Monday, October 8, 2018

ගැටබරු දේවාලයෙන් කිරුවානා ඇල්ලට...


මාස ගණනකින් කොහේවත් එක්ක ගියේ නැහැ කියලා පහුගිය දවස් වල විහින්දි එයාගේ තාත්තත් එක්ක ටිකක් හිත හොද නැතිවයි හිටියේ. ඒත් එයා විභාගයක් කල හින්දා මොකුත්ම කිව්වේ නැහැ. තාත්තගේ විභාගේ ඉවර වුන ගමන්ම තමයි ඔන්න එයාගේ ඇරියස් කවර් කරන්න තාත්තට සිද්ද වුනේ.
කොහොම කොහොම හරි විහින්දි පහුගිය සෙනසුරාදා ඉරිදා දෙකේ අම්මයි තාත්තයි එක්ක ලොකු රවුමක් ගියා. ඒ හම්බන්තොට පැත්තේ. අද කතා කරන්නේ ඒ ගිය තැන් ගැන විස්තර ටිකක්. ගොඩක් අය ට්‍රිප් එහෙම යනකොට මේ තැන් වලටත් යන්න පුළුවන් වෙයිනේ. ඒකයි වැඩිපුරම කතා කරන්න හිතුවේ.
සෙනසුරාදා උදේ පාන්දර හතර හමාරට විතර තුන්දෙනාම ගෙදරින් පිටත් වුනා. ඉස්සෙල්ලම ගියේ ගැටබරු රාජමහා විහාරයට. ඒක තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මොරවක පහු කරලා ටික දුරක් ගියාම තියන කදු ගැටයක තමයි මේ පුරාණ දේවාලය තියන පන්සල පිහිටලා තියෙන්නේ. ඒ ප්‍රදේශයේ මිනිස්සු ගොඩක් හාස්කම් තියනවා කියලා විශ්වාස කරන තැනක්.

ගමන් මාර්ගය නම් කිලෝමිටර දෙකක් විතර දුශ්කර මාර්ගයක්. සැහැල්ලු වාහනයකින් යනවා නම් කන්ද ඉහලටම යන්න පුළුවන්. ඒත් පටු පාර වගේම බෑවුම ගොඩක්ම තියෙන හින්ද ප්‍රවේශමෙන් පදවන්න ඕනේ. සමහර තැන්වල අංශක හැටකට විතර බෑවුමක් තියෙන තැනුත් තියෙනවා. ඒ හින්දා තිරිංග ගැන විශ්වාසය තියාගෙන ගියර් පද්ධතියේ පිහිටෙන් ධාවනය කරන එක නුවණට හුරුයි.


ඒ කදු ගැටය මැද පිහිටි ගල් ගුහාවක දේවාලය සහ බුදුමැදුර පිහිටලා තියෙනවා. බුදු පිළිමය විශාල සැතපෙන පිළිමයක්.  මුල් යුගයේ පිළිම ගෙයට පසු කාලිනව පියස්සක් සහිත කොටසක් ඉදිවී ඇති ලක්ෂණයි දකින්නට තියෙන්නේ. කොහොම වෙතත් එහි වහලයේ තිබුන චිත්‍ර අතරින් වෙනත් තැනක දකිනවාට වඩා වෙනස් විදියේ චිත්‍ර කිහිපයක් තිබුනා.
නවනාරි කුංජරය

සප්ත නාරි පල්ලැක්කිය

පංචනාරි ඝටය

නවනාරි කුංජරය,සප්ත නාරි පල්ලැක්කිය, පංචනාරි ඝටය ඒ අතර විශේෂයි. මේවා මෙලෙස වර්ණ ගන්වා ඇති තැන් දකින්නට අපහසුයි. පැරණි ලී කැටයම් වල මේම චිත්‍ර කැටයම් කර තිබෙනවා නම් දකින්ට පුළුවන්.
දේවාශිර්වාද ලබා ගැනීමට යනවා නම් උදේ දහටය තමයි දේව පූජාව තියෙන්නේ. බොහෝ දෙනෙක් යන්නේ බාර හාර වෙන්න වගේම ඒවා ඔප්පු කරන්නයි. සොබා දහමේ සුන්දරත්වය දකින්න කැමති අයටත් ගොඩක් හිත යන තැනක් වේවි.
විහින්දිලාගේ කට්ටිය නම් දේව පූජාව වෙනකන් ඉන්නේ නැතිව ආවේ ගමන පටන් ගත්තු තැනම තාම හන්දා. එතනින් ගිහින් හැරුනේ ඌරුබොක්ක පාරට. පාර දිගේ කිලෝමීටර කිහිපයක් ගිහින් පොඩි අතුරු පාරක ගිහින් තමයි එයාලා හොයාපු ඊළග තැනට යන්නේ
ඒ කුඩා දිය ඇල්ලක්. ගූගල් සිතියමේ නම් ඒක තිබුනේ කිරුවානා ඇල්ල කියලයි. ඒ ඔයේ නම තමයි කිරුවානා ඔය. දිය ඇල්ල ළගම හදලා තිබුන කුඩා ජල විදුලි බලාගාරයේ නම් ගමේ නම තිබුනේ මුගුනුමුල්ල කියලයි. ප්‍රධාන පාරෙන් හැරිලා ජීප්රථ පාරක කිලෝමීටරයක් විතර ගිහින් එතන ඉදලා තව කිලෝමීටරයක් විතර පටු පාරක් දිගේ ගිහින් අන්තිමට මීටර් දෙසිය පනහක් විතර අඩි පාරක් දිගේ ගිහින් තමයි දිය ඇල්ල ලගට ගියේ. ඇත්තටම දිය ඇල්ලට යන්න පාරක් නැහැ. මිනිස්සු වැඩිය යන එන තැනක් නෙවෙයි. ඒ වුනාට ලස්සනේ නං අඩුවක් පෙනුනේ නැහැ. 

විදුලිබලාගාරේ හදන්න කලින් නං ගොඩක් ලස්සනට තියෙන්න ඇති කියලා හිතුනා. මීටරයක් විතර විශ්කම්බය කියන බටයකින් දිය ඇල්ල මුදුනේ ඉදලා පහල තියන කුඩා විදුලි බලාගාරයට ජලය ගේනවා. ඒ හින්දා දිය ඇල්ලට වතුර ටිකක් අඩුයි. කොහොම වුනත් දිය ඇල්ල සම්පූර්ණයෙන්ම නැති නොකරපු එක නං වටිනවා. කවුරු හරි යන කෙනෙක් ඉන්නවා නං කලින් අනුමැතියක් අරන් ගියා නම් දිය ඇල්ලත් බලලා විදුලි බලාගාරයත් බලලා ම එන්න පුළුවන්. ඒකට අනුමැතිය ගන්න නම් දින තුනකට වත්  කලින් 0115238781 දුරකතනයට කතා කරන්න කියලා දැන්වීමක් එතන තිබුනා



7 comments:

  1. නුවන් රූපසිංහOctober 8, 2018 at 10:55 PM

    විහින්දි බ්ලොග් එකට ගොඩවුනු පළවෙනි වතාව. ගොඩාක් වටින කරුණු ලිපි ඇතුලෙ තියන බව දැක්කා. ඉදිරියටත් විහින්දි වැදගත් තොරතුරුත් එක්ක එන බව විශ්වාසයි. ලක්ෂ්මන් අයියේ (අපි කිව්වෙ ගුරු ජී කියලා) සුබ පැතුම්.

    ReplyDelete
  2. හොද විස්තරයක් ස්තූතියි. මොකද විහින්දිට බ්ලොග අමතක වෙලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ සමහර දේවල් ලබාගන්න සමහර දේවල් කැප කරන්න වෙනවා. පහුගිය ටිකේ පශ්චාත් උපාධියේ විභාග කටයුතු වෙනුවෙන් සූදානම් වුනා. ඒ සදහා කාලය යොදවා ගන්න බුකියෙන් වගේම බ්ලොග් කටයුතු වලිනුත් ඉවත් වුනා. දැන් ඒ කටයුතු අවසානයි. නැවතත් සුපුරුදු චර්යාවට එළඹුනා...

      Delete
  3. මරු ට්‍රිප් එකක් නේ. මාත් ගැටබරු ගිහින් තියේ දෙතුන් වතාවක්. ඒ්ත් ඔය කියන සිතුවම් දැක්කේ නෑ කියාංකෝ.

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රී පරාණයන් දෙකක්ම එක්ක යන කොට ඹය වගේ දේවල් මග ඇරෙන්ට තියන ඉඩ අඩුයි. ඇත්තටම මටත් ඕක පෙන්නුවේ බිරින්දෑ. තාම ගමන පටන් ගත්තා විතරයි. පළවෙනි දවසේ උදේ වරුව විතරයි ඉවර. ඉතිරිත් ටික ටික ලියන්නම්.

      Delete
    2. අන්න ඒවා පිං අතේ වැඩ

      Delete