Monday, July 9, 2018

බෝතොට සටන් පන්තිය


“රජ්ජුරුවෝ දෙන්නම තමන්ගේ සේනාව එක්කරගෙන දෙපැත්තට වෙලා කදවුරු බැදගෙන සිටියා. සෙබලු ඉදිරියෙන් හිටියා. ඒ වගේම එයාලගේ නායකයෝත් සෙබලුන්ට පිටිපස්සෙන් හිටියා. රජතුමා විතරක් නෙවෙයි බිසවත් සටනට ඇවිල්ල. මහා යුද්ධයක් පටන් ගත්තා. යුද්ධයක් මෙහෙයවන්න ලේසි නෑ. හොදට යුද ශිල්පය ගැන දැනගෙන ඉන්න ඕනේ. රට රාජ්ජ වල කරක් ගහලා හොදට යුද ශිල්පෙ ප්‍රගුණ කරලා ඉන්න හොද පුහුණුකරුවො දෙන්නෙක් බෝතොට ට ඇවිල්ලා හරියට  යුද්ධ කරන හැටි උගන්නන්න.”


අද කතාව විහින්දි සම්බන්ධ නැති වුනාට විහින්දි වගේම පුංචි දරුවෝ ගොඩක් ගැන කතාවක්. ඒ තමයි බෝතොට කණිෂ්ට විද්‍යාලයේදී පුංචි දූලා පුතාලා වෙනුවෙන් පැවැත්වුන චෙස් කඳවුර  ගැන.
බෝතොට කණිෂ්ඨ විද්‍යාලය තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ. බෝතොට කියන්නේ රජ කාලේ ඉදලා ප්‍රසිදධ ගමක්. ඒත් බෝතොට ඉස්කෝලේ කියන්නේ පුංචි ඉස්කෝලයක්. පස්වෙනි ශ්‍රේණිය වෙනකන් විතරයි පන්ති තියෙන්නේ. මුළු ඉස්කෝලෙම ළමයි එකසිය හැත්තැ පහක් විතර තමයි ඉගෙන ගන්නේ. ඒ ගමේම දරුවොයි අවට ගම්වල දරුවොයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලිනුත් බෝතොට ඉස්කෝලේ, කටුගස්තොට කලාපෙම හොද නමක් තියලයි තියෙන්නේ. හැම අවුරුද්දෙම ළමයි තිස්පස්දෙනෙකුගෙන් පස්හය දෙනෙක්ම ශිෂ්‍යත්වෙ ඉහලින්ම පාස් වෙනවා. ලකුණු 120 සීමාවෙන් ඉහල ගන්න ප්‍රතිශතය සීයට සීයක්. ඒක ඉතිං විදුහල්පති තුමාගෙයි, ඉස්කෝලේ ගුරු මණ්ඩලයෙයි කැපවීමෙ ප්‍රතිඵල තමයි.

පහුගිය දවසක මේ ඉස්කෝලේ පුතෙකුයි දුවෙකුයි සමස්ත ලංකා චෙස් තරග වලට සම්බන්ධ වෙන්න කොළඹ ආවා. ඒ වෙලාවෙ මේ දරුවො ගැන දැනගෙන එයාලට චෙස් ඔර්ලෝසුවක් එක්ක තවත් උපකරණ අරන් දෙන්න වෙසක් පෝය දවසේ ටියුෂන් කරපු කතාව ඔයාලා කියවන්න ඇති. මේ ඒ කතාවේ දෙවෙනි අදියර.

යොහාන් මහත්තයා කියන්නේ චෙස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉහලින් ඉන්න ජාතික පුහුණුකරුවෙක් (National Instructor). ඒ වගේම අසංග මහත්තය ජාතික මට්ටමේ ප්‍රවර්ධන පුහුණුකරුවෙක් (Development Instructor) . ඒ දෙන්නම එක්කලා සෙනසුරාදා පාන්දර හතරට විතර කොළඹින් පිටත් වුනේ උදේ අට හමාරට පටන් ගන්න චෙස් පුහුණු කදවුරට සම්බන්ධ වෙන්න. කොහොම හරි අපි වෙලාවට එතන්ට ආවා. විදුහල්පති තුමයි, දෙමාපියනුයි, ළමයිනුයි අපි එනකන් මග බලාගෙන ඉදලා. ඒ ඉස්කෝලේ විතරක් නෙවෙයි අත්තරගම කණිෂ්ටෙ, මැදවල කණිෂ්ටෙ, උඩුවාවල කණිෂ්ටෙ විතරක් නෙවෙයි ගෝනිගොඩ ඉස්කොලෙත්, තවත් ඉස්කෝල කීපයකමත් ලමයි ඇවිල්ල හිටියා.


ගොඩක් ලොකු ලොකු අයට පොඩි දරුවොත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒත් මේ පුහුණුකරුවෝ දෙන්නා පොඩි දරුවොත් එක්ක දවස ගත කරපු හැටි දැක්කම පුදුමත් හිතෙනවා. ඒ තරම්ම දරුවන් එක්ක සමීප වෙලා. දරුවෝ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. අලුත් නීති දැන ගත්තා. කෙටි ක්‍රම ඉගෙන ගත්තා. එයාලා ආස කරන විදියේ චෙස් ගැන වීඩියෝ කාටුන් එහෙමත් බලන්න පුළුවන් වුනා. යොහාන් සර් ගෙන් ඉස්කෝලෙට වටිනා තෑගිත් ලැබුනා. කොහොම කොහොම හරි දවස ගෙවෙන කල්ම පොඩ්ඩන්ට තේරුනේ නෑ.

පොඩ්ඩන්ගේ අම්මලා තාත්තලාත් මේ වැඩේට ගොඩක් උදව් කලා. විදුහල්පති තුමාගේ හයියත් නොවෙන්නට වැඩේ මෙච්චර ලස්සනට කරගන්න ලැබෙන්නේ නෑ.


“මමත් කවදා හරි හොදට චෙස් ඉගෙන ගෙන ලංකාව වෙනුවෙන් තරග කරන්න ලෝකේ වෙන රටවල් වලට යනවා”
“වැඩසටහනට ගොඩාක් කැමතියි”
“චෙස් වලට ගොඩක් ආස හිතුනා”
“ඊළග වතාවේ මම සමස්ත ලංකා දිනනවා ”
දරුවෝ වැඩසටහන අන්තිමට ලියලා දුන්න කොල කෑලි වල එහෙම තිබුනා.


2 comments:

  1. තිලකරත්න මහත්තයා අඳුරට බැන බැන ඉන්නේ නැතුව පුංචි පුංචි පහන් හැමතැනම පත්තු කරනවා. මහත්තයා කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete