Monday, February 25, 2019

හීං අයියා


මගේ අම්මයි තාත්තයි දෙන්නටම ගොඩක් වයසයි. තාත්තට දැන් හැත්තැ අටක්. දැන් ඉතිං එයාට තනියෙන් දුර බැහැරක යන්න බැහැ. එයාගේ සහොදරයෝ දෙන්නෙක්ම දැනට ජීවතුන් අතර නැහැ. තාත්තගේ නංගි ඉන්නේ මැදිරිගිරියේ. එයගෙත් මහත්තයා නැතිවෙලා. ඒ වගේම එයත් ලෙඩින්. කොච්චර වයසට ගියත් අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි අතර තියෙන බැඳීම නැති වෙන්නේ නැහැ. 
මේ සැරේ ගෙදර ගිය ගමන්..
"තාත්තේ.. හෙට උදේම මැදිරිගිරියේ නැන්ද ව බලල එන්න යන්න ලැහැස්ති වෙන්නකෝ"
"පුතාට මහන්සි නේද?"
"මහන්සි තියෙන්නේ මටනේ.. ඔයාලා දෙන්න ලැහැස්ති වෙන්නකෝ..."
පහුවදා උදේ පහ හමාර වෙද්දි අම්මයි තාත්තයි එක්ක මැදිරිගිරියේ යන්න පිටත් වුනා. 
"එකපාරටම නේ කිව්වේ.. මොනවත් හදාගන්නවත් බැරි වුනා. " වෙනදා නම් නෑදෑ ගෙදරක යනකොට අම්මා වැලිතලප හරි කොකිස් හරි හදනවා. 
මම දඹුල්ලේ හෙල බොජුන් එකෙන් නතර කලා. එතනින් තේ බිව්වා. අම්මා ගෙනියන්න කියලා කොකිස් ගත්තා එතනින්.
"යන ගමන් සිල්ලර බඩු කඩයක් ගාව නවත්තන්නකෝ"
මැදිරිගිරියේ ටවුමේ කෝප්-සිටි එකේ වාහනය නතර කලා. අම්මයි තාත්තයි ගිහින් ගෙදරට ඕනේ කරන දේවල් ටිකක් ගත්තා. සීනි 500 ක් ,තේකොල 100ක්, බීලූණු 500 ක්, කරවල කෑල්ලක්, පරිප්පු, සොයාමීට්, අල, තව තව දේවල් ටිකක් ගත්තා.
මම සල්ලි අදිනව දැකපු තාත්තා.. සාක්කුවට අත දාලා සල්ලි අතට ගත්තා. එතන දාහේ කොලයකුයි පන්සීයේ කොලයකුයි තව සීයේ කොල දෙකු තුනකුයි තමයි තිබ්බේ. එ ඊයෙ හවස වත්තේ තිබුන කෙසෙල් කැනක් විකුණලා ගත්තු සල්ලි ටික.
"හරි හරි මං සල්ලි දෙන්නං..." 
"හා එහෙනං දෙන්නටකෝ.. නංගි බලන්ට ඉතිං අයිය නිකං යන්ටයැ නේද?" මං හිනාවෙලා තාත්තට සල්ලි දෙන්න ඉඩ දීලා පැත්තකට වුනා. ගෙදර යනකොට තාත්තගේ වියදමට කීයක් හරි දීලා යන එක මගේ වැඩක්නේ. 
මැදිරිගිරියේ ඉදලා කිලෝමීටර 10 ක් විතර ගියාම හම්බවෙන පුල්ලියාර හන්දියේ තමයි නැන්දලාගේ ගෙදර තියෙන්නේ. අපි උදේ දහය විතර වෙනකොට එහාට ගියා. 
එහෙ ඉන්නේ නැන්දයි, වයස පනහක් විතර වෙන කසාද බැදලා නැති එයාගේ ලොකු දුවයි විතරයි. අක්කත් වැටිලා අතක් කැඩිලා දැන් මාස හතරක් විතර වෙනවා. ඒ හින්දා එයාගේ වැඩත් හැමදේම කරන්නේ නැන්දා. ඒ මදිවට ගියසතියේ අක්කට බේත් ගන්න ගිහින් එන වෙලාවේ බස්එකෙන් බහිද්දි කකුල ලිස්සලා ගිහින් උලුක් වෙලා. ඇවිද ගන්න බැරි තරම් අමාරුයි. පොඩි අක්කා ඇවිත් දවස් දෙකක් විතර ඉදලා ගිහින්. 
දරුවෝ මොන රස්සා කලත් මොන තැන්වල හිටියත් ගොඩක් වෙලාවට ගම්වල ඉන්න අම්මලා තාත්තලා අසරණ වෙන එක නවත්වන්න ගොඩක් අමාරුයි. මොකද එයාලට නගරෙට හුරු වෙන්න කොහොමත්ම බැහැ. දරු මල්ලෝ එක්ක නගරෙ ඉන්න දරුවන්ට ගමට එන්න කොහොමත්ම බැහැ. ඒක ඉතිං කාගෙවත් වැරැද්දක් නෙවෙයි. 
අපි එනවා දැකපු නැන්දා නොන්ඩි ගගහා අපි ඉස්සරහට ආවා.
"හීං අයියා... දණ ගහන්ටනං අමාරුයි" එහෙම කියපු නැන්දා කොන්ද නමලා වැදලා තාත්තවයි අම්මවයි පිළිගත්තේ. 
අපි ගෙට ගොඩවෙලා ආ ගිය තොරතුරු කතා කලා. නැන්දා කුස්සියට ගිහින් ලිපට දර කෑලි දෙකක් දාලා ගින්දර පත්තු කරලා අපිට තේ හදලා දුන්නා. 
අම්මයි නැන්දයි එකතු වෙලා දවල්ට ඉව්වා. කන ගමන් නැන්ද මෙහෙම කිව්වා.
"මට අද ගොඩාක් සතුටුයි. හරියට අවුරුදු වගේ...."
අයියව දැක්කේ අවුරුදු ගානකට පස්සේ. තාත්තයි මනුස්සයයි නැතිවුනාට පස්සේ ඉතුරු වෙලා ඉන්නේ හීං අයියා විතරයි. ඉතිං ඒ අයියා එයාව බලන්න ආවම සතුටු නැත්තේ මොන නංගිටද? තමන්ගේ අතිං උයපු බත් කටක් අයියට කන්න දෙන්න මොන නංගිද අකමැති? ඉතිං නැන්දට අවුරුදු වගේ සන්තෝස වෙන එක අහන්ටත් දෙයක්ද? සමහර විට අවුරුදු නැකත් වෙලාවටත් ඒ ගෙදර අක්කයි නැන්දයි විතරක්ම වෙන්න ඇති.
කාල බීලා එහෙම ඉවර වෙලා ටික වෙලාවක් ඉදලා හවස එක හමාර විතර වෙනකොට අපි පිටත් වෙන්න කියලා ලෑස්ති වුනා.
"අම්මයි තාත්තයි නැන්දයි එකට ඉදලා පොටෝ එකක් ගමුකෝ..."
නැන්දා දුවලා ගිහින් අලුත් චීත්තයක් ඇඳගෙන ආවා. එයාට පොටෝ එක ගත්තට ගොඩක් සතුටුයි.

ඒ අස්සේ හාල්, පොල්, දොඩම්, දෙහි එහෙම වාහනේට පැටවෙන්න ගත්තා. සමහර ඒවට තාත්ත එච්චර මනාප වුනේ නෑ. කොහොම හරි අයියලා- නංගිලාගේ දේවල් වලට මං ඇගිලි ගහන්න යන්නේ නැතිව කාර් එකේ දොර ඇරලා දාලා පැත්තකට වෙලා හිටයා.
වැදලා කරලා ඉවර වෙලා අපි වාහනයට නැංගා. නැන්දා පිළිකන්න උඩට වෙලා වාඩි වෙලා ඇස්දෙකේ කඳුලු පුරෝගෙන අපි පිටත් වෙන දිහා බලං හිටියා.
තාත්තත් ඇස්වල කදුලු පිහිනවා මං කණ්නාඩියෙන් දැක්කා.

3 comments:

  1. දරුවන්ට ඔහොම හිතෙන එකත් ලොකු දෙයක්. අපි අතිනුත් කොච්චර දේවල් අත ඇරෙනවා ඇතිද කියල හිතුන

    ReplyDelete
  2. What do you mean by 'Plikanna udata wela'? We call 'Pilikanna' for the back of the house. I am just trying to understand the use of a word.

    ReplyDelete