Friday, June 15, 2018

බබා ලොකු වුනාම කවුරු වගේ වෙන්න ද කැමති ?


ඒ අපි හැමෝම පොඩි දරුවෙක් හම්බුනාම අහන්න දෙයක් නැති වුනාම අහන ප්‍රශ්නේ තමයි “බබා ලොකු වුනාම කවුරු වගේද වෙන්න කැමති?” කියලා . මේ ප්‍රශ්නේ කී දෙනෙක් අපි පොඩි කාලෙත් අහන්න ඇද්ද? ඒ හැම වෙලාවෙම කටට ආව මොකක් හරි කියන්න ඇති. නැත්තං පුරුදු වෙලා තියන මොකක් හරි කියන්න ඇති.
ඔය ප්‍රශ්නේ ඉතිං හැමෝගෙන්ම වගේම විහින්දි ගෙනුත් කට්ටිය අහනවා. විහින්දි නං ඒ වෙලාවට කියන්නේ “ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති” කියලා. ඒත් විහින්දිගේ තාත්ත නං එහෙම කියනවාට කැමති නැහැ. එයා එක දෙයක් දන්නවා.
“දරුවෝ මෙහෙම කියන්නේ මේ ලෝකේ ගැන දන්නේ නැති හින්ද”  ඒ විහින්දිගේ තාත්තට හිතෙන දේ.
“දොස්තර කෙනෙක් කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන එක ආකාරයක කෙනෙක් විතරයි. තව මොන මොන දේවල් කරන අය මේ ලෝකේ ඉන්නවාද? එයාලත් රටට සමාජයට මොන තරම් දේවල් කරනවාද? එයාලටත් මොන තරං පිළිගැනිමක් තියනවද? දරුවෝ ඒවා දන්නේ නැහැ. ඒකයි හැම දරුවෙක්ම දොස්තරලා, ඉංජිනේරුවෝ එහෙමත් නැත්තං ටීචර්ලා වෙන්න හදන්නේ”
ඉතිං එහෙම කියලා විහින්දිගේ තාත්තා විහින්දිව ළගට අරන් මේ ලෝකේ තියන රස්සා ටික කියලා දීලා ඒවා ඒවා කොලයක් අරන්  ලියන්න කිව්වේ නෑ
ඒත් එයා එක දෙයක් කලා. විහින්දිත් එක්ක යන ගොඩක් තැන් වලදි ඒ ඒ තැන් වල ඉන්න ඉහළ තනතුරු වල ඉන්න නැන්දලා මාමලා අදුනගන්න ඉඩ අරන් දුන්නා. එයාලා එක්ක කතා කරන්න වෙලාව හදලා දුන්නා. එයාල ඉගෙන ගත්තේ මොනවද? කැම්පස් ගියේ කොහෙද? මොනවද ඊට පස්සේ කලේ වගේ දේවල් එයාට දැන ගන්න ලැබෙන්නේ ඒ වෙලාවට.
දවසක් විහින්දි එයාගේ අම්මයි තාත්තයි එක්ක කතරගම ගිහින් එනවා. ඒ ආවේ හම්බන්තොට පැත්තෙන්.
“තාත්තේ.. හම්බන්තොට ලුණු ලේවාය බලන්න යමුකෝ”
එන ගමන් වෙලා  තිබුන හින්දා තාත්තා ගූගල් සිතියමෙන් බලලා හම්බන්තොට ලුණු ලේවායට පැදෙව්වා. ගේට්ටුව ගාව වාහනේ නතර කරලා ගිහින් සිකුරුටි මාමාගෙන් ඇහුවම එයාලගේ නම් ගම් ලියාන වාහනේ අංකේ එහෙමත් ලියාගෙන එයාලට ඇතුලට යන්න අවසර ලැබුනා. තාත්තත් ටිකක් දන්න හින්ද ලේවායේ තැන් ගැන යි ලුණු හැදෙන විදියයි විහින්දිට ඇස් දෙකෙන්ම බලා ගන්න  පුළුවන් වුනා. විස්තර අහගන්නත් පුළුවන් වුනා. කට්ටිය ලුණු හදලා පැකට් කරන පැත්තත් බලන්න ගියා. ඒ අතරේ
“අම්මයි දුවයි ඕවා පොඩ්ඩක් බලන්නකෝ... ”
එහෙම කියපු විහින්දිගේ තාත්තා කොහේදෝ ගියා. ටික වෙලාවකින් එයා ආවෙ එතන ටිකක් ඉහළ නිළධාරි මහත්තයෙක් එක්ක. ඒ එන ගමන් එයා මොනවදෝ ඒ මහත්තයත් එක්ක කතා කර කර ආවේ.
“දුවේ... මේ මාමා තමයි මෙතන වැඩ කරන නැන්දාල මාමලා හැමෝම බාර ව ඉන්නේ. එයා ඔයාට මෙතන ගැන ටිකක් කියලා දෙයි”
ඒ මාමා ලුණු ලේවායේ වැඩ කරන මාමාලා නැන්දලා කොච්චර ඉන්නව ද? එයාලා මොන මොන අංශ වලද ඉන්නේ? ඒ අංශ වල ඉන්න ලොකු ලොකු මාමාලා නැන්දලා කවුද? එයාලට ඉහලින් කවුද ඉන්නේ? මේ හැමෝම බලන්න තවත් ඉහලින් එක්කෙනෙක් ඉන්නවා එහෙම කියලා එතන පිරිස් කළමණාකරණය, ඒ වගේම කළමණාකාරණ ධූරාවලිය වගේ බරපතල දේවල් ටික එයාට තේරෙන විදියට කියලා දුන්නා. සමහර දේවල් විහින්දිට තේරුනේ නැති වුනාට එතන වැඩ කරන මාමලා නැන්දලා එයාලට හිතෙන හිතෙන දේවල් කරලා නෙවෙයි මෙහෙම ලුණු පැකට් ගෙදරට එන්නේ කියලා කියලා නං එයාට එදා තේරුනා.
-පින්තුරය අන්තර්ජාලයෙනි-
තවත් දවසක විහින්දිට රත්නපුරේ පැත්තේ කුඩා ජල විදුලි බලාගාරයක් බලන්න යන්න හම්බුනා. ඒ තැන ට පාර පෙන්නපු මාමිත් තාත්තා උගන්නන අක්කි කෙනෙක්ගේ තාත්තා. එතන්ට ගිය විහින්දිට ජල විදුලි බලාගාරයක වෙන දේවල් ඔක්කොම ඇස් දෙකෙන්ම දැකගන්ට පුළුවන් වුනා. ටර්බයිනය ඩයිනමෝව අල්ලන්න තරම් ළගට ගියා. ඔළුවට හෙල්මට් එකක් දාගෙන කන් දෙක වැහෙන්න මොකක්දෝ එකකුත් හයි කරගෙන එතන්ට ගියේ අමුතු ලෝකෙකට යන්න වගේ. ඒක විහින්දිට අලුත්ම අත්දැකීමක් වුනා. එතන ස්ථාන භාර නිළධාරි මාමා විහින්දිට ඒ හැම දෙයක්ම කියලා දුන්නා.
ඒ ඉවර වුනාම විහින්දිගේ තාත්තා ඒ මාමිගෙන් මෙහෙම දෙයක් ඇහුවා
“ඔබ තුමාට තවත් උදව්වක් කරන්න පුළුවන්ද? ඔබ තුමා ගැන ටිකක් මේ දරුවට කියන්න දෙන්න පුළුවන් ද?”
“ඔබ තුමා කව්ද? මොනවද මෙතන කරන්නේ? කොහොමද මෙතන්න ආවේ? මොනවද ඉගෙන ගත්තේ වගේ දේවල් ටිකක්?”
ඒක අහපු ඒ මාමිට හරිම සතුටුයි.
“කිසිම කෙනෙක් මීට කලින් මෙහෙම අහලා නෑ. එන්නකෝ දුව....” ඒ මාමි විහින්දි එයාගේ කන්තෝරු කාමරේට එක්කන් ගිහින් එතන තිබුන මේසේ ඉස්සර වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ එයා එයාගේ පුටුවේ වාඩි වෙලා එයා කවුද ඉගෙන ගත්තේ මොනවද? දැන් කරන්නේ මොනවද? විතරක් නෙවෙයි, මෙතන එයාට ඉහලින් ඉන්න නිළධාරින් කවුද? එහෙම කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕනේ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා.    
මේ ළගදිම දවසක ලංකාවෙම ජලය ගැන තීරණ ගන්න ලොකුම ලොකු තැනක ඉහළම තැනක ඉන්න නැන්දි කෙනෙකුත් විහින්දිට හම්බුනා. ඒ ගැන විස්තර පස්සේ දවසක කියන්නම්කෝ.
විහින්දි ලොකු මහත් වෙලා කවුරු වගේ කෙනෙක් වුනත් එයාගේ තාත්තට නම් කමක් නැහැ. ඒත් ඒ කෙනා වෙන්න කලින් වෙන්න පුළුවන් මොන වගේ අයද කියලා දැනුමක් විහින්දිට තියෙන්න ඕනේ කියලායි එයාගේ තාත්ත කියන්නේ. විහින්දි අනාගතේ කවුරු වුනත් එයා කරන රැකියාව නිසා එයාට දේවල් තුනක් ලැබෙන්න ඕනේ.
“හොදින් ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි හම්බ වෙන රස්සාවක් වෙන්න ඕනේ.”
“කරන දෙයින් සතුටු වෙන්න ඕනේ...”
“රටට සමාජයට යහපතක් සිද්ද වෙන්න ඕනේ...”

විහින්දිගේ තාත්තගේ බලාපොරොත්තුව එච්චරයි!

_____________________________________________________
විහින්දිගේ කතා ගැන ඔයාලට හිතෙන දේ දැනගන්න විහින්දිගේ තාත්තා ගොඩක් කැමතියි. පහතින් කොමෙන්ටුවක් දාලා මොනවා හරි හිතට එන දෙයක්  ලියන්න කියලා එයා කියනවා.   

9 comments:

  1. හරිම සතුටුයි බ්ලොග් එකකට පිවිසීම ගැන. මේ තරම් ලෙන්ගතු කතා හරිම රසවත්. හෘදයාංගමයි. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් මහත්තෝ. ඇත්තටම මේක කතාවක් වගෙ වුනාට ඒක ඇතුලෙ තව කතාවක් තියෙනවා. මං කැමතියි ඒ ගැනත් මොනව හරි කියනවා නම්...

      Delete
    2. මෙහි මතුපිට කතාව ඇතුලේ සැගවුණු කතාව නිසාම තමා කතාව රසවත් වෙන්නේ.
      පියා දියණිය අතර සහ සම්බන්ධය මනෝමූලිකව ගොඩ නැගෙන අපුරුව. ළමා ලෝකය එළිය කරන්න හදන පිතෘත්වය වගේ දේ මැනවින් මෙහි අන්තර්ගතයි

      Delete
  2. හුගක් වටින කතාවක්,,සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. කවුද මේ ඔමාලි ලසන්ති

      Delete
  3. හුගක් වටින කතාවක්,,සුබ පැතුම්

    ReplyDelete
  4. නියමයි. හැමෝම තමන්ගෙ දරුවො එක පැත්තකට යවන්න උත්සාහ කරන කාලෙක වෙනස්ම දෙයක් ගැන අදහසක් ලබා දෙන කතාවක්.

    ජයවේවා........

    ReplyDelete
  5. වටින අදහස් පෙළක්. බොහොම සංතෝසයි... බොහොම ආඩම්බරයි ඔබ ගැන...

    ReplyDelete