Tuesday, October 30, 2018

දේදුන්නක් පායලා


එදා අගහරුවාදා. උදේ ඉදලම වහිනවා. අහස වලාකුළු වලින් බර වෙලා. විහින්දි උදේ ඉස්කෝලේ යන්න නැගිට්ටට තවත් ටිකක් ගුලි වෙලා නිදා ගන්න තිබ්බ නං හොදයි කියලා හිතුනෙ නැතුවම නෙවෙයි.
කොහොම කොහොම හරි මූන කට හෝදගෙන කාල බීලා ඇදුම් එහෙම ඇදගෙන ඉස්කෝලෙ යන්ට එළියට බහින වෙලාව වෙනකොට වැස්ස ටිකක් විතර පායලා. ඒත් අහසේ අදුර නං අඩු වෙලා තිබුනේ නැහැ.
වෙනදා වගේම අම්මට තාත්තට වැඳලා විහින්දි කාර් එකට ගොඩ වුනා. ගෙදරින් පිටත් වෙලා වංගුව ගන්නකන්ම එයා අම්මට අත වනනවා. ගෙදරින් පිටත් වෙලා වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ
"තාත්තේ.. අන්න දේදුන්නක් පායලා..."
"ඇත්ත නේන්නම්"
දුම්රිය ස්ථානයට ඉහලින් අහසේ ලස්සනට දේදුන්නක් පායලා.
"අනේ තාත්තේ ෆොටෝ එකක් ගමුකෝ"

තාත්තා වාහනය නතර කරන කොටත් විහින්දි කාර් එකේ ඩිකියට රිංගලා කැමරාව අරගෙන ඉවරයි.
"ඔය ලෙන්ස් එක නං හරියන්නේ නැහැ. ඕක 70-300 mm. දුර තියන ඒවා ලං කරලා ගන්න එක"
"ඉතිං දේදුන්න දුරනේ තියෙන්නේ?"
"ඔව්. දුර ඒවා ලං වෙනවා විතරක් නෙවෙයි. ඒකෙන් පොඩි ප්‍රමාණයක් තමයි බලන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒත් අපිට ඕනේ මුලු දේදුන්නම ගන්න. ඒකට 18-55 wide angle ලෙන්ස් එක දාගන්න."
වාහනය නතර කරපු තැනට දේදුන්න හොදට පෙනුන හින්දා විහින්දි කාර් එක ඇතුලේ ඉදලම ෆොටෝ කීපයක් ගත්තා.

"තාත්තේ දේදුනු දෙකක්ම තියෙනවානේ"
"ඹව්මයි.. එක දේදුන්නකට පිටින් තවත් එකක් නේද?
"දුව දේදුන්න ගැන දන්නේ මොනවද?"
"දේදුන්න පායන්නේ වැස්ස වෙලාවට. ඒ වගේම උදේට නැත්තං හවසට. දේදුන්නට පාට හතක් තියෙනවා. 'රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉබ්බක් දකියි'. ඒ කියන්නේ රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දමි." විහින්දි එක හුස්මට කියාගෙන කියාගෙන ගියා.


විහින්දිගේ තාත්තට කියලා දෙන්ට මොකුත් නැහැ වගේ. දේදුන්න හැදෙන හැටි, වර්ණාවලිය වගේ දේවල් කියලා දෙන්නත් කියලා එයාට හිතුනා. ඒ වගේම දේදුන්න ගැන තව ටිකක් හොයලා බලන්නත් තීරණය කලා.
තාත්තා එයාට නිදහස් වෙලාවක දේදුන්න ගැන හෙව්වා.ඒ හැමෝම හොයන තැනින් තමයි. එයාත් ගූගල් තමයි පාවිච්චි කලේ. හැබැයි නිකම්ම "දේදුන්න" කියන වචනේ හරි "rainbow" කියන වචනේ විතරක් දාලා හෙව්වේ නැහැ. එහෙම හෙව්වම එන දේවල් ගොඩක් ම අවශ්‍ය දේවල් නෙවෙයි. ඇත්තටම එයාට ඕනේ වුනේ දේදුන්න ගැන විද්‍යාත්මක පදනමකින් ලියලා තියන ගොඩක්ම සංකීර්ණත් නොවෙන ලිපියක්. ඒකට එයා දාපු වචන ටික තමයි "scholarly articles on rainbow" කියන එක. හොයන්න යොදන key words වැදගක් වගේමයි එහෙම එන ප්‍රතිඵල වලින් හොදම එක තෝරගන්න එක. ඒ වගේ වෙලාවට අදාල වෙබ් අඩවිය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒකේ විශ්වාසනීය භාවය ගැන සෑහීමකට පත්වෙන්න ඕනේ. ඒ වගේමයි ඒ ලිපිය ලිව්වේ කවුද, කොයි කාලේ ඇතුලත් කල එකක්ද වගේ දේවලුත් වැදගත්. ගොඩක් වෙලාවට එයා කරන්නේ එන ලැයිස්තුවේ උඩම තියන හතරක් විතර යතුරු පුවරුවේ ctrl බොත්තම ත් එක්කම ක්ලික් කරන එක. එතකොට වෙනම කවුලු වල ඒවා පෙන්නනවා. එතතින් බලලා හොද එකක් තෝරාගන්න එක තමයි කරන්නේ.දේදුන්න ගැන හොයාගෙන යනකොට national geographic society වෙබ් අඩවියෙන් (https://www.nationalgeographic.org/encyclopedia/rainbow/)  හොද ලිපියක් හම්බ වුනා. එයා ඒක සිංහලට පරිවර්තනය කලා. මේ තියෙන්නේ ඒ ලිපියේ පරිවර්තනය...

දේදුන්න

දේදුන්න යනු ආලෝකය ජල බිංදු මත ගැටීම නිසා නිර්මාණය වන වෛයිවර්ණ ආරුක්කුවකි. සූර්යාලෝකය නරඹන්නාට ඉදිරියෙන් නිශ්චිත ආනතියකින් (අංශක 42) පතනය වීමෙන් සාමාන්‍යයෙන් දේදුන්න ක් දෘෂ්‍යමාන වේ. දැඩි මීදුම, මුහුදු රළ ආශ්‍රිතව මෙන්ම දිය ඇලි අසලද දේදුනු දැකිය හැකිය.
දේදුන්න යනු දෘෂ්ඨි මායාවකි. එය අහසේ නිශ්චිත ස්ථානයක සත්‍ය වශයෙන්ම නොපවතී. ඔබ සිටින ස්ථානයත්, සූර්යයා (හෝ වෙනත් ආලෝක ප්‍රභවය) දීප්තිමත්ව පවතින ස්ථානයත් මත දේදුන්නේ පෙනුම රදා පවතී. සාමාන්‍යයෙන් දේදුන්න දකින පුද්ගලයාට පිටුපසින් සූර්යයා හෝ වෙනත් ආලෝක ප්‍රභවය පවතී. සූර්යයාගේ සිට නරඹන්නාට ප්‍රතිවිරුද්ධ අන්තයේ (ප්‍රතිසූර්යය ලක්ෂ්‍යයේ) මූලික දේදුන්නක කේන්ද්‍රය පවතී.
දේදුන්න යනු ආලෝකයේ වර්තනයේ හා පරාවර්තනයේ ප්‍රතිඵලයකි. ආලෝක කිරණ වල දිශාව වෙනස් කිරීමට වර්තනය මෙන්ම පරාවර්තනය යන සංසිද්ධීන් දෙකම දායක වේ. කිසියම් පෘෂ්ඨයක් හෝ තරංග පෙරමුණක් මගින් 'වර්තනය' ට භාජනය වන තරංගයක් නැවීමට ලක්වන අතර 'පරාවර්තනය' වන තරංගයක් ආපසු හරවා යැවීම සිදුවේ.
ජල බිංදු තුලට ඇතුලු වන ආලෝකය වර්තනයට ලක්වේ. ඉන්පසුව ජල බිංදුවේ පසුපස පෘෂ්ඨයෙන් පරාවර්තනය වේ. මෙම පරාවර්තිත ආලෝක කිරණ ජල බිංදුවෙන් ඉවතට යනවිට නැවත වතාවක් විවිධ කෝණවලට වර්තනය වීමක් සිදුවේ.
ජල බිංදු වල වර්තනාංකය අනුව දේදුන්නේ අරය තීරණය වේ. කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට (උදා. වාතයේ සිට ජලයට) ගමන් කිරීමේදී කෙතරම් ප්‍රමාණයකින් නැවෙන්නේද යන්න වර්තනාංකය මගින් මනිනු ලැබේ. ඉහළ වර්තනාංකයක් සහිත ජල බිංදු මගින් සෑදෙන දේදුන්නේ අරය කුඩා වේ. ලුණු මිශ්‍ර ජලය සාමාන්‍ය පිරිසිදු ජලයට වඩා ඉහල වර්තනාංකයකින් යුක්ත වේ. ඒ හේතුවෙන් මුහුදු රළ ආශ්‍රිතව ඇතිවන දේදුන්න වැස්ස මගින් ඇතිවන දේදුන්ට වඩා කුඩා වේ.
දේදුන්න සත්‍ය වශයෙන්ම පූර්ණ වෘත්තාකාර වේ. ප්‍රතිසූර්ය ලක්ෂ්‍යය එහි කේන්ද්‍රය වේ. ගුවන් යානයක සිට නිරීක්ෂණය කරන්නෙකුට බොහෝ විට මෙම වෘත්තාකාර දේදුන්න දැකිය හැකියි. පොළව මත සිට නිරීක්ෂණය කරන්නෙකුට දැකිය හැකි වන්නේ ක්ෂිතිජයට ඉහළ කොටසේ වැසි බිංදු මගින් පරාවර්තනය වූ ආලෝකය පමණී. එක් එක් පුද්ගලයාට පෙනෙන ක්ෂිතිජය සුළු වශයෙන් වෙනස් වීම හේතුවෙන් පොළව මත සිට නරඹන කිසිම කෙනෙකු සත්‍ය වශයෙන්ම පූර්ණ දේදුන්න නොදකියි. එසේම එක් එක් පුද්ගලයාගේ ක්ෂිතිජය වෙනස් වීම නිසාත්, එක් එක් පුද්ගලයාගේ ප්‍රතිසූර්ය ලක්ෂය වෙනස් වීම නිසාත් කිසිම විට දෙදෙනෙකු එකම දේදුන්න නොදකියි.

වර්ණ

දේදුන්න ආලෝක වර්ණාවලියක්: රතු, තැඹිලි, කහ, කොළ, නිල් හා දම් අයත් වන වර්ණ සමූහයක එකතුවක් පෙන්වයි. "Roy G. Biv" යන නම දේදුන්නේ වර්ණ මතක තබා ගැනීමට පහසු ක්‍රමයකි. R- රතු, O-තැඹිලි, Y- කහ, G- කොළ,B- නිල්, I- ඉන්ඩිගෝ, V-දම් ( කෙසේ වෙතත් ඉන්ඩිගෝ යනු නිල් වර්ණයට ඉතා කිට්ටු සත්‍ය වශයෙන්ම හදුනාගත හැකි වරණයක් බව විද්‍යාඥයින්ගේ මතයයි)
සුදු ආලෝකය යනු දේදුන්නේ සියළු වර්ණ මිශ්‍ර කළ විට අපේ ඇස වටහාගන්නා ආකාරයයි. හිරු එළිය සුදු පැහැයෙන් දිස්වේ.
වැසි බිදු මතට මතට පතිත වන සූර්යාලෝකයේන් යම් ප්‍රමාණයක් පරාවර්තනය වේ. එකිනෙක වෙනස් කෝණ වලින් පරාවර්තනය වන සහ විවිධ තරංග ආයාම වලින් යුතු කිරණ එකතුවෙන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය සෑදේ. තවද මෙම වර්ණාවලිය විභේදනය වීමෙන් දේදුන්න ඇතිවේ.
නැනෝ මීටර 650 ක් පමණ වන දෘෂ්‍ය ආලෝකයේ ඉහළම තරංග ආයාමය රතු වර්ණය සතුව පවතී. එබැවින් එය දේදුනු වක්‍රයේ බාහිර කොටසේ දර්ශනය වේ. නැනෝ මීටර 400 ක් පමණ වන කුඩාම තරංග ආයාමය දම් වර්ණයට හිමි නිසා එයා සාමාන්‍යයෙන් දේදුනු වක්‍රයේ අභ්‍යන්තරයේ දිස්වේ.
දේදුන්නේ වර්ණවල අන්තයේදී සත්‍ය වශයෙන්ම ඒවා අතිච්ඡාදනය වීමක් සිදුවේ. මෙම නිසා දේදුන්නේ බාහිර ප්‍රදේශයට වඩා එහි අභ්‍යන්තරයේ , සුදු ආලෝකයේ වැඩි දීප්තියක් පෙන්වයි.
දෘෂ්‍ය ආලෝකය යනු දේදුන්නක එක් කොටසක් පමණී. වර්තනයට ලක්වූ අධෝරක්ත කිරණ දෂ්‍ය රතු වර්ණයට ඔබ්බෙන් පතනය වන අතරම පාරජම්බුල කිරණ දම් පැහැයට ඔබ්බෙන් පතනය වේ. එසේම ගුවන්විදුලි තරංග (අධෝරක්ත කිරණ වලට ඔබ්බෙන්), x කිරණ (පාරජම්බුල කිරණ වලට ඔබ්බෙන්), සහ ගැමා කිරණ (x කිරණ වලට ඔබ්බෙන්) ඒ අතර වේ. දේදුන්නක ඇති මෙම නොපෙනෙන කොටස අධ්‍යයනය කිරිමට විද්‍යාඥයෝ වර්ණාවලීමාණය නැමැති උපකරණය භාවිතා කරති.

දේදුන්නේ විවිධත්වය

හිරුට මුහුණලා ඇති දේදුන්නේ ප්‍රතිවිරුද්ධ අවකාශය බොහෝ විට දීප්තිමත් වේ. නිරීක්ෂකයා හා සූර්යයා අතර ප්‍රදේශය වැසි හෝ පොදවැසි ඇතිවීම හේතුවෙන් මේ දීප්තිය ඇතිවේ. පරාවර්තනයට භාජනය නොවී වැසි බිදු හරහා ගමන් ගන්නා ආලෝකය මගින් මෙම දීප්තිය ඇතිවේ. ශූන්‍ය ඝනයේ දීප්තිය ලෙස මෙය සමහර විද්‍යාඥයෝ හදුන්වති.

ද්විත්ව දේදුන්න

සමහරවිට නරඹන්නෙකුට ද්විත්ව දේදුන්නක් දර්ශනය විය හැකිය. මෙම සංසිද්ධියේදී දුර්වල දෙවන දේදුන්න මූලික දේදුන්නට ඉහලින් පතනය වේ.
වැසි බිදු තුලදී ආලෝක කිරණ දෙවතාවක් පරාවර්තනය වීමෙන් ද්විත්ව දේදුන්න ඇතිවේ. දෙවන දේදුන්නේ වර්ණාවලිය කනපිට දිස්වේ. එනම් රතු වර්ණය වක්‍රයේ ඇතුල් පැත්තට වන විට දම් වර්ණය වක්‍රයේ පිටත මායිමට වන ලෙසිනි.

ඉහළ ගණයේ දේදුනු

ආලෝකය වැසිබිදු තුලදී විවිධ කෝණ වලින් පරාවර්තනය විය හැකිය. දේදුන්නක ගනය යනු එහි පරාවර්තනය වන අංකයයි. (ප්‍රාථමික දේදුන්න යනු පළමු ගණයේ දේදුන්නයි, ද්විත්ව දේදුන්න යනු දෙවන ගණයේ දේදුන්නයි) ඉහළ ගණයේ දේදුනු නරඹන්නාට එය සූර්යයාට මුහුණලා මෙන්ම පසුපසින්ද දිස්වේ.
උදාහරණයක් ලෙස ත්‍රිත්ව දේදුන්නක් ඇති වන්නේ හිරුට මුහුණලාය. ත්‍රිත්ව දේදුනු තුන්වන ගනයේ දේදුනු - එනම් තුන්වන පරාවර්තන දේදුනු ය. එහි වර්ණාවලිය ප්‍රාථමික දේදුන්නක වර්ණාවලියම වේ.  

තුන්වන ගනයේ දේදුනු දැකීමට අපහසු වීමට ප්‍රධාන හේතු තුනක් බලපායි. පළමු වැන්න නම්, එය නැරඹිය යුතු වන්නේ හිරු දෙස බලාගෙන වීමයි. එහි කේන්ද්‍රය ප්‍රතිසූර්ය කේන්ද්‍රය නොව සූර්යයාම වේ. දෙවැන්න නම් ත්‍රිත්ව දේදුන්න ප්‍රාථමික හා ද්විත්ව දේදුනු යන දෙකටම වඩා බොහෝ සෙයින් දුර්වල වීමයි. අවසානයේ දි මෙම දේදුන්න ප්‍රාථමික හා ද්විත්ව දේදුනු වලට වඩා බොහෝ පුළුල් වේ.
හතරවන ඝනයේ දේදුනු ඇති වන්නේ ද හිරුට මුහුණලායි. එය තෙවන ඝනයේ දේදුන්නට ද වඩා බොහෝ සෙයින් දුර්වල හා පුළුල් වේ.
විද්‍යාගාර තුලදී විද්‍යාඥයින් 200 වැනි ගනයේ දේදුනු පවා අනාවරණය කරගෙන ඇත.

නිවුන් දේදුනු

නිවුන් දේදුනු යනු එකම අන්තයක් සහිතව විභේදනය වුන දේදුනු දෙකකි. විවිධ ප්‍රමාණයේ සහ හැඩයේ ජල බිංදු සහිත වාත ස්කන්ධ වෙත ආලෝකය පතනය වීමෙන් නිවුන් දේදුනු සැදේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ විවිධ ප්‍රමාණයේ හා හැඩයේ ජල බිදු සහිත වැසි වළාකුලු තුලදීය.

- නිවුන් දේදුන්නක් සහ ද්විත්ව දේදුන්නක්- ඡායාරුපය අන්තර්ජාලයෙන් -
___________________
අධි සංඛ්‍යාත දේදුනු, පරාවර්තන දේදුනු, පරාවර්තිත දේදුනු, රප්ත දේදුනු, සඳ දේදුනු, මිහිදුම් චාප, දේව කතා තුල ඇති දේදුනු, දේදුනු කොඩි යනාදී ලෙසට තව දුරටත් මෙම ලිපිය ඉදිරියට ගලා යන අතර ඒවා පිළිබදව වැඩි විස්තර අවැසි කෙනෙකුම ඉහත ලිපිය පරිශීලය කරන මෙන් ඉල්ලමි.

Thursday, October 11, 2018

Google ට පිස්සු


කට්ටියම ගැටබරු දේවාලය වන්දනා කරගෙන ඇවිත් වාහනයට ගොඩවුනා. ඊළගට යන්න තියෙන්නේ කිරුවානා ඇල්ලට. මේ තැන විහින්දිගේ තාත්තා හොයාගත්තේ ගූගල් මැප් එකෙන්මයි. එයා යන තැන් ඒ පැතිවල පාරවල් දිගේ බලාගෙන ගිහින් ලග පාත තව තව බලන්න තියන තැන් හොයාගන්නවා. කිරුවානා ඇල්ලත් ඒ වගේ තැනක්. ගොඩක් අය යන්නේ නැති වැඩිය ප්‍රසිද්ධ නැති තැනක්.
කොහොම හරි ඇවිත් ඊළග තැනට සිතියමෙන් පාර බැලුවම තමයි වැඩේ. විනාඩි 45 ක දුරක්. හැබැයි බැලුවම නං විනාඩි 10 ක විතර දුරකින් යන්න පුළුවන් වගේ. ලගින්ම පාරකුත් තියෙනවා. කහපාටින් තිබ්බට යන්න පුලුවන් කියලා පෙන්නන්නේ නැහැ. එතන්ට පාර ඇදලා දාලා හැදුවත් ගන්නෙම නැහැ.



ඕනේ එකක් කියලා තාත්තා වාහනය පනගන්නගෙන ඉදිරියට ගියා. ඌරුබොක්ක හංදියෙන් කෙලින්ම යන්න කිව්වට ‘ඕනේ එකක් වෙද්දෙං ’ කියපු එයා එතනින් දකුණට හැරෙව්වා. කිලෝමීටර හතරක් පහක් යනකන්ම මැප් එක පිස්සුවෙන් වගේ දැගලුවා. අන්තිමට කොහොම හරි පාර පෙන්නන්න ගත්තා. දැං ඕන්න දිය ඇල්ල තියන තැනට කිට්ටුයි. හැබැයි විනාඩි හතලිස් පහක් කිලෝමිටර විස්සක් කිව්වට කිලෝමීටර පහ හයක්  විනාඩි දහයක් විතර තමයි ගියේ. අනික ප්‍රධාන පාරෙමයි.


“ගූගල්ට පිස්සු”

මහ පාරේ ඉදලා දිය ඇල්ලට පාරක් පෙන්නන්නේ නැහැ.  පාර අයිනෙන් වාහනය නකර කරපු තාත්තා එතන හිටපු මාමා කෙනෙක්ගෙන් මේ ළග පාත දිය ඇල්ලක් තියෙනවා ද කියලා ඇහුවා.
“දිය ඇල්ලක් නං තියෙනවා. අර පාර දිගේ යන්න ඕනේ. හැබැයි කාර් එකකට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ”
පුංචි කොන්ක්‍රිට් පාරක්. තේ වතු මැද්දෙන් තියෙන්නේ. ‘ඒකත් ඕනේ එකක්’ කියපු තාත්තා ඒ පාර දිගේ කාර් එක අරන් ගියා. පාර ගොඩක් පටුයි. වංගු ගොඩයි. හෙමිහිට හෙමිහිට දැන් ඉස්සරහ යනවා. තේ වතු අතරේ ගෙවල් එහෙම තියෙනවා. මිනිස්සුත් යනවා එනවා. කිලෝමීටර යක් විතර ගිහින් ආයෙම කෙනෙක්ගෙන් පාර ඇහුවා. “ඉස්සරහින් පහලට යන්න. වාහනය මෙතන දාලා යන්න. තව කිලෝමීටර බාගයක් විතර පාර තියෙන්නේ”.
එතන වාහනය දාලා කට්ටියම පයින් ගියා. ඒ වුනාට ඒ පාරෙත් කාර් එක ගේන්න තිබ්බා කියලා තාත්තා කිව්වා. ඉන්දියන් ඇල්ටෝ ජපන් කාර් වලට වැඩිය ගොඩක් උසයිනේ.
 ඒ ටික කොහොම කොහොම හරි ගිහින් තවත් මීටර දෙතුන් සීයක් පාරක් නැති වතු මැද්දෙන් යන්න වුනා. එක තැනක පස් කඩා වැටිලා අඩි පාරක් වත් නැහැ. එතන්දි පොඩි ඇඩ්වෙන්චර් ටුවර් ගතියක් පෙන්නගෙන යන්න වුනා. කොහොම හරි තුන්දෙනා ඇල්ලට කිට්ටු කලා. ඒත් ගොඩක්ම ලගට ගියේ විහින්දියි තාත්තයි විතරයි.
කිරිවානා ඇල්ල ලගට ගිහින් ඇල්ලේ ලස්සන බල බලා හිටියේ විහින්දියි තාත්තයි දෙන්නා. අම්මා ඒ ළගටම ආවේ නැහැ. මොකද ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරලා යි එතනටම යන්න තිබුනේ. 


කිරුවානා ඇල්ල

වතුරට බහිනවා නම් තවත් ටිකක් අමාරුයි. කාත් කවුරුවක් නැති පැත්තක එහෙම අනතුරුදායක තැන්වලට දරුවත් එක්ක යන්න බැහැ කියලා හිතපු හින්දා එයාලා ආපහු එන්න ගත්තා.

ඔන්න දැං අම්මා ඉස්සරලම විහින්දි මැදින් තාත්තා පිටිපස්සෙන්ම එනවා.  එකපාරටම තාත්තා නතර වෙලා එයාගේ කකුලේ ඇගිලිකරු අතරින් දෙයක් ගත්තා.
“මෙන්න යාලුවෙක්”
“අම්මේ......... කූඩැල්ලෙක්........”
“ඈ..........”
එතනින් පස්සේ මොනා උනාද දන්නේ නැහැ. එනකොට තිබ්බ අමාරුව කොහෙන් නැති වුනාද? කොහෙන් හයියක් ආවද කියලා නං තේරුනේ නෑ. අම්මගෙයි දුවගෙයි මැරතන් එක ඉවර වුනේ කොන්ක්‍රීට් පාරටම එනකං දුවගෙන ඇවිල්ලා.  
ඔන්න ඉතිං දෙන්න හති අරිනකං ඉදලා වාහනයට ගොඩ වුනේ ඊළඟ තැනට යන්න. ඒ තමයි මඩුවන්වල වලව්ව. එතනට යන්න ඌරුබොක්ක, කෑල්ල හංදිය හරහා විනාඩි 55 ක ගමනක්. ඒ වෙනකොට වෙලාව එකොළහයි. වාහනය ප්‍රධාන පාරට දාලා ඉස්සරට ඇදුනා. ෆෝන් එක ඉස්සරහ වීදුරුව ගාව සවි කරලයි තිබුනේ මැප් එකත් ක්‍රියාත්මක කරලා.
එක පාරටම pop-up මැසේජ් එකක්. Maduwanwala walawwa close at 12.00. කෙලියයි. මඩුවන්වල වලව්ව 12 ට වහනවලු. වෙන්නත් බැරි නෑ. සෙනසුරාදානේ. පුරාවිද්‍යාවටද දන්නැ අයිති. කතා කරලා අහන්න නොම්බරය හොය හොය ඉන්නත් වෙලාවක් නැහැ. බැරි වෙලාවත් ඒක ඇත්ත කිව්වොත්? එතන්ට යනවා කියලා පෙන්නන්නේ 11.56 ට. හිත හිත ඉන්න වෙලාවක් නෑ. ඇත්ත උනත් බොරු වුනත් දැන් කරන්න තියෙන්නේ එකයි.
“අම්මයි දුවයි පටි තද කර ගත්නවද පොඩ්ඩකට”
“අපි සීට් බෙල්ට් දාගෙන තමයි ඉන්නේ... ඇයි මොකෝ?”
“පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙයි... ගනන් ගන්න එපා...”
පාර වංගු වැඩියි. එහෙම කියලා බෑ. වාහනය ඉගිලෙන්න ගත්තා. වංගු හරවන කොට පිටිපස්සේ සීට් එකේ හිටපු විහින්දි ඒ කොනටයි මේ කොනටයි විසි වෙනවා. මුලු දුරෙන් බාගෙකට වැඩිය තියෙන්නේ කාපට් කරලා නැති ගල්-තාර දාපු පාර. හිතාගන්න පුළුවන්නේ වෙන දේ ඒ වගේ වෙලාවට. හැබැයි තාත්තා වේගෙන් ගියාට එයාට පාලනය කරන්න පුළුවන් තරම් වේගෙන් තමයි වාහනය අරන් ගියේ.
කොහොම කොහොම හරි 11.40 වෙද්දි මඩුවන්වෙල වලව්ව ලග වාහනය නතර කලා.

වලව්ව වටේ ඇති තාප්පයේ පිවිසුම් ගේට්ටුව

තුන්දෙනාම අඩිය ඉක්මන් කලේ 12 ට කලින් එතන්ට යන්න ඕනේ හින්දයි. ඒත් එහෙම ලකුණක් වත් නෑ. හැමෝම පාඩුවේ යනවා එනවා. තාත්තා කලේ මුලින්ම එතන හිටපු මාමා කෙනෙක්ගෙන් දොළහට වහනවද කියලා අහපු එක. අනේ නැහැ. අපි වහන්නේ හවස පහට. අගහරුවාදා විතරක් වහලා. අනික් හැමදාම උදේ 8 ඉදලා හවස 5 වෙනකන්ම ඇරලයි තියෙන්නේ.

“ගූගල්ට පිස්සු”

හොද වෙලාවට විහින්දිටයි එයාගේ අම්මටයි මේ තාක්ෂණික කාරනා ගැන චුට්ටක් විතර තේරෙන්නේ. එහෙම වුනේ නැත්තං ඉතිං තාත්තට දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්ට වෙන්නේ.
“කවුරු හරි ගූගල්ට වැරදි තොරතුරු දාලා නේද තාත්තේ?.....”
“ඹව් දුවේ, ගෙදර ගිය ගමන් අපි ඒවා හදන්න කියලා Suggestions දෙමු”
“ආ.. අර දිය ඇල්ල ගාව තිබුන ජල විදුලි බලාගාරයත් google map එකේ තිබ්බේ නැහැ. ඒකත් දාන්න ඕනේ. මං එතන බෝඩ් එකේ ෆොටෝ එකක් ගත්තා. ඒකේ විස්තර තියෙනවා.”

මඩුවන්වෙල වලව්ව

ගූගල් තොරතුරු ගන්නේ ඒවා භාවිතා කරන අයගෙන්මයි. ඉතිං ගූගල් පිහිට පතන අපි ඒකට හරි දේවල් දුන්නේ නැත්තං හරි දේවල් අපි ගන්නේ කොහොමද? ඒ හින්දයි ඒ වගේ දේවල් දුටුව තැනදි නිවැරදි කරන්න ඕනේ. එහෙම එක්කෙනෙක් කිව්වට ඒක හැදෙන්නේ නැහැ. කිහිපදෙනෙක් නිවැරදි කලාම ඒක නිවැරදි වෙනවා.    
එයාලා යන එන තැන් ගැන ගූගල් දැනුවත් කිරීමේ පුරුද්ද විහින්දිගේ තාත්තට තියෙනවා. එයා යන තැන්වල පින්තූර ගූගල් ට දානවා. ඒ වගේම ඒ තැන් ගැන විස්තර ලියනවා. Ratings දානවා. දුරකතන අංක වගේ දේවල් ඇතුලත් කරනවා. නැත්තං නිවැරදි කරනවා. එහෙම කරන්නේ තවත් කෙනෙකුට ඒකෙන් වැඩක් වෙන හින්ද.
 “අපි ගොඩක් දේවල් හොයා ගන්නේ අනික් අය දාලා තියෙන හින්දා. අපි එහෙම ගනනවනං අපිත් අනික් අයට උදව් කරන්න ඕනේ” තාත්තා එහෙමයි හැම වෙලාවෙම කියන්නේ.
එයා තවත් දෙයක් කියනවා.
“තාක්ෂණය කියන්නේ අපිට වැඩ කටයුතු පහසු කර ගන්න උදව් කරගන්න පුළුවන් දෙයක්. ඒක නැතිව අද කාලේ ජීවත් වෙන්න අමාරුයි. ඒත් හැම දේම තාක්ෂණයට බාර දීලා පැත්තකට වෙන්නත් බැහැ. ඒක සමබරව පාවිච්චි කලොත් තමයි දිනන්නේ”

Monday, October 8, 2018

ගැටබරු දේවාලයෙන් කිරුවානා ඇල්ලට...


මාස ගණනකින් කොහේවත් එක්ක ගියේ නැහැ කියලා පහුගිය දවස් වල විහින්දි එයාගේ තාත්තත් එක්ක ටිකක් හිත හොද නැතිවයි හිටියේ. ඒත් එයා විභාගයක් කල හින්දා මොකුත්ම කිව්වේ නැහැ. තාත්තගේ විභාගේ ඉවර වුන ගමන්ම තමයි ඔන්න එයාගේ ඇරියස් කවර් කරන්න තාත්තට සිද්ද වුනේ.
කොහොම කොහොම හරි විහින්දි පහුගිය සෙනසුරාදා ඉරිදා දෙකේ අම්මයි තාත්තයි එක්ක ලොකු රවුමක් ගියා. ඒ හම්බන්තොට පැත්තේ. අද කතා කරන්නේ ඒ ගිය තැන් ගැන විස්තර ටිකක්. ගොඩක් අය ට්‍රිප් එහෙම යනකොට මේ තැන් වලටත් යන්න පුළුවන් වෙයිනේ. ඒකයි වැඩිපුරම කතා කරන්න හිතුවේ.
සෙනසුරාදා උදේ පාන්දර හතර හමාරට විතර තුන්දෙනාම ගෙදරින් පිටත් වුනා. ඉස්සෙල්ලම ගියේ ගැටබරු රාජමහා විහාරයට. ඒක තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මොරවක පහු කරලා ටික දුරක් ගියාම තියන කදු ගැටයක තමයි මේ පුරාණ දේවාලය තියන පන්සල පිහිටලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ මිනිස්සු ගොඩක් හාස්කම් තියනවා කියලා විශ්වාස කරන තැනක්.

ගමන් මාර්ගය නම් කිලෝමිටර දෙකක් විතර දුශ්කර මාර්ගයක්. සැහැල්ලු වාහනයකින් යනවා නම් කන්ද ඉහලටම යන්න පුළුවන්. ඒත් පටු පාර වගේම බෑවුම ගොඩක්ම තියෙන හින්ද ප්‍රවේශමෙන් පදවන්න ඕනේ. සමහර තැන්වල අංශක හැටකට විතර බෑවුමක් තියෙන තැනුත් තියෙනවා. ඒ හින්දා තිරිංග ගැන විශ්වාසය තියාගෙන ගියර් පද්ධතියේ පිහිටෙන් ධාවනය කරන එක නුවණට හුරුයි.


ඒ කදු ගැටය මැද පිහිටි ගල් ගුහාවක දේවාලය සහ බුදුමැදුර පිහිටලා තියෙනවා. බුදු පිළිමය විශාල සැතපෙන පිළිමයක්.  මුල් යුගයේ පිළිම ගෙයට පසු කාලිනව පියස්සක් සහිත කොටසක් ඉදිවී ඇති ලක්ෂණයි දකින්නට තියෙන්නේ. කොහොම වෙතත් එහි වහලයේ තිබුන චිත්‍ර අතරින් වෙනත් තැනක දකිනවාට වඩා වෙනස් විදියේ චිත්‍ර කිහිපයක් තිබුනා.
නවනාරි කුංජරය

සප්ත නාරි පල්ලැක්කිය

පංචනාරි ඝටය

නවනාරි කුංජරය,සප්ත නාරි පල්ලැක්කිය, පංචනාරි ඝටය ඒ අතර විශේෂයි. මේවා මෙලෙස වර්ණ ගන්වා ඇති තැන් දකින්නට අපහසුයි. පැරණි ලී කැටයම් වල මේම චිත්‍ර කැටයම් කර තිබෙනවා නම් දකින්ට පුළුවන්.
දේවාශිර්වාද ලබා ගැනීමට යනවා නම් උදේ දහටය තමයි දේව පූජාව තියෙන්නේ. බොහෝ දෙනෙක් යන්නේ බාර හාර වෙන්න වගේම ඒවා ඔප්පු කරන්නයි. සොබා දහමේ සුන්දරත්වය දකින්න කැමති අයටත් ගොඩක් හිත යන තැනක් වේවි.
විහින්දිලාගේ කට්ටිය නම් දේව පූජාව වෙනකන් ඉන්නේ නැතිව ආවේ ගමන පටන් ගත්තු තැනම තාම හන්දා. එතනින් ගිහින් හැරුනේ ඌරුබොක්ක පාරට. පාර දිගේ කිලෝමීටර කිහිපයක් ගිහින් පොඩි අතුරු පාරක ගිහින් තමයි එයාලා හොයාපු ඊළග තැනට යන්නේ
ඒ කුඩා දිය ඇල්ලක්. ගූගල් සිතියමේ නම් ඒක තිබුනේ කිරුවානා ඇල්ල කියලයි. ඒ ඔයේ නම තමයි කිරුවානා ඔය. දිය ඇල්ල ළගම හදලා තිබුන කුඩා ජල විදුලි බලාගාරයේ නම් ගමේ නම තිබුනේ මුගුනුමුල්ල කියලයි. ප්‍රධාන පාරෙන් හැරිලා ජීප්රථ පාරක කිලෝමීටරයක් විතර ගිහින් එතන ඉදලා තව කිලෝමීටරයක් විතර පටු පාරක් දිගේ ගිහින් අන්තිමට මීටර් දෙසිය පනහක් විතර අඩි පාරක් දිගේ ගිහින් තමයි දිය ඇල්ල ලගට ගියේ. ඇත්තටම දිය ඇල්ලට යන්න පාරක් නැහැ. මිනිස්සු වැඩිය යන එන තැනක් නෙවෙයි. ඒ වුනාට ලස්සනේ නං අඩුවක් පෙනුනේ නැහැ. 

විදුලිබලාගාරේ හදන්න කලින් නං ගොඩක් ලස්සනට තියෙන්න ඇති කියලා හිතුනා. මීටරයක් විතර විශ්කම්බය කියන බටයකින් දිය ඇල්ල මුදුනේ ඉදලා පහල තියන කුඩා විදුලි බලාගාරයට ජලය ගේනවා. ඒ හින්දා දිය ඇල්ලට වතුර ටිකක් අඩුයි. කොහොම වුනත් දිය ඇල්ල සම්පූර්ණයෙන්ම නැති නොකරපු එක නං වටිනවා. කවුරු හරි යන කෙනෙක් ඉන්නවා නං කලින් අනුමැතියක් අරන් ගියා නම් දිය ඇල්ලත් බලලා විදුලි බලාගාරයත් බලලා ම එන්න පුළුවන්. ඒකට අනුමැතිය ගන්න නම් දින තුනකට වත්  කලින් 0115238781 දුරකතනයට කතා කරන්න කියලා දැන්වීමක් එතන තිබුනා



Wednesday, August 22, 2018

අද දවස කවදද දන්නවද?


“අද අහස හරිම පැහැදිලියි. ඒ විතරක් නෙවෙයි ලස්සනට හඳ පායලා. ගොඩක් තරුත් පැහැදිලිව පේනවා.”
ගෙට ගොඩවෙන ගමන් තාත්තා එහෙම කිව්වේ දෙයක් හිතේ තියාගෙන.
“දුවේ එන්නකෝ... අපි හඳේ ෆොටෝ එකක් ගනිමු”
අලුතින් ගත්තු ලෙන්ස් එක මැක්‍රෝ ලෙන්ස් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් හින්දා හඳ ගොඩක් ලං කරලා පැහැදිලිව පින්තුර ගන්න පුළුවන් කියලා තාත්තා දන්නවා.
විහින්දිත් කර කර හිටිය වැඩේ දාලා පැනගෙන ආවේ ඒක බලන්න. කොහොම හරි තාත්තයි දුවයි එකතු වෙලා හඳේ ලස්සන ෆොටෝ එකක් ගත්තා.


හඳ එළිය පොළවට වැටුනට ඇත්තටම හඳේ එළියක් නැහැ. ඒකෙන් වෙන්නේ ඉර එළිය පරාවර්තනය කරන එක. ඉර එළිය වැටෙන පැත්ත තමයි අපිට හඳ විදියට පේන්නේ. හඳ එක එක දවසට එක එක හැඩයට පේන්නේ ඒකට ඉර එළිය වැටෙන පැත්ත වෙනස් වෙන හින්දා.
“තාත්තේ, පෝය ළගයි නේද? අද හඳ ටිකක් ලොකුයි.”
“ඔව් දුවේ, නිකිණි පුර පසළොස්වක පෝයට තව දවස් තුනයිනේ තියෙන්නේ”
දුව දන්නවද චන්ද්‍ර වර්ෂ ගැන. චන්ද්‍ර මාස ගැන?
ඔව් මං දන්නවා. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප්. දුරුතු කියන්නේ ජනවාරි... එතකොට නවම් කියන්නේ පෙබරවාරි... එහෙම නේද?
මාස ටිකේ නම් ටික නං හරි. ඒත් ඊට පස්සේ කියපු ටික ටිකක් වැරදි. ඇත්තටම දුරුතු මාසේ පටන් ගන්නේ ජනවාරි පළවෙනිදා නෙවෙයි. ඒ මාසේ අමාවක පෝය දවසට පස්සේ දවසේ ඉදලායි. පසළොස්වක කියන්නේ මාසේ හරි මැද දවස. මේ අවුරුද්දේ ඒ කිව්වේ 2018 ජනවාරි පළවෙනිදා තමයි දුරුතු පුර පසළොස්වක පෝය යෙදිලා තිබුනේ. ඒ කියන්නේ දුරුතු මාසේ පටන් ගත්තේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 15 විතර. මේ අවුරුද්දේ ජනවාරි 15 විතර වෙනකන් දුරුතු මාසේ. එතකොට ජනවාරි 15 විතර ඉදලා පෙබරවාරි මැද වෙනකන් නවම්. ඒ කිව්වේ මේ අවුරුද්දේ.
සදට එක වටයක් සම්පූර්ණ කරන්න දවස් විසිඅටක් විතර යනවා. ඒ කාලය කොටස් තිහකට බෙදලා තියෙනවා. ඒ එකක් තිථියක් කියලා හදුන්වනවා. හඳ පිරෙන කාලෙට කියන්නේ පුර පක්ෂය කියලා. ඒ වගේම හඳ ගෙවෙන කාලෙට කියන්නේ අව පක්ෂය කියලා. පුර පක්ෂයට තිථි පහළොවකුත්, අව පක්ෂයට තිථි පහළොවකුත් තියෙනවා.  
ඒ තිථි වල නම් මෙහෙමයි
  1 පෑලවිය
  2 දියවක
  3 තියවක
  4 ජලවක
  5 විසේනිය
  6 සැටවක
  7 සතවක
  8 අටවක
  9 නවවක
 10 දසවක
 11 එකොළොස්වක
 12 දොළොස්වක
 13 තෙළෙස්වක
 14 තුදුස්වක
 15 පසළොස්වක/ අමාවක
පුර පක්ෂයේ දින පටන් ගන්නේ පුර පෑලවිය ඉදලා. අන්තිම දිනය පුර පසළොස්වක. ඊට පස්සේ දවස අව පෑලවිය. එදා ඉදලා ඔය විදියටම දින ගනන් කරනවා. හැබැයි අන්තිම දියන පසළොස්වක නෙවෙයි අමාවක.   
“පොඩ්ඩක් ඉන්න තාත්තේ. ඒ කියන්නේ සෙනසුරාදා පුර පසළොස්වක නං අද බදාදා. ඒ කියන්නේ අද දොළොස්වක නේද” විහින්දි ඇගිලි ගනන් කරලා හදලා ඇහුවා.
“අන්න හරි, අද පුර දොළොස්වක”
තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සතියේ දවස් වලට කියන නම්
ඉරිදා- රිවි
සඳුදා- සදු
අගහරුවාදා- කුජ
බදාදා - බුද
බ්‍රහස්පතින්දා- ගුරු
සිකුරාදා- කිවි
සෙනසුරාදා- ශනි
“හරි. එහෙනම් මං අද දවස සිංහල ක්‍රමේට කියන්නද?” විහින්දි තාත්තගෙන් ඇහුවා
“හොඳයි එහෙනම් කියන්නකෝ බලන්න”
 “ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ නිකිණි මස පුර දොළොස්වක නම් තිථිය ලත් බුද දින”
තාත්තා හිනාවෙලා විහින්දිගේ ඔළුව අත ගෑවා.

Monday, August 6, 2018

වෙස් මුහුණු සහ රූකඩ


මහා යුද්ද කාලයක් ඉවර වුනා. ඒ කියන්නේ ඉතිං විබාගේ ඉවරයි. දැන් නිවාඩු කාලේ. කරන්න වැඩ ගොඩයි.
“තාත්තේ ගොඩක් දවසකින් කොහෙවත් යන්න බැරිවුනා. විබාගෙත් ඉවර නේ. යමුකෝ...”
විබාගේ ඉවර වෙන දවසේ හැන්දැවෙම ඒ වචන ටික පිටවෙන බව තාත්තා නම් දන්නවා.
“හරි හරි.. දැන් කොහෙද යන්න ඕනේ?”
“ගාල්ල ට යමුකෝ.. මට ගාලු කොටුව බලන්න ඕනේ”
පහුවදා නිවාඩු දවසක් වුන හින්දා වැඩිය කතාවක් නැතුව කට්ටිය වැඩේට ලැස්ති වුනා. උදේ හය විතර වෙද්දි කට්ටිය ගෙදරින් පිටත් වුනා.
අහුන්ගල්ල පහුවෙලා බලපිටියට ආවා. බලපිටිය ඉස්පිරිතාලේ පහුකරලා වංගුවක් ගන්න කොටම
“හෝව් හෝව්... නවත්තන්ටෝ... රූකඩ කෞතුකාගාරයක් පහුවුනා..”


ඉස්සරහ හන්දියෙන් වාහනය අපහු හැරුනා. ඇත්තටම රෑකඩ කෞතුකාගාරයක්. මීට කලින් එහෙම තැනක් තියනවා කියලා කවුරුවත්ම අහලාවත් තිබුනේ නෑ. විහින්දිගේ ඇස් දෙක හොදයි.

ලෝකයේ විවිධ රූකඩ කලා තියෙනවා. ඒත් අපිට රූකඩ කිව්වම මතක් වෙන්නේ නූල් රූකඩ. මේ නූල් රූකඩ කලාව ලංකාවට හදුන්වලා දෙන්නේ පොඩිසිරිනා ගුරුන්නාන්සේ එකදාස් අටසිට පනහේ විතර කාලෙදි. ඊට ඉස්සර ත් රූකඩ තිබුනට නාට්‍ය කලාවක් විදියට රූකඩ දකින්නට පුළුවන් වෙන්නේ එතුමාගෙන් පස්සේ තමයි. දැන් එතුමාගේ තුන්වන පරම්පරාවෙ උදවිය තමයි රූකඩ නාට්‍ය කලාව පවත්වාගෙන යන්නේ. දැනට ලංකාවේ ඉන්නේ රූකඩ නාට්‍ය කණ්ඩායම් දයයක් විතර පොඩි ගානක්. ශිල්පීන් සියයක් විතර. මේ ටික දෙනා තමයි මේ මහා ශිල්පය ඉස්සරහට ගෙනියන්න ඉන්නේ.


රූකඩ කපන්න ගන්නේ කදුරු ලී. ඒවා සැහැල්ලුයි වගේම ලෙහෙසියෙන් කපන්නත් පුළුවන්. ඒ වගේම වර්ණ ගන්නන්නත් ලේසියි. කදුරු ලීයෙන් මුහුණු, අත් පා කපාගත්තගෙන් පස්සේ ඉතිරි හරිය නිර්මාණය වෙන්නේ රෙදි වලින්. ලස්සන ලස්සන මෝස්තර දාලා ඒ නිර්මාණ කරන්නෙත් රූකඩ ශිල්පීන්ම තමයි. ඇත්තටම රූකඩ කිව්වට ඒක ශිල්ප ගොඩක එකතුවක්. මුහුණු කැපීම, රෙදිපිලි නිර්මාණය, නාට්‍ය වලට දෙබස් නිර්මාණය, දෙබස් කිම,  ගීත නිර්මාණය, සංගීත නිර්මාණය, ගීත ගායනය, වාදනය, වේදිකා සැකසීම, ආලෝකකරණය, ශබ්ද පරිපාලනය වගේ හැම දෙයක්ම කරන්නේ කණ්ඩායමේ ඉන්න ශිල්පීන් හත්අට දෙනාම තමයි.


එතන හිටියේ අයියා කෙනෙක්. විහින්දිට මේ හැම දේම කියලා දුන්නා. එයාට රූකඩ නාට්‍ය ගොඩක තියන රූකඩ බලන්න ලැබුනා. ඒ වගේම රූකඩ නටවන වේදිකාවක විදිය ත් බලන්න පුළුවන් වුනා. ඒ වේදිකාව විශේෂ වේදිකාවක්. වේදිකාවේ තට්ටු කීපයක් තියෙනවා. බලන් ඉන්න අයට පේන වේදිකාව පිටිපස්සේ ඉදලා තමයි රූකඩ නටවන අය ඒක කරන්නේ. දෙබස් කියන්නෙත් රූකඩ නටවන ශිල්පියාමයි.
විහින්දිට රූකඩ නටවන හැටිත් ඉගෙන ගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි එයාට රූකඩයක් නටවන්නත් අවස්තාව හම්බුනා. කණ්ඩායමක් කලින් වෙන්කරගෙන ආවනං මෙතන්දි රූකඩ නාට්‍යක් බලලත් යන්න තිබුනා. කොහොම වුනත් අහම්බෙන් ලැබුන අවස්ථාවෙන් විහින්දිට ගොඩක් ලොකු දැනුමක් වගේම අත්දැකීමකුත් ලැබුනා.
“ටිකක් ඉස්සරහට යනකොට තවත් වෙස්මුහුණු කෞතුකාගාරයකුත් තියෙනවා. ඒකත් බලලාම යන්න” එතනින් පිටවෙන කොට විස්තර කියලා දුන්න අයියා එයාලට කිව්වා.


තවත් කිලෝමීටරයක් දෙකක් යනකොට පාරේ දකුණු පැත්තේ ලොකුවට ආරියපාල Masks Museum කියලා බෝඩ් එක තිබුනා. එතන නතර කරන කොටම විහින්දි බැහැලා දිව්වේ ඒ පැත්තට. හිතාගන්නත් බෑ. ලංකාවේ විවිධ දේවල් වලට පාවිච්චි කරන වෙස් මුහුණු වර්ග ගොඩක් එතන තිබුනා. නැටුම් වලට ගන්න මුහුණු විතරක් නෙවෙයි. තවත් එක එක මුහුණු වර්ග තිබුනා. ඒක අයිති ව්‍යාපාරික ආයතනයට වුනත් ඇත්තටම ඒක තිබුනේ පාරම්පරික උරුමයක් ගැන ආඩම්බරයක් හිතෙන විදියට. ඉහල මාලයේ විවිධ මුහුණු මිලට ගන්නත් පුළුවන්. හැබැයි ඉතිං ඒකනං ලංකාවේ මිනිස්සුන්ටද විකුනන්නේ කියල හිතෙන තරම්ම ගොඩක් මිලයි. ඒත් ඒවා හදන හැටි බලනකොටනං ඒ මිල වටිනවා කියලත් හිතෙනවා. එයාලා මේවා හදන්නෙත් පෙනෙන්නමයි. ඒ හදන අය එක්කලා කතාබහ කරන්න වගේම විස්තර දැනගන්නත් යන අයට පුළුවන්.


“ඉක්මන් කරලා යමු. ගාල්ලට ගිහින් අදම එන්නත් ඕනේ”
කැටයම් කපන දිහා කට ඇරගෙන බලාන හිටපු විහින්දිව ඇදගෙන යන ගමන් තාත්තා කිව්වා.

____________________________________________

තවත් විස්තර දැනගන්න කැමති අයට සබැදි..