“අද අහස හරිම පැහැදිලියි. ඒ විතරක් නෙවෙයි ලස්සනට
හඳ පායලා. ගොඩක් තරුත් පැහැදිලිව පේනවා.”
ගෙට ගොඩවෙන ගමන් තාත්තා එහෙම කිව්වේ දෙයක් හිතේ
තියාගෙන.
“දුවේ එන්නකෝ... අපි හඳේ ෆොටෝ එකක් ගනිමු”
අලුතින් ගත්තු 70mm-300mm ටෙලි ලෙන්ස් එක හින්දා හඳ ගොඩක් ලං කරලා පැහැදිලිව පින්තුර ගන්න
පුළුවන් කියලා තාත්තා දන්නවා.
විහින්දිත් කර කර හිටිය වැඩේ දාලා පැනගෙන ආවේ ඒක
බලන්න. කොහොම හරි තාත්තයි දුවයි එකතු වෙලා හඳේ ලස්සන ෆොටෝ එකක් ගත්තා.
හඳ එළිය පොළවට වැටුනට ඇත්තටම හඳේ එළියක් නැහැ.
ඒකෙන් වෙන්නේ ඉර එළිය පරාවර්තනය කරන එක. ඉර එළිය වැටෙන පැත්ත තමයි අපිට හඳ විදියට පේන්නේ.
හඳ එක එක දවසට එක එක හැඩයට පේන්නේ ඒකට ඉර එළිය වැටෙන පැත්ත වෙනස් වෙන හින්දා.
“තාත්තේ, පෝය ළගයි නේද? අද හඳ ටිකක් ලොකුයි.”
“ඔව් දුවේ, නිකිණි පුර පසළොස්වක පෝයට තව දවස්
තුනයිනේ තියෙන්නේ”
දුව දන්නවද චන්ද්‍ර වර්ෂ ගැන. චන්ද්‍ර මාස ගැන?
ඔව් මං දන්නවා. දුරුතු, නවම්, මැදින්, බක්,
වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්. දුරුතු කියන්නේ ජනවාරි...
එතකොට නවම් කියන්නේ පෙබරවාරි... එහෙම නේද?
මාස ටිකේ නම් ටික නං හරි. ඒත් ඊට පස්සේ කියපු ටික
ටිකක් වැරදි. ඇත්තටම දුරුතු මාසේ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා නෙවෙයි. ඒ මාසේ අමාවක
පෝය දවසට පස්සේ දවසේ ඉදලායි. පසළොස්වක කියන්නේ මාසේ හරි මැද දවස. මේ අවුරුද්දේ ඒ
කිව්වේ 2018 ජනවාරි පළවෙනිදා තමයි දුරුතු පුර පසළොස්වක පෝය යෙදිලා තිබුනේ. ඒ
කියන්නේ දුරුතු මාසේ පටන් ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 15 විතර. මේ අවුරුද්දේ
ජනවාරි 15 විතර වෙනකන් දුරුතු මාසේ. එතකොට ජනවාරි 15 විතර ඉදලා පෙබරවාරි මැද
වෙනකන් නවම්. ඒ කිව්වේ මේ අවුරුද්දේ.
සදට එක වටයක් සම්පූර්ණ කරන්න දවස් විසිඅටක් විතර
යනවා. ඒ කාලය කොටස් තිහකට බෙදලා තියෙනවා. ඒ එකක් තිථියක් කියලා හදුන්වනවා. හඳ
පිරෙන කාලෙට කියන්නේ පුර පක්ෂය කියලා. ඒ වගේම හඳ ගෙවෙන කාලෙට කියන්නේ අව පක්ෂය
කියලා. පුර පක්ෂයට තිථි පහළොවකුත්, අව පක්ෂයට තිථි පහළොවකුත් තියෙනවා.
ඒ තිථි වල නම් මෙහෙමයි
1 පෑලවිය
2 දියවක
3 තියවක
4 ජලවක
5 විසේනිය
6 සැටවක
7 සතවක
8 අටවක
9 නවවක
10 දසවක
11 එකොළොස්වක
12 දොළොස්වක
13 තෙළෙස්වක
14 තුදුස්වක
15 පසළොස්වක/ අමාවක
පුර පක්ෂයේ දින පටන් ගන්නේ පුර පෑලවිය ඉදලා. අන්තිම දිනය පුර පසළොස්වක. ඊට පස්සේ දවස අව පෑලවිය. එදා ඉදලා ඔය විදියටම දින ගනන් කරනවා. හැබැයි අන්තිම දියන පසළොස්වක නෙවෙයි අමාවක.
“පොඩ්ඩක් ඉන්න තාත්තේ. ඒ කියන්නේ සෙනසුරාදා පුර
පසළොස්වක නං අද බදාදා. ඒ කියන්නේ අද දොළොස්වක නේද” විහින්දි ඇගිලි ගනන් කරලා හදලා
ඇහුවා.
“අන්න හරි, අද පුර දොළොස්වක”
තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සතියේ දවස් වලට කියන
නම්
ඉරිදා- රිවි
සඳුදා- සදු
අගහරුවාදා- කුජ
බදාදා - බුද
බ්‍රහස්පතින්දා- ගුරු
සිකුරාදා- කිවි
සෙනසුරාදා- ශනි
“හරි. එහෙනම් මං අද දවස සිංහල ක්‍රමේට කියන්නද?”
විහින්දි තාත්තගෙන් ඇහුවා
“හොඳයි එහෙනම් කියන්නකෝ බලන්න”
“ශ්‍රී
බුද්ධ වර්ෂ 2562 ක් වූ නිකිණි මස පුර දොළොස්වක නම් තිථිය ලත් බුද දින”
තාත්තා හිනාවෙලා විහින්දිගේ ඔළුව අත ගෑවා.
ඒ කියන්නේ පුර පක්ෂයට තිථි පහළොවකුත්, අව පක්ෂයට තිථි පහළොවකුත් තියෙනවා. ඒත් මෙතන තියෙන්නේ 15 ක් විතරයි. නැතිනම් මෙහි පුර හා අව පක්ශ වලට සමාන තිථි වලින් වෙනස් වෙන්නෙ පුර පක්ශයේ පසළොස්වක/ අවපක්ශයේදී අමාවක වීමද ?
ReplyDeleteඹව් Krishantha, පුර පක්ෂයට තිථි පහළොවකුත්, අව පක්ෂයට තිථි පහළොවකුත් තියෙනවා. අවසාන එක හැර අනික් ඒවට කියන නම් එකමයි. පුර පක්ෂයේ අවසාන දිනය පුර පසළොස්වක වෙනවා. අව පක්ෂයේ අවසාන දිනය අව අමාවක වෙනවා. ස්තුතියි ප්‍රශ්නය යොමු කලාට. ඒ අදහස ඉස්මතු වෙලා නැහැ මං හිතන විදියට. මම ඒක වෙනස් කරලා ලියන්නම් තේරෙන විදියට.
Deletesthuthi mahathmaya !
Deleteබොහොම ස්තූතියි විස්තරයට !
ReplyDelete