Saturday, December 5, 2020

කොරෝනා සහ උකුණා

අපේ රටේ ගොඩක් දෙනාගේ හිසේ උකුණෝ ඉන්නවා. එහෙම කියලා එයාලා ගනන් ගන්නවාද? කාට හරි කියලා උකුණෝ බලා ගන්නවා. අයින් කර ගන්නවා. නැත්තං මොකක් හරි බෙහෙතක් දාලා අයින් කරනවා. තමන්ගේ වැඩ කටයුතු කිසි දෙයක් නතර කරගෙන නැහැ. හැබැයි එහෙම කියලා මේ උකුණා නම් ලේසියෙන් නැති කර ගන්ටත් බෑ.



මෙහෙම දෙයක් වුනොත් හිතන්ටකෝ.
උකුණා කියන්නේ මහ භයානක සතෙක් කියලා ටීවි එකේ ඇඩ් යනවා. උකුණෝ ඉන්න අය මැරෙනවා කියලා දිගටම කියන්ට ගන්නවා. උකුණෝ ඉන්න අයට බෙහෙත් දෙන්ට දොස්තරලා එන්නේ නෑ. මීටර තුන හතරක් ඈතින් ඉදලා ලෙඩ අහලා බෙහෙත් ලියලා දෙනවා. නලාව තියලා බලන්නේ නැ. ඉස්පිරිතාල වහලා. මිනිස්සුන්ට වෙනදා වගේ බෙහෙත් ගන්ට යන්ට නෑ. මිනිස්සු ලෙඩකට බෙහෙතක් ගන්ටත් යන්ට බයයි යනකොට උකුණෝ බොවෙයි කියලා. උකුණෝ ඇති කියලා මහ පාර දිගේ බෙහෙත් ඉහ ඉහ යනවා. මිනිහෙක් මැරුනොත් ඉස්සෙල්ලාම දොස්තරලා බලන්නේ ඔලුවෙ උකුණෝ ඉන්නවාද කියලා. උකුණෝ හිටියොත් ටීවි එකේ වෛද්ය මාධ්ය ප්රකාශක ඇවිත් ඇස් ලොකු කර කර කියනවා උකුණා කාලා මැරුණා කියලා.
කොරෝනා කියනනේ උකුණා කොරන දේ තරං දෙයක් වත් කොරන්නට බැරි එකෙකි. ඒ හින්දා මං යෝජනා කරනවා ඔය ඇස් ලොකු කර කර කියන කෙනාට මීට පස්සේ මැරුන අයගේ පීසීආර් කරන්ට කලිං උකුණෝ ඉන්නවාද කියලා බලලා ඉන්නවා නං ටීවි එක ඉස්සරහට ඇවිත් උකුණෝ කාලා තවත් තුන් දෙනෙක් මැරිලා කියලා කියන්ට කියලා.
මොකද මැරෙන හරියක් මැරෙන්නේ ගෙවල් වලය. ඉස්පිරිතාලෙට ගෙනියන අතරතුරය. මේක මහ වදුරු කුණුහරුපය. ඉදලා හිටලා ඉස්පිරිතාල වලත් මැරෙනවාය. ඒ මැරෙන්නේ හාට් ඇටැක් එකකින් වකුගඩු අමාරුවකින්. ඒ මැරෙන්නේ උණ ඉස්පිරිතාලෙදි. වකුගඩු ලෙඩා උණ ඉස්පිරිතාලේ තියන් අහවල් මගුලක් කරාද කියලා අහන්ට කවුරුවත් ඇත්තේ නැතිය.

Wednesday, November 25, 2020

ඵලදායී ගුරු භූමිකාවක් සඳහා තොරතුරු සාක්ෂරතාවේ අවශ්‍යතාව

ගමගේ විකුම් සම්පත් 

BA., PGDE, MEd, Dip in Productivity, Dip in Library Science  
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විෂය- පිරිවෙන්)



----------------------------------------------

සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකි ය. එම තොරතුරු ප්‍රධාන වශයෙන් පොත් පත්, ශ්‍රව්‍ය දෘශ්‍ය, අන්තර්ජාල, පරිසරය හා සම්පත් පුද්ගලයින් යන මූලාශ්‍රවල පවතියි. එසේ විවිධ මූලාශ්‍රවල ඇති තොරතුරු ලබාගැනීමට, ඇගයීමට හා භාවිත කිරීමට ඇති නිපුණතාව තොරතුරු සාක්ෂරතාවයි. එමෙන් ම තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම ඉගෙනුම ලෙස හැඳින් වේ. ඒ අනුව ගුණාත්මක ඉගෙනුමක් සඳහා  මනා ලෙස තොරතුරු හැසිරවීමේ  හැකියාවක් ලබා තිබීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙලෙස තොරතුරු හා ඉගෙනුම අතර දැඩි අන්තර් සම්බන්ධතාවක් පවත්න හෙයින් ගුරුවරුන්ට මෙන් ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිරත වන්නන්ට තොරතුරු සාක්ෂරතාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් තිබිය යුතු ය.

කිසියම් අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා සංවිධානය කරන ලද දත්ත තොරතුරු ලෙස හැඳින්විය හැකි ය. එනම් නිදසුනක් ලෙස යම් ගැටලුවක් ඇති වූ අවස්ථාවක එම ගැටලුවට අදාළ දත්ත රැස්කර ඒවා විශ්ලේෂණය හෝ සාරාංශකරණය මගින් තොරතුරු බවට පත්කරගෙන විසඳුම් සෙවීම සිදු කරනු ලබයි. මෙලෙස ගොඩනගා ගන්නා විද්‍යාත්මක හා තාක්ෂනික තොරතුරු භාවිතයෙන්,

v  නිපුණතාවන් සංවර්ධනය වීම

v  පර්යේෂණ හා සංවර්ධන කාර්යයන් ඵලදායී වීම

v  ගැටලු විසඳීම සඳහා උපයෝගි වීම

v  ගැටලු විසඳීම සඳහා විකල්ප හා විවිධ එළඹුම් ගොඩනගා ගත හැකි වීම

v  අනාගත ගැටලු අවම කර ගැනීමට මග පෑදීම

v  නිෂ්පාදන හා සේවා අංශවල කාර්යක්ෂමතාව හා සඵලදායීතාව වර්ධනය වීම

v  වඩා ඵලදායී තීරණ වලට එළඹිය හැකි වීම

v  සංවර්ධනාත්මක ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනයට මග පෑදීම

යනා දී ප්‍රතිඵල නෙලා ගත හැකි ය. නමුත් මෙවන් ධනාත්මක ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේ තෙරතුරුවල පවත්නා ගුණාත්මක භාවය මත පමණි. නිදසුනක් ලෙස ඔබගේ පන්තියේ සිටින සිසුවෙකුගේ හැසිරීම් රටාව පන්තියේ අනෙක් සිසුන්ගේ ඉගෙනුම් කටයුතුවලයත් පන්තියේ අනෙකුත් කටයුතුවලටත් බාධා වන්නේ යයි සිතමු. එවිට පන්නි භාර ගුරුවරයා වශයෙන් එම ගැටලුවට විසඳුමක් සෙවීමට හෝ එම සිසුවා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔබට සිදුවේ. එහි දී ඔබ මුලින් ම අදාළ සිසුවා සම්බන්ධයෙන් පවතින තොරතුරු අනාවරණය කර ගත යුතු ය. මෙහි දී ඔබ සිසුවාගේ විෂම චර්යාවට බලපාන නිවැරදි හා ගුණාත්මක තොරතුරු අනාවරණය කර නොගෙන පහසුවෙන් හඳුනා ගත හැකි මතුපිට තොරතුරු පදනම් කර ගෙන සිසුවාට යම් දඬුවමක් දුනහොත් බොහෝවිට සිසුවා තවත් දරදඬු විය හැකි ය. නැතිනම් එම දඬුවම හේතුවෙන් ඔහුගේ අනාගතය පවා විනාශ විීමට ඉඩ තිබේ. මෙවැනි සිදුවීම ඔබ කොතෙකුත් අසා දැක ඇත. මෙලෙස යම් ගැටලුවකට ගන්නා විසඳුම් හෝ තීරණ අසාර්ථක වීමට හේතු වන්නේ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධයයි.

ඉහත නිදසුනට අනුව ගුරුවරයාට තොරතුරු වෙත ප්‍රවේශවීම සම්බන්ධ ප්‍රමාණවත් කුසලතාවක් නොමැති බව හඳුනාගත හැකි ය. එනම් දරුවාගේ විෂම චර්යාවට හේතු ප්‍රමාණවත් තරම් අනාවරණය කර ගැනීමට හැකි විවිධ තොරතුරු මූලාශ්‍ර හඳුනා ගැනීමට ඔහු අසමත් ය.

විවිධ පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගත්තද ඒවායේ නිවැරදි භාවය තක්සේරු කර ගැනීමේ කුසලතාව ද ඔහු තුළින් විද්‍යමාන නොවේ. එනම් ලබාගත් තොරතුරුවලින් ළමයාගේ චර්යාව විෂමාකාර වීමට බලපා ඇති හේතු හඳුනා ගත හැකි ද? එම තොරතුරු තොරතුරු නිවැරදි ද? පක්ෂග්‍රාහී ද? එමෙන් ම ලැබූ තොරතුරුවලට අනුව ළමයා සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගත හැකි ද? ආදී ලෙස තාර්කිකව තොරතුරුවල වටිනාකම තක්සේරු කිරීමට ප්‍රමාණවත් හැකියාවක් නොමැති බවයි.

තොරතුරු භාවිත කර ගන්නා ක්‍රියාමාර්ග ද නිවැරදි නැත. එනම් තොරතුරු භාවිතයෙන් ගන්නා තීන්දුව තුළින් සියළු පාර්ෂවයන්ට යහපතක් ම සිදුවිය යුතු ය. හානියක් සිදු නොවිය යුතු ය. තොරතුරු භාවිතයෙන් අයහපතක් සිදුවන්නේ තොරතුරු භාවිතය පිළිබඳ කුසලතා නොමැති හෙයිනි. බොහෝවිට තොරතුරු වෙත ප්‍රවේශවීම හා ඇගයීම නිවැරදි නොවීමෙන් භාවිතය අනර්තකාරී වේ. මේ අනුව තොරතුරු සාක්ෂරතාව පිළිබඳ අනවබෝධය අපගේ චර්යාව සම්බන්ධ ගැටලු ඇති වීමටත් ජීවිතය අසාර්ථක වීමටත් හේතු වන බව පෙන්වා දිය හැකි ය.

මෙය තවත් නිදසුනකින් පැහැදිලි කර ගනිමු. පසුගිය වසර 40ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අරමුණ ඇති ව ප්‍රතිපත්ති හා සැලසුම් සකසා කොතෙක් ක්‍රියාත්මක කර ඇති ද? නමුත් ලැබූ සංවර්ධනය යථාර්ථවාදී ද? එම ව්‍යාපෘති සඳහා කොතෙක් ණය ගෙන ඇති ද? නමුත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලඟා වී තිබේ ද? ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ලෙස හඳුනා ගත හැක්කේ බිලියන ගනණින් ණය කන්ද වැඩි වී ශ්‍රී ලංකාව ණය උගුලක අසු වී ඇතත් අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් වෙතනම් ලඟා වී නොමැති බවයි. එසේ අසාර්ථකත්වයට බලපාන ලද ප්‍රබල හේතුවක් ලෙස පෙන්වා දිය හැකි වන්නේ ප්‍රතිපත්ති හා සැලසුම් කාර්යයේ දී ඊට අදාළ තොරතුරු වෙත පිවිසීමටත් එම තොරතුරු නිවැරදිව ඇගයීමටත් තොරතුරු නිවැරදිව භාවිත කිරීමටත් අපොහොසත් වීමයි.  

ඉහත නිදසුන් අනුව තේරුම් ගත හැක්කේ විවිධ මූලාශවල තොරතුරු කොතරම් පැවතියත් තොරතුරු සාක්ෂරතාව නොමැති නම් ඉන් ප්‍රතිඵලයක් අත් නොවන බවයි. එනම් තොරතුරුවලින් ප්‍රයෝජන ගැනීමට නම් තොතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍ය බවයි. තොරතුරු සාක්ෂරතාව ලෙස හැඳින්වෙන්නේ,

  • තොරතුරු වලට  කාර්යක්ෂම හා ඵලදායි  ප්‍රවේශවීම
  • තාර්කිකව හා නිපුණ ලෙස  එම තොරතුරු  ඇගයීමකට භාජනය කිරීම 
  • නිවැරදිව හා නිර්මාණශීලීව තොරතුරු භාවිතයට යොදා ගැනීම 

සම්බන්ධ ක්‍රියාවලිය යි. තොරතුරු සමාජයක ජීවත්වන අපට පුද්ගලික හා සාමූහික ජයග්‍රහන ලබා ගැනීම සඳහා තොරතුරු සාක්ෂරතාව ප්‍රබල සාධකයකි.

තොරතුරු මූලාශ්‍රවලින් තොරතුරු රැගෙන ඒවා දැනුම බවට පත් කිරීම සැබෑ ඉගෙනුම වන නමුත් අප බොහෝ විට ඉගෙනුම ලෙස හඳුනාගෙන ඇත්තේ තොරතුරු තොරතුරු ලෙස ම ඉදිරිපත් කර විභාගවලින් සමත් වීමයි. ඉන් අධ්‍යපනයෙන් අපේත්ෂිත නිපුණතා සහිත ගුණාත්මක පුරවැසියෙකු බිහි නොවේ. එහෙයින් මෙම හිඩස පිරවීමට මුලින් ම ගුරුවරුන් තොරතුරු සාක්ෂරතාවෙන් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය සාධකයකි.

Monday, October 26, 2020

චයිනීස් හෙම්බිරිස්සාව

මේ දවස් වල ලෝකෙටම පිස්සු හැදිලාය. ලෝකේ පුරා චීන හෙම්බිරිස්සාවක් පැතිරිලාය.

මේක හෙම්බිරිස්සාවක් ය. නිකංම නිකං චීන හෙම්බිරිසාවකි. මේ චීන හෙම්බිරිස්සාව සීයකට බෝ වුනොත් එතනින් හැත්තෑවකට හච්චිමක් වත් යන්නේ නැත්තේය. තව ටික දෙනෙකුට හොටු ටිකක් බේරිලා ඉවර වෙනවායි. තවත් හත් අට දෙනකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙනවාය. ඒ හැදිලා දවස් හත අටකින් හොද වෙනවාය. මේකෙන් කවුරුවත්ම මැරෙන්නේ නැතය.

වෙන්නේ වෙන මගුලක් ය. ඒක කොරන්නේ මහ දැනමුත්තෝ ටිකකි. මොකක් හරි ලෙඩක් අපි හිතමු හාට් ඇටැක් එකක් හැදිලා ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනිච්චා කියලා. එතකොට ඉතිං ඒකට බෙහෙත් කරන්ට එපායැ. එහෙම බෙහෙත් කරන කොට ඒ ලෙඩාට චීන හෙම්බිරිස්සාව හැදුනොත් “බුදු අම්මෝ මෙන්න මේ මනුස්සයාට චීන හෙම්බිරිස්සාව හැදිලා” කියලා දොස්තරලා ටික පන කඩාගෙන දුවන්නේය. වෙනදා කොරපු බෙහෙත කොරන්නේ නැත්තේය. ඉතිං ලෙඩාට දෙයියන්ගේම පිහිටයි. ලෙඩා මැරෙන්නේය. “ලෙඩා මැරිලා තියෙන්නේ චීන හෙම්බිරිස්සාවෙන්”. දොස්තරලා කියන්නේය. පශ්චාත් මරණ පරික්ෂා කොරන්නට තහංචිය. කරොත් දොස්තරලාගේ පශ්චාත් බාගය නැතිවී යන්නේය.

සමහර වෙලාවට මෙලහකටත් අපිටත් ඔය මගුල හැදිලා හොද වෙලත් ඇති. නැත්තං ඉස්සරහට හැදෙයි. හැදිලා දවස් තුන හතරකින් හොද වෙලා යයි. ඔය ලෙඩේට ඉතිං අපි දන්න පුංචිම ගොඩ වෙදකමත් ඇති. පැනඩෝල් කාඩ් දෙක තුනකුයි, පස්පංගුව පැකට් පහ හයකුයි දැම්මම අරන් තියාගන්ට. ඊට වැඩිය කිසි දෙයක් ඕනේ නැහැ.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. පාර දිගේ බෙටි තියෙනවා, ඒවා පෑගෙයි කියලා අපේ මිනිස්සු ගෙවල් වලට වෙලා කකුල් උස්සං ඉන්නවා. හැබැයි පාරේ ඇති බෙට්ටක් නෑ. දැනෙන්නේ චීනා ඇරපු පඩේක ගදක් විතරයි…


Monday, July 13, 2020

විදුලි බිල ගණනය කරලා වැරදිද?

පහුගිය සමයේ මනු කියවන්නා ගෙදර ආවේ නැ. ඒ ගැන වාදයක් නැහැනේ. එහෙම කියලා ලයිට් බිල නොදී ඉන්නේ කොහොමද? ඒ හින්දා පහුගිය මාස වල සාමාන්‍ය භාවිතය ගැන හිතලා ඒ මාසෙට බිලක් හදලා හැමෝටම විදුලි බල මණ්ඩලයෙන් එව්වා.
හැබැයි මාස දෙකකින් පස්සේ මනු කියවන්නා ඇවිත් මීටරය කියවනවා. එතකොට එන ගාන බලලා එයා බිලක් ලියනවා. ඹන්න ඔය බිල ඇත්තටම වැරදියි. මොකද දන්නවාද? අර මාස දෙකටම පාවිච්චිය බැලුවොත් සමානව තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ බිලේදි දෙවන මාසෙට ලොකු ඒකක ගානක් පාවිච්චි කලා කියලා වැටෙනවා. හේතුව වන්නේ ආවේ නැති මුල් මාසෙට පාවිච්චි කලේ ඉස්සර පාවිච්චි කල ගානමයි කියලා අනුමාන බිලක් හදලා තිබුන හන්දා.
නමුත් විදුලි බල මණ්ඩලය එහෙම කියලා පාරිභෝගිකයාට අසාධාරණයක් කරන්නේ නැහැ. ඊළග බිල එනකොට ඒ වැඩිපුර හදපු මුදල ගලපලා එවලා තියෙනවා.
අපි ඒ මාසේ වැඩිපුර විදුලිය පාවිච්චි කරපු එකට මණ්ඩලයට බැනලා හරියන්නේ නැහැනේ.
මිනිස්සු කරදරයක වැටිලා ඉන්න වෙලාවක් හන්දා ආණ්ඩුවෙන් සහනයක් දෙන එක නං වටිනවා.
මේ තියෙන්නේ මං කරපු ගණනය කිරීම. අපේ ගෙදර විදුලි බිල් හතරක් අරගෙන තමයි ඒ ගණනය කිරීම සිදු කලේ. විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් තමයි ඒකක ගණනට හරියන මුදල හදා ගත්තේ.
ඹය පාටින් තියෙන්නේ උපකල්පනය
පලමු උපකල්පනය තමයි ආපු නැති මාසෙ පෙර මාසෙම පාවිච්චිය තිබ්බා කියන එක
දෙවන උපක්පනය තමයි ආපු නැති කාලයම සමාන පරිභෝජනයක් තිබ්බා කියන එක.
මුලින් පලමු උපකල්පනයට ගණනය කරලා, පසුව දෙවන උපකල්පනයට ගනනය කරලා ඊලග බිලේදි ඒ වෙනස ගැලපීම මණ්ඩලය කරලා තියෙනවා.
මම මෙහෙම ගණනය කරලා බලන්න හේතුව මා හිතවත් දේශපාලනය කරන මිත්‍රයෙක් විදුලි බල මණ්ඩලය විදුලි බිල වැරදියට ගණනය කරලා කියලා නඩු දාන්න යනවා කියලා පොස්ට් එකක් දාලා කට්ටිය ගොඩක් ඒකට හුරේ දාලා තිබ්බ හින්දා.

Wednesday, June 3, 2020

මගේ නෝනව දැක්කේ නැද්ද?

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කෝ නෝනයි දරුවයි කියන එක. ඉතිං මං ඔන්න ඒ දෙන්නව පෙන්නන්න එක්කං ආවා. හැබැයි ඒත් ටිකක් වෙනස් විදියකට.
මගේ නෝනා රස්සාව විදියට කරන්නේ මොන්ටිසෝරියක්. ඇත්තටම ඒක තමයි එයාගේ ජීවිතේ. කරන දෙයක් උපරිම කැපවීමෙන් උපරිම හොදට කරන එක සාරංගා ගේ හැටියක්. එහෙම කරන්න බැරි නං ඒක අතැරලා දාන එක තමයි එයා කරන්නේ. පුදුමයි නේද මාව අතැරලා දාපු නැති එක? ඒක නේද කියන්ට හිතුනේ.
මං අන්තර්ජාල පාසල කරන්න පටන් ගත්තම එයාත් අන්තර්ජාල මොන්ටිසෝරිය පටන් ගත්තා. එහෙම කියලා මට කිසිම වදයක් දුන්නෙ නැහැ. මං මගේ වැඩේට උපරිම කැපවීම යොදවලා කරනවා එයා දැක්කා. එයා ඒවට උදව් කලේ නැති වුනාට හොදට බලන් හිටියා කියලා මං දන්නවා. උදේ පාන්දර පහට නැගිටින මං රෑ දහය විතර වෙනකං හොදටම හෙම්බත් වෙනකං වැඩ කරලා නින්දට වැටුනම තමයි අම්මයි දුවයි දෙන්නා වැඩට බහින්නේ.  දවල්ට පිරිවෙන රෑට මොන්ටිසෝරියක් වුනේ එහෙමයි.
විහින්දි.. එයා තමයි අධ්‍යක්ෂණය, වේස නිරූපනය,  කැමරාකරණය, සංස්කරණය සියල්ලම. මං හැමදාම බැනුම්  අහපු දෙයක් තමයි , මං මගේ දරුවට උගන්වන්නේ නැහැ කියන එක. ඔව්. ඒක හරි . මං මගේ පන්තිවල ඉන්න හැම දරුවෙක්ටමත් කියපු දෙයක් තියෙනවා. I can’t teach you, but I can help you to learn.  මගේ කෙල්ලටත් එච්චරම තමයි. මොනවා හරි දෙයක් ඇහුවොත්, ‘ඇයි අතන බැලුවෙ නැද්ද?’ , ‘මෙහෙම කලොත් හරියයිද බලන්න’ වගේ මොනවා හරි කියලා මාරු වෙන එක තමයි මගේ හැටි. ඒත් එ වචනේ පස්සේ ගිහින් එයා ලොකු දෙයක් ගන්නවා කියලා මං දන්නවා

ඔන්න ඉතිං ම‌ගේ දුවයි නෝනයි දෙන්නවම බලලා ඔයාලට හිතෙන දේවල් එතන ලියලා එන්න හොදේ. 








Thursday, May 28, 2020

නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.


මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී.  මම බෞද්ධයෙක් විදියට පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවන්ගේ දේහය ආදාහනාගාරයට ඇතුල් කරනකොට. අපි කවදාවත් එහෙම දෙයක් විදලා නැහැ. ලොකු පිට්ටනියක් මැද්දේ හදපු කහපාට සිවුරු වලින් වටකරපු චිතකයක තමයි අපේ හාමුදුරුවෝ නමක් අපවත් වුනාම ආදාහන කටයුතු සිද්ධ කලේ. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ ගම්පහ මහ දිසාවටම ප්‍රධාන සංඝ නායක වුනත් දේහය ආදාහනාගාරයේ ආදාහයනය කරනවා කියලා කවුරුවත්ම මොකුත්ම කිව්වේ නැහැ. ඒ අපි හැමෝම රටක නීතියට ගරු කරන නීතිගරුක පුරවැසියෝ හන්දා.
තාමත් රටේ නිරෝධානය නීති බලාත්මකයි. 100 කට වඩා එකතැනක රැස්වෙන්න දෙන්නේ නෑ. ඒක රජයේ වගේම සෞඛ්‍ය අංශ ගත්තු තීරණයක්. අපි ඒකට ගරු කරනවා.
ඒත් තොන්ඩමන් මහත්තයා? අපි දේශපාලඥයෙක් විදියට එතුමාට ගරු කරනවා. දෙමළ නියෝජිත වරයෙක් විදියට දකිනවා. ඒත් මේ වෙලාවෙ මේ කරන දේ හරිද? දේහය හැම තැනම අරගෙන යනවා. මහජන ගෞරවයට තියෙනවා. ඒ මදිවට ලොකු පිට්ටනියක මහ සෙනගක් මැද්දේ ආදාහයන කරන්න ලැස්ති කරලා. ඒ මොකද? එයාට විතරක් අමුතු සැලකිලි. අනික තොණ්ඩමන් කියන්නේ දෙමළ මිනිස්සු ගොඩක් ගරු කරන චරිතයක්. ඒ වගේ කෙනෙක්ගේ අවසන් කටයුතු වලට ඒ මිනිස්සු යන්නේ නැති වෙයි කියලා හිතනවාද? දේහය බලන්න මීටරේ තියාන යයි කියලා හිතනවාද? මම නම් මේ කරන දේවල් වලට එකග නැහැ. මොන හේතුවට කරනවාද කියලා දන්න කෙනෙක් ඉනන්නවා නම් පැහැදිලි කරලා දුන්නොත් හොදයි. මට මෙතන දේශපාලනයක් වත් ජාති ආගම් භේදයක් වත් නැහැ. ඒත් මේ කරන දේවල් අපිට තේරෙන්නේ නහැ.
මොනවා වුනත් දෙමළ මිනිසුන්ට කරන අසාධාරණයක් විදියටයි මම මේක දකින්නේ. ඹවුන්ට එකතු වෙන්නට ඉඩ දීලා ඔවුන්ට කරදරය වැටුනොත් පව්. කවුරු වුනත් මේ වෙලාවේ බොර දියේ මාලු බාන්න උත්සහ කරනවා නම් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.
-        ලක්ෂ්මන් තිලකරත්න -
-        2020/05/28

Wednesday, May 20, 2020

ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ


 රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන් අධ්‍යක්ෂ හාමුදුරුවො මට කතා කරලා ඇහුවෙත් ඒ ගැනයි. තිලකරත්න මහත්තයෝ බැරිද මූලික පිරිවෙන් වල පොඩි හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් යමක් කරන්න කියලා.


ඉතිං මං කල්පනා කලා. ධීරානන්දේ ක්‍රමේ හරියන්නේ නැහැ සමස්ථ පිරිවෙන් පද්ධතිටම. මොකද අපි යමක් කරන්න ඹ්නේ වැඩිම පිරිසටකට ළගා වෙන්න හැකි විදියකට. ඒ වගේම විශාල පිරිසක් සම්බන්ධ වෙන තැනකට පාලන කටයුතු පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නත් ඹ්නේ.
බහුතරයක් පොඩි හාමුදුරුවන් ළග ජංගම දුරකතන තියෙනවා. ඒ ගැන කල්පනා කරලා තමයි microsoft 365 හරහා මේ පද්ධතිය සංවර්ධනය කරන්නට මම අදහස් කලේ. ඒ ගැන හිතලා ව්‍යාපෘති යෝජනාවක් අධ්‍යක්ෂ හාමුදූරුවන්ට හදලා දෙන්න මට පුලුවන් වුනා දවස් දෙකක් තුනක් විතර යනකොටම.
ඒ කටයුතු පිළිබදව සැහිමටකට පත්වෙන බව උන්වහන්සේගේ කතාවෙන් මට තේරුනා. ඉන්පස්සේ microsoft ශ්‍රී ලංකා නියෝජිත ටෙක් වන් ආයතනයට කතා කරලා ගිණුම් විසිදහසක් ලබා දිය හැකිදැයි විමසා සිටියා. ඒ ගිණුම් විසිදහසක් සහිත පද්ධතියක්  දින දෙකක් ඇතුලත ලබා ගන්නට මට  පුලුවන් වුනා. ඒ සියල්ලම වගේම ඒ සදහා සේවා සහයත් නොමිලයේ.
අවශ්‍ය කටයුතු සදහා මට පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් උපරිම සහය ලැබුනා. කටයුතු සිදු කර ගැනීමට මුලින්ම තාක්ෂණ කමිටුවක් පිහිටුවා ගත්තා. ඒ සදහා තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක වරු සහ පරිගණක හැකියාව ඇති ගුරුවරු වරුන්ගෙන් සමන්විත හත් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩාමයක් එකතු වුනා. අපි කට්ටිය එකතු වෙලා කතා කර ගත්තා කරන්න පුලුවන් වැඩපිලිවෙලවල් ගැන.
මුලින්ම පිරිවෙන් අවසාන ශ්‍රේණියේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉගැන්වීම ආරම්භ කරන්නට අපි තීරණය කලා. ඊළග ගැටලුව වුනේ සියලුම පහ ශ්‍රේණියේ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා නම් ලබා ගැනීමයි. ඒ සදහා යාන්ත්‍රණයක් තිබුනද එය එතරම් විශ්වාසදායක වුනේ නැහැ. එම කටයුතු ප්‍රමාද විය හැකිය. ඒ නිසයි අපි තීරණය කලේ සියලුම පිරිවෙන් සදහා එක් පිරිවෙනකට එකක් බැගින් පරිශීලක ගිණුම් පළමු අදියරේදී ලබා දෙන්නට. එක් ගිණුමකින් පරිශිලකයින් දස දෙනෙකුට සම්බන්ධ වීමේ හැකියාව ඇති නිසා එය තවත් පහසු වුනා. ඒ අනුව පිරිවෙන් සංගණන අංකය හා පිරිවෙනෙහි නම යොදාගෙන ගිණුම් සකස් කිරීම සිදු කරනු ලැබුවා.


ඊළග කටයුත්ත වූයේ ගුරු මණ්ඩලයක් සම්බන්ධ කර  ගැනීමයි. ඒ සදහා පිරිවෙන් අංශයේ විෂය අධ්‍යක්ෂ හිමිවරුන් හා මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරුනා. තමන්ගේ විෂය ඉගැන්වීම සදහා සුදුසු ගුරුවරුන් තෝරා ගැනීම වගේම ඉගෙනුම් සිදු කරන විෂය කොටස තීරණය කිරීමත් ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. ඹවුන් විසින් තෝරා දෙනු ලබන ගුරු මණ්ඩලය හැට දෙනෙක්ගෙන් පමණ සමන්විත වුනා. ඒ සියලු දෙනාම අදියර කිහිපයකින් පුහුණු සැසි පහක් මගින් පුහුණු කරනු ලැබුවා. බොහෝ දෙනෙකුට තනි තනිව ගැටලු විසදා දී පුහුණු කරන්නට සිදු වුනා. ඔවුන් විෂය ප්‍රවීණයන් වුවද තාක්ෂණය හමුවේ ඔවුන්ගේ කටයුතු යම් අභියෝගයට ලක්වුන වෙලාවල් තිබුනා. මොවුන් තෝරා ගැනීමේදි අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමට හැකිවීම, පරිගණකයක් තිබීම වැනි කරුණු සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් ලබා දීලයි තිබුනේ.
ඊළග අභියෝගය වුනේ මේ පණිවුඩය ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේට ගෙන යන එක. එ සදහා දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේ ඉදිරිපත් වුනා. උන් වහන්සේලාට මෙම පද්ධතිය හදුන්වා දීමට රැස්වීමක් පැවැත්වුවා. පසුව උන්වහන්සේලා වෙනුවෙන්ද ගිණුම් විවෘත කර දෙනු ලැබුවා. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් තමන් වහන්සේගේ දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති හිමිවරුන් හරහා සිසුන් සම්බන්ධ කරිමේ කටයුතු සදහා සහය වුනා. ඒ අතරේ විෂය අධ්‍යක්ෂ හාමුදුරුවරු මහත්වරු එහෙමත් තම තමන් ළග තියෙන සම්බන්ධතා මගින් මෙය පිරිවෙන් වෙත ගෙන යාමට කටයුතු කරනු ලැබුවා.
මේ වැඩ හිතන පේන තරම් සුන්දර වුනේ නැහැ. සමහර දවස්වලට පාන්දර දෙක තුන වෙනකන්ම ඇහැරලා.  සමහර ගැටලු විසදන්න වරු ගනන් කල්පනා කරන්න වුනා. කොහොම කොහොම හරි අවසානයේදී ඉළිදක්වන්නට පුලුවන් මට්ටමට ආවා.
ඒකත් විශේෂ දවසක් වුනා. ඒ පිරිවෙන් අධ්‍යාපන අනුශාසක හාමුදුරුවෝ අලුතින් වැඩ බාර ගත්තු දවස. එදාම  අධ්‍යාපන ඇමති තුමා, ලේකම් තුමාලා, අධ්‍යක්ෂ හාමුදුරුවෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවරු  වගේම බොහෝ දෙනෙක් ඉදිරියේ කටයුතු ආරම්භ කරන්නට හැකි වුනා. අද ඉදන් හැමදාම ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙන ක්‍රියාත්මක වේවි. පොඩි හාමුදුරුවෝ හොදින් ඉගෙන ගනීවි.  ඒ පාඩම් එකතු වෙලා අවසානයේදී මහා ඩිජිටල් පුස්තකාලයක් හැදේවි.

මේක ආරම්භයක් විතරයි. ගමන තව දුරයි...

Friday, May 15, 2020

Online හමුවට නිවැරදිව එක්වෙමු


රටේ උද්ගත වෙලා තියන තත්වය එක්ක අපිට මුහුණට මුහුණ හමුවිම් සීමා කරන්නට වෙලා තියෙනවා. ඒ සමගම තමයි ගොඩක් රැස්වීම්, හමු ඔන්ලයින් ක්‍රමයට තියන්න අපි පුරුදු වුනේ.
ඔබ රජයේ නිළධාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්. ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, ආයතනයක සේවකයෙක්, ශිෂ්‍යයෙක් මේ හැම කෙනෙක්ටම මේ දවස් වල ඔන්ලයින් රැස්වීම්, වැඩමුලු, පන්ති ආදියට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා. ඒ තැන් වලදි එක එක අයගේ කාර්යය වෙනස්. ඒ අය හැසිරෙන්න ඕනෙ විදිය වෙනස්. ඒ වගේමයි තමන්ගේ ප්‍රතිරුපය ඉහළ යන එක හානි වෙන එක වගේ දේවල් මේ ඇතුලෙදි වෙන්න පුලුවන්.
ඔන්ලයින් රැස්වීමටක සහභාගි වන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මෙම වීඩියෝ මාලාවෙදි මම ඇතුලත් කලා. ඔබ සියලු දෙනාම එය නරඹන ලෙසට මම යෝජනා කරනවා.

ඔබට දැනගන්නට ගොඩක් දේවල් තියේවි. මේ හැම එකක්ම විනාඩි 4 ට අඩු කුඩා වීඩියෝ. 






 මේ වන විට ඇතුලත් කරලා තියෙන වීඩියො ලින්ක් පහත සදහන් කරලා තියෙනවා. 
Online හමුවට නිවැරදිව එක්වෙමු 01
Online හමුවට නිවැරදිව එක්වෙමු 02
Online හමුවට නිවැරදිව එක්වෙමු 03
Online හමුවට නිවැරදිව එක්වෙමු 04
Online හමුවට නිවැරදිව එක්වෙමු 05

තවත් කොටස් ඉදිරියේදී ඇතුලත් කරන්නම්. ස්තුතියි

Friday, May 8, 2020

ධීරානන්දයට වෙසක්...


මෙවර ධීරානන්දය ට වෙසක් ආනන්දයක් වුනා. මේ වෙසක් උත්සවය වෙන කොහේවත් නැති තරම් ඉහලින් සැමරුවේ ධීරානන්දයේ කියලා මං බය නැතිව කියනවා. ඔව් අපි සැම අතින්ම ඉහලයි. එහෙම කියන්නේ අභිමානයෙන්. මේ වෙසක් වෙනුවෙන් ධීරානන්ද වැඩසටහන. මෙතන තියෙන්නේ කරන්න කියලා කියපුවා නෙවෙයි කරපුවා.
  • වෙසක් වෙනුවෙන් සතියක් පුරා සෑම දිනකම උදේ දහම් සිතිවිල්ලක් වැඩසටහන
වෙසක් දින වැඩසටහන
  • උදෑසන ශීල සමාදානය සහ බුද්ධ වන්දනාව - තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයේ සිට සජීවි විකාශය
  • පෙ.ව. 9.00 ට ධර්ම දේශනය
  • දහවල් සම්බුද්ධ පූජාව - සජීවී විකාශය
  • සවස 6 - සිල් පවාරණය සහ බෝධි වන්දනාව - සජීවී විකාශය - මාබිම වලහේන ශෛලතලාරාමයේ සිට
  • රාත්‍රි 8 - සිට වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය - තම තමන්ගේ නිවෙස් වල සාදන ලද වෙසක් පහන්කූඩු සහ සැරසිලි තමන්ගේ පන්තිවල සමූහ තුල ප්‍රදර්ශනය
  • වෙසක් තොරණ ප්‍රදර්ශනය - ධීරානන්ද බාලදක්ෂ සමූහය මගින් ඉදිරිපත් කරන වෙසක් තොරණ ප්‍රදර්ශනය
  • වෙසක් සුබ පැතුම්පත් නිර්මාණය
  • වෙසක් කවි සංකල්පනා නිර්මාණ
  • වෙසක් චිත්‍ර දැක්ම

තව තවත් දේවල් ඇති.. මං මේ කිව්වේ මට මතක් වුන දේවල්..
ඇත්තටම පුදුම සතුටක්.. මගේ ජීවිතයේ ලස්සනම වෙසක් තිබ්බේ මේ වතාවේ...
-ලක්ෂ්මන් තිලකරත්න-


Tuesday, May 5, 2020

ධීරානන්දය අද පටන් යුධ පිටියක් වන ලකුණු....

රට අස්ථාවර වී ඇති මොහොතක අධ්‍යාපන ආයතනයක කටයුතු අඛන්ඩව සිදු කරමින් විෂය ඉගැන්වීමේ කටයුතු ඉතා විධිමත්ව සිදු කරන ආයතන අතර ධීරානන්දය ප්‍රමුඛතම ආයතනයක් බවට පත්ව ඇති බව මේ වන විට රටේ බොහෝ දෙනා දන්නා කරුණකි.
විෂය ඉගැන්වීමට අමතරව විෂය බාහිර කටයුතු ආරම්භ කිරිමද ආයතනය වඩාත් ඉහල නැංවීමට හේතු වී ඇත. මේ වන විට විද්‍යායතන බාලදක්ෂ ඒකකය මෙන්ම රතු කුරුස ඒකකයද සිය කටයුතු මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුකරගෙන යනු ලබයි.
ධීරානන්දයට නව පිටුවක් එක් කරමින් අද (2020/05/05) දින ධීරානන්ද අන්තර්ජාල චෙස් සංගමය ආරම්භ කිරීමට නියමිතව ඇත. චෙස් පුහුණු කිරීම සිදු කරනු ලබන්නේ ජාතික පුහුණු කරුවෙකු (National Instructor) යොහාන් ඉෂාර මහතා සහ ප්‍රවර්ධන පුහුණුකරුවෙකු වන (Development Instructor) අසංග සපුමල් පියරත්න මහතා විසිනි.

යොහාන් ඉෂාර මහතා

අසංග සපුමල් පියරත්න මහතා
මීට වසර කිහිපයකට කලින් දිනක එම දෙපල සමගින් පැවැත්වූ චෙස් පුහුණු කදවුරක් වෙනුවෙන් තබන ලද සටහනික් සුලු වෙනසක් කර මම මෙයට එකතු කිරමි.
“කලු රජ්ජුරුවොයි සුදු රජ්ජුරුවොයි දෙන්නම තමන්ගේ සේනාව එක්කරගෙන දෙපැත්තට වෙලා කදවුරු බැදගෙන ඉන්නවා. සෙබලු ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම එයාලගේ නායකයෝත් සෙබලුන්ට පිටිපස්සෙන් ඉන්නවා. රජතුමා විතරක් නෙවෙයි බිසවත් සටනට ඇවිල්ල. මහා යුද්ධයක් පටන් ගන්නයි සූදානම. යුද්ධයක් මෙහෙයවන්න ලේසි නෑ. හොදට යුද ශිල්පය ගැන දැනගෙන ඉන්න ඕනේ. රට රාජ්ජ වල කරක් ගහලා හොදට යුද ශිල්පෙ ප්‍රගුණ කරලා ඉන්න හොද පුහුණුකරුවො දෙන්නෙක් අද ධීරානන්දෙ ට ඇවිල්ලා හරියට යුද්ධ කරන හැටි උගන්නන්න.”
ධීර පුතුන්ට ජය වේවා...
  • ලක්ෂ්මන් තිලකරත්න
2020/05/05

Wednesday, April 29, 2020

ගුණ නැණ දෙන අන්තර්ජාල පාසල

ශ්‍රී ධීරානන්ද අථත්‍ය පාසල මේ වන විට විධිමත් කාලසටහනටක අනුව අන්තර්ජාලය තුලින් අධ්‍යාපන කටයුතු සිදු කරන ඉතාම අතලොස්සක් වූ පාසල් අතර ඉහලින්ම සිටින පාසැල බව කිසිම විවාදයක් නැහැ.
වෙනදා ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගත්තට වඩා ආසාවෙන් දැන් දරුවෝ ඉගෙන ගන්නවා. ඒ වගේම ගුරුවරුත් ආසාවෙන් උගන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඉගෙනුම් මාධ්‍යය. ඉස්සර පොතට පැනට සීමාවුන ඉගෙනීමට වඩා බහුමාධ්‍ය තාක්ෂණය සමග අපූරු අත්දැකීම් දැන් දරුවන්ට ලැබෙනවා. පාඩමක් එක්ක වීඩියෝවක් ගීතයක් පද්‍යයක් පින්තූර වගේ දේවල් ගොඩක් බැදිලා තමයි දරුවන්ට ලැබෙන්නේ. පෙල පොතේ තියන දේට ලොකු අගයක් දැන් ගුරුවරු එකතු කරනවා. අද මම බලාන හිටියා 6 ශ්‍රේණියේ නරිබෑනා කියන පාඩම උගන්වන සරත් සර්. පාඩමත් එක්කම දරුවන්ට නරිබැනා නාට්‍යයේ කොටස් නරඹන්න, ගීත රසවිදින්න වගේ අවස්ථාත් ලැබුනා. ගොඩක් ලස්සන පින්තුර ගොඩක් දකින්න ලැබුනා. ඉස්කෝලෙදි ඔය පාඩම කලා නම් පෙල පොතේ තියන අකුරු ටික විතරයි දරුවෝ දකින්නේ. ගුරුවරයාගේ කටහඩ විතරයි දරුවෝ අහන්නේ. ඒත් අද කොච්චර අගෙයිද?
අද පාසලේ ලස්සන තවත් වැඩසටහනක් තිබුනා. ඒක නම් කරලා තිබුනේ “සොඳුරු සැන්දැව” කියලා. හරියටම හවස 6 ට තමයි ඒක පැවැත්වුනේ. ගි රස වින්දන වැඩසටහනක්. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ලියපු බන්දුල විජේවිර සංගීතය සපයපු දීපිකා පීරිස් ගායන කරන අම්මා ගැන කියවෙන ගීයක්
විශේෂත්වය වෙන්නේ ඒක නෙවෙයි, මේ ගීතය විචාරය සිදුකරන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින කථිකාචාර්ය නාලක ඉල්ලෙවතුර මහතා. ඒ වගේම මේ ගීතය අපිට මිහිරි හඬින් ගයන්නේ අපේ ඉස්කෝලේ සංගීත සර්ගේ දයාබර බිරිඳ පියුමි. අපේ මායාදුන්න සර් තමයි සංගීතය සපයන්නේ. ඒ දෙය අපි හැමෝටම ගොඩක්ම දැනෙන දෙයක් වුනා. ඇත්තටම මේ වෙලාවේ ගෙවල් වල ඉන්න දරුවෝ දෙමාපියෝ හැමෝම මේ එක්ක දැහැන් ගත වෙන්න ඇති. අපේ ගෙදරට නම් හොදටම දැනුනා.
ආඩම්බරයි ධීරානන්දය ගැන. සතුටුයි ගොඩක්ම මේ කටයුත්තට පසුබිම සකස් කරන්නට වෙහෙස වුන එකට. ගුණ නැණ පිරි දරු පිරිසක් ධීරානන්දයෙන් රටට දායාද වෙනවා නම් ඒක තමයි ධීරානන්දයේ නායක හාමුදුරුවන් ඇතුලු ඇදුර මඩුල්ල අපි හැමෝගේම පැතුම
- ලක්ෂ්මන් තිලකරත්න-
- තොරතුරු තාක්ෂණ අංශභාර ආචාර්ය-


අදාල වැඩසටහන පිලිබද බ්ලොග් ලිපිය-



පාසැල් සදහා භාවිතා කල හැකි ශ්‍රී ධීරානන්ද දුරස්ථ අධ්‍යාපන මොඩියුලය


පවතින තත්වය හමුවේ නැවත පාසැල් විධිමත් අධ්‍යාපන කටයුතු සදහා ඇරඹිය හැකි දිනයක් පිළිබදව අදහසක් නොමැති බැවින් සියලුම පාසැල් විවිධ ක්‍රම ඔස්සේ දුරස්ථ අධ්‍යාපනයට යොමුවී පවතී. පාසැල් සදහා දුරස්ථ අධ්‍යාපනය වෙනුවෙන් යොදාගත හැකි වඩාත් ප්‍රතිඵල දායක ක්‍රමවේදයක් දැනට බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන මගින් මේ වන විට ක්‍රියාවේ යොදවයි. එම ක්‍රමය ශ්‍රී ලංකාවේ බහුතර පාසැල් සදහා සුදුසු ක්‍රමවේදයක් බැවින් අනෙකුත් පාසැල් සදහා භාවිතා කිරිමට එම ක්‍රමවේදය මෙසේ ඉදිරිපත් කරමි.
  1.      ගුරුභවතුන්ගේ වට්ස්ඇප් සමූහයක් සකස් කර ගැනීම
  2.      ගුරු සමූහය හරහා යොදාගත් වේලාවකදි ගුරු සාකච්ඡාවක් පවත්වා තම පිරිවෙනට ගැලපෙන ක්‍රමවේදයක් යොජනා කර ගැනීම. මේ සදහා voice massage සහ text massage භාවිතා කල හැකිය.
  3.     තාක්ෂණික හැකියාව ඇති ගුරු භවතුන් කිහිපදෙනෙකු මෙහෙයුම් කණ්ඩායමක් සකස් කර ගැනීම
  4.     ශ්‍රේණි වශයෙන් වට්ස්ඇප් සමූහ සකස් කිරීම සහ පන්ති භාර ගුරුවරුන් මාර්ගයෙන් එම සමූහ සදහා සිසුන් ඇතුලත් කිරීම
  5.      සෑම කණ්ඩායමක් සදහාම අධීක්ෂණය සදහා විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති සහ මෙහෙයුම් කණ්ඩායමේ ගුරුවරයෙක් ඇතුලත් කිරීම කල යුතුය.
  6.      විෂය ඉගැන්වීමට විෂය භාර ගුරුවරු සමූහ වලට ඇතුලත් කිරිම
  7.      දිනකට විෂයයන් දෙකක් (උදය වරුව පැය 1 වි 30 ක් සහ සවස් වරුව පැ 1 වි30) යෙදෙන පරිදි කාල සටහනක් සකස් කර ගුරුවරුන්ට එම කාලය තුල ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට යොමු කිරිම.
  8.      ගුරුවරුන් විසින් සිදු කල යුත්තේ ඉගැන්වීම් කාර්යයි. කොහේ හෝ ඇති පැරණි ප්‍රශ්න පත්‍ර  සමූහ තුලට ඇතුලු කිරිම නොවේ. ඉගැන්වීම සදහා පින්තූර, හඬ පණිවුඩ, වීඩියෝ, වචන ආදි සෑම ක්‍රමයක්ම භාවිතා කල හැකිය. පාඩම ඉගැන්වීම, සටහන් ලබා දීම, අභ්‍යාස ලබා දීම, අභ්‍යාස සිදුකර නැවත ගෙන්වාගෙන ඒවායේ නිවැරදිතාවය පරික්ෂාකර ලබාදීම ආදිය සිදු කල යුතුය.
  9.      මෙම පන්තිකාමර ඉගැන්වීම් ක්‍රියාවලිය බ්ලොග් අඩවියක් තුල එක් කිරීම මගින් දෛනික පන්ති වලට පැමිණිමට අපහසු සිසුනට පසුව එම පාඩම් වෙනත් දිනකදී  අධ්‍යයනයට හැකිවේ.


මේ සදහා සහය ලබා ගැනීම සහ අධ්‍යයනය කිරිමට පහත ලිපි කියවිම යෝජනා කෙරේ.
·        https://wpsdvp.blogspot.com

පින්තුරය අන්තර්ජාලයෙන්

ඉහත සියලුම ලිපි සහ අඩවි අධ්‍යයනය කිරිමෙන් අනතුරුව තවත් ගැටලු පවතීනම් පමණක් විමසන්න.
ලක්ෂ්මන් තිලකරත්න
ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ආචාර්ය
බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන,
තැඹිලිගස්මුල්ල, මාකොල
දුරකතන අංක 076 7458267
e-mail- laxdheerananda@gmail.com