Thursday, December 26, 2019

වීදි දැරිය



හිරුගේ තද රැසින් හිස මගෙ                කකියනවා
නිරුවත් දෙපා පොඩි පාරට දිය                 වෙනවා
අහරක් නොමැති ගත මාගේ                වෙවුලනවා
මළ කෑ ටින් කබල තවමත්                 වේලෙනවා

කුසගිනි දැනේ මහමෙරුවට වඩා                  මට
නැග එයි මවුගෙ මතකය දුක්             නසන්නට
කඳුලැළි වැටුණි නෙතඟින් මවු නැති           දුකට
යන්නට සිතුනිදෝ තනිකම දීලා                   මට

වීදියෙ කෙළවරේ නුග ගස සෙවණ              යට
තනිකම තුරුලෙ උණුසුම් වෙමි              සීතලට
මවකගෙ තුරුලෙ උණුසුම හිමි නැහැනෙ     මට 
මා දැක නොම යන්න අඳ මිනිසෙකු        ලෙසට  




Wednesday, December 25, 2019

පහළ කඩුගන්නාව මාවෙලකන්ද පුරාණ රජමහා විහාරය

සතියකට සැරයක් නුවර කොළඹ පාරේ මම යනවා. ඒ යන වෙලාවෙ කඩුගන්නාව පල්ලමේ යනකොට දැකපු බෝඩ් එකක් තියෙනවා. ඒ තමයි වලගම්බා යුගයට අයිති රජමහා විහාරයක බෝඩ් එකක්. එතනට යන්න කියලා හිතුනට ගොඩක් වෙලාවට මග ඇරුනා.
මීට මාස දෙකකට විතර කලින් දවසක ගෙදර ගිහින් එන ගමන් අම්බලම ලග වාහනය නතර කරලා පන්සලට ගොඩවුනා. හිතුවට වඩා ගොඩක් වටින තැනක්. ඒ වගේම පෞරාණික විහාරයක්. චෛත්‍යය බෝධින් වහන්සේ පිළිම ගෙය අනුපිළිවෙලින් පිහිටලා තියන විහාරයක්. ලෙන් තුනක් තියෙනවා බොහොම දිග ලෙන්. චෛත්‍යය තියෙන්නෙත් ලෙන්
විහාරයක් ඇතුලේ. පිළිම වහන්සේ දඹුල්ල ලෙන් විහාරයේ සැතපෙන පිළිම වහන්සේටත් වඩා දිගින් වැඩි පිළිමයක්.


මේ ස්ථානයේ වටිනාකම හින්දම ඒ ගැන වීඩියෝවක් කරන්න හිතුනා. ඊට දවස් කීපයකට පස්සේ ගිහින් මේ දර්ශන වීඩියෝ කරගෙන ආවේ. පහත වීඩියෝව බලලා ඒ ගැන අදහසක් ගන්නකෝ.





රජමහ විහාරයක් වුනාට දැනට පන්සලේ වැඩ වාසය කරන්නේ එක තරුණ හාමුදුරුවන් වහන්සේ නමක් විතරයි. සමහර දවස් වලට උන්වහන්සේට දානමාන එහෙමත් නැතිවෙන දවස් තියෙනවා කියලා අහන්න ලැබුනා. පන්සලේ විදුලි පද්ධතියට අකුණු වැදිලා කියලා දැනගෙන මම යාලුවෙකුත් එක්ක එකතු වෙලා රුපියල් දහ දාහක විතර ලයිට් අරන් දුන්නා. ඒක මදි. ඒත් මට පුලුවන් විදියටයි ඒ දේ කලේ.


නුවර කොළඹ පාරේ යන වෙලාවකට මේ පන්සලටත් ගොඩවෙලා යන්න. පුලුවන් නම් තියාගෙන වළඳන්න පුළුවන් දෙයක් හාමුදුරුවන්ට පිළිගන්නලා එන්න. පැරණි විහාරයක් සංවර්ධනය වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරලා එන්න.
තෙරුවන් සරණයි.

Wednesday, December 18, 2019

හදුන්කූරු සහ අපේ ගම


අපි පොඩි කාලේ ඒ කිව්වේ එකදාස් නවසිය අසූූ ගනන් වල අනූූ ගනන් වල වගේ  අපේ ගමේ ගොඩක් පවුල් වල ආදායමක් වුනේ හදුන්කූරු හදන එක. හදුන්කූරු හදන්න පාවිච්චි කරන්නේ උණ ගස්. කොළ උණ, කහ උණ කියලා උණ ගස් වර්ග දෙකක් තියෙනවා. ඒවාගෙන් කොළපාට ගස් තමයි උසට ලොකුවට හැදෙන්නේ. ඒ උණ ගස් තමයි හදුන්කූරු හදන්න පාවිච්චි කලේ.
ඔය වැලෑනේ තමයි ගොඩක් වෙලාවට උණ ගස් හැදෙන්නේ. අපේ වත්ත පාමුලත් ඔයක් ගලාන යනවා. ඒ අයිනේ උණ පදුරකුත් තිබුනා.
අපේ ‌ගෙදර වත්ත පාමුල ඔය අයිනේ තියන උණ පදුරු ( වම් පස)

ඒ කාලේ උණ පදුරු කියන්නේ ඉතිං සල්ලි තමයි. උණ ගහක් කපාගෙන ඒවා අගල් 7 ට බට කපනවා කියතෙන්. ඊට පස්සේ තමයි හොදට කැපෙන තුනී පිහියකින් පතුරු පලන්නේ. පතුරක් කියන්නේ මිලිමීටර එකක් එකහමාරක් විතර ගනකම ලෑල්ලක් වගේ එකක්.
ඒ කාලේ රැවුල කපන්නේ තල මාරු කරන රේසර් වලින්. රැවුල කපන බ්ලේඩ් එකක් දෙතුන් පාරක් කැපුවම අයින් කරනවා. ඒවා ගන්නේ හදුන්කූරු පලන අච්චුව හදන්න. තලයක් කෑලි හතරකට හරි හයකට හරි කපලා කැන්ද ලීයක නූලක පරතරය වෙන්න ලගින් ලගින් කෑලි පහ හයක් හයි කරලා තමයි මේ අච්චුව හදා ගන්නේ. එක එක්කෙනාගේ දක්ෂතාවය මත කූරු 5 ක් 6 ක් සමහරු කූරු 8 ක් එක පාරකින් පැලෙන විදියට අච්චුව හදා ගන්නවා.
කූරු පලලා ඊට පස්සේ වේලලා මිටි බදින්න ඕනේ. මිටියකට කූරු දාහක් තියෙන්න තමයි මිටි බදින්නේ. හැම වෙලාවෙම දාහා දාහා ගනන් කරන්නේ නැහැ. එක සැරයක් ගනන් කරලා මිටියක් බැදගෙන ඊට පස්සේ ඒකේ අතේ මිම්මට තමයි ඉතිරි මිටි බදින්නේ.
කූරු පලන අය කරන්නේ මිටි බැඳලා විකුණන එක. තවත් කට්ටියක් ඉන්නවා, එයාලා කරන්නේ මේවට බේත් ගාන එක. හදුන්කූරු වලට කලු පාට කුඩු වර්ගයකින් හදපු බේත් තියෙනවා. ඒවා ගෙනල්ලා මේ කූරු වල ගානවා. එතකොට තමයි අපිට දකින හදුන්කූර හැදෙන්නෙ. බෙහෙත් ගාන අය දවසකට කූරු දෙතුන් දාහක් ගානවා. කූරු පලන අය නම් දවසකට කූරු දාස් මිටි විස්සක් තිහක් පලනවා.
බෙ‌හෙත් ගාපු කූරු කොම්පෙනියට දෙනවා. කොම්පෙනියෙන් තමයි සුවද දාලා පැකට් කරලා විකුණන්නේ.
ඒ කාලේ අපේ ගමෙන් බාගෙක විතර අයගේ ස්වයං රැකියාව වුනේ හඳුන්කූරු හදන එක. මමත් පොඩි කාලේ කූරු පලලා තියෙනවා.
පස්සේ කාලේ පිටරටින් හදුන්කූරු ගෙන්නන්න ගත්තට පස්සේ ගෙවල් වල හදුන්කූරු හදන එක ටික ටික නැතිවෙලා ගිහින් නැත්තටම නැති වුනා. දැන් අපේ ගමේ කවුරුවත් හදුන්කූරු හදන්නේ නැහැ. උණ ගස් වලින් වැඩක් නැහැ.
ගිය සතියේ ගෙදර ගිය වෙලාවෙ පරණ ආවුද පෙට්ටියක් දැද්දා. ඒකේ තිබිලා ඒ කාලේ පාවිච්චි කරපු කූරු පලන මැෂිමක් හම්බුනා. මේක නං අර කිව්ව කැන්ද ලීයට බ්ලේඩ් ගහල හදපු එකක් නෙවෙයි. ඊට වඩා ටිකක් ඉහල මට්ටමේ එකක්.
අපි ‌පොඩි කාලේ කූරු පලපු මැෂිමක්

පහුගිය දවසක ඇහුනා රජයෙන් හදුන්කූරු ආනයනය තහනම් කලා කියලා. ඒක අහපු මට අපේ පොඩි කාලේ මතක් වුනා. ආයෙමත් අපේ ගම්වල අම්මලා අක්කලා හදුන්කුරු පලලා, ඔතලා කීයක් හරි හොයාගන්න කාලයක් ආවොත් කොච්චර හොදද කියලා හිතුනා.

Monday, November 4, 2019

තේ එකක් බොමු -2 (Silver Tips)



නුවර යන ගමන් හිගුල පාලම පහු කලාම එදා තේ බිව්ව කඩේ දැක්කා. අදත් තේ එකක් බීලා යන්න කියලා වාහනය නතර කලා.
එදා ගොඩක් දේවල් තේ ගැන දැනගෙන තිබුන හින්දා අද කෙලින්ම ගිහින් තේ වර්ග තියන තැනටම ගියා.
“මට white tea එකක් බොන්න පුලුවන් ද?”
“පුලුවන් සර්, මේ තියෙන්නේ silver tips කියන තේ එක. මේක ගොඩක් මිල අධිකම තේ එකක්”

මේ තේ වර්ගය හදන්න ගන්නේ තේ දල්ලේ මුදුනේම තියන Tip එක. 


Silver Tips තේ වර්ගය 100g  හදන්න අක්කරයක තේ දලු වල මුදුන් දල්ල ඕනේ වෙනවා. තුන් දෙනෙක්ගේ ශ්‍රමය ඕනේ ඒකට. ඒ වගේම සති තුනක් මද අව්වේ වේලන්න ඕනේ. සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් තමයි මේ තේ වර්ගය හදන්නේ. ඒකයි මේ තේ එච්චරම ගනන්.

Siver tips ග්රැම් 10 ක් මෙරට වෙලඳ පොලේ විකුණන්නේ රු 1200 කට. ඒ කියන්නේ කිලෝ එකක් රුපියල් ලක්ෂයකටත් වැඩිය වෙනවා. Golden Tips කියන තේ වර්ගය මීටත් වඩා මිලයි.  

මගේ තේ කෝප්පයට නම් රුපියල් 180 ක් තමයි මිල වුනේ. 



Silver Tips තේ එක බොහොම ලා වර්ණයක් තියෙන්නේ. ඒ වුනාට රසය තියෙනවා. තේ වල පාට හොයන අයට නම් මේ තේ එක ගැලපෙන්නේ නැහැ හැබැයි. 



මේ තේ වර්ගය හෘදයාබාධ, පිළිකා වගේ ලෙඩ වලටත් ගොඩක් ගුණයි කියලා කියනවා. හැබැයි ඉතිං අපිට මේ තේ එක දිගටම බොන්න ගියොත් ගනන් ඇහුවම හෘදයාබාද හදා ගන්න තමයි වෙන්නේ.

Monday, October 28, 2019

පුංචි පුංචි මහ ගස් (බොන්සායි)


අපි අවට තියෙන මහ ගස් පුංචි පුංචි පෝච්චි වල හදලා තියෙනවා සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. ඒ ගස් අපේ මේසයක් හරි පොඩි ආධාරකයක් හරි උඩ තියන්න පුලුවන් විදියට බොහොම පොඩියට තමයි හැදිලා තියෙන්නේ. හැබැයි අර විශාල ගහේ තියන විදියමයි. අතු මුල් මල් කොල හැම දේම තියනවා. හැබැයි වෙනස කුඩා එක විතරයි.

පින්තුරය අන්තර්ජාලයෙන්
මේ විදියට ගස් හදන එක චීනෙ ඉදලා ආව කලාවක්. ඒක බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. ගහට අවශ්‍ය පොහොර හිරු එළිය හැම දේම නියම විදියට දීලා ගහට හැදෙන්න ඉඩකඩ අහුරන එක තමයි මේකෙදි මූලිකව කෙරෙන්නේ. එතකොට ගහ ඒ ඉඩට හරියන විදියට හැදෙනවා.
ගහක් මේ විදියට හදාගන්නවා කියන්නෙත් එක විදියකට කිව්වොත් බාවනාවක් වගේ වැඩක්. පොඩි දරුවෙක් හදා ගන්නවා වගේ වැඩක්. කරදරකාරී පරිසරයෙන් මිදෙන්න බොහොම හොද දෙයක්.
ඔයාටත් බොන්සායි ගහක් ගෙදර හදාගත්තොත් ඒක මානසික සැහැල්ලුව ලබාගන්නත් බොහොම උපකාරි වේවි.
බොන්සායි වගාවක් කියන්නේ ආර්ථික අතින් වටිනාකමක් ගන්නත් පුලුවන් දෙයක්. අවුරුදු ගනනක් ගිය බොන්සායි ගස් බොහොම ලොකු මිලට විකුණන්නත් පුලුවන්.
පහුගිය දවසක නුවර ගිහින් එන අතරමගදි කජුගම ආසන්න තැනකදි බොන්සායි ගස් විකුණන්න තියලා තියන තැනක් දැක්කා. ඒ ගමන්ම බොන්සායි වලට ආසාව හින්දම පොඩ්ඩක් නැවතිලා ඒ ගැන කතා කලා. මේක කියවන ඔයාලටත් බොන්සායි ගැන අදහසක් දැනගන්න පුලුවන් වෙන්න ඒ ගැන පුංචි වීඩියෝවක් කලා. ඒක බැලුවොත් බොන්සායි ගැන තව ටිකක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වේවි.




පරිසරයට ආදරය කරමු. ඒ ආදරය අපිව ජීවත් කරවනවා.

Wednesday, October 23, 2019

හෂිනි ගේ සටහන් පොත


ඇය හෂිනි, මම උසස්පෙළ තොරතුරු තාක්ෂණය විෂය සදහා පුද්ගලිකව මග පෙන්වීම කල දියණියක්. අද ඇය ගැන ටිකක් ලියන්නට හිතුනා.
අම්ම තාත්තා දෙන්නම ඉහල පෙලේ රැකියාවන් කරන පවුලක හුරතලේට හැදුන දරුවක් එයා. ගුරුවරුන්ටත් තියෙන්නේ පුදුම ලෙන්ගතුකමක්.
හෂිනි ඉගෙන ගත්තේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. එයාගේ ඉංග්‍රිසි දැනුම තරමක් හොදයි. පරිගණක පාවිච්චි කිරිමේ හැකියාවත් හොදයි.
මම හෂිනිට උගන්වන්න වෙනස් ක්‍රමයක් පාවිච්චි කලා. ඇත්තටම මම එයාට ඉගැන්නුවේ නැහැ. ඉගෙන ගන්න උදව් කලා විතරයි.
මුලින්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරලා ඒවගේ එක් එක් පාඩමට ප්‍රශ්න කොච්චර තියනවාද කියලා එයාටම හොයාගන්න ඉඩ දුන්නා. ඊට පස්සේ වැඩි ලකුණු ලැබෙන ප්‍රමුඛතාවයට පාඩම් ඉගෙන ගන්න පටන් ගත්තා.
මගේ ලග සකස් කර ගත් නිබන්ධන නැහැ. එක් එක් ළමයාට ඒ අවස්ථාවේ ගැලපෙන විදියට තමයි උගන්නන්නේ.  එක් එක් ළමයි ගේ දක්ෂතා වෙනස්. ඒ ඒ අය ගෙන යන්න පුළුවන් මට්ටම වෙනස්. ගොඩක් දුර්වල මට්මක සිසුවෙකුට එක් වරම ගැඹුරුම සිද්ධාන්ත උගන්නන්න ගියොත් ඒ ශිෂ්‍යාට කිසිම දෙයක් දෙන්න බැරිවෙන්න පුලුවන්. ඒ හින්දා දරුවො ගැන දැනගෙන කටයුතු කරන එක ගොඩක් වැදගත්.

පින්තුරය අන්තර්ජාලයෙන්

මුල්ම දවස් වල හෂිනිට මම පාඩම් කියලා දුන්නා. ඒත් ටික ටික ඒවා අඩු කලා. සටහන් දෙන එකත් අඩු කලා. මම එයත් එක්ක එකතු වෙලා සටහන් හෙව්වා. දෙන්නම එකතු වෙලා ගූගල් කරලා හොද විස්තර තියන වෙබ් අඩවි වලට ගිහින් ඒවා පාවිච්චි කරලා සටහන් හැදුවා. සමහර විෂය කරුණු වලට යූටියුබ් වීඩියෝ හොයාන බැලුවා. ටික දවසක් යනකොට ගූගල් කරලා අවශ්‍ය කරුණු හොයාගන්න හැකියාව හෂිනිට ලැබුනා. ඊට පස්සේ එයා තනියම විෂය කරුණු හොයන්නටත් සටහන් හදා ගන්නටත් පුරුදු වුනා. ඉගෙන ගතයුතු කරුණු වල සීමා හොයාගත්තේ පරණ ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න අධ්‍යයනය කිරීමෙන්. ඒ වගේම ලකුණු දීමේ පිලිවෙල අධ්‍යයනය කිරීමෙන්.
හෂිනි කෙටි ප්‍රශ්න පත්‍රයට සූදානම් වුනේ අපූරු ක්‍රමයකට. ඒ පරණ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා. හැබැයි වෙනස් විදියකට. ඒක කලේ පාඩමින් පාඩමට. මුලින්ම ප්‍රශ්නය ලියලා ඊට පස්සේ උත්තරය ලියනවා. උත්තරය ගත්තු විදිය හරි උත්තර තෝරා ගත්තු විදිය හරි යටින් ලියනවා. උත්තරය දන්නේ නැත්නම් පොත් පත් පෙරලලා හරි ඉන්ටනෙට් එකෙන් හරි හොයනවා. බැරිම වුනොත් මට කෝල් කරනවා. නැත්තං මං එනකං තියාන ඉන්නවා. ඒ සටහන එයා ලියාගන්නේ එයාට තේරෙන විදියට. කොහොම හරි විභාගෙ කිට්ටු වෙනකොට අවුරුදු පහක විතර ප්‍රශ්න වලට විවරණ ලියපු ලොකු පොතක් එයා ගාව තිබුනා.
පහුගිය අගෝස්තුවේ හෂිනි උසස් පෙළ විභාගේ ලිව්වා. අනිවාර්යයෙන්ම එයාට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. තාම ප්‍රතිඵල ආවේ නැහැනේ.
ලගදි දවසක හෂිනිගෙන් කෝල් එකක්..
“සර්.. මගේ සටහන් පොත් ටික තියෙනවා. කවුරුහරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි වැඩක් වෙන කෙනෙක් ඉන්නවා නං දෙන්න පුලුවන්”
“නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් ඉන්නවා දුව.. තව ටීචර්ලත් ඉන්නවා. අනික මගේ ගාවත් පිලිවෙලකට සටහනක් කියලා නැහැනේ... අපි ඕක හැමෝටම දෙමු”
“හැමෝටම කොහොමද? එක පොතනේ තියෙන්නේ......”
“අපි ඕක ස්කෑන් කරලා pdf කරමු. එතකොට ගොඩක් අයට වැඩ ගන්න පුලුවන්. කැමතිද?”
“අනේ හොදයි සර්.. මටත් ඕනේ කාට හරි වැඩක් ගන්න කෙනෙකුට දෙන්නයි.”
මම පහුගිය ටිකේ හෂිනිගේ සටහන් ස්කෑන් කරලා pdf විදියට හදලා මගේ ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කලා. කැමති කෙනෙකුට දැන් ඒක ගන්න පුලුවන්. ඔන්න පහල ලින්ක් එක තියෙනවා.


හැබැයි එකක්.. මේ මගේ සටහන් එහෙම නොවෙයි හොදේ.. හෂිනි තනියෙම හදාගත්තු සටහන්. ඒ හින්දා සමහර විට චූටි චූටි අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. ඒත් ඒ සටහන් ගොඩක් හොදයි. ගොඩක් ඉහලයි. ගන්න දේවල් ගොඩක් තියෙනවා.
හෂිනි මේ දවස්වල ප්‍රතිඵල එනකන් හාවඩ් විශ්ව විද්‍යාලයේ පාඨමාලා වගයක් හදාරනවා. එයාම හොයාගෙන. නොමිලේ තියෙන ඔන්ලයින් පාඨමාලා. ගෙදර ඉදලා මයි කරන්නේ. සහතිකත් හම්බ වෙනවලු.
එයා ඒ දේවල් කරන්නේ ගෙදර දොරේ වැඩ, උයන පිහන වැඩ එහෙමත් කරන ගමන්. අම්ම හවසට වැඩ ඇරිලා ගෙදර එනකොට උයලා පිහල ගෙදර වැඩ ඔක්කොමත් කරලා තියෙන්නේ හෂිනි.
මෙහෙම දූලා ගෙදරට, රටට වාසනාව ගෙනෙනවා.
දුවේ, ඔයාට තුණුරුවන්ගේ සරණයි!

_________________________________________________

# AL ICT Notes # උසස් පෙළ තොරතුරු තාක්ෂණය සටහන්

Wednesday, October 16, 2019

ප්ලැන් B සහ ජීවිතය


කිසියම් ව්‍යාපෘතියක ඉලක්ක කරා ලගා වීමේදී ඇතිවෙන්න පුලුවන් ගැටලු කලින් හිතලා ඒව ආවොත් කරන්නේ මොකද කියලා සැලසුම් කරන එක තමයි ප්ලැන් B කියලා කියන්නේ. එම කටයුත්ත සාමාන්‍ය විදියට කරගෙන යන විදිය අපි කලින් සැලසුම් කරනවා. ඒ වගේම ඒක කරගෙන යද්දි එන්න පුලුවන් ගැටලු බාධක කලින් හිතනවා. ඒවා හිතලා ඒ ගැටලු ආවොත් කරන්න දෙයත් කලින් සැලසුම් කරලා තියනවා. එහෙම වුනාම අදාල කටයුත්ත සාර්ථකව අවසන් කර ගන්න පුළුවන් වෙනවා.

උදාහරණයක් විදියට අපි හිතමු ගෙදර කෑම උයන්නට ගෑස් පාවිච්චි කරනවා කියලා. අපි දන්නවා කොයි වෙලාවෙ හරි ඒක අවසන් වෙනවා කියලා. ඒ වෙලාවෙදි නැවත එකක් ගේන්න කාලය ගත වෙනවා. අන්න ඒ වෙලාවෙ ගෙදර උයන පිහන කටයුතු නතර කරන්නේ නැතිව කර‍ෙගෙන යන විදියක් කලින් සූදානම් කරලා තියෙනවා. ඒක දර ලිපක් හරි භූමිතෙල් ලිපක් හරි වෙන්න පුලුවන්. දර ලිපක් නම් දර ලෑස්ති කරලා තියනවා. භූමිතෙල් ලිපක් නම් භූමිතෙල් දාලා පාවිච්චි කරන්න පුලුවන් විදියට සූදානම් කරලා තියෙනවා. එහෙම වුනාම උයන පිහන කටයුතු බාධාවකින් තොරව කරගන්න පුලුවන් වෙනවා.
දිනපතා රැකියාවට යන කෙනෙක් හිතමු. උදේ නියමිත බස් රථයක ගමන් කරනවා. ඒත් යම් දවසක ඒ බස් එක ආවෙ නැත්නම් මොකද කරන්නේ කියලා කලින් හිතලා ඒ වෙනුවෙන් කල යුතු දේවල් සූදානම් කරගෙන තියනවා. ත්‍රිවිල් එකකින් යනවා කියලා හිතනවා නම් අදාල දුරකත අංක තියාන ඉන්නවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් කලින් හිතලා ඒක කරන්නේ කොහොමද කියලා දැන‍ගෙන ඉන්නවා. හදිසියේ ඒ ගැටලුව ආවම කලබල වෙන්න දෙයක් නැතිව කරන දේ දන්න හින්දා ගැටලු අවම වෙන විදියට කටයුතු කරන්න පුලුවන්.
ගොඩ දෙනෙක් ජීවිතයේ ඉහල බලාපොරොත්තු තියාන ඉන්නවා. ඒක හොදයි . බලාපොරොත්තු වලට ලං වෙන්න කටයුතු කරන්න ඒ හන්දා ලේසි වෙනවා. ඒ වගේමයි අපි ඒ කටයුතු වලදිත් ප්ලැන් B එකක් තියාගත්තොත් බලාපොරොත්තු සුන් වීමෙදි වන ගැටලු ඇති වෙන්නේ නැහැ. මම මේ අරමුණට කොහොම හරි ළගා‍ වෙනවා. ඒක බැරි‍වුනොත් මං මෙහෙම කරනවා කියලා හිතුවා නම් කුමන හෝ හේතුවක් හන්දා වෙන බිද වැටිමකදි සිද්ද වෙන ගැටලු අඩු වෙනවා.
තරුණ පරපුර බලාපොරොත්තු සුන් වීම නිසා ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවා. සමහර විට සියදිවි හානි කර ගන්න එක පවා වෙන්න පුලුවන්. ඒත් ප්ලැන් B එකක් තිබුනා නම් ඒ ප්‍රශ්න ගොඩක් දුරට අඩු කර ගන්න පුලුවන් වෙනවා.‍ හැබැයි මතක තියාගන්න ඕනේ. ප්ලැන් B තියෙන්නේ ප්ලෑන් A අසාර්ථක වුනොත් විතරයි හොදේ... 
ප්ලැන් B පුහුණු කරමු. ජීවිතය නිදහසේ ගෙවමු.

Wednesday, October 2, 2019

මතක බණක් කියන පොඩි හාමුදුරුවෝ

පහුගිය දා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යඥාන තරග පැවැත්වුනා. ඒ ගම්පහ මැදගම පන්සලේදී. මාත් ඒ අවස්ථාවේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කලා.

ඒ වෙලාවේ මගේ ෆෝන් එක පාවිච්චි කරලා ෆොටෝ ගත්තා සමහර අවස්ථා වීඩියෝ කලා. මොකද ඒවා වාර්තා කරන්න වගේ දේවල් අවශ්‍ය වෙන හින්දා.

මගේ අතේ කැමරාව, මයික් එක, ට්‍රයිපොඩ් එක එහෙම තිබ්බා.

පොඩි හාමුදුරුවො නමක් මගේ වටේ කැරකෙනවා.

" සර්.. මාවත් වීඩියෝ කරන්නකෝ...."

පිරිවෙනේ දෙකේ තුනේ පන්තියක විතර පොඩි හාමුදුරුවෝ නමක්.

" මං බණක් කියන්නම් සර්... "

"පොඩි හාමුදුරුවො කොහෙ ඉදලාද වැඩියේ?"

"කන්තලේ ඉදලා සර්.. දේශන කුසලතා වලට සහභාගි වුනා. දැන් තරගේ ඉවරයි සර්.. අනේ සර් මාව වීඩියෝ කරන්නකෝ." පොඩි හාමුදුරුවෝ කියාගෙන කියාගෙන යනවා.

"හරි එහෙනං වීඩියෝ කරන්නම්. හැබැයි ඔන්න දිනුවොත් විතරයි දාන්නේ .. හා ද?"

"අනේ සර් ... එහෙම කරන්න එපා.. "

" හරි හරි.. බලමුකෝ.. වඩින්නකෝ එහෙනම්.."

පොඩි හාමුදුරුවෝ පන්සලේ පුස්තකාලයට වැඩම කරවාගෙන ගිහින් ධර්ම දේශනාවක් කරන්න අවස්ථාව දීලා මම වීඩියෝ කලා.

මගෙන් පොඩි අඩුපාඩුවකුත් වුනා. ඒ පොඩි හාමුදුරුවන්ගේ නම අහගන්න බැරිවුන එක.

පොඩි හාමුදුරුවන්ට හොඳ හඩක් තිබුනා. කලක් යනකොට හොඳ ධර්මදේශකයන් වහන්සේ නමක් වෙන ලකුණු හොදට තිබුනා.





පොඩි හාමුදුරුවරු කියන්නෙත් පොඩි දරුවො තමයි. සිව්රක් දරා ගත්තට ළමා ගති එහෙමම තියෙනවා. අපිත් ඒ දිහා ඒ විදියට බලන්න පුලුවන් නම්,  දරුවෝ කියන ආකල්පයත් හිතේ තියාන බලන්න පුලුවන් නම් ගොඩක් හොදයි කියලයි මං හිතන්නේ.

දරුවන්ට ලැබෙන්න ඕනේ අවශ්‍යතා, ආදරය කරුණාව, රැකවරණය වගේ දේවල් මේ පොඩි හාමුදුරුවරුන්ටත් ඕනේ.

පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අහිංසක ආසාව මං පුලුවන් විදියට ඉෂ්ට කලා. අනාගතයේ දවසක රූපවාහිනයෙන්, ගුවන්විදුලියෙන්, ඔබ වහන්සේගේ විචිත්‍ර හඩින් ධර්ම දේශනාවක් අහන්ට මට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ඔබ වහන්සේ  නිකම්ම නිකං හාමුදුරුවෝ නමක් විදියට නෙවෙයි, පිරිවෙන් අවසානේ හොදට පාස්වෙලා, පාචීණ, මධ්‍යම අවසානේ කරලා රාජකීය පණ්ඩිත හාමුදුරුවෝ නමක් විදියට දකින්නට යි මගේ කැමැත්ත.

ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

Tuesday, October 1, 2019

වැඩිහිටි දරුවෝ

රටට සමාජයට තමන්ගෙන් යුතුකම ඉටුකළ ඔවුහු දැන් සමාජය දෙස තම නෙත් යොමා බලා සිටින්නෝය. තමන්ගේ දාඩිය මහන්සිය නිසා ගොඩනැගුණ දැ දෙස නෙත් යොමා සිටින්නෝය. තම ලෙයින් පෝෂණය කල පරපුරෙහි ක්‍රියාවන් දෙස උපේක්ෂාවෙන් බලා සිටින්නෝය. තමන්ගේ තුන්වෙනි පරපුරක් අද දිනයේ සතුට සමරනු බලා සතුටු වන්නෝය.
බලා සිටීමට වැඩි දෙයක් අද දිනයේ ඔවුනට කල නොහැක්කේය. ඒ අද ඔවුන් මහළු වී සිටිනා බැවිනි. ඔවුන්ද අද දරුවන් සමව වන්නේ මැයි.
තමන්ගේ දරුවන් පැමිණ තමන් කොහේ හෝ තමන් කැමති තැනකට එක්කන් යාවි යැයි ඔවුන් බලා සිටින්නෝය.
තමන්ගේ දරුවන් තමන් කන්නට කැමති දෙයක් ගෙනත් දේවි යැයි ඔවුන් බලා සිටින්නෝය
තමන්ගේ දරුවන් තමන් සමග සතුටු සාමිචියේ කතා කරන්නට කොයි මොහොතේ හෝ ඒවි යැයි ඔවුන් මග බලා සිටින්නෝය.


ඒවා ගොඩක් අහිංසක බලාපොරොත්තු
එයාලා කවදාවත් ඒ ටික කටින් කියන්නේ නෑ
එයාලගේ දරු මල්ලන්ට කරදරයක් වෙන්න එයාලට ඕනේ නැහැ. ඒ හින්දයි කිසි දෙයක් ඉල්ලන්නේ නැතිව ඉන්නේ.
ඔබගේ අම්මා තාත්තා, ආච්චි, සීයා, නැන්දා, මාමා, කවුරු වුනත් මහළු වෙලා ඉන්නවා නම් මේ ඔබ ගේ වේලාවයි. ඔබගේ යුතුකම වගකිම ඉටු කල යුතු වේලාවයි.
සමහර විට ඔබගේ එක වචනයක් ඔවුනට ලොකු දෙයක් වේවි.
ඔබ ගෙනියන ටොපියක්, සීනිබෝලයක් ඔවුනට මහා මෙරක් වේවි.
පන්සලකට පල්ලියකට, නෑදැ ගෙදරකට එක්ක යන්න පුලුවන් වුනොත් ලෝකෙම ගිහින් දුන්නා වේවි.
අද ඔක්තෝම්බර් පළවෙනිදා, ලෝක වැඩිහිටි දිනයයි. වැඩිහිටියෝ කියන්නේත් දරුවන් වගේම ආදරය රැකවරණය අවැසි පිරිසක්. ලෝක වැඩිහිටිය දිනය සමරමු

Tuesday, September 24, 2019

මුන්නේශ්වරම පුද බිමට


(දින තුනෙන් රට වටා ගිය ගමනේ පළමු නැවතුම්පල පිළිබද සටහන්... )

මාදම්පෙන් හලාවතට ඇවිල්ලා එතන වටරවුමෙන් දකුණට හරවලා කිලොමිටරයක්‌ දෙකක් ගියාම මුන්නේශ්වම පුද බිමට ලගා වෙන්න පුලුවන්. අපි උදේ පහයි හතලිස් පහ වෙනකොට මුන්නේශ්වරමේ.

එදා කෝවිලේ වාර්ෂික උත්සවේ අවසන් දෙවන දවස. මාසයකට ආසන්න කාලයක් උත්සව, පූජා තියෙනවා. ඒ කාලයේ බොහෝ බැතිමතුන් පැමිණෙන කාලයක්. පෙරහැර පැවැත්වෙනවා. විශේෂ පූජා පැවැත්වෙනවා. අපි එතැනට යන විටත් දේවාලය වටේ පෙරහැරකින් වැඩම කරනවන්න දේවාලයේ සිට එළියට පිළිම කිහිපයක් වැඩම කලා.



මුන්නේශ්වරම ගොඩක් ප්‍රසිද්ධ දේවාලයක් විදියට. ඇත්තටම ඒක හින්දු කෝවිලක්. ඒ වුනත් හින්දු භක්තිකයින්ට බෞද්ධ පිරිස් ද බොහෝ දෙනෙක් ඒ කෝවිලට ගිහින් බාර හාර වෙනවා. පුද පූජා පවත්වනවා. මෙතන දේවාල දෙකක් තියෙනවා. එකක් මුන්නේශ්වරම ඊශ්වර ශ්‍රී පත්තින් දේවාලය සහ කාලි දේවාලය.  

අසා දැනගත් ජනප්‍රවාදය
මුන්නේශ්වරම දේවාලයේ තියෙන්නේ පත්තිනි මැණියන්‌ගේ ජීවමාන පිළිමයක් කියලයි කියන්නේ. ඒ කතාව මෙහෙමයි. මේ දේවාලය අසල වැවක් තියෙනවා. ඒ වැවේ ධීවර කටයතු කරන පිරිසකට රාත්‍රියේ කුඩා දරුවෙකු අඩන හඩක් ඇහිලා තියෙනවා. කට්ටිය එකතු වෙලා ඒ ගැන හොයන කොට කුඩා දරුවෙක් වැවේ ගිලෙන්න යනවා දැකලා තියෙනවා. ඒ ධීවරයෝ ඔරුවකින් ගිහින් ඒ දරුවාව බේරාගෙන තියෙනවා. ඒ දරුවා වඩාගන්නවාත් සමගම රන් පිළිමයක් බවට පත්වෙලා තියෙනවා. මුන්නේශ්වරම මහ දේවාලයේ ගල් පිළිම ගෙයි අදටත් තැන්පත් කරලා තියෙන්නේ ඒ රන් පිලිමයයි.

ඊශ්වර දේවියන් වෙනුවෙන් ලංකාවේ කෝවිල් 5 ක්
ඊශ්වර දෙවියන් උදෙසා ලංකාවේ කෝවිල් පහක්‌ (05) ඉදි කොට ශිව ලිංගම් තනා තිබෙනවා. මුන්නේශ්වරම් (හලාවත) තිරුකෝනේශ්වරම් (ත්‍රිකුණාමලය) තිරුකේතීශ්වරම් (මන්නාරම), නගුලේෂ්වරම් (යාපනය), තාන්තොන්ඩිශ්වරම් (මුලතිව්) යනුවෙන් තනා ඇති මෙම දේවාලවල වාර්ෂික මංගල්‍ය පවත්වනවා. මෙම දේවාලවලට ලක්‍ෂ ගණන් බැතිමතුන් පුද පූජා පැවැත්වීමට එනවා.

ශ්‍රී මහා බද්‍රකාලි  අම්මාන් කෝවිල
මුන්නේශ්වරම මහ දේවාලය අසලම පිහිටි පැරණි කෝවිලක්. දෛනිකව පුද පූජා පැවැත්වෙන බොහෝ බැතිමතුන් පැමිණෙන පුද බිමක්. මෙම පුද බිම කෙතරම් පැරණිද යන්න මෙහි ඇති ඉතා පැරණි කලුවර ගසක් සාක්ෂි දරනවා.





ශ්‍රී පුෂ්පාරාමය (තුමුලසෝම මහ පිරිවෙන )

මුන්නේශ්වරම කෝවිල අසලම පිහිටි පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාමය. ඇත්තටම අතීතය බැලුවොතින් පන්සලේ පිහිටි දේවාලයක් තමයි මේ කෝවිල. දැන් ගොඩක් අය මුල් තැන දෙන්නේ කෝවිලට. 
මුන්නේස්රමේ තුමුලසෝම පිරිවෙන ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් .දඹදෙනි යුගයේ රජකල පැරකුම්බා රජතුමාගේ දරුවෙකුට චර්ම රෝගයක් වැලදීම නිසා මුලසෝම විහාරයේ වූ මුලසෝම දේවාලයට බාරයක් වූ බවත් එය සුව වීම නිසා රජතුමා විසින් මෙම දේවාලයේ පුද  පූජා පැවැත්වීම බමුණන්ට බාර දුන් බවත් ඉහිහාස කතා වල කියවෙනවා. වර්තමානයේ විහාරස්ථාන භූමියේ කැණිම් වලින් සොයාගත් ගල් පිළිමයක්, ගල් කණු , නෙලුම් මලක් වැනි දැ පවතිනවා. පින්තුරයේ දකින්නට තියෙන සුවිසල් බුද්ධ මන්දිරයේ ඇතුලට යන්නට අවස්ථාව තියෙනවා. මේ වෙනවිට මෙම විහාරස්ථානයේ මහ පිරිවෙනක් ක්‍රියාත්මක වෙනවා.





Saturday, September 14, 2019

Ceylon Tea - ලංකා තේ

Ceylon Tea කිව්වම ලෝකෙම දන්නවා. ඒත් ලංකාවෙ අපි තේ ගැන දන්නෙ මොනවද? ලංකාවෙ තේ වර්ග තිස් ගනනක් විකර හදනවා. සාමාන්‍ය ෆැක්ට්‍රියක වුනත් තේ වර්ග පහලොක් විස්සක් හදනවා.



අපිට නියම තේ එකක් බොන්න ලැබෙනව අඩුයි. ඒකට හේතු කීපයක් තියෙනව. එකක් අපි ඒව ගැන දන්නෙ නැති එක. අනික තරමක් මිල වෙන එක. ඒත් මන් දන්න දේ නං ඔය කියන තරං මිල වැඩි නැහැ. තියෙන්නෙ නොදන්නා කම.
අද නුවර යන ගමන් තේ එකක් බොන්න හිතුනා

අද මම රස බැලුවෙ OPA කියන තේ වර්ගය. OPA කියන්නෙ orange pekoe advanced කියන එක. මේ තේ එක හදන්න සම්පූර්ණ කොලයම භාවිතා කරනවා. තේ එක තැම්බිලා එනකොට කොලයම දකින්න පුලුවන්.

තේ එකක රස බලන්න ඕනෙ සීනි නැතිව. එතකොට තමයි නියම රසය දැනෙන්නෙ.


අපිත් Ceylon Tea බොමු...



Friday, September 13, 2019

කල්පිටියේ ඕලන්ද බලකොටුව බලා


පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන්ගේ නීතීන් තුල  බැට කා නිදහස සොයා ගිය ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානවත් ඉතිහාසයෙහි තවත් එක් මතක සටහනක් දකින්නටගිය ගමනක වගතුග මෙසේ තබන්නෙමි.
අප පෙ.ව.  8.35ට පමණ නිවසින් පිටත් වූයේ අනුරාධපුරය අපේ ගමනාන්තය කොට ගෙනය. අපි අනුරාධපුරයට යන ගමන්මාර්ගයෙහි අතරමග නැරඹුම් ස්ථාන කිහිපයකම නතරවී කල්පිටිය වෙත ඇදුනෙමු. ඒ එහි වූ ලන්දේසි බලකොටුවක තතු විමසන්නටය. බලකොටුව පෙනෙන තෙක්මානයටම පැමිණි අප හට පළමුව නෙත ගැටුනේ දෙතිස්ඵල බෝධීන් වහන්සේනමකි.ඒ වත්මන් නාවික හමුදා මූලස්ථාන පරීශ්‍රය ඉදිරිපිටය. 


 අපගේ තවත් එක් අතරමැදි නැවතුම් ස්ථානයක් වන ලන්දේසි කොටුවද මෙම නාවික හමුදා මූලස්ථානයෙහිම පිහිටා ඇත.
 එහි සේවය කරනා නිලධාරිමහතෙකුගෙන් අපට මෙම කොටුව පිළිබද පැහැදිලි විස්තර කිරීමක් ලැබුණි. එම විස්තර කිරිමට අනුව,
ලන්දේසි ජාතිකයන් විසින් ක්‍රි.ව. 1666 වසරේ ඉදිකර ඇති මෙම කොටුව පෘතුගීසි ගෘහනිර්මාණ ශිල්පයද දැකිය හැකි සුවිශේෂී බලකොටුවකි.

දෙවන රාජසිංහ රජ දවසේ මෙම බලකොටුව ඉදි කර ඇති බව අපට අසන්නට ලැබුණි. රාජසිංහ රජුගෙන් ලන්දේසින් අවසර ගෙන ඇත්තේ මෙහි බලකොටුවක් තනන්නට නොව පල්ලියක් තනන්නටය. එම අවසරයෙන් පල්ලියක ස්වරූපයට බලකොටුවක් ඔවුන් විසින් තනන ලදී. ලන්දේසීන් මෙය ගබඩාංගනයක් ලෙස යොදා ගෙන ඇත. රහසිගත බලකොටුවක් මෙම සමුද්‍රාසන්නයේ ඉදි කිරිමට එරට සිටි කුලී සේවකයින් වූ ජාලස්කිරිඤ්ඤාමැඩි හේවායින් පමණක් යොදා ගෙන ඇත. එය රහසක් ලෙස තබා ගැනීමට වගබලාගත් ලන්දේසීන් ශ්‍රී ලාංකික කිසිවෙකුත් මෙම ඉදිකිරීම් බිමට ගෙන්වා නොගැනීමට තරම් සූක්ෂම විය.

අප දැනගත් පරිදි මුහුදු පාෂාණ වන හිරිගල්, හුණුගල් හා කොරල් උපයෝගී කර ගනිමින් මී ඉටි,මී ලාටු හා හිරිගල් බදාම ලෙස යොදාගෙන මෙය ඉදිකොට ඇත. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමෙහි ලාංඡනය සදහන් වූ එහි  පිවිසුම් දොරටුව, ඇලන් නම් ගඩොලින් නිමවූ උළුවස්සකින් සමන්විතය.

 වසර 342 කටත් වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම බලකොටුවෙහි බොහෝ අංග මේවන විටත් නටබුන් බවට පත්ව ඇති බව එහි ගිය අපට මනාව දිස් විය. කෙසේ නමුත් බොහෝ සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මෙම බලකොටුව ශ්‍රී ලංකාවේ වටිනාකම වැඩි කරනා තවත් එක් අංගයකි.


මෙලෙස බොහෝ වැදගත් තොරතුරු රාශියක් පොදි බැදගෙන ,අපට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ එම නාවික හමුදා නිලධාරීතුමාටත් ස්තුති කොට අපි නැවතත් ගමන් ආරම්භ කළෙමු.   

Tuesday, September 3, 2019

දින තුනෙන් රට වටා- තාක්ෂණය හා උපකරණ භාවිතය


අපේ කණ්ඩායම අලුත්. ඒ වගේමයි සමහර දේට ආධුනිකයි. විශේෂයෙන් මේ වගේ ගමනක් මීට කලින් ගිහින් තිබුනේ නැහැ. ඒ වුනාට අභියෝගය ජය ගන්න විවිධ උපක්‍රම අපි පාවිච්චි කලා.
අපිට තිබුන ලොකුම අභියෝගය තමයි කාලය කලමණාකරණය කර ගැනිම. ඒ වගේම අවශ්‍ය දත්ත එකතු කර ගැනිම. මුලු ගමන කිලොමීටර 1600 කට වැඩියි. ඒ දුර යන්න අපිට තිබුනේ දින තුනයි. ස්ථාන 50 ක පමණ සංචාරය කලා.

වාහනය වුනේ ඇල්ටෝ 800 වර්ගයේ මොටර් රථයක්. මෝටර් රථයේ වයිෆයි රවුටරයක් සවි කරලා තිබුනා. සම්බන්ධතාවය dialog 4g. ගමනෙන් අඩකට ටිකක් වැඩියෙන් විතර අපිට 4g ආවරණය තිබුනා. ඒත් අපිට ලැබුන ඉඩන් වැඩ ගත්තා. කාර එකේ usb පෝට් තුනක් තියන චාජරයක් තිබුනා. ඒකේ විශේෂත්වය තමයි වාහනයේ යතුර ක්‍රියාත්මක කරන්නේ නැතිව වෙනම ස්විචයකින් ක්‍රියා කරනවා. ඒ හින්දා උපකරණයක් චාර්ජ් කර ගන්න පුලුවන් වුනා අපි වාහනයෙන් පිට ඉන්න වෙලාවෙ වුනත්.


අපි ගාව තිබුන උපකරණ කමයි, Nikon d5200 කැමරා 2 යි. 18-55mm, 70-300mm ලෙන්ස්, ස්මාර්ට් ෆෝන් 4 යි, ටැබ් 01 යි, ලැප්ටොප් 01 යි. අපේ ගමනේ දි පින්තූර ගන්න එක වැඩිපුරම කලේ තරිදු. එයා කැමරා දෙකට 18-55, 70-300 ලෙන්ස් දෙක දාගෙන කැමරා දෙක උරිස් දෙකේ එල්ලගෙන බොහොම හැගීමෙන් වැඩේ කලා. මේ වගේ ගමනකට කැමරා දෙකක් තියෙන්නම ඹ්නේ. ඈත තියෙන දෙයක් ලං කරලා ගන්න එක ලෙන්ස් එකකුයි, විශාල ප්‍රදේශ ගන්න ඹ්නේ වුනාම තව ලෙන්ස් එතකුයි විදියට.  එයා වැඩේ හැගීමෙන්ම කරන හන්දා මං ඒකට හරස් වෙන්නේ නැතිව හිටියා. දවල් කෑමට නතර කරන වෙලාවට ඒ කඩේට කතා කරලා කැමරා බැටරි චාර්ජ් කර ගන්න වැඩෙත් අමතක කරන්නේ නැතිවම එයා කලා. 


ගමනේ පින්තූර FB දාන වැඩෙයි, fb live video දාන වැඩෙයි, යූ ටියුබ් upload කරන වැඩෙයි කලේ සසිදු. ඒ වගේම එයා තමයි ගූගල් මැප් එක බලාන තැන් වලට පාර කිව්වේ.යන ගමන් වීඩියෝ කරන වැඩෙත් කලේ සසිදුමයි. එතකොට අපේ අරුණ. එයා තමයි ගමන පුරාවටම ගමන වාර්තා කලේ. සියලුම ස්ථාන කල කී සියලුම දේවල් දිනය වෙලාව තැන එක්ක එයා පොතක ලිව්වා. අරුණ අයියට කිසිම දෙයක් ලියන්න කියලා මතක් කරන්න ඹ්නේ වුනේ නැහැ. අපි කියන කොටත් එයා ඒක ලියලා ඉවරයි. 


ගමනෙන් හතරෙන් තුනකට වැඩියෙන් වාහනේ පැදෙව්වේ මම. නොදන්නා පැති වල යනකොට අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න ඒක කරන්න අපි පටන් ගන්න කොටම කතා වෙලයි තිබුනේ. වේග සිමා නාගරික 50 පිට 70 සීමා කිසිම තැනක වැඩි කලේ නෑ. හැබැයි සමහර වංගු සහිත අතුරු පාරවලදිත් 70 සීමාවටම ගිය හින්දා පිටිපස්සේ සීට් එකේ විසිවෙන පෙරලෙන සද්ද නං ඇහුනා. තනි ඉරේදී, කහ ඉරේදී ඉස්සර කලේ නැහැ කොහොමට වත්ම. ඒ හින්දා පොලිසියෙන් කරදරයක් නැතිව ගමන සම්පූර්ණ කරන්න පුළුවන් වුනා. නතර කරන තැන් වල වීඩියෝ කලේ මම. සමහර තැන් වලදි සසිදු ඒවට උදව් කලා.



එහෙම එක එක් කෙනා විශේෂ වුනාට හැමෝම හැම දේම ටික ටික හරි කරන්න ඹ්නේ කියන එකගතාවෙන් තමයි අපි හිටියේ. ඒ දේත් ඒ විදියටම වුනා. ගමන පුරාවටම කාටවත් නිදහසක් තිබුනෙම නැහැ. රෑ දෙකේදි පැය කීපයක් නිදා ගත්තු කාලේ ඇරෙන්නට . හැමෝම දිගටම වැඩ කලා. කොහොම හරි ගමන ඉවර වෙනකොට අපි ලග පිටු 80 පොතක් පිරෙන්න විස්තර ලියපුවා තිබුනා. පින්තූර 2000 ක් විතර තිබුනා. 15gb විතර වීඩියෝ.
දැන් ඉතින් ඒ තරම් මහා දත්ත ගොඩ සකස් කරලා වාර්තාවක් සකසන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒවා සමග ඉදිරියේදි හමුවෙමු. පින්තූර තියෙන්නේ අපි වැඩ කරපු හැටි.