Monday, May 17, 2021

ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

 ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද?

පහුගිය ටිකේ විදුහල්පතිවරයෙක් ගුරුවරුන්ට කියපු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල ගොඩක් උපහාසයට අපහාසයට ලක්වුනා. ඒක දැකලා තමයි මට මේ ටික ලියන්න හිතුනේ.



අධ්‍යාපනය ලබාදෙනවා කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මත සිද්ධ වෙන දෙයක් කියලයි මට හිතෙන්නේ. ගුරු පෞරුෂය මත ශිෂ්‍යයා ගුරුවරයා වෙත ආකර්ශනය වෙනවා. ඒ අකර්ශනය තමයි ගුරුවරයා උගන්වන දේට ශිෂ්‍යයා යොමු වෙන ප්‍රධාන තැනක් වෙන්නේ. ඒ සදහා ගුරුවරයාගේ පෙනුම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසයි ගුරුවරයෙක් තමන්ගේ ඇදුම වගේම රුපලාවන්‍ය කටයුතු පිළිබදවත් වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මං කියන්නේ. වැරහැලි ඇදගෙන කොණ්ඩෙ රැවුල කපන්නේ නැතිව පන්තියකට පාසලකට ගියොත් එතනදි ගුරුවරයෙක් ශිෂ්‍යයාගෙන් ප්‍රතික්ෂේප වෙන එක අහන්නත් දෙයක් නැහැ. පහුගිය දිනවල සමහර ගුරුවරියන් කුස්සියේ නයිටිය ඇදන් උයන ගමන් පන්ති කරපු ඒවා, සමහර ගුරුවරු යාලුවෝ එක්ක පාටි දාන ගමන් පන්ති කරපුවා අහන්න ලැබුනා. මේවා කෙසේවත් සිදු නොවිය යුතු දේවල්. තමන්ගේ මූන දරුවන්ට පෙන්නලා කතා කරන්න බැරි නම් ඒ ඉගැන්නිල්ලෙන් වැඩක් නැහැ.

අනිත් අතට ගුරුවරයාට හොදට උගන්නන්න නම් දරුවන්ව පේන්න ඕනේ. එතකොට තමයි එයාලගේ කරන වැඩ නිවැරදිව කරන්නට මග පෙන්වන්න පුලුවන් වෙන්නේ. දරුවන්ගේ මුහුණු දකින කොට තමන් කියන දේවල් අවබෝධ වුනාද කියලා ගුරුවරයාට තේරෙනවා. ඒ හින්දා දරුවන්ගේ කැමරා ඔන් එකේ තියන එක ඉගැන්වීම සාර්ථක විමට ගොඩක් බලපානවා.

නමුත් එතනදි පවතින තවත් ගැටලුවක් වනේනේ ශිෂ්‍යන්ගේ නිවෙස් වල තියන පරිසරය අනික් අයට නිරාවරණය වීමයි. විවිධ ඇදුම් ඇදලා හිටියොත් දරුවෝ එවාට අවධානය යොමු කරනවා. සියලු දෙනාම නිල ඇදුම ඇදලා හිටියොත් ඇත්තටම ඒක වෙන්නේ නැහැ. ඒ වගේමයි දරුවන්ටත් පාසල් මානසිකත්වය එනවා. ඉස්කෝලේ ගිහින් යාලුවෝ එක්ක පන්තියේ එකට ඉගෙන ගත්තු හැගිම එනවා. එතකොට ඉගැන්විම කෙතරම් සාර්ථව සිද්ධ කරන්න පුලුවන්ද? මේක ඇත්තටම මට නං ගොඩක් ප්‍රසන්න ඔන්ලයින් ඉස්කෝලෙක පන්ති කාමරයක්.

පාසලක් කියන්නේ විධිමත් විෂය මාලාව විතරක් උගන්වන ආයතනයක් නෙවෙයි කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ කියලයි මට හිතුනේ. පාසැලක තියෙනවා සැගවුන විෂයමාලාව කියලා දෙයක්. ඒක නිසා තමයි දරුවෝ ඒ පාසලේ දරුවො වෙන්නේ. පාසලක තියන විනය නිති, ක්‍රියා පිලිවෙත්, වෙනත් ක්‍රියාකාරකම් ආදිය ඒවට ඇතුලත් වෙනවා. ඒ හරහා තමයි ශිෂ්‍යයන් සමාජගත වෙන්නේ. ඔවුන් සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නේ. ජාතික ගීය ගායනා කරන අවස්ථාව, පාසැල ඇරෙනකොට ජත්තමානවක ගාතා කියන අවස්ථාව ඒ වගේ ඒවා.

ඔන්ලයින් පාසලකින් ඒ විදියට තමන්ගේ පාසලේ අනන්‍යතාවය පෙන්නන්න කිසියම් විදුහල්පතිවරයෙක් උත්සහ කරනවා නම් මම නම් ඒ විදුහල්පතිවරයාට ප්‍රසංසා කරනවා. ඇත්තටම ඔහු විශිෂ්ට නියමුවෙක්. උදැසන රැස්විමේ කතාව පවත්වන්න, ශිෂ්‍ය සමිති පවත්වන්න, විවිධ වැඩසටහන් සංවිධානය කරන්න පුලුවන් නම් ඒ ක තමයි කරන්න ඕනේ. එතනයි අපි යා යුතු තැන වන්නේ.

ඔන්ලයින් ටියුෂන් පන්ති වලට සල්ලි ‍ගෙවලා යන ලමයි ඉස්කොලේ ඔන්ලයින් පන්ති වලට එන්නේ නැත්තේ ඒවගේ තියන නිසරු කම හින්දත් වෙන්න පුලුවන්. ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ කියන්නේ ප්‍රධානතම හේතුව ගුරුවරුන්ගේ නොහැකියාව කියලා මං කියන්නේ ඒකයි.  

1 comment:

  1. පාසල් නිලඇඳුමින් සැරසී සිටීම වැදගත් බව මාගේ මතයයි. එසේම මෙම වීඩියෝ පටිගත කරනා නිසා පසුව ඒවා නැරඹීමේදී පවා ඒ අයුරින් සැරසී සිටීම වැදගත් වනු ඇත.

    -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය ආර් ගුණවර්ධන

    ReplyDelete