Wednesday, May 20, 2020

ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ


 රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිරිවෙන් වල පොඩි හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් යමක් කරන්න කියලා.


ඉතිං මං කල්පනා කලා. ධීරානන්දේ ක්‍රමේ හරියන්නේ නැහැ සමස්ථ පිරිවෙන් පද්ධතිටම. මොකද අපි යමක් කරන්න ඹ්නේ වැඩිම පිරිසටකට ළගා වෙන්න හැකි විදියකට. ඒ වගේම විශාල පිරිසක් සම්බන්ධ වෙන තැනකට පාලන කටයුතු පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නත් ඹ්නේ.
බහුතරයක් පොඩි හාමුදුරුවන් ළග ජංගම දුරකතන තියෙනවා. ඒ ගැන කල්පනා කරලා තමයි microsoft 365 හරහා මේ පද්ධතිය සංවර්ධනය කරන්නට මම අදහස් කලේ. ඒ ගැන හිතලා ව්‍යාපෘති යෝජනාවක් අධ්‍යක්ෂ හාමුදූරුවන්ට හදලා දෙන්න මට පුලුවන් වුනා දවස් දෙකක් තුනක් විතර යනකොටම.
ඒ කටයුතු පිළිබදව සැහිමටකට පත්වෙන බව උන්වහන්සේගේ කතාවෙන් මට තේරුනා. ඉන්පස්සේ microsoft ශ්‍රී ලංකා නියෝජිත ටෙක් වන් ආයතනයට කතා කරලා ගිණුම් විසිදහසක් ලබා දිය හැකිදැයි විමසා සිටියා. ඒ ගිණුම් විසිදහසක් සහිත පද්ධතියක්  දින දෙකක් ඇතුලත ලබා ගන්නට මට  පුලුවන් වුනා. ඒ සියල්ලම වගේම ඒ සදහා සේවා සහයත් නොමිලයේ.
අවශ්‍ය කටයුතු සදහා මට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් උපරිම සහය ලැබුනා. කටයුතු සිදු කර ගැනීමට මුලින්ම තාක්ෂණ කමිටුවක් පිහිටුවා ගත්තා. ඒ සදහා තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක වරු සහ පරිගණක හැකියාව ඇති ගුරුවරු වරුන්ගෙන් සමන්විත හත් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩාමයක් එකතු වුනා. අපි කට්ටිය එකතු වෙලා කතා කර ගත්තා කරන්න පුලුවන් වැඩපිලිවෙලවල් ගැන.
මුලින්ම පිරිවෙන් අවසාන ශ්‍රේණියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉගැන්වීම ආරම්භ කරන්නට අපි තීරණය කලා. ඊළග ගැටලුව වුනේ සියලුම පහ ශ්‍රේණියේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා නම් ලබා ගැනීමයි. ඒ සදහා යාන්ත්‍රණයක් තිබුනද එය එතරම් විශ්වාසදායක වුනේ නැහැ. එම කටයුතු ප්‍රමාද විය හැකිය. ඒ නිසයි අපි තීරණය කලේ සියලුම පිරිවෙන් සදහා එක් පිරිවෙනකට එකක් බැගින් පරිශීලක ගිණුම් පළමු අදියරේදී ලබා දෙන්නට. එක් ගිණුමකින් පරිශිලකයින් දස දෙනෙකුට සම්බන්ධ වීමේ හැකියාව ඇති නිසා එය තවත් පහසු වුනා. ඒ අනුව පිරිවෙන් සංගණන අංකය හා පිරිවෙනෙහි නම යොදාගෙන ගිණුම් සකස් කිරීම සිදු කරනු ලැබුවා.


ඊළග කටයුත්ත වූයේ ගුරු මණ්ඩලයක් සම්බන්ධ කර  ගැනීමයි. ඒ සදහා පිරිවෙන් අංශයේ විෂය අධ්‍යක්ෂ හිමිවරුන් හා මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරුනා. තමන්ගේ විෂය ඉගැන්වීම සදහා සුදුසු ගුරුවරුන් තෝරා ගැනීම වගේම ඉගෙනුම් සිදු කරන විෂය කොටස තීරණය කිරීමත් ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. ඹවුන් විසින් තෝරා දෙනු ලබන ගුරු මණ්ඩලය හැට දෙනෙක්ගෙන් පමණ සමන්විත වුනා. ඒ සියලු දෙනාම අදියර කිහිපයකින් පුහුණු සැසි පහක් මගින් පුහුණු කරනු ලැබුවා. බොහෝ දෙනෙකුට තනි තනිව ගැටලු විසදා දී පුහුණු කරන්නට සිදු වුනා. ඔවුන් විෂය ප්‍රවීණයන් වුවද තාක්ෂණය හමුවේ ඔවුන්ගේ කටයුතු යම් අභියෝගයට ලක්වුන වෙලාවල් තිබුනා. මොවුන් තෝරා ගැනීමේදි අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට හැකිවීම, පරිගණකයක් තිබීම වැනි කරුණු සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් ලබා දීලයි තිබුනේ.
ඊළග අභියෝගය වුනේ මේ පණිවුඩය ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේට ගෙන යන එක. එ සදහා දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් වුනා. උන් වහන්සේලාට මෙම පද්ධතිය හදුන්වා දීමට රැස්වීමක් පැවැත්වුවා. පසුව උන්වහන්සේලා වෙනුවෙන්ද ගිණුම් විවෘත කර දෙනු ලැබුවා. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් තමන් වහන්සේගේ දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති හිමිවරුන් හරහා සිසුන් සම්බන්ධ කරිමේ කටයුතු සදහා සහය වුනා. ඒ අතරේ විෂය අධ්‍යක්ෂ හාමුදුරුවරු මහත්වරු එහෙමත් තම තමන් ළග තියෙන සම්බන්ධතා මගින් මෙය පිරිවෙන් වෙත ගෙන යාමට කටයුතු කරනු ලැබුවා.
මේ වැඩ හිතන පේන තරම් සුන්දර වුනේ නැහැ. සමහර දවස්වලට පාන්දර දෙක තුන වෙනකන්ම ඇහැරලා.  සමහර ගැටලු විසදන්න වරු ගනන් කල්පනා කරන්න වුනා. කොහොම කොහොම හරි අවසානයේදී ඉළිදක්වන්නට පුලුවන් මට්ටමට ආවා.
ඒකත් විශේෂ දවසක් වුනා. ඒ පිරිවෙන් අධ්‍යාපන අනුශාසක හාමුදුරුවෝ අලුතින් වැඩ බාර ගත්තු දවස. එදාම  අධ්‍යාපන ඇමති තුමා, ලේකම් තුමාලා, අධ්‍යක්ෂ හාමුදුරුවෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවරු  වගේම බොහෝ දෙනෙක් ඉදිරියේ කටයුතු ආරම්භ කරන්නට හැකි වුනා. අද ඉදන් හැමදාම ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙන ක්‍රියාත්මක වේවි. පොඩි හාමුදුරුවෝ හොදින් ඉගෙන ගනීවි.  ඒ පාඩම් එකතු වෙලා අවසානයේදී මහා ඩිජිටල් පුස්තකාලයක් හැදේවි.

මේක ආරම්භයක් විතරයි. ගමන තව දුරයි...

No comments:

Post a Comment