විහින්දි කියන්නේ කුඩා දැරියක්ගේ ජීවිතය වටා ගෙතුන කතා එකතුවක්. දරුවන්ට දෙන්න ඕනේ මොනවද කියලා වෙනස් විදියට හිතන්න ඉඩ දෙන තැනක්
Monday, June 18, 2018
ලංකාවේ මිනිස්සු හරි හොදයි
අල්ලපු ගෙදර මහා සංඝරත්නය උදෙසා මහා සාංඝික දායනයක්. මට කැස්ස හින්දා දානේ බෙදන්න යන්න හොද නැහැ කියලා හිතුන හින්ද එළියට වෙලා හිටියේ. එතකොටයි දැක්කේ හාමුදුරුවෝ පාවහන් තියලා තිබුන තැන කැඩුනු පාවහන් යුවලක් තියෙනවා. මටත් කොහේදෝ නැති පිං සිතුවිල්ලක් ආවා. කවුරුහරි හාමුදුරුවෝ එළියට වඩින්නැතැයි, මං බලාගෙන හිටියා. දානේ ඉවර වෙලා හාමුදුරුවරු පෙළට වැඩියා. මං බලාගෙන හිටියේ සෙරෙප්පු දෙක දිහා. අන්තිමට වැඩිය හාමුදුරුවෝ ඒ සෙරෙප්පු දෙක දාගත්තා.
මං හාමුදුරුවන්ට ලං වුනා.
"අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ කොයි පන්සලේද? "
මං අහපු එක ඒ හාමුදුරැවන්ට තේරුනේ නැහැ. උන්වහන්සේට සිංහල බැහැ කියලා මට තේරෙණා. උන්වහන්සේ විදේශික භිකෂූන් වහන්සේ නමක්.
"හාමුදුරුවනේ මගේ වාහනයට වඩින්න. මං ඔබවහන්සේ පන්සලට ඇරලවන්නම්" මං ඉංගිරිසියෙන් කතා කලා. උන්වහන්සේ හිනා වෙලා මගේ වාහනයට නැංගා.
යන ගමන් උන්වහන්සේ විස්තර කතා කලා. උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන හිමි නමක්. කැලණිය විශ්ව විද්‍යාලයේ. බුරුම ජාතික හිමිනමක්.
ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න අවුරුද්දකට හාමුදුරු නමකට ලක්ෂ අටක් විතර වියදම් වෙනවලු. ඒ හාමුදුරුවන්ට උන්වහන්සේගේ අම්මා තාත්තලු වියදම් කරන්නේ. එයාලා කරන්නේ ගොවිතැන් කියලත් කිව්වා. ඒ හින්දා ගොඩක් අමාරුයිලු.
උන් වහන්සේ අපේ රට ගැනත් කිවා.
"අපේ රටේ මිනිස්සු හරි හොදයි"
"පාරවල් වල වාහන යන විදිය හොදයි"
"අනිත් අයට ඉඩ දෙනවා"
"පාරවල් දිගට වාහන හිර කරගෙන තමන් විතරයි යන්න ඕනේ වගේ කියලා රන්ඩු කර ගන්නේ නැහැ."
"මිනිස්සු හරි සාමකාමියි"
"අනිත් අයට උදව් කරනවා"
ඔය වගේ ගොඩක් දේවල් කිව්වා.
ඇත්ත නේන්නම්.. මාත් කල්පනා කලා. ඇත්තටම අපේ රටේ මිනිස්සු ගොඩක් හොදයි. වෙලා තියෙන්නේ අපිට ඒ හොද පේන්නේ නැති එක විතරයි. කොහේ හෝ එක්කෙනෙක් වැරැද්දක් කලාම හිතන්නේ මුළු සමාජයම ඒ වැරැද්ද කලා වගේ. සියයකට එකෙක් වැරැද්දක් කලොත් අනුනවයක්ම හොදය. අපි හොද දකින්නට පුරුදු වෙමු. එතකොට සමාජය තව ගොඩක් ලස්සන වෙයි.
සපත්තු කඩයකට උන්වහන්සේ සමග ගිය මම උන්වහන්සේට ප්‍රිය පාවහන් යුවලක් තෝරා ගන්න යැයි පැවසුවා. උන්වහන්සේ එ්කට අකමැති වුනත් පසුව වර්ණයක් පැවසුවා. උන් වහන්සේ අසුන් ගන්වා එම එම පාවහන් යුවලට රැගෙන උන් වහන්සේට දුන්නා. උන් වහන්සේ මා හට ප්‍රකාශ කලේ එය පිළිගන්වන ලෙසයි.
මා අනුග්‍රහයක් ලෙසින් ලබා දීමට උත්සහ කල දෙය උන් වහන්සේ පූජාවක් ලෙසින් භාර ගත්තේ පුන්‍යානුමෝදනාවක් ද කිරීමෙන් අනතුරුවයි. "නුඹ වහන්සේටත් ධර්ම අධ්‍යාපනය ලැබීමෙන් පසු සාසනයට සේවය කිරීමට ලෝකයට සේවය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා." දණ ගසා වැදගෙන ඉනන ගමන් මට එහෙම ප්‍රාර්තනා කලා.
උන්වහන්සේ නැවතිලා ඉන්න පෑලියගොඩ ජයතිලකාරාමයට උන්වහන්සේ ඇරලවලා පංසලේ නායක හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරලා මං ගෙදර ආවෙ.
සමාජයෙන් පිට ඉන්න කෙනෙකුට සමාජය පේන විදිය තමයි හරිම විදිය. ඇත්තටම අපේ රටේ මිනිස්සු හොදයි. ඒ කියන්නේ අපි හොදයි.
Subscribe to:
Post Comments (Atom)
විහින්දිලැ තාත්තට පිස්සු එහෙම නැත්තං ඔය හාමුදුරුවන්ට පිස්සුු
ReplyDeleteඑහෙමයි එහෙමයි. හැම පිස්සම කියන්නේ වටේ අයට පිස්සු කියලා තමයි.
Delete