Tuesday, September 24, 2019

මුන්නේශ්වරම පුද බිමට


(දින තුනෙන් රට වටා ගිය ගමනේ පළමු නැවතුම්පල පිළිබද සටහන්... )

මාදම්පෙන් හලාවතට ඇවිල්ලා එතන වටරවුමෙන් දකුණට හරවලා කිලොමිටරයක්‌ දෙකක් ගියාම මුන්නේශ්වම පුද බිමට ලගා වෙන්න පුලුවන්. අපි උදේ පහයි හතලිස් පහ වෙනකොට මුන්නේශ්වරමේ.

එදා කෝවිලේ වාර්ෂික උත්සවේ අවසන් දෙවන දවස. මාසයකට ආසන්න කාලයක් උත්සව, පූජා තියෙනවා. ඒ කාලයේ බොහෝ බැතිමතුන් පැමිණෙන කාලයක්. පෙරහැර පැවැත්වෙනවා. විශේෂ පූජා පැවැත්වෙනවා. අපි එතැනට යන විටත් දේවාලය වටේ පෙරහැරකින් වැඩම කරනවන්න දේවාලයේ සිට එළියට පිළිම කිහිපයක් වැඩම කලා.



මුන්නේශ්වරම ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් විදියට. ඇත්තටම ඒක හින්දු කෝවිලක්. ඒ වුනත් හින්දු භක්තිකයින්ට බෞද්ධ පිරිස් ද බොහෝ දෙනෙක් ඒ කෝවිලට ගිහින් බාර හාර වෙනවා. පුද පූජා පවත්වනවා. මෙතන දේවාල දෙකක් තියෙනවා. එකක් මුන්නේශ්වරම ඊශ්වර ශ්‍රී පත්තින් දේවාලය සහ කාලි දේවාලය.  

අසා දැනගත් ජනප්‍රවාදය
මුන්නේශ්වරම දේවාලයේ තියෙන්නේ පත්තිනි මැණියන්‌ගේ ජීවමාන පිළිමයක් කියලයි කියන්නේ. ඒ කතාව මෙහෙමයි. මේ දේවාලය අසල වැවක් තියෙනවා. ඒ වැවේ ධීවර කටයතු කරන පිරිසකට රාත්‍රියේ කුඩා දරුවෙකු අඩන හඩක් ඇහිලා තියෙනවා. කට්ටිය එකතු වෙලා ඒ ගැන හොයන කොට කුඩා දරුවෙක් වැවේ ගිලෙන්න යනවා දැකලා තියෙනවා. ඒ ධීවරයෝ ඔරුවකින් ගිහින් ඒ දරුවාව බේරාගෙන තියෙනවා. ඒ දරුවා වඩාගන්නවාත් සමගම රන් පිළිමයක් බවට පත්වෙලා තියෙනවා. මුන්නේශ්වරම මහ දේවාලයේ ගල් පිළිම ගෙයි අදටත් තැන්පත් කරලා තියෙන්නේ ඒ රන් පිලිමයයි.

ඊශ්වර දේවියන් වෙනුවෙන් ලංකාවේ කෝවිල් 5 ක්
ඊශ්වර දෙවියන් උදෙසා ලංකාවේ කෝවිල් පහක්‌ (05) ඉදි කොට ශිව ලිංගම් තනා තිබෙනවා. මුන්නේශ්වරම් (හලාවත) තිරුකෝනේශ්වරම් (ත්‍රිකුණාමලය) තිරුකේතීශ්වරම් (මන්නාරම), නගුලේෂ්වරම් (යාපනය), තාන්තොන්ඩිශ්වරම් (මුලතිව්) යනුවෙන් තනා ඇති මෙම දේවාලවල වාර්ෂික මංගල්‍ය පවත්වනවා. මෙම දේවාලවලට ලක්‍ෂ ගණන් බැතිමතුන් පුද පූජා පැවැත්වීමට එනවා.

ශ්‍රී මහා බද්‍රකාලි  අම්මාන් කෝවිල
මුන්නේශ්වරම මහ දේවාලය අසලම පිහිටි පැරණි කෝවිලක්. දෛනිකව පුද පූජා පැවැත්වෙන බොහෝ බැතිමතුන් පැමිණෙන පුද බිමක්. මෙම පුද බිම කෙතරම් පැරණිද යන්න මෙහි ඇති ඉතා පැරණි කලුවර ගසක් සාක්ෂි දරනවා.





ශ්‍රී පුෂ්පාරාමය (තුමුලසෝම මහ පිරිවෙන )

මුන්නේශ්වරම කෝවිල අසලම පිහිටි පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාමය. ඇත්තටම අතීතය බැලුවොතින් පන්සලේ පිහිටි දේවාලයක් තමයි මේ කෝවිල. දැන් ගොඩක් අය මුල් තැන දෙන්නේ කෝවිලට. 
මුන්නේස්රමේ තුමුලසෝම පිරිවෙන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් .දඹදෙනි යුගයේ රජකල පැරකුම්බා රජතුමාගේ දරුවෙකුට චර්ම රෝගයක් වැලදීම නිසා මුලසෝම විහාරයේ වූ මුලසෝම දේවාලයට බාරයක් වූ බවත් එය සුව වීම නිසා රජතුමා විසින් මෙම දේවාලයේ පුද  පූජා පැවැත්වීම බමුණන්ට බාර දුන් බවත් ඉහිහාස කතා වල කියවෙනවා. වර්තමානයේ විහාරස්ථාන භූමියේ කැණිම් වලින් සොයාගත් ගල් පිළිමයක්, ගල් කණු , නෙලුම් මලක් වැනි දැ පවතිනවා. පින්තුරයේ දකින්නට තියෙන සුවිසල් බුද්ධ මන්දිරයේ ඇතුලට යන්නට අවස්ථාව තියෙනවා. මේ වෙනවිට මෙම විහාරස්ථානයේ මහ පිරිවෙනක් ක්‍රියාත්මක වෙනවා.





Saturday, September 14, 2019

Ceylon Tea - ලංකා තේ

Ceylon Tea කිව්වම ලෝකෙම දන්නවා. ඒත් ලංකාවෙ අපි තේ ගැන දන්නෙ මොනවද? ලංකාවෙ තේ වර්ග තිස් ගනනක් විකර හදනවා. සාමාන්‍ය ෆැක්ට්‍රියක වුනත් තේ වර්ග පහලොක් විස්සක් හදනවා.



අපිට නියම තේ එකක් බොන්න ලැබෙනව අඩුයි. ඒකට හේතු කීපයක් තියෙනව. එකක් අපි ඒව ගැන දන්නෙ නැති එක. අනික තරමක් මිල වෙන එක. ඒත් මන් දන්න දේ නං ඔය කියන තරං මිල වැඩි නැහැ. තියෙන්නෙ නොදන්නා කම.
අද නුවර යන ගමන් තේ එකක් බොන්න හිතුනා

අද මම රස බැලුවෙ OPA කියන තේ වර්ගය. OPA කියන්නෙ orange pekoe advanced කියන එක. මේ තේ එක හදන්න සම්පූර්ණ කොලයම භාවිතා කරනවා. තේ එක තැම්බිලා එනකොට කොලයම දකින්න පුලුවන්.

තේ එකක රස බලන්න ඕනෙ සීනි නැතිව. එතකොට තමයි නියම රසය දැනෙන්නෙ.


අපිත් Ceylon Tea බොමු...



Friday, September 13, 2019

කල්පිටියේ ඕලන්ද බලකොටුව බලා


පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන්ගේ නීතීන් තුල  බැට කා නිදහස සොයා ගිය ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානවත් ඉතිහාසයෙහි තවත් එක් මතක සටහනක් දකින්නටගිය ගමනක වගතුග මෙසේ තබන්නෙමි.
අප පෙ.ව.  8.35ට පමණ නිවසින් පිටත් වූයේ අනුරාධපුරය අපේ ගමනාන්තය කොට ගෙනය. අපි අනුරාධපුරයට යන ගමන්මාර්ගයෙහි අතරමග නැරඹුම් ස්ථාන කිහිපයකම නතරවී කල්පිටිය වෙත ඇදුනෙමු. ඒ එහි වූ ලන්දේසි බලකොටුවක තතු විමසන්නටය. බලකොටුව පෙනෙන තෙක්මානයටම පැමිණි අප හට පළමුව නෙත ගැටුනේ දෙතිස්ඵල බෝධීන් වහන්සේනමකි.ඒ වත්මන් නාවික හමුදා මූලස්ථාන පරීශ්‍රය ඉදිරිපිටය. 


 අපගේ තවත් එක් අතරමැදි නැවතුම් ස්ථානයක් වන ලන්දේසි කොටුවද මෙම නාවික හමුදා මූලස්ථානයෙහිම පිහිටා ඇත.
 එහි සේවය කරනා නිලධාරිමහතෙකුගෙන් අපට මෙම කොටුව පිළිබද පැහැදිලි විස්තර කිරීමක් ලැබුණි. එම විස්තර කිරිමට අනුව,
ලන්දේසි ජාතිකයන් විසින් ක්‍රි.ව. 1666 වසරේ ඉදිකර ඇති මෙම කොටුව පෘතුගීසි ගෘහනිර්මාණ ශිල්පයද දැකිය හැකි සුවිශේෂී බලකොටුවකි.

දෙවන රාජසිංහ රජ දවසේ මෙම බලකොටුව ඉදි කර ඇති බව අපට අසන්නට ලැබුණි. රාජසිංහ රජුගෙන් ලන්දේසින් අවසර ගෙන ඇත්තේ මෙහි බලකොටුවක් තනන්නට නොව පල්ලියක් තනන්නටය. එම අවසරයෙන් පල්ලියක ස්වරූපයට බලකොටුවක් ඔවුන් විසින් තනන ලදී. ලන්දේසීන් මෙය ගබඩාංගනයක් ලෙස යොදා ගෙන ඇත. රහසිගත බලකොටුවක් මෙම සමුද්‍රාසන්නයේ ඉදි කිරිමට එරට සිටි කුලී සේවකයින් වූ ජාලස්කිරිඤ්ඤාමැඩි හේවායින් පමණක් යොදා ගෙන ඇත. එය රහසක් ලෙස තබා ගැනීමට වගබලාගත් ලන්දේසීන් ශ්‍රී ලාංකික කිසිවෙකුත් මෙම ඉදිකිරීම් බිමට ගෙන්වා නොගැනීමට තරම් සූක්ෂම විය.

අප දැනගත් පරිදි මුහුදු පාෂාණ වන හිරිගල්, හුණුගල් හා කොරල් උපයෝගී කර ගනිමින් මී ඉටි,මී ලාටු හා හිරිගල් බදාම ලෙස යොදාගෙන මෙය ඉදිකොට ඇත. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමෙහි ලාංඡනය සදහන් වූ එහි  පිවිසුම් දොරටුව, ඇලන් නම් ගඩොලින් නිමවූ උළුවස්සකින් සමන්විතය.

 වසර 342 කටත් වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම බලකොටුවෙහි බොහෝ අංග මේවන විටත් නටබුන් බවට පත්ව ඇති බව එහි ගිය අපට මනාව දිස් විය. කෙසේ නමුත් බොහෝ සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මෙම බලකොටුව ශ්‍රී ලංකාවේ වටිනාකම වැඩි කරනා තවත් එක් අංගයකි.


මෙලෙස බොහෝ වැදගත් තොරතුරු රාශියක් පොදි බැදගෙන ,අපට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ එම නාවික හමුදා නිලධාරීතුමාටත් ස්තුති කොට අපි නැවතත් ගමන් ආරම්භ කළෙමු.   

Tuesday, September 3, 2019

දින තුනෙන් රට වටා- තාක්ෂණය හා උපකරණ භාවිතය


අපේ කණ්ඩායම අලුත්. ඒ වගේමයි සමහර දේට ආධුනිකයි. විශේෂයෙන් මේ වගේ ගමනක් මීට කලින් ගිහින් තිබුනේ නැහැ. ඒ වුනාට අභියෝගය ජය ගන්න විවිධ උපක්‍රම අපි පාවිච්චි කලා.
අපිට තිබුන ලොකුම අභියෝගය තමයි කාලය කලමණාකරණය කර ගැනිම. ඒ වගේම අවශ්‍ය දත්ත එකතු කර ගැනිම. මුලු ගමන කිලොමීටර 1600 කට වැඩියි. ඒ දුර යන්න අපිට තිබුනේ දින තුනයි. ස්ථාන 50 ක පමණ සංචාරය කලා.

වාහනය වුනේ ඇල්ටෝ 800 වර්ගයේ මොටර් රථයක්. මෝටර් රථයේ වයිෆයි රවුටරයක් සවි කරලා තිබුනා. සම්බන්ධතාවය dialog 4g. ගමනෙන් අඩකට ටිකක් වැඩියෙන් විතර අපිට 4g ආවරණය තිබුනා. ඒත් අපිට ලැබුන ඉඩන් වැඩ ගත්තා. කාර එකේ usb පෝට් තුනක් තියන චාජරයක් තිබුනා. ඒකේ විශේෂත්වය තමයි වාහනයේ යතුර ක්‍රියාත්මක කරන්නේ නැතිව වෙනම ස්විචයකින් ක්‍රියා කරනවා. ඒ හින්දා උපකරණයක් චාර්ජ් කර ගන්න පුලුවන් වුනා අපි වාහනයෙන් පිට ඉන්න වෙලාවෙ වුනත්.


අපි ගාව තිබුන උපකරණ කමයි, Nikon d5200 කැමරා 2 යි. 18-55mm, 70-300mm ලෙන්ස්, ස්මාර්ට් ෆෝන් 4 යි, ටැබ් 01 යි, ලැප්ටොප් 01 යි. අපේ ගමනේ දි පින්තූර ගන්න එක වැඩිපුරම කලේ තරිදු. එයා කැමරා දෙකට 18-55, 70-300 ලෙන්ස් දෙක දාගෙන කැමරා දෙක උරිස් දෙකේ එල්ලගෙන බොහොම හැගීමෙන් වැඩේ කලා. මේ වගේ ගමනකට කැමරා දෙකක් තියෙන්නම ඹ්නේ. ඈත තියෙන දෙයක් ලං කරලා ගන්න එක ලෙන්ස් එකකුයි, විශාල ප්‍රදේශ ගන්න ඹ්නේ වුනාම තව ලෙන්ස් එතකුයි විදියට.  එයා වැඩේ හැගීමෙන්ම කරන හන්දා මං ඒකට හරස් වෙන්නේ නැතිව හිටියා. දවල් කෑමට නතර කරන වෙලාවට ඒ කඩේට කතා කරලා කැමරා බැටරි චාර්ජ් කර ගන්න වැඩෙත් අමතක කරන්නේ නැතිවම එයා කලා. 


ගමනේ පින්තූර FB දාන වැඩෙයි, fb live video දාන වැඩෙයි, යූ ටියුබ් upload කරන වැඩෙයි කලේ සසිදු. ඒ වගේම එයා තමයි ගූගල් මැප් එක බලාන තැන් වලට පාර කිව්වේ.යන ගමන් වීඩියෝ කරන වැඩෙත් කලේ සසිදුමයි. එතකොට අපේ අරුණ. එයා තමයි ගමන පුරාවටම ගමන වාර්තා කලේ. සියලුම ස්ථාන කල කී සියලුම දේවල් දිනය වෙලාව තැන එක්ක එයා පොතක ලිව්වා. අරුණ අයියට කිසිම දෙයක් ලියන්න කියලා මතක් කරන්න ඹ්නේ වුනේ නැහැ. අපි කියන කොටත් එයා ඒක ලියලා ඉවරයි. 


ගමනෙන් හතරෙන් තුනකට වැඩියෙන් වාහනේ පැදෙව්වේ මම. නොදන්නා පැති වල යනකොට අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න ඒක කරන්න අපි පටන් ගන්න කොටම කතා වෙලයි තිබුනේ. වේග සිමා නාගරික 50 පිට 70 සීමා කිසිම තැනක වැඩි කලේ නෑ. හැබැයි සමහර වංගු සහිත අතුරු පාරවලදිත් 70 සීමාවටම ගිය හින්දා පිටිපස්සේ සීට් එකේ විසිවෙන පෙරලෙන සද්ද නං ඇහුනා. තනි ඉරේදී, කහ ඉරේදී ඉස්සර කලේ නැහැ කොහොමට වත්ම. ඒ හින්දා පොලිසියෙන් කරදරයක් නැතිව ගමන සම්පූර්ණ කරන්න පුළුවන් වුනා. නතර කරන තැන් වල වීඩියෝ කලේ මම. සමහර තැන් වලදි සසිදු ඒවට උදව් කලා.



එහෙම එක එක් කෙනා විශේෂ වුනාට හැමෝම හැම දේම ටික ටික හරි කරන්න ඹ්නේ කියන එකගතාවෙන් තමයි අපි හිටියේ. ඒ දේත් ඒ විදියටම වුනා. ගමන පුරාවටම කාටවත් නිදහසක් තිබුනෙම නැහැ. රෑ දෙකේදි පැය කීපයක් නිදා ගත්තු කාලේ ඇරෙන්නට . හැමෝම දිගටම වැඩ කලා. කොහොම හරි ගමන ඉවර වෙනකොට අපි ලග පිටු 80 පොතක් පිරෙන්න විස්තර ලියපුවා තිබුනා. පින්තූර 2000 ක් විතර තිබුනා. 15gb විතර වීඩියෝ.
දැන් ඉතින් ඒ තරම් මහා දත්ත ගොඩ සකස් කරලා වාර්තාවක් සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවා සමග ඉදිරියේදි හමුවෙමු. පින්තූර තියෙන්නේ අපි වැඩ කරපු හැටි.

Monday, September 2, 2019

දින තුනෙන් රට වටා


රට වටේ ගිහින් එන්න කියලා හිතුනේ මීට මාසෙකට විතර කලින්. මං ඒ ගැන  ලියලා කැමති අය එකතු වෙන්න කියලා FB පෝස්ට් එකක් දැම්මා. ගොඩක් අය කැමැත්ත පල කලා. අන්තිමට මං ඒ අතරින් තුන් දෙනෙක්ව ගමනට එකතු කර ගත්තා. ඒ බදුල්ලේ මගේ යාලුවෙක් වන අරුණ, ගනේමුල්ලේ සසිදු, රත්නපුරේ තරිදු. මම කැලණියේ. අපි හතර දෙනා මුලින් ගමන ගැන කතා කර ගත්තා. අගෝස්තු 28 වෙනිදා පාන්දර හතරට කැලණිය රජමහා විහාරයෙන් අපි ගමන් ආරම්භ කලා. ලංකාව වටේම ගිහින් 30 වෙනිදා රාත්‍රි 12 ආසන්න වෙනකොට අපි කැලණියෙන්ම ගමන අවසන් කලා. මේ තියෙන්නේ දින 3 දි අපි ගමන් ගත් ස්ථාන


රට වටා යන ගමන - පලමු දිනයේ (2019/08/28) ගමන් කල ස්ථාන
---------------
  1.  කැලණි රජමහා විහාරය
  2.  මුන්නේශ්වරම ඊශ්වර දේවාලය
  3.  මුන්නේශ්වරම කාලි දේවාලය
  4.  ශ්‍රී පුශ්පාරාමය - හලාවත
  5.  කල්පිටිය මුහුදු වෙරල
  6.  තලවිල පල්ලිය
  7.  කල්පිටිය බෝධිය සහ කොටු පවුර
  8.  නොරච්චෝල් තාප බලාගාරය
  9.  තන්තිරිමලේ රජමහ විහාරය
  10.  එල්ලෙන පාලම 
  11.  මඩු පල්ලිය
  12.  මන්නාරම කුරුලු අභය භූමිය
  13.  තලෙයිමන්නාරම ජැටිය
  14.  තලෙයිමන්නාරම ප්‍රදීපාගාර
  15.  තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය
  16.  යාපනය සංගිලි රජ ප්‍රතිමාව
  17.  යාපනය රජ මාලිගය
  18.  නල්ලූර් කෝවිල



රට වටා යන ගමන දෙවන දිනයේ (2019/08/29) ගමන් ගත් ස්ථාන
  1.  හනුමන් දේවාලය
  2.  කිරිමලේ නගුලේශ්වරම් කෝවිල 
  3.  සිරප්පර් අම්බලම
  4.  සිරප්පර් පොකුණ
  5.  දඹකොළපටුන සංඝමිත්තා විහාරය
  6.  කංකසන්තුර ප්‍රදීපාගාරය 
  7.  කන්කසන්තුරේ දුම්රිය ස්ථානය 
  8.  පේදුරු තුඩුව 
  9.  පේදුරු තුඩු ප්‍රදීපාගාරය
  10. වට්ටුවකාල් දිය පැන්නුම 
  11. අලිමංකඩ රණවිරු ස්මාරකය 
  12. අරිසිමලේ වෙරළ තීරය 
  13. නිලාවෙලි පාලම 
  14. නිලාවේලි වෙරළ තීරය 
  15. කෝනේශ්වරම් කෝවිල 
  16. ත්‍රිකුණාමලය ධිවර වරාය 
  17. පාසිකුඩා වෙරළ තීරය 
  18. හනුමන් දේවාලය (මඩකලපුව)
  19. ගානදි උද්‍යානය (මඩකලපුව)
  20. කල්ලඩි පාලම 
  21. රාත්‍රියේ නැවතුම කල්මුණේ



රට වටා යන ගමන- තුන්වන (අවසන්) දවස 2019/08/30 ගමන් ගත් ස්ථාන
  1. සන්ගමන්කන්ද තුඩුව
  2. කෝමාරික කලපුව
  3. අර්ධ ගෝලාකාර නිවාස
  4. මුහුදු මහා විහාරය - පොතුවිල්
  5. ආරුගම්බෙ වෙරළ
  6. තිස්ස වැව
  7. කිරින්ද රජමහා විහාරය
  8. හම්බන්තොට පැරණි ප්‍රදීපාගාරය 
  9. හම්බන්තොට මාටලො කුළුණ
  10. කිරල බීම කඩේ
  11. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය
  12. අධිවේගී මාර්ගය වැලිපැන්න සේවා පෙදෙස
  13. කැලණිය රජමහා විහාරය (අවසානය)




ගමන අතර තුර අපි ගොඩක් දේවල් වාර්තා කර ගත්තා. ගමන ආරම්භයේ ඉදලා අවසානය වෙනකන්ම ගිය තැන් කල කී දෑ සියල්ලම ලිඛිත වෙලයි තියෙන්නේ මේ වෙනකොට. පිටු 80 ක පොතක් පිරෙන්න සටහන් තියෙනවා. පින්තූර 2000 ක් විතර තියෙනවා. 15 gb විතර වීඩියෝ තියෙනවා. මේ සියල්ල එකතු කරගෙන ඉදිරියේදී දේශාඨන වාර්තාවක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ගමන යන ගමන් ගමනේ විස්තර අපේ FB වෝල් වල දැම්මා.  අපි අලුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා. යන ගමන්ම පුලුවන් විදියට වීඩියෝ ක්ලිප් අප්ලෝඩ් කලා. චැනල් එකේ නම vihindi . එතන්ට ගියොත් යන අතරමග අපි කරපු වීඩියෝ බලන්නත් පුලුවන්. සංස්කරණය කරන වීඩියෝත් ඉස්සරහට ඒකට දානවා. ඉදිරියේදී තැන් තැන් වල විස්තරයි ගමනේ විස්තරයි පින්තූරයි අරගෙන එන්නම්. එතකන් සුබ දවසක්....