාව පල්ලමේ යනකොට දැකපු බෝඩ් එකක් තියෙනවා. ඒ තමයි වලගම්බා යුගයට අයිති රජමහා විහාරයක බෝඩ් එකක්. එතනට යන්න කියලා හිතුනට ගොඩක් වෙලාවට මග ඇරුනා.
මීට මාස දෙකකට විතර කලින් දවසක ගෙදර ගිහින් එන ගමන් අම්බලම ලග වාහනය නතර කරලා පන්සලට ගොඩවුනා. හිතුවට වඩා ගොඩක් වටින තැනක්. ඒ වගේම පෞරාණික විහාරයක්. චෛත්‍යය බෝධින් වහන්සේ පිළිම ගෙය අනුපිළිවෙලින් පිහිටලා තියන විහාරයක්. ලෙන් තුනක් තියෙනවා බොහොම දිග ලෙන්. චෛත්‍යය තියෙන්නෙත් ලෙන්
විහාරයක් ඇතුලේ. පිළිම වහන්සේ දඹුල්ල ලෙන් විහාරයේ සැතපෙන පිළිම වහන්සේටත් වඩා දිගින් වැඩි පිළිමයක්.


මේ ස්ථානයේ වටිනාකම හින්දම ඒ ගැන වීඩියෝවක් කරන්න හිතුනා. ඊට දවස් කීපයකට පස්සේ ගිහින් මේ දර්ශන වීඩියෝ කරගෙන ආවේ. පහත වීඩියෝව බලලා ඒ ගැන අදහසක් ගන්නකෝ.





රජමහ විහාරයක් වුනාට දැනට පන්සලේ වැඩ වාසය කරන්නේ එක තරුණ හාමුදුරුවන් වහන්සේ නමක් විතරයි. සමහර දවස් වලට උන්වහන්සේට දානමාන එහෙමත් නැතිවෙන දවස් තියෙනවා කියලා අහන්න ලැබුනා. පන්සලේ විදුලි පද්ධතියට අකුණු වැදිලා කියලා දැනගෙන මම යාලුවෙකුත් එක්ක එකතු වෙලා රුපියල් දහ දාහක විතර ලයිට් අරන් දුන්නා. ඒක මදි. ඒත් මට පුලුවන් විදියටයි ඒ දේ කලේ.


නුවර කොළඹ පාරේ යන වෙලාවකට මේ පන්සලටත් ගොඩවෙලා යන්න. පුලුවන් නම් තියාගෙන වළඳන්න පුළුවන් දෙයක් හාමුදුරුවන්ට පිළිගන්නලා එන්න. පැරණි විහාරයක් සංවර්ධනය වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා එන්න.
තෙරුවන් සරණයි.