Thursday, July 26, 2018

විහින්දිට ජාත්‍යන්තර සහතිකයක්


වෙනදා වගේම විහින්දිගේ තාත්තා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ. ඒත් වෙනදා තාත්තා එනකොට හිනාවෙලා දොර ඇරගෙන එළියට එන විහින්දි එදා ආවේ නෑ. ඒ හින්දම වාහනය නතර කරලා ගෙට ගොඩවුන තාත්තා විහින්දි ගේ කාමරේට ඔලුව දාලා බැලුවෙ මොකද කියලා. ඔලුව උස්සලා තාත්තා දිහා බලලා හිනාවුන විහින්දි ආයෙම එයාගේ වැඩේට හැරුනා.
“මොකෝ කෙල්ලේ? බරටම වැඩ වගේ?”
“ලබන සතියේ හෂිනිගේ උපන් දිනේ. මං ඒයාට දෙන්න Paper Quilling හදනවා”
විහින්දිගේ මේසේ උඩ පාට පාට කඩදාසි තීරු ගොඩක් ඉහිරවාගෙන. එයා ඒවා ලස්සනට ඔතලා එක එක මෝස්තර තියෙන්න කාඩ් එකක අලවලා යාලුවාට දෙන්න උපන්දින සුබපැතුමක් හදනවා.

“තාත්තේ... මං මේ ඔයා එනකන් මයි බලන් හිටියේ. මේවා අලවන්න ලස්සන මෝස්තරයක් හොයාගන්න ඕනේ”
තාත්තා විහින්දි අතට එයාගේ ෆෝන් එක දුන්නා. දැන් ඉතිං හොයන්න බැරියැ ලස්සන ලස්සන මෝස්තර ගොඩක්.
“ඕනේ දෙයක්. හැබැයි මං ඇඟ හෝදන, කාල එනකොට කොම්පියුටරේ ඔන් කරන් ඉන්න ඕනේ. මතකයිනේ ඊයේ රෙජිස්ටර් වුන එක”
“හරි හරි...”
විහින්දිගේ තාත්තා පහුගිය දවස්වල වැඩසටහනකට ගියා. ඒක පොදුරාජ්‍යය මණ්ඩලයේ අධ්‍යාපනය පිළිබද ආයතනය නැත්තං ගොඩක් අය කියන විදියට Commonwealth of learning එකේ ව්‍යාපෘතියක්. ඒකෙන් වෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියමුවන් සකස් කරන එක.  ඒ ව්‍යාපෘතියේ නම ඉංග්‍රිසියෙන්ම කිව්වොත් commonwealth digital education leadership in action. කෙටියෙන් කියන්නේ C-DELTA කියලා.
තොරතුරු තාක්ෂණය කියන්නේ අපිට වලක්වන්න බැරි තරම් වේගයෙන් සමාජය තුල පැතිරෙන දෙයක්. ලොකු කුඩා බේදයක් නැතිව තාක්ෂණික උපාංග භාවිතා කරන පිරිස එන්න එන්නම වැඩි වෙනවා. ඒත් ඒවායේ හොද පැති මෙන්ම භයානක පැතිත් දැනගෙන ඒවා පාවිච්චි කරනවා නං තමයි හොද. ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි එයාලා කරන කියන හැම දෙයක්ම, යන එන හැම තැනකම සලකුණු මොනවා හරි ඉතුරු වෙනවා කියන එක. ඒවට කියන්නෙ ඩිජිටල් පිය සටහන් එහෙමත් නැත්තං Digital footprint කියලා. ඒ දේවල් සමහර විට එයාලා දන්නෙත් නැතිව ලෝකයට පේන්න පුළුවන්. ඩිජිටල් ලෝකයේ කරන කියන දේවල් වලින් කෙනෙකුට ඩිජිටල් අන්‍යනතාවක් (Digital identity )ඇතිවෙනවා. ඒ දේවල් වලින් කෙනෙක් ගැන තීරන ගන්න සමාජයට පුලුවන්. ඒ හින්ද තමයි හොද අනන්‍යතාවයක් ඇති වෙන විදියට ඩිජිටල් ලෝකයේ සැරිසරන්න ඕනේ. එතන නරක දේවල් කලොත් ඒ නරක විදියේ අනන්‍යතාවයක් තමයි ඇතිවෙන්නේ.
රස්සාවකට අයදුම්පතක් දාන වෙලාවෙ උනත් වෙන තැනකදී වුනත් ඔයාලගේ ඩිජිටල් අනන්‍යතාව හොදද කියලා බැලෙනවා ගොඩක් වෙලාවට. එච්චර ඕනේ නැහැ දැන් කාලේ මංගල්ලයක් කතා කලත් එයාගේ ඩිජිටල් කල්කිරියාව හොයලා බලන එක අනික් පාර්ශ්වයෙන් හොද අපූරුවට කරනවා අපේ රටේ.
ඉතිං මේ දේවල් ඉගෙන ගන්න හොද තැනක් විදියට C-DELTA එකේ online පාඨමාලාව හදාරන එක කියලා තාත්තට තේරුන හින්ද තමයි ඊයේ දවසේ විහින්දිව ඒ පාඨමාලාවට ලියාපදිංචි කලේ.එදා වැඩසටහනට විහින්දිගේ ඉස්කෝලේ IT ටීචත් ඇවිත් හිටිය හින්දා විහින්දිගේ ඉස්කෝලේ නම එතන තිබුනා. ඉස්කෝලො ටීචර්වත් දැනුවත් කරලයි එයා මේකට සම්බන්ධ වුනේ.  නම ඊමේල් ලිපිනය එහෙම දීලා ලියාපදිංචි වුනාට පස්සේ කරන්න තියෙන්නේ තමන්ගේ පෙර දැනුම බලන පරීක්ෂණයට ඉන්න එක. අද විහින්දිට තියෙන්නේ ඒක.
විභාගය හිතපු තරං ලේසි නෑ. මොකද ඒ ඔක්කොම තියෙන්නේ ඉංගිරිසි භාෂාවෙන්. විහින්දිට ඉංග්‍රිසි කියව ගන්න තරමක් පුළුවන් වුනාට ගොඩක්ම අමාරුයි. ඒත් හොද වෙලාවට එයාගේ උදව්වට හිටියේ වෙබ් බ්‍රව්සරය. තාත්තා ක්‍රෝම් බ්‍රව්සරයට සිංහල තේරුම කියවන Extension  එකක් අමුනලයි තිබුනේ. ඒ හින්දා තේරුම දන්නේ නැති වචනයක් තිබුනොත් එතන්ට මවුස් එක අරන් ගියාම එතනම තේරුම සිංහලෙන් පෙන්නනවා. එතකොට  අදහසක් ගන්න ටිකක් ලේසියි. ඒත් මේ බරපතල තාක්ෂණික දේවල් නම් තාම විහින්දි දන්නේ නැහැ.
කොහොම හරි පැයකදී ප්‍රශ්න හැටකට උත්තර දෙන්න තිබුන බහුවරණ ප්‍රශ්න පත්‍රයෙන් විහින්දිට හම්බුනේ ලකුණු සිය‍යෙන් හතලිස් අටයි. ඒකත් ගන්න එයාට ගොඩාක් අමාරු වුනා. ගොඩක් මහන්සි වුන හන්දා එයාට පළමු අදියර සම්පූර්ණ කලා කියලා සහභාගිත්ව සහතිකයක් හම්බුනා. දැන් නම් විහින්දිට ගොඩක් සතුටුයි.

ඉතිං දැන් ඉදලා එයාට තියෙන්නේ දීලා තියන මොඩියුල තුන කියවලා කරලා ඉගෙන ගන්න එක. ඒ අතරේ එයා ඉගෙනගන්නවද කියලා බලන්න තව තව විභාග එහෙමත් තියේවි. ඒවා පාස් වුනොත් එයාට බැජ් එහෙමත් හම්බ වෙයි.   
දැන් මේක කියවන ඔයාලටත් ආස හිතෙයි විහින්දිට වගේ සහතිකයක් හම්බ වෙනව නම්. එහෙනම් ඉතිං මෙන්න තියනවා ලින්ක් එක. https://cdelta.col.org ගිහින් එතන ලියාපදිංචි වෙන්න(sign up). ලොකු පොඩි කාටත් ගොඩක් වටිනවා. මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි දෙන්නේ.  හැබැයි ඔයාලට සම්බන්ධ වෙන්න වෙන්නේ join the course as an individual කියන විදියට. සහයක් ඕනේ නම් විහින්දිගේ තාත්තා ඉන්නවා ඕනේ වෙලාවක උදව් කරන්න. ඔයාලත්  ඒක හදාරලා Digital leader කෙනෙක් වෙන්න. ලොකු දැනුමක් සමගින් මේ ඩිජිටල් ලෝකය ජය ගන්න.

Thursday, July 19, 2018

කොම්පියුටරෙන් විභාග ලියමුද?

“විභාගේ විභාගේ -
එහෙ බැලුවත් විබාගේ...- මෙහෙ බැලුවත් විබාගේ..
විබාගේ තමයි අපේ අබාගේ............”
සෝමලතා සුබසිංහ කලකට කලින් දැක්ක විකෘතිය තමයි ඒ. තාමත් ඒ විකෘතිය එහෙමමයි. විබාග කියන්නේ ලමයිට විතරක් නෙවෙයි හැමෝටම එපා කරපු එකක් වෙලා. මේ සැරේ ඉදලා උසස් පෙල විභාගේ ලියන ලමයින්ට ප්‍රශ්න පත්‍රය කියවන්න කියලා වෙනම විනාඩි දහයක් දෙන්න තීරණය කරලාත් තියෙන්නේ ළමයින්ගේ තියන ආතතිය අඩු කරන්නලු.
විහින්දිගේ තාත්තට ලගදි දවසක විභාග කොමසාරිස් තුමා මුනගැහිලා. ප්‍රශ්න පත්‍ර බලන නැන්දලා මාමලා කට්ටියකට දේශනයක් දෙන වෙලාවකදි. ඒ වෙලාවෙ ගොඩක් දේවල් ඒ මහත්තයා කියලා තියෙනවා. දැන් විභාග දෙපාර්තමේන්තුවේ වැඩ ගොඩක් පරිගණක ගත කරලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් අයට එයාලගේ වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් වේවි ඉස්සරහට. දුර පළාතක ඉන්න කෙනෙකුට උනත් සහතිකයක් එහෙම ගන්න ඕනේ වුනොත් කොළඹට එන්නේ නැතිව ඔන්ලයින් ගිහින් ඒක ඉල්ලුවාම ගෙදරටම තැපැලෙන් එවන විදියට දැන් වැඩ ලෑස්තිලු. ඉස්සරහට විභාග අයදුම්පත් එහෙමත් තැපෑලෙන් එන එකක් නැතිවෙයි. තමන්ගේ අයදුම්පත තමන්ටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වේවි. පහුගිය තැපැල් වර්ජයේ දවස්වල ඒ වගේ වැඩක් කරලත් තියෙනවා. වැඩේ හිතුවටත් වැඩිය හරි ගිහින්.
කොහොම හරි අලුත් විභාග කොමසාරිස් තුමා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්ලු. එහෙම අය තමයි අපේ රටේ පරිපාලන ක්ෂේත්‍රයට ඕනේ කරන්නේ. එයාලට විතරයි මේ යල් පැන ගිය ක්‍රම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.
කොහොම හරි ඔන්න මේ අවුරුද්දේ ඉදලා 12 පන්තියට තියන GIT විභාගය ඔන්ලයින් ක්‍රමයට කරන්න ලැස්තිලු. ඒක අදියර තුනකින් කරන්න කියලා තමයිලු ලැහැස්ති කරලා තියෙන්නේ. පළවෙනි අදියරේදි ළමයින්ට තමන්ගේ ගෙවල් වල ඉදලම කරන්න පුලුවන් විදියේ ප්‍රශ්න පත්‍රයක් ලු තියෙන්නේ. ඒක ස්මාර්ට් ෆෝන් එකකින් වුනත් කරන්න පුළුවන් වෙයිලු. දෙවෙනි අදියරේදි පාසලේ දි කරන්න පුළුවන් විදියේ එකක්ලු. ඒ දෙකම පුහුණු ප්‍රශ්න පත්‍ර දෙකක්. තුන්වෙනි අදියර තමයි නියම ප්‍රශ්න පත්‍රයට ළමයට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නම් කරන ලද පරිගණක මධ්‍යස්ථානයකදි.

-පින්තූරය අන්තර්ජාලයෙන්-
GIT කියන්නේ තොරතුරු තාක්ෂණ විභාගයක්. ඇත්තටම ඒ වගේ එකක් ප්‍රායෝගික පරීක්ෂණයකුත් එක්කම වෙනවා නම් තමයි වැඩය හොද. හැබැයි මේ කරන්නේ යන්නේ නම් ඒ වගේ ප්‍රායෝගික පරීක්ෂණයක්ම නෙවෙයි වගේ. දැනට කරන බහුවරණ ප්‍රශ්න පත්‍රය ම ඔන්ලයින් සර්වර් එකක දාලා හරි උත්තරය තෝරන එක පරිගණකයෙන් කරන්න දෙනවා වගේ වැඩක් කියලයි හිතෙන්නේ. නැත්තං ඉතිං ෆෝන් එකෙන් කරන්න දෙන්නේ කොහොමද?
මේ විදියට විභාග තියෙන එකෙන් වාසි කීපයක් වෙනවා. එකක් තමයි ප්‍රශ්න පත්‍ර ඇගයීමට යන කාලය පිරිවැය ඉතිරි කර ගන්න එක. විභාගය ලියලා ඉවර වෙනකකොටම ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විභාග වල වෙන වංචා ගොඩක් අඩු කරගන්නත් මේ වගේ දේවල් වලින් පුළුවන්. කොපි කරනවා වගේ දේවල් මේ වගේ විභාග වලදි කරන්න බැහැ කොහොමත්ම. මොකද එක ළග ඉන්න දෙන්නෙක්ට එකම වෙලාවෙ ලැබෙන්නේ වෙනත් ප්‍රශ්න හන්දා. මේ වගේ විභාග තාම අපේ රටට හුරු නැති වුනාට ගොඩක් රටවල මේ දේවල් කෙරෙනවා.
හැබැයි මේ වගේ දේවල් කරන්න ගියාම ගැටලු නැතුවත් නෙවෙයි. ලොකුම ප්‍රශ්නේ යටිතල පහසුකම්. අපේ රටේ පාසැල් පරිගණක විද්‍යාගාර හා විදාතා මධ්‍යස්ථාන වල තියන සම්පත් මේ වැඩේට ඇතිද කියන එක තමයි ගැටලුව. පහුගිය ආණ්ඩුව කාලේ හදපු මහින්දෝදය විද්‍යාගාර ටිකට තමයි කොහොමත් වැඩේ අදින්න වෙන්නේ.  
“ඇයි එතකොට ඊට කලිං හදපු කොම්පියුටර් ලැබ් වලට මොකද වෙලා තියෙන්නේ”
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ
අපේ ඉස්කෝල වල ප්‍රින්සිපල්ලගේ ඉදලා හැම නිළධාරියෙක්ම හිතන් ඉන්නේ එක පාරක් කොම්පියුටරයක් ඉස්කෝලෙට දුන්නම මුලු ජීවිත කාලයම ඒක වැඩ කරන්න ඕනේ කියලා. එහෙම කියන එයාලගේ ඔෆිස් වල ෆොටෝකොපි මැෂින් අවුරුද්ද ගානේ අලුත් වෙනවා. පරන ඒවා කැඩෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පොඩි එවුන් පාවිච්චි කරන කොම්පියුටර් කැඩෙන්න බෑ. පරිගණක ගුරුවරයා තමයි ඒවට වග කියන්න ඕනේ. ඒවා කඩනවානේ ඒ ගුරුවරයා හිතලා මතලම.
ඒකේ අනික් පැත්ත තමයි ප්‍රින්සිපල්ගෙන් එලියට යන්නේ. එයා රට පුරා කියන්නේ එයාගේ ඉස්කෝලෙ හැම ලමයටම පරිගණක පහසුකම් තියනවා කියලා. උගන්නන ගුරුවරු විතරයි දන්නේ මැෂින් 20 ක් තිබුන ලැබ් එකේ මැෂින් 4 යි දැන් වැඩ කරන්නේ කියලා. ඒ හතරත් කොච්චර අමාරුවෙන්ද වැඩ කරන විදියට තියාන ඉන්නේ කියලා.
දැන් ඉතිං අපේ අලුත් විභාග කොමසාරිස් තුමා කොම්පියුටර් ගනන් කලේ මේ වගේ ප්‍රින්සිපල්ලගෙන් අහලනං තමයි වැඩේ අමාරු වෙන්නේ. කොහොම වුනත් කමක් නෑ. කොරන්න යන වැඩේ නං හොදයි. වැඩේ හරි ගියත් හොදයි. කොමසාරිස් තුමා ඇණ ගත්තත් හොදයි. මොකද එහෙම වුනොත් තමයි අපේ රටේ ලොකු ලොකු අයගේ ඇස් ඇරෙන්නේ. කැඩිලා තියෙන පරිගණක ටික හදාගන්න බැරිනං මොනවා හරි කරලා පරණ පරිගණක ටිකක් හරි හොයාන ලමයින්ට පාවිච්චි කරන්න දෙන්න විදුහල්පති වරුන්ට සිදුවේවි. ඒවා නැත්තං එයාලා ඉහලින් ඉල්ලාවි. කොහොම හරි ටිකක් කැලඹිලා යාවි. එහෙන් මෙහෙන් සද්දේ ඇහෙනකොට මොන මොනවා හරි වේවි.
මෙහෙම වැඩක් කරන්න හදනකොට තවත් කට්ටියක් කෑ ගන්ට ගනිවි අද හෙටම. කොම්පියුටරෙන් විබාග කොරන්ට කලින් ඩෙස් පුටු ටික හදලා දීපියව්. ඉස්කෝල වලට ගුරුවරු දීපියව්. පොත් ටික දීපියව්. කන්ට දීපියව්. අරක දීපියව් මේක දීපියව් කියලා දැන් ඇහෙන්ට ගනීවි. දේශප්‍රේමියෝ යැයි කියාගන්නා අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන වහල් මානසිකත්වයක් තියන කොට්ටාසෙකුත් අපේ රටේ ඉන්නවානේ. දැන් ඉතිං නුඹලා ගේ වාරයයි. කෑගහපියව්. මොඩ රැලක් දක්කපියව්. විබාග දෙපාර්තමේන්තුව වටකරවපියව්. පොලිසියට කියලා උන්ට ගුටි අන්නපියව්. උන් ගුටි කනකං තොපි හැංගිලා හිටපියව්. ඊට පස්සේ එලියට ඇවිත් පෝසටර් ගහපියව්. “නිදහස් අධ්‍යාපනය බේරා ගනිව්”
ඔවුන්ගේ තර්කයට අනුව නං එකෙක්ට කන්න නැතුව බඩගින්නේ ඉන්නවා නං ඒ වෙනුවෙන් මුලු රටක්ම බඩගින්නේ සිටිය යුතුයි. කන්ට තියෙන ඇයනුත් කෑම දිහා බල බලා හූල්ල හූල්ලා සිටිය යුතුයි. හැබැයි තර්ක කොරන උන් බඩගින්නේ ඉන්නවා කියලා පෙන්න පෙන්නා හොරෙන් කෑවට කමක් නැත්තේය.
මීට අවුරුදු ගනනාවකට කලිනුත් විබාග දෙපාර්තමේන්තුව ලොකු වැඩක් කරන්නට ගොහින් පස්ස බිම ඇන ගත්තේය. ඒ උත්තර පත්තර බලන මැෂිමක් ගෙනල්ලාය. ඒකෙත් බැට කෑවේ මේ GIT විබාගය කල ලමයින්මයි. දරුවන්ට OMR කඩදාසි වල උත්තර ලියන හැටි පුරුදු කොරන්නේ නැතිව විභාග පවත්වලා උත්තර පත්තර වලින් බාගයක්ම මැෂිමෙන් බලන්නට බැරි තත්වෙට පත්වෙලා උත්තර පත්තර බලාගන්න විදියක් නැතිව අවුරුදු ගානක් ප්‍රතිඵල නැතිව ඉන්නට වුනේ දරුවන්ටයි. මේ සැරෙත් අත්හදා බලන්නට යන්නේ ඒ විබාගයමයි. මේ සැරේ වරදින්නට එපා කියා අපි හැමෝම ප්‍රාර්තනා කරමු.
අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ මිනිසාගේ මූලික අවශ්‍යතා තුනක් ඇති බවත්, ඒවා ආහාර ඇදුම් නිවාස කියලාත්ය. නමුත් දැන් ඒ තුනටම වඩා “තොරතුරු” ඉදිරියට පැමිණ ඇත්තේය. කන්න බොන්න හරියට නැති ගෙදර, අදින්න හරියට නැති තැනක, හරි හමන් නිවසක් නැති තැනක වුනත් ස්මාර්ට් ෆෝන් එකක් , සැටලයිට් ටීවී එකක් තියෙන්නේ ඒ නිසායි. ඒ නිසාම තොරතුරු තාක්ෂණය එක්කලා ඉදිරියට යන්නේ නැති රටක් කවදාවත් ම දියුණු බවට පත්විය නොහැක්කේමයි.
තොරතුරු තාක්ෂණය පිළිගැනීමට නම් අලුත් විදියට හිතන පරපුරක් බිහිවිය යුත්තේය.
අලුත් විභාග කොමසාරිස් තුමනි, ඔබ තුමා ගොඩක් ඉස්සරහා ගැන හිතන, අලුත් විදියට ලෝකය දකින කෙනෙක්. අපේ රට ලස්සන රටක් කරන්න ඔබතුමාගේ ඒ දැක්ම ගොඩක් වටිනවා. ඔබතුමා තැබූ ඉදිරි පියවර සාර්තක කර ගැනීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සැලසේවා කියලා ප්‍රාර්තනා කරනවා.  

Sunday, July 15, 2018

රසම රස කතාවක්

මේක ට්‍රිප් යන කාලයක් නෙවෙයි. ට්‍රිප් එකක් ගැන කතා කරත් යුද්ධ ප්‍රකාශ වන කාලයක්. ඒ වාර විභාග හින්දා. විභාගයට මාසයක් විතර තියලා පහුගිය විභාගේ ප්‍රශ්න පත්තර ටික ගෙන්නගන්න විහින්දි ඒවා කරනවා. ඒ වගේම වෙන වෙන වැඩ නවත්තලා විභාගෙට පාඩම් කරනවා. සමහර දවසට ගොඩක් රෑ වෙනකන්ම පාඩම් කරනවා. ඒ වෙලාවට එයාගේ අම්මත් එයත් එක්කම ඇහැරලා ඉන්නවා. ඉස්සර නං විහින්දි ලගටම වෙලා හැම දෙයක් ම කියලා දෙන්නේ එයාගේ අම්මා. දැන් විහින්දි ටිකක් ලොකු හින්දා එයා එයාගේ පාඩම් වැඩ තනියෙම කරගන්නවා. ගැටලුවක් ආවොත් තමයි අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්නේ.
අම්මටත් දැන් ඒ වෙලාවේ පන්තියකට යන්න පුලුවන් වෙලා. විහින්දි පාඩම් කරන අතරේ එයාගේ අම්මගේ වැඩේ කේක් පන්ති යන එක.
“මේ මහ රෑ මොන කේක් පන්තිද? ” කියලා අහන්න එපා දැං
ඒ පන්තිය තියෙන්නේ එයාගේ ෆෝන් එකේ. එහෙම කිව්වට එයා කරන්නේ YouTube ගිහින් කේක් හදන වීඩියෝ බලන එක. පැය ගානක් වීඩියෝ බලනව කියන්නේ විහින්දිගේ තාත්තගේ ඇස් උඩයන වැඩක් තමයි. මාසෙම පාවිච්චි කරන්න තියෙන ඩේටා ටික දවසකින් දෙකකින් ඉවර කරලා දානවා කියන්නේ ඉතිං ඇස් උඩ යන දෙයක් තමයි. ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ෆෝන් වලින් YouTube වීඩියෝ බලද්දි ගොඩක් ඩේටා යන හේතුව. ඒක තමයි ඒකේ ඉබේම HD වීඩියෝ තේරිලා තියන එක. ඒ තරං ඉහල පින්තුර තත්වෙ වීඩියෝ බලන්න අගල් 40 ටීවි එකක් වත් ඕනේ. ෆෝන් එකෙන් වීඩියෝ කොලිටි ටිකක් අඩු කලා කියලා පින්තුර අපැහැදිලි නෑ.
“කෝ ඔය ෆෝන් එක ටිකක් දෙන්නකෝ” එහෙම කියලා අම්මගෙන් ෆෝන් එක ඉල්ලාගන්න විහින්දිගේ තාත්තා කරන්නේ වීඩියෝ Quality – 240p විතර වෙනකන් අඩු කරලා ආපහු දෙන එක. කලින් 720p ට තියෙද්දි පැයක් බලපු ඩේටා වලින් දැන් පැය 3 ක් බලන්න පුළුවන්.  
-විහින්දිගේ උපන් දින කේක් එක-
කේක් හදන්න නං ගොඩක් ඩටු මුට්ටු ඕනේ වෙනවා. විහින්දිගේ අම්ම ගාව ඒ ගොඩක් ජාති තියෙනවා. ඒවා කොච්චර ගනන් වුනත් එයා කොහොම හරි ඒවා ගන්නවා. ඒ වගේම ඒවා හොදට පරෙස්සං කරලා තියාගන්නත් එයා දන්නවා. විහින්දිගේ මේ අවුරුද්දේ උපන් දිනේට අම්මා හදපු කේක් එක ගොඩාක් ලස්සනයි. ඒ විහින්දි ගොඩක් ආස Barbie Girl කේක් එකක්. ඒ කේක් එකේ පපුවෙන් උඩ කෑල්ල විතරයි බෝනික්කෙක්. ඉතිරි හරිය ඔක්කොම කේක්. ඔය වගේ කේක් එකක් හදන්න ලේසි නෑ. ඒ ඇදුමේ තියෙන චූටි චූටි මල් වගේ ඒවා, රැලි ගවුම, මේවා හදන්න ගොඩක් වෙලාව යනවා. ඒවා හරි සියුම් වැඩ. විහින්දිගේ අම්මට දැන් නං ඒවා ලේසියෙන්ම කරන්න පුළුවන්. අනික ඉතිං හොරෙනුත් එපැයි හදන්න. නැත්තං ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑලුනේ.
ඔන්න ඉතිං දැන් ලස්සන උපන්දින කේක් හදාගන්න කැමති අය ට විහින්දිගේ අම්මව හම්බුනා නම් හරි. එයා ඒවට සල්ලි නං ගන්න එකක් නැහැ. තව අමතර කේක් එකකටත් එක්ක ඕනේ කරන බඩු ටික අරන් දුන්නම ඇති වෙයි.  


කේක් විතරක් නෙවෙයි විහින්දිගේ අම්මට ගොඩක් කෑම ජාති හදන්න පුළුවන්. එදා විහින්දිගේ උපන් දිනේ දවසේ එයාගේ අම්මා රසම රස Pizza ත් හදලා තිබුනා. එයා ඔය හැමදේම ඉගෙන ගත්තේ  ගෙදර ඉදලයි. ඕනේ කම තියෙනවා නං මේ ජංජාලේ ඇතුලේ මොනාද නැත්තේ ඉගෙන ගන්න. තියෙන්න ඕනේ, ඕනේකමයි, Data යි විතරයි. 

Monday, July 9, 2018

බෝතොට සටන් පන්තිය


“රජ්ජුරුවෝ දෙන්නම තමන්ගේ සේනාව එක්කරගෙන දෙපැත්තට වෙලා කදවුරු බැදගෙන සිටියා. සෙබලු ඉදිරියෙන් හිටියා. ඒ වගේම එයාලගේ නායකයෝත් සෙබලුන්ට පිටිපස්සෙන් හිටියා. රජතුමා විතරක් නෙවෙයි බිසවත් සටනට ඇවිල්ල. මහා යුද්ධයක් පටන් ගත්තා. යුද්ධයක් මෙහෙයවන්න ලේසි නෑ. හොදට යුද ශිල්පය ගැන දැනගෙන ඉන්න ඕනේ. රට රාජ්ජ වල කරක් ගහලා හොදට යුද ශිල්පෙ ප්‍රගුණ කරලා ඉන්න හොද පුහුණුකරුවො දෙන්නෙක් බෝතොට ට ඇවිල්ලා හරියට  යුද්ධ කරන හැටි උගන්නන්න.”


අද කතාව විහින්දි සම්බන්ධ නැති වුනාට විහින්දි වගේම පුංචි දරුවෝ ගොඩක් ගැන කතාවක්. ඒ තමයි බෝතොට කණිෂ්ට විද්‍යාලයේදී පුංචි දූලා පුතාලා වෙනුවෙන් පැවැත්වුන චෙස් කඳවුර  ගැන.
බෝතොට කණිෂ්ඨ විද්‍යාලය තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ. බෝතොට කියන්නේ රජ කාලේ ඉදලා ප්‍රසිදධ ගමක්. ඒත් බෝතොට ඉස්කෝලේ කියන්නේ පුංචි ඉස්කෝලයක්. පස්වෙනි ශ්‍රේණිය වෙනකන් විතරයි පන්ති තියෙන්නේ. මුළු ඉස්කෝලෙම ළමයි එකසිය හැත්තැ පහක් විතර තමයි ඉගෙන ගන්නේ. ඒ ගමේම දරුවොයි අවට ගම්වල දරුවොයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලිනුත් බෝතොට ඉස්කෝලේ, කටුගස්තොට කලාපෙම හොද නමක් තියලයි තියෙන්නේ. හැම අවුරුද්දෙම ළමයි තිස්පස්දෙනෙකුගෙන් පස්හය දෙනෙක්ම ශිෂ්‍යත්වෙ ඉහලින්ම පාස් වෙනවා. ලකුණු 120 සීමාවෙන් ඉහල ගන්න ප්‍රතිශතය සීයට සීයක්. ඒක ඉතිං විදුහල්පති තුමාගෙයි, ඉස්කෝලේ ගුරු මණ්ඩලයෙයි කැපවීමෙ ප්‍රතිඵල තමයි.

පහුගිය දවසක මේ ඉස්කෝලේ පුතෙකුයි දුවෙකුයි සමස්ත ලංකා චෙස් තරග වලට සම්බන්ධ වෙන්න කොළඹ ආවා. ඒ වෙලාවෙ මේ දරුවො ගැන දැනගෙන එයාලට චෙස් ඔර්ලෝසුවක් එක්ක තවත් උපකරණ අරන් දෙන්න වෙසක් පෝය දවසේ ටියුෂන් කරපු කතාව ඔයාලා කියවන්න ඇති. මේ ඒ කතාවේ දෙවෙනි අදියර.

යොහාන් මහත්තයා කියන්නේ චෙස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉහලින් ඉන්න ජාතික පුහුණුකරුවෙක් (National Instructor). ඒ වගේම අසංග මහත්තය ජාතික මට්ටමේ ප්‍රවර්ධන පුහුණුකරුවෙක් (Development Instructor) . ඒ දෙන්නම එක්කලා සෙනසුරාදා පාන්දර හතරට විතර කොළඹින් පිටත් වුනේ උදේ අට හමාරට පටන් ගන්න චෙස් පුහුණු කදවුරට සම්බන්ධ වෙන්න. කොහොම හරි අපි වෙලාවට එතන්ට ආවා. විදුහල්පති තුමයි, දෙමාපියනුයි, ළමයිනුයි අපි එනකන් මග බලාගෙන ඉදලා. ඒ ඉස්කෝලේ විතරක් නෙවෙයි අත්තරගම කණිෂ්ටෙ, මැදවල කණිෂ්ටෙ, උඩුවාවල කණිෂ්ටෙ විතරක් නෙවෙයි ගෝනිගොඩ ඉස්කොලෙත්, තවත් ඉස්කෝල කීපයකමත් ලමයි ඇවිල්ල හිටියා.


ගොඩක් ලොකු ලොකු අයට පොඩි දරුවොත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒත් මේ පුහුණුකරුවෝ දෙන්නා පොඩි දරුවොත් එක්ක දවස ගත කරපු හැටි දැක්කම පුදුමත් හිතෙනවා. ඒ තරම්ම දරුවන් එක්ක සමීප වෙලා. දරුවෝ ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා. අලුත් නීති දැන ගත්තා. කෙටි ක්‍රම ඉගෙන ගත්තා. එයාලා ආස කරන විදියේ චෙස් ගැන වීඩියෝ කාටුන් එහෙමත් බලන්න පුළුවන් වුනා. යොහාන් සර් ගෙන් ඉස්කෝලෙට වටිනා තෑගිත් ලැබුනා. කොහොම කොහොම හරි දවස ගෙවෙන කල්ම පොඩ්ඩන්ට තේරුනේ නෑ.

පොඩ්ඩන්ගේ අම්මලා තාත්තලාත් මේ වැඩේට ගොඩක් උදව් කලා. විදුහල්පති තුමාගේ හයියත් නොවෙන්නට වැඩේ මෙච්චර ලස්සනට කරගන්න ලැබෙන්නේ නෑ.


“මමත් කවදා හරි හොදට චෙස් ඉගෙන ගෙන ලංකාව වෙනුවෙන් තරග කරන්න ලෝකේ වෙන රටවල් වලට යනවා”
“වැඩසටහනට ගොඩාක් කැමතියි”
“චෙස් වලට ගොඩක් ආස හිතුනා”
“ඊළග වතාවේ මම සමස්ත ලංකා දිනනවා ”
දරුවෝ වැඩසටහන අන්තිමට ලියලා දුන්න කොල කෑලි වල එහෙම තිබුනා.


Thursday, July 5, 2018

කුවේණී



ඒ අපේ රට ඉතිහාසයේ සශ්‍රීකම යුගයක්- මිනිස්සු ගොඩක් සතුටින් හිටියා ඒ කාලේ. යක්ෂ ගෝත්‍රිකයෝ කිව්වට ඒ අය සවි ශක්තිමත් මිනිස්සු. එයාලා තමයි රටේ කර්මාන්ත කලේ. කෘෂි කර්මාන්තයේ ඉදලා යකඩ කර්මාන්තය වගේ තාක්ෂණය ඉහලින් ඕනේ කර්මාන්ත පවා ඒ යුගයේ තිබ්බා.
එදා රටේම උත්සව තිබුන දවසක්. ඒ වුනාට එදා මහ කරුමක්කාර දවසක්. කොහෙන්දෝ රටකින් පන්නපු හොර රැලක් තම්බපන්නියෙන් ලංකාවට ගොඩවෙන්නේ එදා. හොරු රැල මුලින්ම දැක්කේ තම්බපණ්ණියේ තඹ පාට වැල්ල. එදා උත්සවේට යන්න වරම් නැතිව හිටපු යක්ෂ රැහේ කුවේණි මේ හොර නායකයාට වහ වැටිලා තමන්ගේ මුලු සංහතියම පාවලා දෙනවා. මුලු නගරෙම ගිණිබත් කරලා දානවා. ඒ එදා මහා පාවාදීම සිද්ද වුනේ එහෙමයි.



ඒත් අද...

ඒ කුවේණි හිටපු මාලිගාව පැත්තම මහ කැලයක් වෙලා. ඒක තියෙන්නේ විල්පත්තු මහ කැලේ මැද්දේ. විජය ගොඩබැස්සේ තම්බපණ්ණිය.. තියෙන්නේ ඒ කැලේ කෙළවරේ මුහුද අයිනේ. කුදිරමලේ තුඩුවත් ඒ ළගමයි. එතනත් විශේෂ තැනක්. එතන තියෙන පිළිස්සුනු පස් වගේ තියෙන විශේෂ පාෂාන වර්ගය වෙන කොහේවත් නැහැ.
පහුගිය දොහේ, දවස් දෙකක විල්පත්තු සංචාරයක් ගිහින් ආපු විහින්දිගේ තාත්තා මෙහෙම ලියනවා

කුවන්නා සොයා ගියෙමු.


"විල්ලු පිරුනු විල්පත්තුවේ
මහ වනය තරණය කර
සොයා ආවෙමු නුඹව

අපේ කම පාවා දී
නුඹ යන්න ගිහින්

ඒත් ඒ මතකයන් තාමත්
ගල් කණු අතර හිරවෙලා...
ආගන්තුකයා දැකපු
තඹ වැල්ල, තාමත් තඹ පාටමයි...

නුඹ ඇවිලූ ගින්නෙන්
පිලිස්සී ගිය පස්කඳු
කුදිරමලේ තුඩුවේ
තාමත් එලෙසමයි..."

Tuesday, July 3, 2018

දරුවට ටැබ් එකක් අරන් දෙමුද?

ඉස්කෝලේ යන දරුවෙකුට ටැබ් එකක් ඕනෙද? ගොඩක් අය ඒකට එක එක උත්තර දේවි. එහෙම නං ස්මාර්ට් ෆෝන් එකක්? ඒකටත් එහෙමයි.
කවුරු කොහොම මේකට උත්තර දුන්නත් දැන් ඉන්න ළමයි ගොඩක් අය ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. අම්මට තාත්තට ස්මාර්ට් ෆෝන් තියනවා නම් ඒක එයාලගේ කර ගන්න සූත්තරේ දරුවෝ දන්නවා. කොහොම හරි ෆෝන් එක අරන් ගේම් ගහන්න තමයි එයාලට ඕනේ. ගොඩක් දරුවෝ දන්නේ ඇත්තටම ෆෝන් එක කියන්නේ සෙල්ලම් බඩුවක් කියලා.
ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලා එයාලගේ ෆෝන් දරුවන්ට දෙනවා නම් ඒවගේ දරුවන්ටත් වැඩක් වෙන්න ඕනේ. ඒකේ දරුවන්ටත් වැඩක් වෙන දේවල් තියෙන්න ඕනේ.

“එහෙම දේවල් තියෙනවාද?”

“ඔව් ඇත්තටම දරුවන්ට වැදගත් වන ඇප් ඕනේ තරම් තියෙනවා. වෙලා තියෙන්නේ අපි ඒවා ගැන හොයන්නේ නැති එකයි, දැනුවත් නැති එකයි.”
-පින්තුරය අන්තර්ජාලයෙන්-

දැන් මම මෙහෙම යෝජනාවක් ගේනවා. අපි හැමෝම එකතු වෙලා දරුවන්ට වැදගත් වන ස්මාර්ට් ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි හදමු. දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට, නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලාට, ගුරුවරුන්ට, දරුවන්ට ආදරේ වැඩිහිටියන්ට, ඒ වගේම ඉගෙන ගන්න දරුවන්ටත් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්.
අපි මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් වලින් පටන් ගමු. වැඩේට එකතු වෙන අයට පොඩි කැප කිරීමක් කරන්න වෙනවා හැබැයි. මුලින්ම දරුවන්ට සුදුසු වැඩසටහන් හොයන්න ඕනේ. සුදුසුයි කියල හිතෙන ඒවා තමන්ගේ ෆෝන් එකට හරි ටැබ් එකට හරි ඉන්ස්ටෝල් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා බලන්න ඕනේ ඇත්තටම ඒකේ අන්තර්ගතය මොකක්ද, වටිනාකමක් තියෙනවා ද කියලා. එහෙම වටින ඇප් එකක් නම් අපිට කියන්න ඒක මොකක්ද, මොනවද ඒකේ තියෙන්නේ කියලා. අපි ඒක පොදු තැනක තියාගමු. කලින් හොයාගත්තු ඒවා ආයෙම හොයන්න වෙන්නේ නැහැනේ එතකොට. මේ විදියට කට්ටියම එකතු වුනොත් ගොඩක් වටින ඇප් ගොඩක් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා වයස් කාන්ඩ අනුව ගලපලා හරි වෙනත් විදියකට ගලපලා හැමෝටම දෙන්න පුළුවන්.
මේ වැඩසටහනට එකතු වෙන්න කැමති අය පහතින් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. කැමති අය වෙනම හමුවෙලා කරන විදිය කතා කර ගනිමු. අපි හැමෝම එකතු වෙලා දරුවන්ට හොද දෙයක් දෙමු. 

තාක්ෂණික ලෝකයෙන් දරුවන් ඈත් කරන්න අපිට බැහැ. තාක්ෂණයෙන් නිවැරදිව වැඩ ගන්න දරුවෝ පිරිසක් බිහි කලොත් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය.

Monday, July 2, 2018

නරකම වෘර්කයෙක් දුන් නරකම ආරංචිය...


මේ ඉරිදා දවසේ විහින්දිගේ තාත්තා හදිසියේම නුවර ආච්චි සීයා බලන්න ගියා. එයා ගෙදර එනකොට ගොඩක් රෑ වෙලා. වෙලාව නවයත් පහු වෙලයි තිබුනේ. තාත්තා, ආචිචි සීයා බලන්න ගියාම ගොඩක් දේවල් අරන් එන හින්ද විහින්දි කොහොමත් මග බලාගෙනයි හිටියේ. කවදාවත් නැති තරම් ගොඩක් ජාති එදා විහින්දිට එවලා තිබුනා ගමේ ආච්චි සීයා විතරක් නෙවෙයි තව මාමලා නැන්දලා කීප දෙනෙක්ම. කාම්බරංගා, අලිගැටපේර, රඹුටන්, දූරියන්, කෙසෙල් විතරක් නෙවෙයි තව චොකලට් එහෙමත් එදා අරගෙනයි තාත්තා ගෙදර ආවේ. විහින්දි යි ගෙදර අනික් අයයි තාත්තා ගෙනාපු දේවල් වලට වග කියන අතරේ තාත්තා ඇගපත හෝදගෙන කාල එහෙම ඉවර වෙලා විහින්දි ලගට ආවා.

“දුවේ. Book fair යමුද? පොත් ටිකක් අරන් එන්න”
“ශා... නියමයිනේ. Big Bad wolf නේද? අනේ යමුකෝ”
“අම්මේ..... තාත්තා Big Bad Wolf යන්න කතා කරනවා.. යමුකෝ....” විහින්දි කෑ ගැහුවා.
වෙලාව රෑ දහටත් කිට්ටුයි. පොත් ප්‍රදර්ශනය දවල් රෑ දෙකේම තියෙන හින්දා මේ වෙලාවෙ යන එක තමයි ටිකක් නුවණට හුරු.
Big Bad Wolf කියන්නේ ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක්. මේ වතාවේ පොත් මිලියන එකහමාරක් ම අලෙවියට තියෙනවා කියලා තමයි සංවිධායකයෝ කියන්නේ. තියෙන්නේ ඔක්කෝම ඉංග්‍රීසි පොත්. පොඩි අයට ලොකු අයට තරුණ අයට විවිධ විවිධ විෂයන් වල විවිධාකාරයේ පොත් ගොඩාක් තියෙනවා ගොඩක් අඩු මිලට. ඒවට ගොඩක් ම වට්ටම් එක්ක ගන්න පුළුවන්. මේ සැරේ ප්‍රදර්ශනය පටන් ගත්තේ පසුගිය පූනි 28 වෙනිදා. එදා ඉදලා ජූලි 8 වෙනිදා වෙනකන් එක දිගටම දවල් රෑ නැතුව මේ ප්‍රදර්ශනය තියෙනවා. තියෙන්නේ කොළඹ කොටුවේ ලේක් හවුස් එක ළග තියෙන ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ.
“තාත්තේ සැප්තැම්බර් මාසේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයටත් යනවානේ. අනික මේ දවස්වල මට වාර විභාගයත් තියනවා නේ. ඒ හින්ද මට පොත් ගොඩක් කියවන්න වෙලාව නැහැ. මට පොත් තුනක් හතරක් අරන් දෙන්න ඒ ඇති”
විහින්දි කොහොමත් සැප්තැම්බර් Book fair එකේදි හැම අවුරුද්දෙම වාගේ එයාගේ අම්මට ලොකු බිලක් දානවා.
පින්තූරය - www.sundaytimes.lk ඇසුරින්
කොහොම හරි කට්ටිය ලෑස්ති වෙලා එතන්ට යනකොට රෑ දහය හමාරට විතර ඇති. අපෝ.. මෙච්චර රෑ වෙලත් ඉන්න සෙනග. පොත් ගන්න රෑට එන එක ලේසියි කියලා ගොඩක් අය දන්නවා. එතන පොත් ගන්න යන්න තියෙන්නේ සුපර්මාර්කට් යනවා වගේ ට්‍රොලියක් තල්ලු කරගෙන. සමහරු ට්‍රොලි පිරෙන්නම පොත් අරන්.
විහින්දි නං පොත් ගොඩක් ගන්න ආවේ නැති හින්දා ට්‍රොලියක් ගත්තේ නැහැ. එයා ඒත් හැම පොත් ගොඩක්ම වගේ පීරලා බැලුවා. එයා විශ්ව කෝෂයකුයි, තව කතන්දර පොත් කීපයකුයි තෝරාගත්තා. පැය දෙකක් විතර පොත් ගොඩවල් අතරේ හිටපු එයාලා තෝරගත්තු පොත් ටික අරන් බිල් ගෙවන කවුන්ටරයට ගියා.
විහින්දිගේ තාත්ත පොත්ටිකයි එයාගේ බැංකු කාඩ් එකයි එතන හිටපු අක්කට දුන්නා. එයා බිල හදලා ඉවර වෙලා තාත්තගේ කාඩ් එක එතන තිබුන මැෂින් එකට ඇතුල් කලා. එතකොට තමයි එයා අමාරුවේ වැටුනේ. ඒ අක්කා දෙතුන් පාරක්ම කාඩ් එක අරන් ආපහු දැම්මා. මොකක් හරි අවුලක් වගේ පෙනුනා. එයා ඒක වෙන මැෂින් එකකට දැම්මා. මූන ඇඹුල් කරගෙන ඒ දිහා බලන් හිටියා. එතකොට එතන්ට ආපු තව අක්කා කෙනෙක් ඒක බලලා එයාට දෙයක් කියලා දුන්නා.


පින්තූරය - www.sundaytimes.lk ඇසුරින්
“ මේක pin එක ගහන්න ඕනේ කාඩ් එකක්”
“එහෙමත් ඒවා තියෙනව ද”
“ඔව් සමහර ඒවා එහෙම තියෙනවා” අක්කලා දෙන්නා බරටම ඉංගිරිසියෙන් කතා වෙනවා විහින්දි අහගෙන හිටියා. ඒ අක්කා මැෂින් එක තාත්ත අතට දීලා pin අංකය ගහන්න කියාලා බිල දාලා දුන්නා.
මේක වෙන්ට පුළුවන් දෙයක්ද? ඒ කැෂියර් එකේ හිටපු ළමයාට ඒ විදියේ කාඩ් එකක් මීට කලින් හම්බ වෙලා නැහැ කියන්නේ ලංකාවේ ගොඩක් අය තාම පාවිච්චි කරන්නේ ගොඩක් පරන කාඩ් ක්‍රමය කියන එකනේ. සාමාන්‍ය පැරණි බැංකු කාඩ් පත් වලදී ATM එකකින් මුදල් ගනිද්දි pin නම්බර් එක ගහන්න ඕනේ වුනාට කඩේකින් බඩු ගන්කොට මොකුත්ම අංක ගහන්න ඕනේ නැහැ. ඒ හින්දා තමයි කාඩ් පතක් නැති වුනාම ඒක ගත්තු කෙනෙකුට ඕනෙම සුපර් මාකට් එකකින් හරි කාඩ් ගන්න ඕනෙම තැනකින් බඩු ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතිං කාඩ් එක නැතිවෙලා කියලා දැනගන්න කට්ටියගේ බොකු බඩවැල් උණු වෙන්නේ මේ වැඩේ හින්ද. ඒත් sim and pin තියන කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙකුට එහෙම බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. සල්ලි ගන්න වුනත් බඩු ගන්න වුනත් හැම වෙලාවෙම pin අංකය දෙන්න ඕනේ හින්ද කාඩ් එක විතරක් ගත්තු කෙනෙකුට වැඩක් ගන්න අමාරුයි.
“එතකොට ඉන්ටනෙට් එකෙන් ගෙවන වෙලාවට?”
e-bay වලින් මොනවා හරි බඩුවක් ගෙන්නන කොට හරි අන්තර්ජාලය හරහා වෙන වතුරබිලක් ලයිට් බිලක් හරි වෙන මොනවා හරි ගෙවීමක් කරන්න ඕනේ වුනාම කාඩ් නොම්බරය තියනවා නම් ඒක කරන්න පුළුවන්.
විහින්දිගේ තාත්තගේ කාඩ් එකට නම් ඒ ප්‍රශ්නෙත් නැහැ. එයා බැංකුවට කතා කරලා OTP සේවාව ක්‍රියාත්මක කරලයි තියෙන්නේ. OTP කියන්නේ One Time Password කියන එක. ඒ කියන්නේ එක වරක් පමණක් පාවිච්චි කරන්න පුළුවන් පාස්වර්ඩ් එකක්.එයා අන්තර්ජාලය හරහා ගෙවීමක් කරන්න නොම්බරය ගහන හැම වෙලාවෙම ඒ වෙලාවේ පාවිච්චි කරන පාස්වර්ඩ් එක එයාගේ ෆෝන් එකට SMS එකකින් එනවා. ඒ පාස්වර්ඩ් එකත් එකපාරක් විතරයි පාවිචිච්චි කරන්න පුළුවන්. ඒ හින්ද කාටවත් කාඩ් අංකයයි පාස්වර්ඩ් එකයි දෙකම තිබ්බත් කාටවත්ම වැඩක් ගන්න බැහැ.
මේ සේවාවන් දෙකම කාඩ්පත අදාල බැංකුවට කතා කරලා සක්‍රිය කරගන්න පුළුවන් ඒවයි. ඒත් ගොඩක් අය ඒ වගේ දේවල් දන්නේවත් නැති පාටයි.
පොත් අරගෙන එළියට ඇවිල්ලා එතන තිබුන කෑම කඩේකින් “කෝත්තු-කොත්තු”ත් කාලා කට්ටිය ගෙදර එනකොට පාන්දර එකත් පහුවෙලා. පහුවදා නෙවෙයි එදාම තව ටිකකින් ඉස්කෝලේ යන්නත් තියෙනවා. ගෙදර ඇවිල්ලා නිදාගත්තා නෙවෙයි නින්ද ගියා හැමෝටම.