Sunday, June 17, 2018

විහින්දි ගෙ කැමරා පන්තිය

දවස් තුනක නිවාඩුවක්. ඒ වගේ එකක් ආවම ඉතිං කොහේ හරි ගමනක් යන එක එයාට පුරුද්දක් වෙලා. විහින්දිගෙ තාත්තා ටියුෂන් පන්ති කලාට ඒවා කොහොම කොහොම හරි එහාට මෙහාට කරගෙන ඇවිදින්න යන්න වෙලාට හදාගන්නවා.
මේ දවස ටිකක් විශේෂ දවසක් වුනා විහින්දි ට. ඒ එයාගේ අලුත් කැමරාව එයාට පාවිච්චි කරන්න ලැබෙන දවස හින්ද. කොග්ගල ගිහින් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලලා ඒ ළගම තියන ගුවන් හමුදා ඒකකයත් ගිහින් ගාලු කොටුවත් බලලා එන්න තමයි කලින් කට්ටිය කතා වෙලා හිටියේ. තාත්තිගේ ඉස්කෝලේට අලුතින් ආපු හේරත් මාමි කැමරා ගැන හොදට දන්න ඒ ගැන ඉගෙනගෙන තියන කෙනෙක් කියලයි එයාගේ තාත්තා එයාට කියලා තිබුනේ. හේරත් මාමිත් ගමන යන්න එනවලු එයාට කැමරාව කියලා දෙන්න.

සිකුරාදා හවස් වෙලා... “හෙට ගමන යන්නේ නැහැ. දකුණු පළාතේ උණ රෝගයක් පැතිරෙනවලු. ළමයි ගොඩක් දැනටමත් මැරිලලු” ඒ විහින්දිගේ අම්මගේ අවසන් තීරණය.
අම්මලා එහෙමයි. දරුවන්ට ගොඩක් ආදරෙයි. පුංචි හරි අවදානමක් තියෙනවා නං දරුවා ඒ අවදානමේ දාන්න එයාලා ලෑස්ති නෑ. තාත්තලා දරුවන්ට ඕනෙවට වඩා නිදහස දෙන්න හදනකොට ඒක සමබර කරන්නේ අම්මලා. තාත්තලා ආදරේ වැඩි හින්දා දරුවන්ට නිදහස දෙනකොට අම්මලා කරන්නේ දරුවන්ව තව තවත් නිදහස අහුරන එක. ඒ දෙන්නම කරන්නේ දරුවන්ගෙම හොදට තමයි. කොහොම හරි මේ දෙන්නගේ ම ආදරේ මැද්දේ හැදෙන දරුවෙක් හරිම වාසනාවන්තයි.
“ඔව් අපි දකුණු පළාතේ නොගිහින් ඉමු” විහින්දිගේ තාත්තත් ඒ කතාව අනුමත කලේ ඊට එහා කතා කරලා වැඩක් නැහැ කියලා එයා දන්න හින්දා.
“අපි වෙන කොහේ හරි යං”
ඊළග කරදරය ආවේ පහුවදා උදේ ඉදලා. උදේ පාන්දර ඉදලා ම වහින්න පටන් අරන්. නවතින්නේ නැතිව එක දිගටම වහිනවා. වහින වෙලාවට ඉතිං කැමරාවකට ආදරේ තියන කෙනෙක් නං කැමරාවක් එළියට ගන්නේ නැහැ. ඒත් විහින්දිගේ තාත්තට නං ගමන නවත්තන්න හිත නැහැ. අන්තිමේදි දවල් වෙලා එයාලා වාහනේට ගොඩවුනෙත් වැස්සෙමයි.
හේරත් මාමත් කැමරාව හයි කරන ට්‍රයි පෝට් එකයි තවත් ලයිට් වගයකුත් එහෙම අරගෙන වාහනයට නැංගා.
“දැන් කොහෙද යන්නේ?”
“මේ වැස්සේ එළිමහන් තැනකට ගියාට වැඩක් නෑ, මං කියන්නේ අපි ‘වෝටර් වර්ල්ඩ්’ එකට යමු.”
“කැමරාවක් පුරුදු වෙන්න නං හොද මදි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. යමු”
- විහින්දිගේ ඡායාරූපයක් -
කට්ටියම වොටර් වර්ල්ඩ් එකට ගියා. තෙමෙන්නේ නැති තැනකට ගිය හේරත් මාමි විහින්දිට කැමරාව ගැන ටිකක් කියලා දුන්නා. Zoom, focus කියන්නේ මොකක්ද කියල එයා දැන ගත්තා. තවත් දේවල් ගොඩක් දැන ගත්තා.
“මේ කැමරාව දුවට තාම ලොකු වැඩියි”
හේරත් මාමි විහින්දිගේ තාත්තට කිව්වා.
ඒක ඇත්ත. කැමරාවක් හරියට ඉගෙන ගන්නවා කියන්නේ උසස්පෙළ භෞතික විද්‍යාවේ ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන තවත් ටිකක් ඉගෙන ගන්නවා වගේ වැඩක්. මේ පොඩි දරුවා කොහොමද එච්චර දෙයක් කරන්නේ?
ඒත් විහින්දිගේ තාත්ත එක දෙයක් දන්නවා.
“දරුවෝ ඉගෙන ගන්නේ අපි හිතන විදියට නෙවෙයි. එයාලා ඉගෙන ගන්නේ එයාලගෙම විදියකට. ඒක ගොඩක් වෙලාවට ලොකු මිනිස්සුන්ට තෙරෙන්නේ නැහැ. දරුවො කරන සමහර දේවල් වලට ලොකු මිනිස්සු පුදුම වෙන්නේ ඒකයි” විහින්දිගේ තාත්තා එහෙම කියනවා.
- විහින්දිගේ ඡායාරූපයක් -
කොහොම හරි විහින්දි පොටෝ ගත්තා. කැමරාව අල්ලන් ඉදලා එයාගේ පුංචි ඇගිලි රිදෙනකන් පොටෝ ගත්තා.  පැය කීපයක් ෆොටෝ ගත්තු කට්ටිය හේරත් මාමවත් ගෙදරට ඇරලවලා ගෙදර වැස්සෙම ගෙදර ආවා.
“කට්ටියම එන්නෝ...... මෙන්න මහා ඡායාරූප ප්‍රදර්ශනේ පටන්ගන්නවෝ.......”
විහින්දිගේ ෆොටෝ ගෙදර රූපවාහිනියට දාලා කට්ටියම බැලුවා. හැමෝම හිනා වුනා. සතුටු වුනා.

මීට මාසෙකට විතර ඉස්සර දවසක මෙහෙම දෙයක් වුනා.
- විහින්දිගේ ඡායාරූපයක් -

“තාත්තේ මගේ ෆොටෝ එකක් ප්‍රින්ට් කරලා ගෙනත් දෙනනකෝ” “මගේ යාළුවෙක් ජපානෙ පදිංචියට යනවා. පන්තියේ හැමෝම එයාලගේ ෆොටෝ ගෙනත් දෙනවා. මතක් වෙන්න තියාගන්න කියලා”
“දුවේ, ෆොටෝ එකක් දුන්නොත් එකනේ. අපි එයාට හැමදාම ෆොටෝ යවන්න පුළුවන් දෙයක් කරමු. එයාගෙන් එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි ඊමේල් ඇඩ්රස් එකක් ඉල්ලගෙන එන්නකෝ.” එහෙම කියපු විහින්දිගේ තාත්තා එයාගේ ඊමේල් ඇඩ්රස් එකයි, වට්ස්ඇප් අංකයයි දෙකත් ලියලා විහින්දි අතට දුන්නේ යාලුවාට ගිහින් දෙන්න කියලා. පහුවදා විහින්දි ආවේ යාළුවාගේ අම්මගේ ඊමේල් ඇඩ්රස් එකත් අතේ තියන්.
“එන්නකෝ දුව, අපි වැඩක් කරමු. ඔයාට ඊමේල් ලිපිනයක් හදමු”
ගූගල් සමාගම ඊමේල් ගිණුම් හදන්න දෙන්නේ වයස අවුරුදු දහතුන පැනපු දරුවන්ට. විහින්දිටත් දැන් ඒ පහසුකම ගන්න වයසත් ගැටලුවක් නැහැ. විහින්දි එයාගේ තාත්තත් එක්ක එකතු වෙලා එයාට ඊමේල් ගිණුමක් හදා ගත්තා. එයාටම කියලා දුරකතන අංකයක් නැති හන්දා තාත්තගේ අංකය තමයි ඇතුලත් කලේ.
- විහින්දිගේ ඡායාරූපයක් -
ඒක හදලා යාලුවාට වචන කීපයක් ලියලා මේල් එකක් දාන්නත් විහින්දි අමතක කලේ නැහැ. දවස් දෙක තුනකින් එයාට උත්තරයකුත් ඇවිත් තිබුනා.
“තාත්තේ මං ගත්තු ෆොටෝ ටිකක් යාලුවාට යවන්න ඕනේ.....” අද විහින්දි එහෙම කිව්වා.
“ඉතිං යවමුකෝ.”
විහින්දි තාත්තත් එක්ක එකතු වෙලා ලස්සන ෆොටෝ කීපයක් තේරුවා. තාත්තා ලගදි දවසක ගෙනත් දීලා තිබුන සිංහල යතුරු පුවරුවත් හයි කරගෙන අමාරුවෙන් අමාරුවෙන් අකුරු අමුනලා විස්තර ටිකකුත් යාලුවාට ලිව්වා. ඒ විස්තරෙත් දාලා තෝරපු පොටෝ ටිකත්  දාලා එයා ඊමේල් එකකුත් දැම්මා.
“එදා යාලුවාට ෆොටෝ එකක් දෙන්නේ නැතිව මෙහෙම කරපු එක හරි ෂෝක්.....” විහින්දි හිනාවෙලා කිව්වා....


7 comments:

  1. ම්‍ෙ වග්‍ෙ වැදගත් වටින ද්‍ෙවල් තවත් අපිට ලියන්න සුබ පතනවා සර්,,,

    ReplyDelete
  2. අපි හෙමින් හෙමින් ඉගෙන ගමු චුටි දුවේ මම දන්න දැනුම දෙන්නම්...

    ReplyDelete
  3. අපි හෙමින් හෙමින් ඉගෙන ගමු චුටි දුවේ මම දන්න දැනුම දෙන්නම්...

    ReplyDelete
  4. පින්තූර ටික නම් ලස්සනයි සර්.

    ReplyDelete
    Replies
    1. කියන්නම්කෝ විහින්දි ට. පොටෝ ලස්සනයි කියලා අක්කියෙක් කිව්වා කියලා.

      Delete