Monday, July 29, 2019

පැය තුනක නිවාඩුවක්

වෙනදා වගේම සති අන්තෙ පේරාදෙනිය විශ්ව විද්යාලෙට ගියේ මගේ පශ්චාත් උපාධියේ දේශන වලට සහභාගි වෙන්න. අපොයි. ..උදේ 9-12 ලෙච්චර් එක කැන්සල් වෙලා. කැමරාවත් කාර් එකේ තිබ්බා හොද වෙලාවට. කොහෙ හරි ඇවිදින්න යං කිව්වට කවුරුත් එකතු වුනේ නැහැ. ඒකත් හොදයි කියලා උඩ හන්තාන පාර දිගේ වාහනය පදවන් ගියා. මුලින්ම ගල් අම්බලම. ඊලගට මුස්ලිම් පල්ලියක්. ඒක වල් වැදිලා තිබ්බෙ. ඉස්සරහ ඉබි යතුරු දාලා. ඒත් ඇතුලෙ නං කවුරු හරි ඉන්නව වගේ තේරුනා.
එතන පහුකරලා ඉස්සරහට යද්දි හීන් දොල පාරක්.


තවත් ඉස්සරහට යද්දි ගල් පාලම.

එතනින් වමට හැරිලා ඉස්සරට ගිහින් ඊලග හන්දියෙන් හන්තාන පැත්තට හැරුනා. ලයිම මැදින් ගිහින් පාර ගියෙ හන්තාන කැලේට . ඒත් විශ්ව විද්යාල භූමිය.. වංගු කීපයක් යද්දි මුර කුටියක්. එතන වාහනය නතර කලා. එතනදි මගෙ විස්තර අහලා ලියා ගත්තා. විශ්ව විද්යාලයේ හැදුනුම්පත තිබුන හින්ද එතනින් එහාට යන්න පුලුවන් වුනේ. එතනින් දෙපැත්තකට යන්න පුලුවන්. දකුණට ගියාත් උඩ හන්තාන සංචාරක බංගලාව, ගුවන් විදුලි සම්ප්රේෂණ කුලුණ ලගට යන්න පුලුවන්. වමට ගියාම හන්තාන කන්දට යන්න පුලුවන්. ඒ මගදි දියපාරක් පොඩි දිය ඇල්ලක් හම්බෙනවා. මං දිය ඇල්ලට යන්න හිතුවා. විශ්ව විද්යාලයේ කෘෂි අංශයේ උෟරු ගොවිපල ලගින් කැලයට ඇතුල් වුනා. එතන ඉදලා අඩි පාර.

කැලය මැදින් ටික දුරක් යද්දි දොල පාර හම්බුනා. ඒකට බැහැල මූන කට හොදගෙන ආයෙම පිටත් වුනේ දොල පාර අයිනෙ තිබ්බ අඩි පාර දිගේ. කිලොමීටරක් විතර යද්දි මට යන්න ඕනෙ වුන තැනට ලගා වුනා. ගල දිගේ පහලට එන දියපාර කෙලවර වතුර ගන්න හදපු ඇනිකට් එක.
ඒක දකිද්දි තමයි ඉස්කෝලෙ ගිය කාලේ මතක් වුනේ. දවසක් එකොලහෙ පන්තියෙදි කොල්ලො හතරපස් දෙනෙත් ඉස්කොලෙ යන්නෙ නැතුව හන්තාන කන්ද නැග්ගා. ඒ නැගලා බැස්සෙ මෙතනින්. මේක දැක්කා විතරයි කට්ටිය ඇදුං ගලෝල තියලා පැන්නෙ නැතෙයි වතුරට. කොහෙම හරි මං ගොඩ ආවෙ වතුර සීතලට කකුල් ලොක් වෙලා. ආයෙ ඇවිදින්න පුලවන් වෙන්න සෑහෙන යුද්දයක් දෙන්න වුනා. එදා ආපහු ආව පාරෙ තමයි අද මං ගියෙ. ඒ කිලෝමීටර තුනක් විතර වාහනේ ගිහින්. කොල්ලො කාලෙ ඇවිදින එක ගානක් වත් නෑ.
කොහොම හරි හවස ලෙච්චර් එකට ඉන්ට මං ආපහු ආවා එතන ටික වෙලාවක් ඉදලා. මේ පින්තුර නං ‌‌ෆෝන් එකෙන් ගත්තු පින්තූර.. ඒවා දැම්මේ කියලා කවුරුවත් අමනාප ‌වෙන්න එපා..

Friday, July 19, 2019

සීයාගෙන් IOT පාඩමක්

අද සර්ට මහන්සියි වගේ
ඔව් පු‍තේ, අද උදේ නුවර ඉදලයි ආවේ. පැය 3 කට වැඩිය ඩ්‍රයිව් කරලනේ ඉන්නේ
සර්.. දැන් සීයාට කොහොමද?”
ඒ වචනේ ම‍ෙගේ පපුවට ඇන්නා වගේ දැනුනා.. 
උසස් පෙළ පන්තියේ ඉන්න පුතාලා හැමෝමත් මගේම දරුවෝ කියලා එයාලාම මට පෙන්නලා දුන්නා.

සීයාට දැන් ගොඩක් හොදයි. දැන් එයාට හොදට ඇවිදින්න පුළුවන්… “ 
හැබැයි ඒකත් දැන් ප්‍රශ්නයක් වෙලා. එයාට සිහි කල්පනාව ටිකක් මදි වෙලාවකට. ඒක හරියන්න තව ටික කාලයක් යයි කියලා වෙද මහත්තයා කිව්වා” 
අනික දැන් දවල්ට ගෙදර ඉන්නේ සීයයි ආච්චියි විතරයිනේ
ඉතිං සර්.. සීයා හදිස්සියේ කොහේ හරි ගියොත්… එයාට එන්න මතක නැති වෙයිනේ
ඒකට නං ඉතිං මං උත්තරයක් හොයාගත්තා.. මේ තියෙන්නේ. මේ තමයි මේ වෙලාවේ සීයා ඉන්න තැන ගූගල් මැප් එකෙන්.එයා කොහේ ගියත් මට මෙහේ ඉදලා එයා ඉන්න තැන බලා ගන්න පුළුවන්. ඒක පොඩි අත් ඔර්ලෝසුවක්. මට ඕනේ නං ඒකට කෝල් කරන්නත් පුළුවන්.

ෂා.. මරුනේ


මං දරුවොත් එක්ක සීයගේ ඔර්ලෝසුවේ විස්තර කතා කලා. සීයාගේ පින්තූර බැලුවා. ඔර්ලෝසුවෙන් පින්තූරෙකුත් ගත්තා මෙහේ ඉදලාම. ඒ ව‍ගේ තව උපකරණ ගැනත් ගොඩක් දේවල් කතා කලා. එදා පීරියඩ් එක ඉවර වෙලා බෙල් එක ගහන කල්ම ඒ දේවල් ගැනයි අපි කතා කලේ.
සර්.. ඒ මොනවා වුනත් අපේ අම්මට එහෙම ඔය ඔර්ලෝසුව ගැන කියන්න එපා.. හොදද? ඊට පස්සේ එයා ඕකක් මටත් බදියි.. ”  පන්තිය ඉවර වෙලා යන ගමන් එක දරුවෙක් කිව්වා.
එයාලගේ විෂය නිර්දේශයේ තියෙන IOT පාඩමෙන් ගොඩක් හරිය ඒ පීරියඩ් එකේදි කතා කලා කියලා සමහර විට ඒ දරුවෝ දන්නෙත් නැතිව ඇති. 

_______________________________
පසු සටහන
ලංකාවේ වැඩිහිටියෝ බොහෝ දෙනෙක් නොසිතූ ලෙස ආ ගිය අතක් නැතිව යනවා. සමහරු ගොඩක් මහන්සි වෙලා ආයෙම හොයා ගන්න කොට එයාලට ගොඩක් කරදර වෙලා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට එයාලට අමතන වීම් හින්දා. දෙයක් වුනාට පස්සේ දුක් වෙන්නේ නැතිව තාක්ෂණය පාවිච්චි කරලා කරන්න පුළුවන් දේ කරන එක හොදයි. 
දැන් නම් තාත්තට ගොඩක් හොදයි. කල්පනාවත් ටික ටික හරි යනවා. තව ටික දවසකින් එයා හොදටම හොද වේවි.
ඔන්න එතකොට තමයි ඊළග කාරනේ. තාත්තා කියන්නේ ගොඩක් ඇවිදලා පුරුදු කෙනෙක්. එයා දවසට කිලෝමීටර දෙක තුනක් කොහේ හරි ඇවිදිනවා. එක්කෝ පන්සලට, නැත්තං කඩේ ළගට යනවා පත්තරේ බලන්න. එහෙමත් නැත්තං ලොතරැයියක් ගේන්න ටවුමටම පයින් යනවා වෙලාවකට. ඒ එයාගේ හැටි. අපි කවුරුවත් එයාව පාලනය කරන්න යන්නේ නෑ. එහෙම කරන්නත් බැහැ. සමහර වෙලාවට කියලා යන්නෙත් නැහැ. මුරණ්ඩු කම වත් තරහකට වත් නෙවෙයි. ඒ එයාගේ හැටි. 
එක දවසක් එයා අඹතැන්නට පියින් ගිහින් එන වෙලාවක කලන්තයක් හැදිලා දන්න කියන කෙනෙක් ලග ඉදලා ත්‍රී විල් එකක් කතා කරලා ගෙදර එවලා තිබ්බා. ඒ වගේ කරදරයක් වුනොත් කාට කියන්නද?
ඒත් දැන් එච්චර බය නැහැ. තාත්තා යන එන තැන් එයාගේ අතේ බැදලා තියන GPS Tracker එක හින්දා ඕනෙම තැනක ඉදලා බලා ගන්න පුළුවන්. හදිසියේ බස් එකක නැගලා ගියත් උපකරණය දන්න කෙනෙක් දන්නවා මෙයාව Track වෙන කෙනෙක් කියලා. ඒ හින්දා වෙන අයගේ සැලකිල්ලත් සෙවිල්ලත් ලැබෙන්න පුළුවන්. 

අනික ඔක්කොටම වඩා හොද දේ තමයි තාත්තා මේකට ගොඩක් කැමති එක. එයා ඒක හරිම ආසාවෙන් තියාගෙන ඉන්නේ. මමත් දවසකට සැරයක් විතර ඒකට කතා කරනවානේ. 

මම මේ උපකරණය ගත්තේ රුපියල් අටදාහකට අතුරුගිරියේ තැනකින්. ‍ඒක දවස් දෙකකට වැඩිය බැටරි කාලයක් තියනවා. මොබිටෙල් එකෙත් මේ වගේම ඔරලෝසුවක් තියෙනවා. දරුවන් වෙනුවෙන්. ඒක රුපියල් හයදාහයි. හැබැයි ඒකේ බැටරිය දවසකට අඩුවෙන් තියෙන්නේ. ඩයලොග් එකේ තියෙනවා සුරතල් සතුන්ට දාන්න පුළුවන් කොලර් එකක්. ඒක වුනත් ඉනේ පටියකට වාගේ දාන්න පුළුවන්. ඒක රුපියල් දහ දාහක් වෙනවා. ඒ‍කේ දවස් හතරක් විතර බැටරි තියෙනවා. අන්තර්ජාලයේ හෙව්වොත් මේ වගේ උපකරණ ගොඩක් හොයා ගන්න පුළුවන්. ඒවා හදන්නේ අපේ කාර්යයන් පහසු කර ගන්න නම්, ඉතිං ඒවා පාවිච්චි කරන එක අපේ වැඩක්….

Tuesday, July 16, 2019

තාත්තාට සනීපයි


හැමදාම උදේට අම්මට කතා කරන එක මගේ පුරුද්දක්. වෙනදා වගේම එදත් උදේ අම්මට කතා කලේ පුරුද්දට. ඒත් එදා අහන්ට වුනේ හිත අවුල් වන කතාවක්

තාත්තගේ අතක් පණ නෑ වගේ පුතේ. ඇහැකුත් පුංචි වෙලා. කතාවත් පැටලෙනවා ව‍ගේ ..”

ඒක නං එච්චර හොද දෙයක් නෙවයි. පොඩ්ඩක් ඉන්නකෝ අම්මා කිව්ව මං අනිත් පැත්තට කතා කලේ ඩොක්ට පැතුම්ට.

ලකී අයියා.. පුලුවන් තරං ඉක්මනට ලොකු ඉස්පිරිතාලෙකට අරන් යන්න”



හොද වෙලාවට එදා මල්ලි ගෙදර හිටියා. මල්ලිගේ ගෙදර තියෙන්නෙත් මහ ගෙදර වත්තේ මයි. මල්ලිට කතා කරලා විස්තරේ කීවම ඒ වෙලාවෙම එයා ගියා. ඒ යනකොටත් තාත්තගේ කකුලකුයි අතකුයි පණ නැති වෙලා.

තාත්තට අංශබාගේ හැදිලා…

උදේ නවය විතර වෙනකොට තාත්තව නුවර මහ ඉස්පිරිතාලෙට ඇතුල් කරනවා. එතන ඉදලා හවස තුන විතර වෙනකල්ම හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදලා විවිධ පරික්ෂණ කරලා තමයි වාට්ටුවකට ඇතුල් කරන්නේ.

පහුවදා වෙනකන් මල්ලිට ඉන්න කියපු මං දවස් කීපයකට ඉන්න ලෑස්ති වෙලා පහුවදා පිටත් වුනා.



වාහනේ පැදගෙන මගට යනකොට මට ආරංචි වුනේ තාත්තගේ ටිකට් කපලා කියල. ඒක හිතට ලොකු සැහැල්ලුවක් වුනා. ටිකට් කපපු තාත්තව ගෙදර එක්කන් යන්න කියලා වාට්ටුව ලගට කාර් එක අරන් ගිය මාව කඩාගෙන වැටුනේ තාත්තා රෝද පුටුවේ ඉන්නවා දැක්කම.

මල්ලි රෝද පුටුවේ හිටපු තාත්තාව ව‍ඩාගෙන ඇවිත් කාර් එකෙන් තිබ්බා. තාත්තට මාව අදුනා ගන්නත් ටික වෙලාවක් ගියා.

අම්මයි තාත්තයි මල්ලියි මායි කාර් එක ඇතුලේ තනි වුනා. මොනවා කරන්නද හිතා ගන්න බැහැ. මේ තරං ලගින් අපි හතර දෙනා හිටියේ පොඩි කාලේ අම්මා තාත්තට තුරුල් වෙලා හිටියට පස්සේ වගේ. ඒ කාලේ දැනුන හැගීමක් මට දැනුනේ. ඒත් තාත්තා දැං ඉන්නේ මල්ලිගේ තුරුල්ලේ. මාව ගොඩක් අසරණ වෙලා. මොනවා කරන්න ද හිතා ගන්න බෑ.

තාත්තව ගෙදර එක්කන් යන්න බැහැ. පල්ලේකැලේ ආයුර්වේදෙට යමු”. මල්ලි කිව්වා. මං පල්ලේකැලේට යන්න වාහනය පදවන්න ගත්තා. ඒ යන අතරේ තමයි මල්ලිගේ නොනගෙන් කෝල් එකක් ආවේ. හරංකහවෙ වෙද මහත්තයෙක් ඉන්නවාලු. එයා අංශබාගේ හොද කරනවාලු.

වාහනය ආපහු හැරුණා. කටුගස්තොටින්, කුරුණෑගල පාරෙන් ගිහින් අරඹෙකඩේ හංදියෙන් බොක්කාවල පාරේ හරංකහව තැපැල් කන්තොරුව ලගට ගියා. 

අරඹේපොල බෙහෙත් ශාලාව” කියලා බොඩ් එකක් එතන ගහලා තිබුනා.

මේ බෙහෙත් ටික කරලා බලමුකෝ.. වෙද මහත්තයා කිව්වා…

මේ වෙද මහත්තයා තමයි අපේ අම්මට අංශබාගේ හැදුන වෙලාවෙ හොද කලේ…” අම්මට වෙද මහත්තයා මතක් වුනා. ඒක අපි හැමෝටම ලොකු සැහැල්ලුවක් වුනා.

කසාය, තෙල්වර්ග, ගුලි, කල්ක බෙහෙත් ගොඩයි. අපි එන ගමන් පූජාපිටියෙන් කසාය කිරාගෙනම ආවා.

දවසට දෙන බේත් වේල් ගණන දොළහකට වැඩියි. ඒ ටික හරියටම කරන්න ඕනේ.

ගෙදර ආව ගමන් තාත්තට කාමරය වෙනස් වුනා. සාලේ තිබුන ටීවි එක කාමරේට ගත්තා. අම්මට තාත්තට බණ අහන්න dish TV අරන් දීලයි තියෙන්නේ. ඒක Dialog TV වලට වඩා ලාබයි. මාසෙටම රුපියල් තුන්සිය තිහක බිලක් තමයි එන්නේ. ගොඩක් චැනල් තිබ්බට එයාලා පාවිච්චි කරන්නේ බෞද්ධයා, දිදුල, ශ්‍රද්ධා, රන්ගිරි කියන චැනල් හතර විතරයි.

තාත්තා වෙනදා හවසට බුදුගේ ගිලන්පස පූජාව තියලා පැයක් විතර වන්දනා කරනවා. ඒත් දැන් එයාට බුදුගෙට ගිහින් වන්දනා කරන්න විදියක් නැහැ. මම ගිලන්පස හදලා මල් කඩලා තාත්තට අත ගස්සලා බුුදු ගේ තැන්පත් කලා.

තාත්තේ, ගිලන්පස තැන්පත් කලා. ඔයා ඇදේ ඉදලාම වන්දනා කරගන්න”

තාත්තා හරි සතුටින් අත්දෙක එකතු කරලා වන්දනා කලා. ඒත් එයාට අත් දෙක එකතු කරන්න බැහැ කියලා අපිට තේරුනා. වම් අත හැම වෙලාවෙම පහලට කඩා වැටුනා. 



තාත්තට ලොකුම ප්‍රශ්නේ වුනේ වැසිකිලියට යන එක. ඒක තියෙන්නේ ගේන් එළියේ. ඒකත් කොමඩ් එකක් නෙවෙයි.  ඒ වෙලාවෙ හැටියට කරන්න පුලුවන් වුනේ ගෙදර තියන වේවැල් ලී පුටුවක වැල් ටික කපලා අරන් පුටුවක් හදා ගත්තු එක. මල්ලිටයි මටයි ගොඩක් කල් ඉදලා ඕනේ වුනාට ගෙදර ඇතුලේ නාන කාමරයක් හදන්න. තාත්තා කොහොම වත් කැමති වුනේ නෑ. එක සැරයක් මල්ලි ගෙදර බිත්තියට අල්ලලා වැසිකිලියක් හදලා පස්සේ තාත්තා ඒකත් කඩලා දාලා තිබ්බා.

ගෙවල් ඇතුලේ මොන ලැට් හැදිලි ද?” තාත්තා කිව්වේ එහෙමයි.

ගෙදර වත්ත පහළ තියෙන දොල පාරෙන් ගිහින් නාගෙන රෙදි හොදගෙන එන තාත්තට නාන කාමරයක් ඕනේ වුනේ නැහැ. ඒත් දැං එහෙම බෑ. තාත්ත ඉන්න කාමරේට අල්ලලා බාත්රූම් එකක් ඕනේ මයි. ඒත් එයා කැමැති කර ගන්න එපායැ.

තාත්තේ, දැන් අම්මට ගොඩක් වැඩනේ. රෙදි ගොඩක් හෝදන්න ඕනේ නේ. අපි එයාට රෙදි හෝදන මැෂින් එකක් ගෙනත් දෙන්න හිතුවා.”

ඒක හොදයි.. අම්මා පව්..” ඒ තාත්තා.

අම්මට දනිස් අමාරුවට බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයා කිව්වා පුළුවන් නං කොමඩ් එකක් පාවිච්චි කරන්න කියලා. එයාට ඒ ඔක්කොම දාලා ගබඩා කාමරේ දෙකට බෙදලා නාන කාමරයක් හදලා දෙන්න කියලා අපි හිතුවේ”

ඒක නං හොදයි. අම්මා ගොඩක් පව්. එයා ගොඩක් මහන්සි වෙනවා”  ඒ තාත්තගේ අම්මට තියන ලෙන්ගතුකම.

කොහොම හරි දවස් දහයක් යනකොට ගෙදර ගබඩා කාමරේ දෙකට බෙදලා තාත්තා ඉන්න කාමරේට දොරක් එන විදියට අංග සම්පූර්ණ නාන කාමරයක් හැදෙනවා. කොමඩ් එක, සින්ක් එක, ෆුල් ඔටොමැටික් වොෂින් මැෂින් එකක් විතරක් නෙවෙයි හොට් වොටර් ෂවර් එකක් එහෙමත් ඇතුව.



තාත්තට බෙහෙත් හදන එක තමයි අමාරුම වැඩේ වුනේ. බෙහෙත් වර්ග හොයන්න. ඒවා තම්බන්න එහෙම ගොඩක් වැඩ. පවුලේ හැමෝම වගේම ලගපාත අයත් ඒවට උදව් වුනා.අම්මට වැඩියෙන්ම උදව් කලේ මල්ලිගේ නෝනා.  තාත්තව බලන්න ගොඩක් අය ආවා. විහින්දිත් අම්මයි ආච්චියි එක්ක එක සති අන්තෙක ඇවිත් ගියා. ගමේ හැමෝම වගේ තාත්තව බලන්න ආවා. කබඩ් එකක එක පැත්තක් පිරෙන්න කිරිපිටි, බිස්කට්..

මටත් හැමදාම ඉන්න බැහැනේ. රස්සාවත් බේරගෙන ගෙදර දේවලුත් බලන්න එපායැ. ඒ හින්දා සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා තාත්තා ලග ඉදලා සදුදා පාන්දර තුනට විතර නැගිටලා ලෑස්ති වෙලා වාහනේ පැදගෙන වැඩට එනවා. කොහොම හරි උදේ හත හමාර වෙන්න කලින් මං ඉස්කෝලේ. රෑට හරියට නින්දක් නැති හින්දා ඒකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒත් තාත්තා වෙනුවෙන් ඒ දේවල් මට නං මහන්සියක් වුනේ නෑ. හොද වෙලාවට මල්ලිටත් සති පහකට ගමේ ඉස්කෝලෙට අනුයුක්තියට එන්න වෙලා තිබුනේ. ඒ හින්දා එයා අනිත් දවස් වල තාත්තා ලග හිටියා.

වෙද මහත්තයා බෙහෙත් දෙන්නේ සතියකට. සතියෙන් සතියට තාත්තව බෙහෙත් ගේන්න එක්කන් ගියා. මුල් සති දෙකේ එයාව ඔසවාගෙනයි ගියේ. ඒත් තුන්වෙනි සතියේ බෙහෙත් ගෙන්න යන්න එයාට ඇවිදගෙන යන්න පුළුවන් වුනා. අතත් ටිකක් විතර හොදයි. ඇගිලි වලින් වැඩ කරන්න බැරි වුනාට සරම ඇද ගන්න පුළුවන් මට්ටමට පත් වෙලයි තිබුනේ.

සිංහල වෙදකම කියන්නේ විශ්ව කර්ම වෙදකමක්. සති දෙකෙන් තාත්තා අල්ලගෙන ඇවිදිනවා.









තාත්තා හරි සතුටින් නේ ඉන්නේ” හිනා වෙලා ඉන්න තාත්තා දිහා බලාගෙන වෙද මහත්තයා කිව්වා.



ඒක ඇත්ත. අපි මේ දවස් ටිකේ තාත්තට ලෙඩ වෙලා කියලා දැනෙන්නවත් තිබ්බේ නෑ. වෙනදා එයා කරන කියන දේවල් හැම දේම එයාට කොහොම හරි කරන්න ලෑස්ති කලා. බණ අහන්න පිරිත් අහන්න දුන්නා. කවුරු හරි හැම වෙලාවෙම ලග හිටියා. එයා කරපු පිංකං මතක් කලා.  ඒ වගේමයි තාත්තගෙත් හිත ගොඩක් හයියයි. එයා ලෙඩ වෙලා කියලා පොඩ්ඩක් වත් දුක් වුනේ නෑ.



වෙද මහත්තයෝ ඔයා නං දෙවියෙක්. ඇත්තමයි. ….”

තාත්තා මේ තරං ඉක්මනට හොඳ වෙලා ඉන්නේ වෙද මහත්තයා හින්දා…”

-----------------------------------------------------------



මේ කතාව කියවපු කාට හරි මේ වෙදමහත්තයාව වුවමනා වේවි.



වෛද්‍ය ජයන්ත සමරවික්‍රම මහතා

අරඹේපොළ බෙහෙත් ශාලාව

හරංකහව

මහනුවර

දුරකතන අංකය - 072 4746494