Saturday, February 8, 2020

මා කියවූ ආටානාටිය සූත්‍රය


අද නවම් මස පුර පසළොස්වක පෝය දවස. මටත් බණ ටිකක් අහන්න හිතිලා කොහෙන්දෝ අහුවුන කොනක් හන්දා ආටානාටිය සූත්‍රය කියවන්න ගත්තා. ඉස්සෙල්ලා යූටියුබ් එකෙන් ඒ සූත්‍ර දේශනාව ඇහුවා. ඊට පස්සේ වෙබ් සයිට් දෙක තුනක් හොයලා සිංහල තේරුමත් එක්ක තියෙන ඒවගේ සිංහල තේරුම කියවන්න ගත්තා. ඇත්තටම එහෙම වුනේ මං පාලි දන්නේ නැති හන්දා. ඒක හරි ලස්සන කතාවක්. හරිම ලස්සන කතාවක්. මං අපූරු කතාවක් හදාගත්තා ඒක කියවලා. මගේ කතාව අහලා ඉවර වෙලා මං දෙන ලින්ක් එකත් කියවලා ඉවර වෙලා මට බනින්න හරි මං කියන දේ පිලිගන්න හරි පුලුවන්. හැබැයි ඔයාලා දන්න දේ අමතක කරලා, මං කියන දේ අහලා, ඊට පස්සේ මට බැන්නට කමක් නෑ හොදේ.
බුදු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ කාලේ ගොඩක් හිටියා. බුදු හාමුදුරුවෝ උපදෙස් දීලා තිබ්බේ හාමුරුවො දෙනමකට එක පැත්තට යන් නැතිව රට පුරා වැඩලා බණ කියන්න කියලා. ඉතිං හාමුදුරුවෝ එක එක පැත්තට වැඩියේ තනියම.
සමහර පැතිවල නරක මිනිස්සු හිටියා. මනුස්ස ගති නැති අය. ඒ කිව්වේ අමනුස්සයෝ. එයාලගෙන් මේ තනියෙන් යන හාමුදුරුවන්ට විවිධ කරදර වුනා. මොකද ඒ හාමුදුරුවරු කියන්නේ හොඳ කරන්න කියලනේ. හැමදාම සත්තු මරණ, හොරකම් කරන වගේ නරක වැඩ කරලා පුරුදු වුන මිනිස්සුන්ට මේ බණ ඇල්ලුවේ නෑ. ඒ හින්දා ඒ මිනිස්සු මේ හාමුදුරුවන්ට කරදර කලා.
මේ සිද්දිය ප්‍රධානීන්ටත් ආරංචි වුනා. ඒකාලේ හිටියේ ප්‍රධාන ගෝත්‍ර කීපයක මිනිස්සු හිටියා. ඒ ඒ ගෝත්‍රවල නායකයෝ මේ පිළිබද ආටානාට කියන තැනක එකතු වෙලා කතා කලා. මේ කියන කාරනා ඇත්තද කියලා හොයලා බැලුවා. ඇත්ත කියලා දැනගෙන ඒකට පිලියමක් කතා කර ගත්තා. හාමුදුරුවන්ට කරදර කරන අයට දඩුවම් කරන්න තීරණය කලා. කරදරේ විදියට දෙන එක එක විදියේ දඩුවම් තීරණය කලා. ඒ වගේම එක එක පැති වලට ඒ ගැන හොයලා බලන්න, කරදර කාරයෝ අල්ලන්න නිළධාරින් පත්කලා. ඒ නිළධාරින්ට වගකීම් පැවරුවා.

ඊට පස්සේ මේ ගැන බුදු හාමුදුරුවන්ට දැනුම් දෙන්න ඒ නායකයො ටිකයි එයාලගේ පිරිස් එක්කම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ආවා. ඒ ආවේ රෑක. ගොඩක් පිරිසක් එලි පත්තු කරගෙන ආවා. එහෙම ඇවිත් බුදු හාමුදුරුවෝ හම්බ වෙලා නමස්කාර කරලා ආගිය තොරතුරු එහෙම කතා කරලා තමන් ආව කාරණය බුදුහාමුදුරුවන්ට පැහැදිලි කලා.
නායකයෝ එකතු වෙලා ඇතිකරගත්තු කතිකාවත ගැන හැමදේම පැහැදිලි කලා. ඒ එක් එක් ගෝත්‍රිකයෝ ඉන්න දිශාවල් ඒ ගම්මාන නගර ගැන පැහැදිලි කලා. ඒවගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරලා ඉන්න නිළධාරින් කවුද කියලා පැහැදිලි කලා.
මේ කාරණා හැම දෙයක්ම හරියට දැනගෙන යන්න කියලා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයින් ට කියන්න කියලා ඉල්ලා සිටියා. ඒ ඒ ප්‍රදේශ හදුනා ගන්නා හැටි, ඒවාගේ පත්කරලා ඉන්න නිළධාරින්ගේ නම් හැම දේම නිවැරදිව දැනගෙන ඉන්න කෙනෙක්ට කරදරයක් නැතිව ඉන්න පුලුවන් කියලා කිව්වා. මේ දේ කරන්නේ හැමෝගෙම යහපතට කියලා කිව්වා. කාට හරි කරදරයක් වෙනවා නම් වහාම පැමිණිලි කරන්න කියලා කියනවා. කෑ ගහලා කියන්න කියලා කියනවා.  බුදු හාමුදුරුවෝ  ඒ දේ පිළිගත්තා. එයාලා බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා පිටත් වුනා.
පහුවදා උදේම බුදුහාමුදුරුවෝ උන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සියළු දෙනාම කැඳවලා පෙර දවසේ රාත්‍රියේ සිද්ධ වුන දේ දේශනා කරනවා. අදාල කතිකාවත පිළිබදව දැනුවත් කරලා ඒ අනුව කටයුතු කරන්න කියලා දේශනා කරනවා.
පිරිත් පොතේ ආටානාටිය සූත්‍රය දෙපාරක් තියෙන්නේ ඒකයි. ඔතන අමනුස්සයෝ කියන්නේ නරක ගති තියන මිනිස්සු කියලා තමයි මං හිතන්නේ. යක්ෂ, නාග, කුම්භාණ්ඩ කියලා කියන්නේ එක එක ගෝත්‍ර නාම කියලා තමයි මං හිතන්නේ. එහෙම හිතලා බලනකොට ඒ කාලේ තිබුන ගම් ගැන, මිනිස්සුන්ගේ ජීවන ක්‍රම ගැන, වටපිටාවන් ගැන ලොකු විස්තරයක් මේ සූත්‍රය ඇතුලේ තියනවා. මට තියන තව ප්‍රශ්නයක් අපට හුරුඅපේ රටේ  ගම් නම් එහෙමත් ඒ ඇතුලේ තියන එකයි.
මෙන්න ලින්ක් තියෙනවා. මේවා දැන් කියවන්නකෝ. ආටානාටිය සූත්‍රය. මෙතනින්ම අවශ්‍ය නැහැ. කැමති තැනකින් කියවලා බලලා අදහස් කමෙන්ට් කරන්නකෝ.


4 comments:

  1. ගොඩක් ස්තූතියි. බුදුන්ගෙ දර්ශනය ගැන මාත් හරි කුතුහලයි. කීපයක් සූත්‍ර ගැන මාත් ලියල තියෙනව.

    ReplyDelete
  2. මම ‌මේ දැන් ඔය ලිංක් එක දිගේ ගිහිං එක හුස්මට ආටානාටිය කියෙව්ව. ඒක කියවන්න කලින් ඔයාගෙ ඇඩප්ටේෂන් එක කියවපු එක ‌හොඳයි. නැත්තං ‌"මේ ‌මොන හෑල්ලක්ද" කියල හිතෙන්න තිබ්බා. ඒකෙ හරය ‌බොහොම ‌පොඩ්ඩයි තමයි. භික්ෂූණ්ට හානිකරන උදවියට පමුණුවන දඬුවම්.

    මට හිතුණු එක ‌දෙයක් තමා, ඔය දඬුවම් සියල්ල කායික හා මානසික පීඩාවල්. සතුරාට ‌මෛත්‍රී කරන්න ඉගැන්නුව බුදු හාමුදුරුවො ඔය පීඩා කිරීම් වුණත් අනුමත කළා කියන එක එච්චර විශ්වාස කරන්න අමාරුයි ‌නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. ඇත්තටම ‌මට ඇත්තටම මට හිතෙන්නේ රජවරු සංඝයා වහන්සේ ආරක්ෂා කරන්නට නීතියක් පැනවිම නිසා සංඝ සාසනයට හොදක් වෙන හින්දා බුදු හාමුදුරුවෝ එකට ඉඩ දුන්නා කියලයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැ හාමුදුරුවන්ට ගහන අය මරන්න කියලා බුදුහාමුදූරුවෝ කිව්වා කියන එක. ඒ වගේ නීතියක් තියෙන වෙලාවක හාමුදුරුවන්ට කරදර කරන්න එන පිරිස අඩුවෙන එක හොදක් නේද?

      Delete
    2. https://vihindi.blogspot.com/2020/02/blog-post_18.html ‌මේ ලිපියත් ඒ ගැනමයි.... ‌පොඩ්ඩක් බලන්නකෝ

      Delete