Wednesday, November 25, 2020

ඵලදායී ගුරු භූමිකාවක් සඳහා තොරතුරු සාක්ෂරතාවේ අවශ්‍යතාව

ගමගේ විකුම් සම්පත් 

BA., PGDE, MEd, Dip in Productivity, Dip in Library Science  
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය- පිරිවෙන්)



----------------------------------------------

සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකි ය. එම තොරතුරු ප්‍රධාන වශයෙන් පොත් පත්, ශ්‍රව්‍ය දෘශ්‍ය, අන්තර්ජාල, පරිසරය හා සම්පත් පුද්ගලයින් යන මූලාශ්‍රවල පවතියි. එසේ විවිධ මූලාශ්‍රවල ඇති තොරතුරු ලබාගැනීමට, ඇගයීමට හා භාවිත කිරීමට ඇති නිපුණතාව තොරතුරු සාක්ෂරතාවයි. එමෙන් ම තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම ඉගෙනුම ලෙස හැඳින් වේ. ඒ අනුව ගුණාත්මක ඉගෙනුමක් සඳහා  මනා ලෙස තොරතුරු හැසිරවීමේ  හැකියාවක් ලබා තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙලෙස තොරතුරු හා ඉගෙනුම අතර දැඩි අන්තර් සම්බන්ධතාවක් පවත්න හෙයින් ගුරුවරුන්ට මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරත වන්නන්ට තොරතුරු සාක්ෂරතාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතු ය.

කිසියම් අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැකි ය. එනම් නිදසුනක් ලෙස යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක එම ගැටලුවට අදාළ දත්ත රැස්කර ඒවා විශ්ලේෂණය හෝ සාරාංශකරණය මගින් තොරතුරු බවට පත්කරගෙන විසඳුම් සෙවීම සිදු කරනු ලබයි. මෙලෙස ගොඩනගා ගන්නා විද්‍යාත්මක හා තාක්ෂනික තොරතුරු භාවිතයෙන්,

v  නිපුණතාවන් සංවර්ධනය වීම

v  පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් ඵලදායී වීම

v  ගැටලු විසඳීම සඳහා උපයෝගි වීම

v  ගැටලු විසඳීම සඳහා විකල්ප හා විවිධ එළඹුම් ගොඩනගා ගත හැකි වීම

v  අනාගත ගැටලු අවම කර ගැනීමට මග පෑදීම

v  නිෂ්පාදන හා සේවා අංශවල කාර්යක්ෂමතාව හා සඵලදායීතාව වර්ධනය වීම

v  වඩා ඵලදායී තීරණ වලට එළඹිය හැකි වීම

v  සංවර්ධනාත්මක ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනයට මග පෑදීම

යනා දී ප්‍රතිඵල නෙලා ගත හැකි ය. නමුත් මෙවන් ධනාත්මක ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේ තෙරතුරුවල පවත්නා ගුණාත්මක භාවය මත පමණි. නිදසුනක් ලෙස ඔබගේ පන්තියේ සිටින සිසුවෙකුගේ හැසිරීම් රටාව පන්තියේ අනෙක් සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලයත් පන්තියේ අනෙකුත් කටයුතුවලටත් බාධා වන්නේ යයි සිතමු. එවිට පන්නි භාර ගුරුවරයා වශයෙන් එම ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ එම සිසුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔබට සිදුවේ. එහි දී ඔබ මුලින් ම අදාළ සිසුවා සම්බන්ධයෙන් පවතින තොරතුරු අනාවරණය කර ගත යුතු ය. මෙහි දී ඔබ සිසුවාගේ විෂම චර්යාවට බලපාන නිවැරදි හා ගුණාත්මක තොරතුරු අනාවරණය කර නොගෙන පහසුවෙන් හඳුනා ගත හැකි මතුපිට තොරතුරු පදනම් කර ගෙන සිසුවාට යම් දඬුවමක් දුනහොත් බොහෝවිට සිසුවා තවත් දරදඬු විය හැකි ය. නැතිනම් එම දඬුවම හේතුවෙන් ඔහුගේ අනාගතය පවා විනාශ විීමට ඉඩ තිබේ. මෙවැනි සිදුවීම ඔබ කොතෙකුත් අසා දැක ඇත. මෙලෙස යම් ගැටලුවකට ගන්නා විසඳුම් හෝ තීරණ අසාර්ථක වීමට හේතු වන්නේ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධයයි.

ඉහත නිදසුනට අනුව ගුරුවරයාට තොරතුරු වෙත ප්‍රවේශවීම සම්බන්ධ ප්‍රමාණවත් කුසලතාවක් නොමැති බව හඳුනාගත හැකි ය. එනම් දරුවාගේ විෂම චර්යාවට හේතු ප්‍රමාණවත් තරම් අනාවරණය කර ගැනීමට හැකි විවිධ තොරතුරු මූලාශ්‍ර හඳුනා ගැනීමට ඔහු අසමත් ය.

විවිධ පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගත්තද ඒවායේ නිවැරදි භාවය තක්සේරු කර ගැනීමේ කුසලතාව ද ඔහු තුළින් විද්‍යමාන නොවේ. එනම් ලබාගත් තොරතුරුවලින් ළමයාගේ චර්යාව විෂමාකාර වීමට බලපා ඇති හේතු හඳුනා ගත හැකි ද? එම තොරතුරු තොරතුරු නිවැරදි ද? පක්ෂග්‍රාහී ද? එමෙන් ම ලැබූ තොරතුරුවලට අනුව ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත හැකි ද? ආදී ලෙස තාර්කිකව තොරතුරුවල වටිනාකම තක්සේරු කිරීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බවයි.

තොරතුරු භාවිත කර ගන්නා ක්‍රියාමාර්ග ද නිවැරදි නැත. එනම් තොරතුරු භාවිතයෙන් ගන්නා තීන්දුව තුළින් සියළු පාර්ෂවයන්ට යහපතක් ම සිදුවිය යුතු ය. හානියක් සිදු නොවිය යුතු ය. තොරතුරු භාවිතයෙන් අයහපතක් සිදුවන්නේ තොරතුරු භාවිතය පිළිබඳ කුසලතා නොමැති හෙයිනි. බොහෝවිට තොරතුරු වෙත ප්‍රවේශවීම හා ඇගයීම නිවැරදි නොවීමෙන් භාවිතය අනර්තකාරී වේ. මේ අනුව තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධය අපගේ චර්යාව සම්බන්ධ ගැටලු ඇති වීමටත් ජීවිතය අසාර්ථක වීමටත් හේතු වන බව පෙන්වා දිය හැකි ය.

මෙය තවත් නිදසුනකින් පැහැදිලි කර ගනිමු. පසුගිය වසර 40ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අරමුණ ඇති ව ප්‍රතිපත්ති හා සැලසුම් සකසා කොතෙක් ක්‍රියාත්මක කර ඇති ද? නමුත් ලැබූ සංවර්ධනය යථාර්ථවාදී ද? එම ව්‍යාපෘති සඳහා කොතෙක් ණය ගෙන ඇති ද? නමුත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලඟා වී තිබේ ද? ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලෙස හඳුනා ගත හැක්කේ බිලියන ගනණින් ණය කන්ද වැඩි වී ශ්‍රී ලංකාව ණය උගුලක අසු වී ඇතත් අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් වෙතනම් ලඟා වී නොමැති බවයි. එසේ අසාර්ථකත්වයට බලපාන ලද ප්‍රබල හේතුවක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ ප්‍රතිපත්ති හා සැලසුම් කාර්යයේ දී ඊට අදාළ තොරතුරු වෙත පිවිසීමටත් එම තොරතුරු නිවැරදිව ඇගයීමටත් තොරතුරු නිවැරදිව භාවිත කිරීමටත් අපොහොසත් වීමයි.  

ඉහත නිදසුන් අනුව තේරුම් ගත හැක්කේ විවිධ මූලාශවල තොරතුරු කොතරම් පැවතියත් තොරතුරු සාක්ෂරතාව නොමැති නම් ඉන් ප්‍රතිඵලයක් අත් නොවන බවයි. එනම් තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට නම් තොතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍ය බවයි. තොරතුරු සාක්ෂරතාව ලෙස හැඳින්වෙන්නේ,

  • තොරතුරු වලට  කාර්යක්ෂම හා ඵලදායි  ප්‍රවේශවීම
  • තාර්කිකව හා නිපුණ ලෙස  එම තොරතුරු  ඇගයීමකට භාජනය කිරීම 
  • නිවැරදිව හා නිර්මාණශීලීව තොරතුරු භාවිතයට යොදා ගැනීම 

සම්බන්ධ ක්‍රියාවලිය යි. තොරතුරු සමාජයක ජීවත්වන අපට පුද්ගලික හා සාමූහික ජයග්‍රහන ලබා ගැනීම සඳහා තොරතුරු සාක්ෂරතාව ප්‍රබල සාධකයකි.

තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම සැබෑ ඉගෙනුම වන නමුත් අප බොහෝ විට ඉගෙනුම ලෙස හඳුනාගෙන ඇත්තේ තොරතුරු තොරතුරු ලෙස ම ඉදිරිපත් කර විභාගවලින් සමත් වීමයි. ඉන් අධ්‍යපනයෙන් අපේත්ෂිත නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියෙකු බිහි නොවේ. එහෙයින් මෙම හිඩස පිරවීමට මුලින් ම ගුරුවරුන් තොරතුරු සාක්ෂරතාවෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය සාධකයකි.