Thursday, June 28, 2018

කොළඹ වරායේ රෑට ලස්සන


කොළඹ වාරය චෛත්‍යය හැමදාම යන්නට පුළුවන් තැනක් නෙවෙයි. වෙසක් පොහොය, පොසොන් පොහොය වගේ විශේෂ දිනවල විතරක් තමයි එතනට සාමාන්‍ය ජනතාවට යන්න ලැබෙන්නේ. මේ පොසොන් පොහොය දවසේ 

“වරාය චෛත්‍ය බලන්න යමුකෝ. අද යන්න දේවි” ඒ විහින්දිගේ අම්මා.
“ඒක නං හොද අදහසක්” හැමොම ඒ අදහසට කැමති වුනා.
පොසොන් පොහොය දවසේ හවස හය හමාරට විතර කට්ටිය ගෙදරින් පිටත් වුනේ වරාය චෛත්‍යයට ගිහින් ගෝල්ෆේස් එකටත් ගිහින් එන්න කියලා හිතාගෙන. 
පොසොන් පෝය දවස. ඒ හින්ද හැම තැනම දන්සැල්. කිලෝමිටයක් යනකොට දන්සල් තුන හතරක් හම්බෙනවා සමහර වෙලාවට. ගෙදරින් එලියට බහිනකොටම අයිස්ක්‍රීම් දන්සැල. ඒක සුමුදු සර්ගේ පන්තියේ ළමයි ටික. තව ටිකක් යනකොට බත් දන්සැලක්. මඤ්ඤොක්කා, සව්, කිරිකෝපි, සීනිසම්බල් පාන්, රොටී, තව නානාප්‍රකාර දේවල්. අපේ රටේ තරං මේ විදියට නිකං කන්ට බොන්ට දෙන රටක් වෙන කොහේවත් නැතුව ඇති.
දෙතුන් පලකින්ම එක එක දේවල් කාලා රෑ අට විතර වෙනකොට කට්ටියම වරාය චෛත්‍යය ලඟට ආවා. එතනත් මඤ්ඤොක්කා දන්සැලක්. තවත් බඩවල් වල ඉඩ තිබුන අය එතනිනුත් සප්පායම් වුනා.

කුලසිංහ කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ට ඉංජිනේරුවෙක්. කොන්ක්‍රිට් තාක්ෂණයෙන් එතුමා අතින් කෙරුන වැඩ බොහොමයි. වරාය චෛත්‍යයත් කුලසිංහල ඉංජිනේරු මහත්තයාගේ වැඩක්. ග්‍රහලෝකාගාරය, කලුතර චෛත්‍ය වගේ ඒවත් එතුමාගේ නිර්මාණ.

 නැවක් ලංකාවට එනකොට මුලින්ම චෛත්‍යයක් පෙනුනනං හොදයි කියලා කුලසිංහ මහත්තයට හිතිලා තියෙනවා. ඒ අනුව තමයි ආරුක්කු හැඩයට තියෙන කනු උඩ මේ චෛත්‍ය හදලා තියෙන්නේ. ඒක ඇතුල හිස්. චිත්‍ර ඇදලා තියෙනවා ඇතුලේ බිත්ති වල. ඇතුලට යන්න තට්ටු ගානක් උඩට පඩිපෙලකින් නගින්න ඕනේ.
මේ චෛත්‍ය හදන්න මුල්ගල තියලා තියෙන්නේ 1957 අවුරුද්දේ. වැඩ ඉවර කරන්න අවුරුදු 27 ක් ගිහින්. 1985 අවුරුද්දේ තමයි විවෘත කරලා තියෙන්නේ.

මේ චෛත්‍යය ඉහලට නගින කොට වරාය බොහොම අපූරුවට පේනවා. ඒ වගේම කොළඹ නගරයේ විශාල ප්‍රමාණයක් ලස්සනට දකින්න පුළුවන්. රාත්‍රියට ඒ සුන්දරත්වය ගොඩාක් වැඩියි. ඒ දැකපු ලස්සන කැමරා කාචයේ සටහන් වුන විදිය තමයි මේ පින්තූර ටිකේ තියෙන්නේ.




ලස්සන බල බලා හිටියට වෙලාව ගැන අදහසක් කාටවත් තිබුනේ නැහැ. අන්තිමට එතනින් පිටත් වෙලා ගෝල්ෆේස් පිට්ටනියට යන්න කියලා ගියාට වාහනය නවත්තගන්න තරං ඉඩක් තිබුනේ නැහැ. අන්තිමට ගොඩක් රෑවෙලත් හින්ද ගෙදර යන්න තීරණය කලා. කොහොම හරි තවත් දන්සැලකින් රෑට කාලා තමයි කටිටිය රෑ එකොලහ විතර වෙනකොට ගෙදරට ආවේ.

Sunday, June 24, 2018

ඔලුවක් තියේ නං දාගන්න...

විහින්දිගේ තාත්තා බයික් එකක් ගත්තේ  විහින්දි එයාගෙ අම්මගේ බඩේ ඉන්න කාලෙමයි. ඒක bajaj CT 100 බයික් එකක්. තාත්තගේ ඉස්කෝලේ මාමලා කට්ටියක්ම එකවැරම බයික් ගත්තු හින්ද එයාලට ගෙවන්න ගන්න හම්බ වෙලා. කොහොම හරි විහින්දි ඉස්කෝලේ පහේ පන්තියට යනකල්ම ගමන් බිමන් ගියේ අම්මයි තාත්තයි එක්ක ඒ බයික් එකේ තමයි.
බයික් එකේ කතා ගොඩයි. අද කියන්න යන්නේ විහින්දිට අවුරුද්කුත් මාසයක් විතර කාලේ වෙච්චි දෙයක්.
විහින්දි බයික් එකේ යන්න පුරුදු වුනේ මාස හතරේ විතර ඉදලා. එයාට මාස හයක් වෙනකොට එයා බයික් එකේ නුවර ආච්චි සීයා බලන්නත් ගියා.
විහින්දි හම්බවෙන්න ඉන්න කාලෙම එයාගේ අම්මගේ හොදම යාලු නැන්ද කෙනෙකුටත් මල්ලි කෙනෙක් හම්බවෙන්නයි හිටියේ. අම්මයි නැන්දයි දෙන්නම ගියෙත් එකම ක්ලිනික් එකට. කොහොම හරි විහින්දි ඒ මල්ලි බබාට වැඩිය මාසයක් කලින් මේ ලෝකේ බලන්න ආවා. ඒ මාමි වැඩ කරන්නේ පොලීසියේ. කොහොම හරි ඒ මල්ලි බබාගේ අවුරුද්දේ උපන් දිනේ දවසට එන්න කියලා විහින්දිටයි එයාගේ අම්මටයි තාත්තටයි ආරාධනාවක් ලැබිලා.
විහින්දිගේ අම්මටත් ඒ මදැයි. එදාට විහින්දිව හැඩ කරන හැටි හිත්න්නේ මාසෙක විතර ඉදලා. කොහොම හරි තැනකට ගියොත් එතන ලස්සනටම ඉන්නේ විහින්දි. ඒ එයාගේ අම්ම ඒ තරමටම ලස්සනට විහින්දිව සරසන හින්ද. එදත් ඉතිං වෙනදා වගේම ලස්සනටම සැරසිලා විහින්දි පාටි එකට ගියා. මල්ලි බබාට තෑගි ත් අරන් තමයි ගියේ. එයා එදා හොදට සන්තෝට වුනා. ගොඩක් නැටුවා. සින්දු කිව්වා. රස කෑම කෑවා.
විහින්දිට ගොඩක් සින්දු පුළුවන්. ගොඩක් ළමා ගීත කටපාඩමෙන් කියන්න එයා දන්නවා. එයා පොඩි කාලේ ඉදලම එයාව නැලෙව්වේ ළමා  ගීත දාලයි. තාත්තිගේ කොම්පියුටරේ ළමා ගීත ගොඩක් තිබ්බා. විහින්දි ඒවා අහන්න බලන්න හරි කැමතියි. ඒ සින්දු දාලා ඒවගේ විදියට නටන්න එයා ගොඩක්ම කැමතියි. විහින්දි ට නින්ද යන්නෙත් සින්දු දාල දුන්නම තමයි ඒ කාලේ.
- පින්තූරය අන්තර්ජාලයෙනි -

කොහොම හරි හැමෝම කාලා බීලා සතුටු වෙලා ආපහු එන්න පිටත් වුනා. දරුවන්ට නොගැලපෙන කිසිම දෙයක් නං ඒ පාටි එකේ තිබුනේ නැහැ. ඒ වෙලාට රෑ අටහමාරට නවයට විතර ඇති. කදාන පැත්තේ ඉදලා අතුරු පාරකින් තමයි ප්‍රධාන පාරට එන්න තිබුනේ. වෙනදා වගේම විහින්දි අවේ අම්ගෙයි තාත්තගෙයි අතරේ බයික් එකේ සීට් එක උඩ හිටගෙන. එයා එහෙම ඉන්නේ තාත්ගේ උරහිස් දෙකෙන් හයියයෙන් අල්ලෙගෙනයි. හිටගෙන යනකොට විහින්දිට වටපිට හොදට පේනවා. ඒ හින්ද  එයා යන්නේම එහෙමයි.
කට්ටිය අතුරු පාර දිගේ ආවා.  ඉස්සරහින් වම් පැත්තට ලොකු වංගුවක්. ඒ පැත්තෙන්ම ලොකු තාප්පයක්. වංගුවේ පාරේ වැලි තිබ්බා. ඒක කරුවලට පෙනුනේ නැහැ. වංගුව ගන්නවත් එක්කම බයික් එක ලිස්සලා ගිහින් පෙරලුනා.
මැද්දේ හිටගෙන හිටපු විහින්දිගේ ඔලුව  කෙලින්ම වැදුනේ තාප්පේ.
විහින්දි හයියෙන් කෑ ගහලා ඇඩුවා. බයික් එක පෙරලෙන සද්දෙට ඒ ළග ගෙදරක කට්ටිය දුවගෙන ආවා. බයික් එකේ සිග්නල් ලයිට් එකක් කැඩිලා තිබුනා ඇරෙන්නට කාටවත් හීරිල්ලක වත් හානියක් වෙලා තිබුනේ නෑ. මොකද තුන්දෙනාම ඒ වෙලාවේ හෙල්මට් දාගෙනයි හිටියේ. විහින්දිගේ ඔලුව කෙලින්ම තාප්පේ වැදුනට කිසිම හානියක් වුනේ නැත්තේ ඒ හින්දයි. “ඒත් ඒ වෙලාවෙ දරුවගේ ඔලුවෙ හෙල්මට් එක තිබුනේ නැත්නං?”
විහින්දිගේ ඒ කාලේ ගොඩාක් පුංචියි. ඒ පුංචි ඔලුවට හරියන්න හෙල්මට් කිසිම කඩේක තිබුනේ නැහැ. අන්තිමේදී පංචිකාවත්තම පීරලා තමයි විහින්දිට හරියන ෆයිබර් වලින් හදපු පුංචි හෙල්මට් එක එයාගේ තාත්ත හොයාගෙන තිබුනේ. හරියට එයාට අවුරුද්දක් වුන දවසේ ඉදලා තමයි ඒ හෙල්මට් එක දැම්මේ. ඊටත් කලින් එයා බයික් එකේ එක්කන් යන හැම වෙලාවෙම ගොඩාක් ගනකම තියෙන මැදට ස්පොන්ච් දාලා තිබුන කන්දෙකත් එක්කම වැහෙන තොප්පියක් තමයි එයාට දාගෙන ගියේ.
විහින්දිට අවුරුද්දක් දෙකක් වෙන කාලේ එයාගේ පුංචිඅම්මත් හිටියේ එයාලත් එක්කමයි.  පුංචිඅම්මා කිව්වට එයාත් පුංචි ම තමයි. එතකොට පුංචිත් ඉස්කෝලේ යනවා. එයා ඉස්කෝලේ අටේ පන්තියේ විතර ඇති. හතර දෙනාම ගමනක් යන්න වෙන වෙලාවට හරි විහින්දියි තාත්තයි විතරක් යන වෙලාවට හරි විහින්දි යන්නේ බයික් එකේ ටැංකිය උඩ.
බයික් එකේ ටැංකිය උඩ තමා අනාරක්ෂිතම තැන. හදිසියේ බ්රේක් පාරක් ගැහුවොත් ඉස්සරහ යන දරුවා උඩින් ගිහින් වැටෙන්නේ ඉස්සරහා රෝදේ ගාවට. ඒ රොදෙටම වුනත් යට වෙන්න පුළුවන් ඊළගට. ඒ වගේම වෙන වාහනයක හරි වෙන දේක හරි හැප්පුනොත් උඩින් ගිහින් එකේ වදිනවා දරුවාව. විහින්දිගේ තාත්තා ඒ දේවල් දන්නවා. ඒත් වෙන කරන්න දෙයකුත් නැහැ. තියෙන එකේ කට්ටියම යන්නත් එපායැ. එහෙම කියලා එයා අනතුරු වෙන විදියට දරුවව එක්කන් ගියෙත් නැහැ.
විහින්දිගේ තාත්තා කලේ තද බෙල්ට් එකක් අරන් සයිඩ් කන්නාඩි දෙක අතරට දාපු එක. එතකොට බබාට ඒක අල්ලගෙන යන්නත් පුළුවන්. හදිසියකදි බ්රේක් පාරකදි ඉස්සහට විසිවෙන එකත් ටිකක් මග ඇරෙනවා. ඒ වුනාට තවත් දෙයක්. දුර ගමනක් යනකොට මෙහෙම ඒවා අහන්න වෙනවා
“තාත්තේ... දොයි මතයි....”
සමහර වෙලාවට කියන්නේ නැතිවම බබාලට දොයිමත එනවා. විහින්දිගේ තාත්තට ඒකටත් උත්තරයක් තිබ්බා.  එයා බෑග් මහන කඩේකින් වෙනමම කියල හදාගත්තු පටියක් තිබ්බා. විහින්දිව තාත්තගේ බඩට හේත්තු කරගෙන එයාවයි තාත්තවයි දෙන්නම හිරවෙන්න පටිය දාලා තද කරගන්නවා ඒ වෙලාවට.
“හරි පැටියෝ.. තාත්තිට හේත්තු වෙලා දොයියාගන්න”
ඔන්න ඔහොමයි විහින්දි පොඩි කාලේ එයා එයාගේ තාත්තගේ බයික් එකේ ගියේ.
සමහර තාත්තලා අම්මලා දරුවො බයික් වල එක්කන් යන විදිය දකින කොට විහින්දිගේ තාත්තට හොදටම කේන්ති යනවා. සමහර වෙලාවට එයාලට කතා කරලා මෙහෙම අහනවා
“මොකක් හරි අනතුරක් වෙලා ඔය දෙන්න බේරිලා දරුවා මළාට කමක් නැද්ද?”
“පොඩි එකාව මරන්න ද ගෙනියන්නේ”
හෙල්මට් එක කියන්නේ බයික් එකට අයිති උපාංගයක්. බයික් එකකට නගින කොට ඒක දාගන්න ඕනේ. පොලිසියෙන් බේරෙන්න නෙවෙයි. තමාගේ ආරක්ෂාවට. ඒකත් නියම විදියට දා ගත්තොත් තමයි අනතුරකදි බේරුමක් තියෙන්නේ. සමහරු හිතන් ඉන්නේ පොලිසිය ඉන්න තැන්වලදි හෙල්මට් තිබ්බනං ඇති කියලා. සමහර පැතිවල හාමුදුරවන් වහන්සේලාත් බයික් වල පිටිපස්සේ සීට් එකේ වඩිනවා. ගමන් යන්න පහසුකම් නැති වෙලාවට ඒක ගැටලුවක් නැහැ. ඒත් උන්නාන්සෙලා හිතන් ඉන්නේ තට්ටේ කියන්නේ හෙල්මට් එක වගේ එකක් කියලා නං ඒක වැරදියි. පිටිපස්සේ වාඩිවෙලා යන්න පුළුවන් නං ඇයි හෙල්මට් එකක් දාන්න බැරි?
බයික් එකකින් යන්න වෙන හැම වෙලාවෙම ආරක්ෂාව ගැන හිතමු. මහපාරේ යන අනාරක්ෂිතම වාහනය තමයි මොටර් සයිකලය. ඒ හින්දා ආරක්ෂිත උපක්‍රම උපරිමයෙන්ම පාවිච්චි කරමු. ඒක යන කෙනාට වගේම මහ පාරේ යන අටත්, එයාගේ සමීපතම අයටත් සනීපයක්.
  

______________________________________________________
මේ කතාන්දර කියවන ඔයාලග‍ෙ අදහස් දැනගන්න විහින්දිගේ තාත්ත ගොඩක් කැමතියි. ඒ හින්දා ඔයාලට හිතෙන දැනෙන දේවල් කොමෙන්ටු ලෙස දාන්න කියලා එයා ඉල්ලනවා. ඒ වගේම මේ වගේ කතා කියවන්න කැමති නම් බ්ලොග් එක Follow කරන්න කියලත් එයා ඉල්ලනවා. 

Monday, June 18, 2018

ලංකාවේ මිනිස්සු හරි හොදයි


අල්ලපු ගෙදර මහා සංඝරත්නය උදෙසා මහා සාංඝික දායනයක්. මට කැස්ස හින්දා දානේ බෙදන්න යන්න හොද නැහැ කියලා හිතුන හින්ද එළියට වෙලා හිටියේ. එතකොටයි දැක්කේ හාමුදුරුවෝ පාවහන් තියලා තිබුන තැන කැඩුනු පාවහන් යුවලක් තියෙනවා. මටත් කොහේදෝ නැති පිං සිතුවිල්ලක් ආවා. කවුරුහරි හාමුදුරුවෝ එළියට වඩින්නැතැයි, මං බලාගෙන හිටියා. දානේ ඉවර වෙලා හාමුදුරුවරු පෙළට වැඩියා. මං බලාගෙන හිටියේ සෙරෙප්පු දෙක දිහා. අන්තිමට වැඩිය හාමුදුරුවෝ ඒ සෙරෙප්පු දෙක දාගත්තා.
මං හාමුදුරුවන්ට ලං වුනා.
"අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ කොයි පන්සලේද? "
මං අහපු එක ඒ හාමුදුරැවන්ට තේරුනේ නැහැ. උන්වහන්සේට සිංහල බැහැ කියලා මට තේරෙණා. උන්වහන්සේ විදේශික භිකෂූන් වහන්සේ නමක්.
"හාමුදුරුවනේ මගේ වාහනයට වඩින්න. මං ඔබවහන්සේ පන්සලට ඇරලවන්නම්" මං ඉංගිරිසියෙන් කතා කලා. උන්වහන්සේ හිනා වෙලා මගේ වාහනයට නැංගා.
යන ගමන් උන්වහන්සේ විස්තර කතා කලා. උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන හිමි නමක්. කැලණිය විශ්ව විද්‍යාලයේ. බුරුම ජාතික හිමිනමක්.
ලංකාවට ඇවිල්ලා ඉගෙන ගන්න අවුරුද්දකට හාමුදුරු නමකට ලක්ෂ අටක් විතර වියදම් වෙනවලු. ඒ හාමුදුරුවන්ට උන්වහන්සේගේ අම්මා තාත්තලු වියදම් කරන්නේ. එයාලා කරන්නේ ගොවිතැන් කියලත් කිව්වා. ඒ හින්දා ගොඩක් අමාරුයිලු.
උන් වහන්සේ අපේ රට ගැනත් කිවා.
"අපේ රටේ මිනිස්සු හරි හොදයි"
"පාරවල් වල වාහන යන විදිය හොදයි"
"අනිත් අයට ඉඩ දෙනවා"
"පාරවල් දිගට වාහන හිර කරගෙන තමන් විතරයි යන්න ඕනේ වගේ කියලා රන්ඩු කර ගන්නේ නැහැ."
"මිනිස්සු හරි සාමකාමියි"
"අනිත් අයට උදව් කරනවා"
ඔය වගේ ගොඩක් දේවල් කිව්වා.
ඇත්ත නේන්නම්.. මාත් කල්පනා කලා. ඇත්තටම අපේ රටේ මිනිස්සු ගොඩක් හොදයි. වෙලා තියෙන්නේ අපිට ඒ හොද පේන්නේ නැති එක විතරයි. කොහේ හෝ එක්කෙනෙක් වැරැද්දක් කලාම හිතන්නේ මුළු සමාජයම ඒ වැරැද්ද කලා වගේ. සියයකට එකෙක් වැරැද්දක් කලොත් අනුනවයක්ම හොදය. අපි හොද දකින්නට පුරුදු වෙමු. එතකොට සමාජය තව ගොඩක් ලස්සන වෙයි.

සපත්තු කඩයකට උන්වහන්සේ සමග ගිය මම උන්වහන්සේට ප්‍රිය පාවහන් යුවලක් තෝරා ගන්න යැයි පැවසුවා. උන්වහන්සේ එ්කට අකමැති වුනත් පසුව වර්ණයක් පැවසුවා. උන් වහන්සේ අසුන් ගන්වා එම එම පාවහන් යුවලට රැගෙන උන් වහන්සේට දුන්නා. උන් වහන්සේ මා හට ප්‍රකාශ කලේ එය පිළිගන්වන ලෙසයි.
මා අනුග්‍රහයක් ලෙසින් ලබා දීමට උත්සහ කල දෙය උන් වහන්සේ පූජාවක් ලෙසින් භාර ගත්තේ පුන්‍යානුමෝදනාවක් ද කිරීමෙන් අනතුරුවයි. "නුඹ වහන්සේටත් ධර්ම අධ්‍යාපනය ලැබීමෙන් පසු සාසනයට සේවය කිරීමට ලෝකයට සේවය කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා." දණ ගසා වැදගෙන ඉනන ගමන් මට එහෙම ප්‍රාර්තනා කලා.
උන්වහන්සේ නැවතිලා ඉන්න පෑලියගොඩ ජයතිලකාරාමයට උන්වහන්සේ ඇරලවලා පංසලේ නායක හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරලා මං ගෙදර ආවෙ.

සමාජයෙන් පිට ඉන්න කෙනෙකුට සමාජය පේන විදිය තමයි හරිම විදිය. ඇත්තටම අපේ රටේ මිනිස්සු හොදයි. ඒ කියන්නේ අපි හොදයි.

Sunday, June 17, 2018

විහින්දි ගෙ කැමරා පන්තිය

දවස් තුනක නිවාඩුවක්. ඒ වගේ එකක් ආවම ඉතිං කොහේ හරි ගමනක් යන එක එයාට පුරුද්දක් වෙලා. විහින්දිගෙ තාත්තා ටියුෂන් පන්ති කලාට ඒවා කොහොම කොහොම හරි එහාට මෙහාට කරගෙන ඇවිදින්න යන්න වෙලාට හදාගන්නවා.
මේ දවස ටිකක් විශේෂ දවසක් වුනා විහින්දි ට. ඒ එයාගේ අලුත් කැමරාව එයාට පාවිච්චි කරන්න ලැබෙන දවස හින්ද. කොග්ගල ගිහින් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලලා ඒ ළගම තියන ගුවන් හමුදා ඒකකයත් ගිහින් ගාලු කොටුවත් බලලා එන්න තමයි කලින් කට්ටිය කතා වෙලා හිටියේ. තාත්තිගේ ඉස්කෝලේට අලුතින් ආපු හේරත් මාමි කැමරා ගැන හොදට දන්න ඒ ගැන ඉගෙනගෙන තියන කෙනෙක් කියලයි එයාගේ තාත්තා එයාට කියලා තිබුනේ. හේරත් මාමිත් ගමන යන්න එනවලු එයාට කැමරාව කියලා දෙන්න.

සිකුරාදා හවස් වෙලා... “හෙට ගමන යන්නේ නැහැ. දකුණු පළාතේ උණ රෝගයක් පැතිරෙනවලු. ළමයි ගොඩක් දැනටමත් මැරිලලු” ඒ විහින්දිගේ අම්මගේ අවසන් තීරණය.
අම්මලා එහෙමයි. දරුවන්ට ගොඩක් ආදරෙයි. පුංචි හරි අවදානමක් තියෙනවා නං දරුවා ඒ අවදානමේ දාන්න එයාලා ලෑස්ති නෑ. තාත්තලා දරුවන්ට ඕනෙවට වඩා නිදහස දෙන්න හදනකොට ඒක සමබර කරන්නේ අම්මලා. තාත්තලා ආදරේ වැඩි හින්දා දරුවන්ට නිදහස දෙනකොට අම්මලා කරන්නේ දරුවන්ව තව තවත් නිදහස අහුරන එක. ඒ දෙන්නම කරන්නේ දරුවන්ගෙම හොදට තමයි. කොහොම හරි මේ දෙන්නගේ ම ආදරේ මැද්දේ හැදෙන දරුවෙක් හරිම වාසනාවන්තයි.
“ඔව් අපි දකුණු පළාතේ නොගිහින් ඉමු” විහින්දිගේ තාත්තත් ඒ කතාව අනුමත කලේ ඊට එහා කතා කරලා වැඩක් නැහැ කියලා එයා දන්න හින්දා.
“අපි වෙන කොහේ හරි යං”
ඊළග කරදරය ආවේ පහුවදා උදේ ඉදලා. උදේ පාන්දර ඉදලා ම වහින්න පටන් අරන්. නවතින්නේ නැතිව එක දිගටම වහිනවා. වහින වෙලාවට ඉතිං කැමරාවකට ආදරේ තියන කෙනෙක් නං කැමරාවක් එළියට ගන්නේ නැහැ. ඒත් විහින්දිගේ තාත්තට නං ගමන නවත්තන්න හිත නැහැ. අන්තිමේදි දවල් වෙලා එයාලා වාහනේට ගොඩවුනෙත් වැස්සෙමයි.
හේරත් මාමත් කැමරාව හයි කරන ට්‍රයි පෝට් එකයි තවත් ලයිට් වගයකුත් එහෙම අරගෙන වාහනයට නැංගා.
“දැන් කොහෙද යන්නේ?”
“මේ වැස්සේ එළිමහන් තැනකට ගියාට වැඩක් නෑ, මං කියන්නේ අපි ‘වෝටර් වර්ල්ඩ්’ එකට යමු.”
“කැමරාවක් පුරුදු වෙන්න නං හොද මදි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. යමු”
- විහින්දිගේ ඡායාරූපයක් -
කට්ටියම වොටර් වර්ල්ඩ් එකට ගියා. තෙමෙන්නේ නැති තැනකට ගිය හේරත් මාමි විහින්දිට කැමරාව ගැන ටිකක් කියලා දුන්නා. Zoom, focus කියන්නේ මොකක්ද කියල එයා දැන ගත්තා. තවත් දේවල් ගොඩක් දැන ගත්තා.
“මේ කැමරාව දුවට තාම ලොකු වැඩියි”
හේරත් මාමි විහින්දිගේ තාත්තට කිව්වා.
ඒක ඇත්ත. කැමරාවක් හරියට ඉගෙන ගන්නවා කියන්නේ උසස්පෙළ භෞතික විද්‍යාවේ ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන තවත් ටිකක් ඉගෙන ගන්නවා වගේ වැඩක්. මේ පොඩි දරුවා කොහොමද එච්චර දෙයක් කරන්නේ?
ඒත් විහින්දිගේ තාත්ත එක දෙයක් දන්නවා.
“දරුවෝ ඉගෙන ගන්නේ අපි හිතන විදියට නෙවෙයි. එයාලා ඉගෙන ගන්නේ එයාලගෙම විදියකට. ඒක ගොඩක් වෙලාවට ලොකු මිනිස්සුන්ට තෙරෙන්නේ නැහැ. දරුවො කරන සමහර දේවල් වලට ලොකු මිනිස්සු පුදුම වෙන්නේ ඒකයි” විහින්දිගේ තාත්තා එහෙම කියනවා.
- විහින්දිගේ ඡායාරූපයක් -
කොහොම හරි විහින්දි පොටෝ ගත්තා. කැමරාව අල්ලන් ඉදලා එයාගේ පුංචි ඇගිලි රිදෙනකන් පොටෝ ගත්තා.  පැය කීපයක් ෆොටෝ ගත්තු කට්ටිය හේරත් මාමවත් ගෙදරට ඇරලවලා ගෙදර වැස්සෙම ගෙදර ආවා.
“කට්ටියම එන්නෝ...... මෙන්න මහා ඡායාරූප ප්‍රදර්ශනේ පටන්ගන්නවෝ.......”
විහින්දිගේ ෆොටෝ ගෙදර රූපවාහිනියට දාලා කට්ටියම බැලුවා. හැමෝම හිනා වුනා. සතුටු වුනා.

මීට මාසෙකට විතර ඉස්සර දවසක මෙහෙම දෙයක් වුනා.
- විහින්දිගේ ඡායාරූපයක් -

“තාත්තේ මගේ ෆොටෝ එකක් ප්‍රින්ට් කරලා ගෙනත් දෙනනකෝ” “මගේ යාළුවෙක් ජපානෙ පදිංචියට යනවා. පන්තියේ හැමෝම එයාලගේ ෆොටෝ ගෙනත් දෙනවා. මතක් වෙන්න තියාගන්න කියලා”
“දුවේ, ෆොටෝ එකක් දුන්නොත් එකනේ. අපි එයාට හැමදාම ෆොටෝ යවන්න පුළුවන් දෙයක් කරමු. එයාගෙන් එයාගේ අම්මගේ හරි තාත්තගේ හරි ඊමේල් ඇඩ්රස් එකක් ඉල්ලගෙන එන්නකෝ.” එහෙම කියපු විහින්දිගේ තාත්තා එයාගේ ඊමේල් ඇඩ්රස් එකයි, වට්ස්ඇප් අංකයයි දෙකත් ලියලා විහින්දි අතට දුන්නේ යාලුවාට ගිහින් දෙන්න කියලා. පහුවදා විහින්දි ආවේ යාළුවාගේ අම්මගේ ඊමේල් ඇඩ්රස් එකත් අතේ තියන්.
“එන්නකෝ දුව, අපි වැඩක් කරමු. ඔයාට ඊමේල් ලිපිනයක් හදමු”
ගූගල් සමාගම ඊමේල් ගිණුම් හදන්න දෙන්නේ වයස අවුරුදු දහතුන පැනපු දරුවන්ට. විහින්දිටත් දැන් ඒ පහසුකම ගන්න වයසත් ගැටලුවක් නැහැ. විහින්දි එයාගේ තාත්තත් එක්ක එකතු වෙලා එයාට ඊමේල් ගිණුමක් හදා ගත්තා. එයාටම කියලා දුරකතන අංකයක් නැති හන්දා තාත්තගේ අංකය තමයි ඇතුලත් කලේ.
- විහින්දිගේ ඡායාරූපයක් -
ඒක හදලා යාලුවාට වචන කීපයක් ලියලා මේල් එකක් දාන්නත් විහින්දි අමතක කලේ නැහැ. දවස් දෙක තුනකින් එයාට උත්තරයකුත් ඇවිත් තිබුනා.
“තාත්තේ මං ගත්තු ෆොටෝ ටිකක් යාලුවාට යවන්න ඕනේ.....” අද විහින්දි එහෙම කිව්වා.
“ඉතිං යවමුකෝ.”
විහින්දි තාත්තත් එක්ක එකතු වෙලා ලස්සන ෆොටෝ කීපයක් තේරුවා. තාත්තා ලගදි දවසක ගෙනත් දීලා තිබුන සිංහල යතුරු පුවරුවත් හයි කරගෙන අමාරුවෙන් අමාරුවෙන් අකුරු අමුනලා විස්තර ටිකකුත් යාලුවාට ලිව්වා. ඒ විස්තරෙත් දාලා තෝරපු පොටෝ ටිකත්  දාලා එයා ඊමේල් එකකුත් දැම්මා.
“එදා යාලුවාට ෆොටෝ එකක් දෙන්නේ නැතිව මෙහෙම කරපු එක හරි ෂෝක්.....” විහින්දි හිනාවෙලා කිව්වා....


Friday, June 15, 2018

බබා ලොකු වුනාම කවුරු වගේ වෙන්න ද කැමති ?


ඒ අපි හැමෝම පොඩි දරුවෙක් හම්බුනාම අහන්න දෙයක් නැති වුනාම අහන ප්‍රශ්නේ තමයි “බබා ලොකු වුනාම කවුරු වගේද වෙන්න කැමති?” කියලා . මේ ප්‍රශ්නේ කී දෙනෙක් අපි පොඩි කාලෙත් අහන්න ඇද්ද? ඒ හැම වෙලාවෙම කටට ආව මොකක් හරි කියන්න ඇති. නැත්තං පුරුදු වෙලා තියන මොකක් හරි කියන්න ඇති.
ඔය ප්‍රශ්නේ ඉතිං හැමෝගෙන්ම වගේම විහින්දි ගෙනුත් කට්ටිය අහනවා. විහින්දි නං ඒ වෙලාවට කියන්නේ “ඩොක්ටර් කෙනෙක් වෙන්න කැමති” කියලා. ඒත් විහින්දිගේ තාත්ත නං එහෙම කියනවාට කැමති නැහැ. එයා එක දෙයක් දන්නවා.
“දරුවෝ මෙහෙම කියන්නේ මේ ලෝකේ ගැන දන්නේ නැති හින්ද”  ඒ විහින්දිගේ තාත්තට හිතෙන දේ.
“දොස්තර කෙනෙක් කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන එක ආකාරයක කෙනෙක් විතරයි. තව මොන මොන දේවල් කරන අය මේ ලෝකේ ඉන්නවාද? එයාලත් රටට සමාජයට මොන තරම් දේවල් කරනවාද? එයාලටත් මොන තරං පිළිගැනිමක් තියනවද? දරුවෝ ඒවා දන්නේ නැහැ. ඒකයි හැම දරුවෙක්ම දොස්තරලා, ඉංජිනේරුවෝ එහෙමත් නැත්තං ටීචර්ලා වෙන්න හදන්නේ”
ඉතිං එහෙම කියලා විහින්දිගේ තාත්තා විහින්දිව ළගට අරන් මේ ලෝකේ තියන රස්සා ටික කියලා දීලා ඒවා ඒවා කොලයක් අරන්  ලියන්න කිව්වේ නෑ
ඒත් එයා එක දෙයක් කලා. විහින්දිත් එක්ක යන ගොඩක් තැන් වලදි ඒ ඒ තැන් වල ඉන්න ඉහළ තනතුරු වල ඉන්න නැන්දලා මාමලා අදුනගන්න ඉඩ අරන් දුන්නා. එයාලා එක්ක කතා කරන්න වෙලාව හදලා දුන්නා. එයාල ඉගෙන ගත්තේ මොනවද? කැම්පස් ගියේ කොහෙද? මොනවද ඊට පස්සේ කලේ වගේ දේවල් එයාට දැන ගන්න ලැබෙන්නේ ඒ වෙලාවට.
දවසක් විහින්දි එයාගේ අම්මයි තාත්තයි එක්ක කතරගම ගිහින් එනවා. ඒ ආවේ හම්බන්තොට පැත්තෙන්.
“තාත්තේ.. හම්බන්තොට ලුණු ලේවාය බලන්න යමුකෝ”
එන ගමන් වෙලා  තිබුන හින්දා තාත්තා ගූගල් සිතියමෙන් බලලා හම්බන්තොට ලුණු ලේවායට පැදෙව්වා. ගේට්ටුව ගාව වාහනේ නතර කරලා ගිහින් සිකුරුටි මාමාගෙන් ඇහුවම එයාලගේ නම් ගම් ලියාන වාහනේ අංකේ එහෙමත් ලියාගෙන එයාලට ඇතුලට යන්න අවසර ලැබුනා. තාත්තත් ටිකක් දන්න හින්ද ලේවායේ තැන් ගැන යි ලුණු හැදෙන විදියයි විහින්දිට ඇස් දෙකෙන්ම බලා ගන්න  පුළුවන් වුනා. විස්තර අහගන්නත් පුළුවන් වුනා. කට්ටිය ලුණු හදලා පැකට් කරන පැත්තත් බලන්න ගියා. ඒ අතරේ
“අම්මයි දුවයි ඕවා පොඩ්ඩක් බලන්නකෝ... ”
එහෙම කියපු විහින්දිගේ තාත්තා කොහේදෝ ගියා. ටික වෙලාවකින් එයා ආවෙ එතන ටිකක් ඉහළ නිළධාරි මහත්තයෙක් එක්ක. ඒ එන ගමන් එයා මොනවදෝ ඒ මහත්තයත් එක්ක කතා කර කර ආවේ.
“දුවේ... මේ මාමා තමයි මෙතන වැඩ කරන නැන්දාල මාමලා හැමෝම බාර ව ඉන්නේ. එයා ඔයාට මෙතන ගැන ටිකක් කියලා දෙයි”
ඒ මාමා ලුණු ලේවායේ වැඩ කරන මාමාලා නැන්දලා කොච්චර ඉන්නව ද? එයාලා මොන මොන අංශ වලද ඉන්නේ? ඒ අංශ වල ඉන්න ලොකු ලොකු මාමාලා නැන්දලා කවුද? එයාලට ඉහලින් කවුද ඉන්නේ? මේ හැමෝම බලන්න තවත් ඉහලින් එක්කෙනෙක් ඉන්නවා එහෙම කියලා එතන පිරිස් කළමණාකරණය, ඒ වගේම කළමණාකාරණ ධූරාවලිය වගේ බරපතල දේවල් ටික එයාට තේරෙන විදියට කියලා දුන්නා. සමහර දේවල් විහින්දිට තේරුනේ නැති වුනාට එතන වැඩ කරන මාමලා නැන්දලා එයාලට හිතෙන හිතෙන දේවල් කරලා නෙවෙයි මෙහෙම ලුණු පැකට් ගෙදරට එන්නේ කියලා කියලා නං එයාට එදා තේරුනා.
-පින්තුරය අන්තර්ජාලයෙනි-
තවත් දවසක විහින්දිට රත්නපුරේ පැත්තේ කුඩා ජල විදුලි බලාගාරයක් බලන්න යන්න හම්බුනා. ඒ තැන ට පාර පෙන්නපු මාමිත් තාත්තා උගන්නන අක්කි කෙනෙක්ගේ තාත්තා. එතන්ට ගිය විහින්දිට ජල විදුලි බලාගාරයක වෙන දේවල් ඔක්කොම ඇස් දෙකෙන්ම දැකගන්ට පුළුවන් වුනා. ටර්බයිනය ඩයිනමෝව අල්ලන්න තරම් ළගට ගියා. ඔළුවට හෙල්මට් එකක් දාගෙන කන් දෙක වැහෙන්න මොකක්දෝ එකකුත් හයි කරගෙන එතන්ට ගියේ අමුතු ලෝකෙකට යන්න වගේ. ඒක විහින්දිට අලුත්ම අත්දැකීමක් වුනා. එතන ස්ථාන භාර නිළධාරි මාමා විහින්දිට ඒ හැම දෙයක්ම කියලා දුන්නා.
ඒ ඉවර වුනාම විහින්දිගේ තාත්තා ඒ මාමිගෙන් මෙහෙම දෙයක් ඇහුවා
“ඔබ තුමාට තවත් උදව්වක් කරන්න පුළුවන්ද? ඔබ තුමා ගැන ටිකක් මේ දරුවට කියන්න දෙන්න පුළුවන් ද?”
“ඔබ තුමා කව්ද? මොනවද මෙතන කරන්නේ? කොහොමද මෙතන්න ආවේ? මොනවද ඉගෙන ගත්තේ වගේ දේවල් ටිකක්?”
ඒක අහපු ඒ මාමිට හරිම සතුටුයි.
“කිසිම කෙනෙක් මීට කලින් මෙහෙම අහලා නෑ. එන්නකෝ දුව....” ඒ මාමි විහින්දි එයාගේ කන්තෝරු කාමරේට එක්කන් ගිහින් එතන තිබුන මේසේ ඉස්සර වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ එයා එයාගේ පුටුවේ වාඩි වෙලා එයා කවුද ඉගෙන ගත්තේ මොනවද? දැන් කරන්නේ මොනවද? විතරක් නෙවෙයි, මෙතන එයාට ඉහලින් ඉන්න නිළධාරින් කවුද? එහෙම කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕනේ වගේ ගොඩක් දේවල් කියලා දුන්නා.    
මේ ළගදිම දවසක ලංකාවෙම ජලය ගැන තීරණ ගන්න ලොකුම ලොකු තැනක ඉහළම තැනක ඉන්න නැන්දි කෙනෙකුත් විහින්දිට හම්බුනා. ඒ ගැන විස්තර පස්සේ දවසක කියන්නම්කෝ.
විහින්දි ලොකු මහත් වෙලා කවුරු වගේ කෙනෙක් වුනත් එයාගේ තාත්තට නම් කමක් නැහැ. ඒත් ඒ කෙනා වෙන්න කලින් වෙන්න පුළුවන් මොන වගේ අයද කියලා දැනුමක් විහින්දිට තියෙන්න ඕනේ කියලායි එයාගේ තාත්ත කියන්නේ. විහින්දි අනාගතේ කවුරු වුනත් එයා කරන රැකියාව නිසා එයාට දේවල් තුනක් ලැබෙන්න ඕනේ.
“හොදින් ජීවත් වෙන්න පුළුවන් තරමට සල්ලි හම්බ වෙන රස්සාවක් වෙන්න ඕනේ.”
“කරන දෙයින් සතුටු වෙන්න ඕනේ...”
“රටට සමාජයට යහපතක් සිද්ද වෙන්න ඕනේ...”

විහින්දිගේ තාත්තගේ බලාපොරොත්තුව එච්චරයි!

_____________________________________________________
විහින්දිගේ කතා ගැන ඔයාලට හිතෙන දේ දැනගන්න විහින්දිගේ තාත්තා ගොඩක් කැමතියි. පහතින් කොමෙන්ටුවක් දාලා මොනවා හරි හිතට එන දෙයක්  ලියන්න කියලා එයා කියනවා.   

Thursday, June 14, 2018

චූටි ටීචර්


අද කියන්නේ පුංචි විහින්දි ගේ පුංචිම කාලේ කතාවක්. පුංචි විහින්දි ගේ අම්මා ඒ දවස් වල මොන්ටිසෝරියක ඉගැන්නුවෙ. දැන් නං ඒ මොන්ටිසෝරියේ ලොකු ටීචර් තමයි එයාගේ අම්මා. ඒ පැත්තටම තියන හොදම මොන්ටිසෝරිය එයාගේ අම්මගේ.  අම්මත් එක්කම පුංචි විහින්දිත් මොන්ටිසෝරි ගියා.
පුංචි කාලේ පුංචංගේ වැඩේ තමයි කොහෙන් හරි පාට කෑල්ලක් හොයාන අහුවෙන අහුවෙන තැන අදින එක. විහින්දිත් එහෙම තමයි. පාට කෑලි හොයාගෙන බිත්තිය පුරා අදින්න ගත්තා. විහින්දිගේ අම්මයි තාත්තයි ඒක නවත්තන්න ගියේ නැහැ. ඒ වෙනුවට එයාලා කලේ කඩෙන් සුදු ඩිමයි කොල ගෙනැල්ලා විහින්දිගේ උසට බිත්ති වල අලවන එක. ඉතිං විහින්දිටත් මදැයි ඒක. පැස්ටල් පෙට්ටි ඉවර වෙනකල්ම බිත්ති දිගේ එයා ඇන්දා. බිත්ති වල ඉරි ඇදලා පිරෙන කොට අම්මයි තාත්තයි තව කොල ඊට උඩින් ඇලෙව්වා.
විහින්දිට බෝනික්කෝ ගොඩක් ඉන්නවා. එක එක විදියේ කට්ටිය. එයාලට නම් දාලත් තිබ්බේ විහින්දි. නිදාගන්න කොට විහින්දිට ලගින් එයා ටත් වැඩිය ලොකු බෝනික්කෝ හත අටකුත් නිදි කරවගෙන තමයි ඉතිං එයා නිදා ගන්නේ.
-පින්තුරය අන්තර්ජාලයෙන්-
දවසක් බලද්දි විහින්දි  ලොකු වැඩක්. එයාගේ බෝනික්කෝ ටික වටේට තියලා, කොහෙන්දෝ හොයාගත්තු රෙදි කෑල්ලකුත් පටලවාගෙන බොනික්කන්ගේ ටීචර් වෙලා එයාලට අකුරු උගන්නනවා. මේ වැඩේ විහින්දිගේ තාත්තා දවස් දෙක තුනක්ම දැක්කා.

විහින්දිගේ තාත්තට මොනවදෝ හිතුනා. එයා දවසක් විහින්දි ගේ ඉස්කෝලේ පටන් ගන්න වෙලාවක් බලලා විහින්දිට කතා කලා.
“චූටි දුවේ. එන්කකෝ. ඔයාගේ ඉස්කෝලෙට මේයාවත් බාර ගන්නවද?”
පුංචි විහින්දිගේ අතට හම්බුනේ එයාගේ තාත්තගේ ෆෝන් එක. ඒකේ ලස්සන පුසෙක් ඉන්නවා. පුංචි විහින්දි එයාගේ බෝනික්කෝ ලගින් තාත්තගේ ෆෝන් එකත් තිබ්බා. දැන් බෝනික්කන්ට චූටි ටීචර් අකුරු කියලා දෙනවා.
මෙන්න වැඩක්........
ටීචර් කියන කියන අකුර පූසි පැටිය කියනවා.
විහින්දි උඩ පැන්නා. හයියෙන් කෑ ගැහුවා.  ....
“අකුරු කියන පූසි පැටියෙක්....”

එදා ඉදලා පුංචි විහින්දිගේ ඉස්කෝලෙට කතා කරන පුසි පැටියත් හැමදාම ආවා. විහින්දි එයාට හොදට අකුරු ඉගැන්නුවා. අකුරු විතරක් නෙවයි වචනත් ඉගැන්නුවා. ටික කාලයක් යනකොට එයා කතාන්දරත් කියලා දුන්නා. පූසි පැටියා ගොඩක් ආසාවෙන් ඒ කතාන්දරත් කියෙව්වා. විහින්දිට හරි සතුටුයි.
“පූසි පැටියා දැන් ගොඩක් ලොකුයි. එයාට දැන් ගොඩක් දේවල් පුළුවන්. මං ගොඩාක් දේවල් එයාට උගන්නලයි තියෙන්නේ”  පුංචි විහින්දි උජාරුවෙන් කිව්වා.
ඔන්න ඔහොමයි පුංචි විහින්දි Talking Tom  ඇප් එකත් එක්කලා අකුරු ඉගෙන ගත්තේ....

පුංචි විහින්දි

පුංචි විහින්දි ඉගෙන ගන්නේ කොළඹ විශාකා විද්‍යාලයේ 8 වෙනි පන්තියේ. පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගේ හොදටම පාස් වුන හින්ද තමයි පුංචි විහින්දිට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් වුනේ. ශිෂ්‍යත්ව විභාගෙට පුංචි විහින්දි ගොඩක් මහන්සි වුනා. එයාගේ අම්මා තමයි ඒ හැම දේම හොයලා බලලා එයාට උගන්නන්ට හොඩක් මහන්සි වුනේ. එයාගේ ලගින්ම ඉදලා හැම දේම හොදට කියලා දීලා එයත් එක්කම එකට වැඩ කරලා සමහර විට දඩුවමුත් කරලා හතර වටේම තියන හැම පන්තියටම ත් එක්කන් ගිහිල්ල ඒ විදියට එයාගේ අම්ම වෙච්ච ලොකු මහන්සියක් හින්දයි විහින්දි අද ලොකු ඉස්කෝලෙක ආඩම්බරයෙන් ඉගෙන ගන්නේ.
ශිෂ්‍යත්වෙ පාස් වුන කාලෙම තමයි විහින්දිගෙ තාත්තා කාර් එකක් ගත්තේ. ඊට පස්සේ තුන්දෙනාටම හැම තැනම ඇවිදින්න පුළුවන් වුනා. විහින්දි උදේට ඉස්කෝලේ යන්නේ තාත්තත් එක්ක. හවසට අම්මා ඉස්කෝලේ ලගට එනවා එයාව එක්කන් යන්න.
විහින්දිගෙ තාත්ත ගුරුවරයෙක්. තොරතුරු තාක්ෂණය වගේම ගණිතය විද්‍යාව වගේ විෂයනුත් කාලයක් ඉගැන්නුවා. ඒත් විහින්දිට තිබුන ප්‍රශ්නේ තමයි එයාගේ තාත්තා එයාට පාඩම් උගන්නන්නේ නැති එක. තාත්තා එයාව ලගින් තියාන කවදාවත්ම පාඩමක් උගන්නලා නැහැ. මේ හින්දා විහින්දිට ගොඩක් දුක හිතුන වෙලාවල් තිබුනා. සමහර වෙලාවට එයා ඇඩුවා. හැබැයි තාත්තා එයාට එකක් කිව්වා. ඔයාට බැරි තේරෙන්නේ නැති ඕනේ දෙයක් අහන්න. ඒ දේ දැනගන්න උදව් කරන්නම් කියලා. එයාව ටියුෂන් පන්ති වලට දාන්න කියලා ඒ හින්දා එයා අම්මටත් කිව්වා. අම්මටත් කරන්න වෙන දෙයක් තිබුනේ නෑ සමහර වෙලාවට.
දවසක් සිංහල ප්‍රශ්න වගයකට උත්තර ලියන ගමන් විහින්දිට ප්‍රශ්නයක් ආවා. වෙන කරන්න දෙයක් නැති හින්ද එයා තාත්තගෙන් ඇහුවා. තාත්තා මොකුත්ම කියන්නේ නැතිව එයාගේ දුරකතනය අතට අරන් කෝල් එකක් අරගෙන විහින්දි අතට දීලා ඔන්න ඉන්නවා හොදට සිංහල දන්න සර් කෙනෙක්. එයාගෙන් අහගන්නකෝ කියලා යන්න ගියා. එයාට තිබුන ප්‍රශ්නය කියලා උත්තරේ අහගන්න වුනේ එයාටමයි. හැබැයි ඒ වැඩේ හොදයි වගේ කියලා හිතුනා. ටික දවසක් යනකොට තාත්ත අදුරන සර්ලට කතා කරලා තියන ප්‍රශ්න විසදගන්න එක විහින්දිට සාමාන්‍ය දෙයක් වුනා. දැන් වෙලාවකට එයාම නොම්බර හොයාන කතා කරන වෙලාවල් තියනවා.
දවසක් එයාට විද්‍යාව පාඩමක දෙයක් තාත්තගෙන් අහගන්න වුනා. ඒත් තාත්තා එයාගේ දුරකතනයෙන් වීඩියෝවක් අරන් එයාට බලන්න දුන්නා. ඒකෙන් පාඩම හොදටම තේරුනා. සමහර දේවල් ගැන තාත්තගෙන් ඇහුවම එයා කියන්නේ ඇයි ඔයාගේ ලැප්ටොප් එක තියනවා නේද? ගෙදර ඉන්ටනෙට් තියෙන්නේ හොයාගන්න එකනේ ඇත්තේ කියලා. ඒ දේ කරගන්න බැරිවුනාම තාත්ත කලේ හොයාගන්න හැටි කියලා දෙන එක විතරයි. දැන් එයාට ඕනේ දෙයක් හොයාගන්න ගූගල් පාවිච්චි කරන්න හොදට පුළුවන්.
විහින්දි ඉස්කෝලේ යන්නේ තාත්තත් එක්කල. යන ගමන් දෙන්නගේ වැඩේ මොකක් හරි ගැන කතා කර කර යන එක. එයා එයාගේ ඉස්කෝලේ දේවල් යාලුවෝ ගැන වගේම වෙන වෙන දේවල් මොනවා හරි කියවනවා. ඒ අතරේ තාත්තා දන්න හර බර දේවල් මොනවා හරිත් දැනගන්න පුලුවන් වෙනවා. මේ ළගදි දවසක උදේ ඉස්කෝලේ යන ගමන් මෙහෙම දෙයක් වුනා.
“තාත්තේ... ඔයාග් ෆෝන් එක දෙන්නකෝ...”
“මොකෝ කෙල්ලේ...?”
“ඉන්දියාවේ භාෂා 20 ක් කතාකරන්නේ කියලා මම මෙතන ලියාගෙන. ඒක වෙන්න බෑනේ”
තාත්තගේ ෆෝන් එක විහින්දිට ලැබුනා. එයා වචන කීපයක් ටයිප් කරලා ඉන්දියාවෙ විස්තර හෙව්වා. විකිපීඩියා පෙරලලා බැලුවා. තවත් වෙබ් පිටුවක් දෙකක් කියෙව්වා. තේරෙන විදියට වචන පටලව පටලව ඉංග්‍රිසි කියෙව්වා. සමහර වචන තාත්තගෙන් ඇහැවා. කොහොම හරි අන්තිමේදි එයා හොයාගත්තු දේවල් තාත්තට කිව්වා
“තාත්තේ ඉන්දියාවෙ විසි ගානක් තියෙන්නේ රාජ්‍ය භාෂා. කතා කරන භාෂා එක් දහස් ගානක්. ඒකෙනුත් වැඩිපුර භාවිතා වෙන ඒවා මෙච්චරයි”
“තව....ඉන්දියාවෙ ජාතික ගී දෙකයි. එකක් National song අනික National Anthem’”
එයා you tube ගිහින් ඒ ගී දෙකම ඇහුවා. දෙතුන් පාරක් නෙවෙයි ඊටත් වැඩිය. කොහොම හරි ඉස්කෝලේ ලගට ගිහින් බහින කොට එයාට ඒ දෙකම කට පාඩම්. තාත්තට අත වනලා යන විහින්දි දිහා බලන් හිටපු එයාගේ තාත්තගේ ඇස්වල කදුලු පුංචි විහින්දි දැක්කේ නැහැ.
“දුවේ.. අද වෙනකොට ඔයා තාත්තිට ඕනේ වුන තැනට ඇවිල්ලා. අද ඔයා ඉස්කෝලෙ පාඩමකට ලෑස්ති වෙලා ගිය විදියට කරන්න පුළුවන් ලොකු අයියලා අක්කලා වත් මං දැකලා නැහැ.” තාත්තට එහෙම කියවුනා.
විහින්දිගේ තාත්තා එයා ට විවේක තියෙන හැම වෙලාවෙම එයාව කොහේ හරි එක්ක යනවා. රට වටේම එයා දැන් ඇවිදලා තියනවා. එයාගේ පන්තියේ එයා තරම් ඇවිදපු වෙන කවුරුවත්ම නැහැ. ඒ වගේමයි ඒ යන හැම තැනම විස්තර ගොඩක් හොයන එක තමයි එයාලන්ගේ වැඩේ. එයාගේ තාත්ත එතන ඉන්න කවුරු හරි කෙනෙක්ව එකතු කරගෙන විස්තර අහගන්න විහින්දිට ඉඩ දෙනවා. එයාට මතකයි එයාලා යාපහුවේ ගිය වෙලාවෙ පුරා විද්‍යාවෙ වැඩකරන නැන්ද කෙනෙක් එයාලව මුළු යාපහුවෙම එක්කන් ගිහිල්ලා අවුරුදු පන්දහසකටත් වැඩිය ඉතිහාසයක් ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම සීගිරිය ගිය වෙලාවෙ ඒ ව්‍යාපෘතිය භාර නැන්ද කෙනක් ඇවිත් මුළු සීගිරියම එක්කන් ගිහින් මුලු දවසක්ම ගොඩක් දේවල් එයාට කියලා දුන්න. කොහේ ගියත් එතන ඉන්න ලොකුම තනතුරක් තියන නැන්ද කෙනෙක් හරි මාමා කෙනෙක් හරි පුංචි විහින්දිට හොයලා දෙන්නේ එයාගේ තාත්ත. දැන්නං තාත්ත නැතුවත් කොහේ හරි ගිහින් දෙයක් දැනගන්න ඕනේ වුනාම එතන ඉන්න කාගෙන් හරි අහලා දැනගන්න එයාට පුළුවන්.
සීගිරිය ගිහින් ආව දවසේ තමයි ඊලග ප්‍රශ්නේ එයාට වුනේ.
“දුවේ.. ඔයා ගොඩක් තැන්වල ගිහින් තියෙනවානේ. අද ඉදන් ඔයා යන තැන් වල විස්තර පොතක් අරන් ලියන්න ඕනේ. එක තැනක් ගැන එක පිටුවක් ඇති.”
අනේ.. ඒක කරන්නේ කොහොමද? පුංචි විහින්දි එයා සීගිරියෙන් ගෙනාපු විස්තර පොත් ගොඩයි එයා දවසම ඉගෙන ගත්තු දේවල් ගොඩයි අතරේ හිරවුනා. එයා ඇඩුවා... මට බෑ... මට බෑ පිටුවකින් කොහාමද මේවා ලියන්නේ.
ඒත් තාත්තගෙන් නම් ගැලවිල්ලක් වුනේ නැහැ. දවස් ගානක් ගිහින් අන්තිමේදි බේරෙන්න බැරුව එයා මොනවදෝ ලියලා තිබ්බා. ඊට පස්සෙත් යන යන තැන්වල විස්තර පිටුවකින් ලියන්න එයාට සිදු වුනා. සමහර දවස් වල විස්තර ලියලා තිබුනේ නැති හින්ද යන්න ලැස්ති වුන ගමන් නවත්තලා එයාට දඩුවම් ලැබුන වෙලාවලුත් තිබ්බා. හැබැයි දැන්නං එයාට තැනකට ගියාම ඒ ගැන විස්තර ලියන එක එච්චර අමාරු නැහැ. අමතක නම් වෙබ් පිටු කීපයක් පෙරලලා බලලා හරි ලියන්න එයාට පුළුවන්.
ළගදි දවසක පුංචි විහින්දිට එයාගේ තාත්තගෙන් තෑග්ගක් ලැබුනා. ඒක ටිකක් වටින් DSLR කැමරාවක්. තාම එයාට ඒක හසුරවන්න හරියට තේරෙන්නේ නැහැ. ඒත් වැඩි කල් යන්න කලින් ඒකත් එයා ඉගෙන ගනීවි.
මේ දේවල් කියවපු ඔයාලට දැන් පුංචි විහින්දි ගොඩක් ලොකුවට පේන්න අරන් ඇති. ඇත්තටම එහෙම නැහැ. එයා අනිත් දරුවෝ වගේම හරිම හුරතල් පුංචි කෙල්ලෙක් විතරයි.
ඒත් පුංචි විහින්දිගේ තාත්තට මෙහෙම හිතෙනවා.
“දුවේ.... ඔයාව කලඑලි දක්වන්න වෙලාව ඇවිල්ලා”