Thursday, July 19, 2018

කොම්පියුටරෙන් විභාග ලියමුද?

“විභාගේ විභාගේ -
එහෙ බැලුවත් විබාගේ...- මෙහෙ බැලුවත් විබාගේ..
විබාගේ තමයි අපේ අබාගේ............”
සෝමලතා සුබසිංහ කලකට කලින් දැක්ක විකෘතිය තමයි ඒ. තාමත් ඒ විකෘතිය එහෙමමයි. විබාග කියන්නේ ලමයිට විතරක් නෙවෙයි හැමෝටම එපා කරපු එකක් වෙලා. මේ සැරේ ඉදලා උසස් පෙල විභාගේ ලියන ලමයින්ට ප්‍රශ්න පත්‍රය කියවන්න කියලා වෙනම විනාඩි දහයක් දෙන්න තීරණය කරලාත් තියෙන්නේ ළමයින්ගේ තියන ආතතිය අඩු කරන්නලු.
විහින්දිගේ තාත්තට ලගදි දවසක විභාග කොමසාරිස් තුමා මුනගැහිලා. ප්‍රශ්න පත්‍ර බලන නැන්දලා මාමලා කට්ටියකට දේශනයක් දෙන වෙලාවකදි. ඒ වෙලාවෙ ගොඩක් දේවල් ඒ මහත්තයා කියලා තියෙනවා. දැන් විභාග දෙපාර්තමේන්තුවේ වැඩ ගොඩක් පරිගණක ගත කරලා තියෙන්නේ. ඒ හින්දා ගොඩක් අයට එයාලගේ වැඩ ලේසියෙන් කරගන්න පුළුවන් වේවි ඉස්සරහට. දුර පළාතක ඉන්න කෙනෙකුට උනත් සහතිකයක් එහෙම ගන්න ඕනේ වුනොත් කොළඹට එන්නේ නැතිව ඔන්ලයින් ගිහින් ඒක ඉල්ලුවාම ගෙදරටම තැපැලෙන් එවන විදියට දැන් වැඩ ලෑස්තිලු. ඉස්සරහට විභාග අයදුම්පත් එහෙමත් තැපෑලෙන් එන එකක් නැතිවෙයි. තමන්ගේ අයදුම්පත තමන්ටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වේවි. පහුගිය තැපැල් වර්ජයේ දවස්වල ඒ වගේ වැඩක් කරලත් තියෙනවා. වැඩේ හිතුවටත් වැඩිය හරි ගිහින්.
කොහොම හරි අලුත් විභාග කොමසාරිස් තුමා ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්ලු. එහෙම අය තමයි අපේ රටේ පරිපාලන ක්ෂේත්‍රයට ඕනේ කරන්නේ. එයාලට විතරයි මේ යල් පැන ගිය ක්‍රම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.
කොහොම හරි ඔන්න මේ අවුරුද්දේ ඉදලා 12 පන්තියට තියන GIT විභාගය ඔන්ලයින් ක්‍රමයට කරන්න ලැස්තිලු. ඒක අදියර තුනකින් කරන්න කියලා තමයිලු ලැහැස්ති කරලා තියෙන්නේ. පළවෙනි අදියරේදි ළමයින්ට තමන්ගේ ගෙවල් වල ඉදලම කරන්න පුලුවන් විදියේ ප්‍රශ්න පත්‍රයක් ලු තියෙන්නේ. ඒක ස්මාර්ට් ෆෝන් එකකින් වුනත් කරන්න පුළුවන් වෙයිලු. දෙවෙනි අදියරේදි පාසලේ දි කරන්න පුළුවන් විදියේ එකක්ලු. ඒ දෙකම පුහුණු ප්‍රශ්න පත්‍ර දෙකක්. තුන්වෙනි අදියර තමයි නියම ප්‍රශ්න පත්‍රයට ළමයට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නම් කරන ලද පරිගණක මධ්‍යස්ථානයකදි.

-පින්තූරය අන්තර්ජාලයෙන්-
GIT කියන්නේ තොරතුරු තාක්ෂණ විභාගයක්. ඇත්තටම ඒ වගේ එකක් ප්‍රායෝගික පරීක්ෂණයකුත් එක්කම වෙනවා නම් තමයි වැඩය හොද. හැබැයි මේ කරන්නේ යන්නේ නම් ඒ වගේ ප්‍රායෝගික පරීක්ෂණයක්ම නෙවෙයි වගේ. දැනට කරන බහුවරණ ප්‍රශ්න පත්‍රය ම ඔන්ලයින් සර්වර් එකක දාලා හරි උත්තරය තෝරන එක පරිගණකයෙන් කරන්න දෙනවා වගේ වැඩක් කියලයි හිතෙන්නේ. නැත්තං ඉතිං ෆෝන් එකෙන් කරන්න දෙන්නේ කොහොමද?
මේ විදියට විභාග තියෙන එකෙන් වාසි කීපයක් වෙනවා. එකක් තමයි ප්‍රශ්න පත්‍ර ඇගයීමට යන කාලය පිරිවැය ඉතිරි කර ගන්න එක. විභාගය ලියලා ඉවර වෙනකකොටම ප්‍රතිඵල බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විභාග වල වෙන වංචා ගොඩක් අඩු කරගන්නත් මේ වගේ දේවල් වලින් පුළුවන්. කොපි කරනවා වගේ දේවල් මේ වගේ විභාග වලදි කරන්න බැහැ කොහොමත්ම. මොකද එක ළග ඉන්න දෙන්නෙක්ට එකම වෙලාවෙ ලැබෙන්නේ වෙනත් ප්‍රශ්න හන්දා. මේ වගේ විභාග තාම අපේ රටට හුරු නැති වුනාට ගොඩක් රටවල මේ දේවල් කෙරෙනවා.
හැබැයි මේ වගේ දේවල් කරන්න ගියාම ගැටලු නැතුවත් නෙවෙයි. ලොකුම ප්‍රශ්නේ යටිතල පහසුකම්. අපේ රටේ පාසැල් පරිගණක විද්‍යාගාර හා විදාතා මධ්‍යස්ථාන වල තියන සම්පත් මේ වැඩේට ඇතිද කියන එක තමයි ගැටලුව. පහුගිය ආණ්ඩුව කාලේ හදපු මහින්දෝදය විද්‍යාගාර ටිකට තමයි කොහොමත් වැඩේ අදින්න වෙන්නේ.  
“ඇයි එතකොට ඊට කලිං හදපු කොම්පියුටර් ලැබ් වලට මොකද වෙලා තියෙන්නේ”
ඔන්න ඕක තමයි ප්‍රශ්නේ
අපේ ඉස්කෝල වල ප්‍රින්සිපල්ලගේ ඉදලා හැම නිළධාරියෙක්ම හිතන් ඉන්නේ එක පාරක් කොම්පියුටරයක් ඉස්කෝලෙට දුන්නම මුලු ජීවිත කාලයම ඒක වැඩ කරන්න ඕනේ කියලා. එහෙම කියන එයාලගේ ඔෆිස් වල ෆොටෝකොපි මැෂින් අවුරුද්ද ගානේ අලුත් වෙනවා. පරන ඒවා කැඩෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි පොඩි එවුන් පාවිච්චි කරන කොම්පියුටර් කැඩෙන්න බෑ. පරිගණක ගුරුවරයා තමයි ඒවට වග කියන්න ඕනේ. ඒවා කඩනවානේ ඒ ගුරුවරයා හිතලා මතලම.
ඒකේ අනික් පැත්ත තමයි ප්‍රින්සිපල්ගෙන් එලියට යන්නේ. එයා රට පුරා කියන්නේ එයාගේ ඉස්කෝලෙ හැම ලමයටම පරිගණක පහසුකම් තියනවා කියලා. උගන්නන ගුරුවරු විතරයි දන්නේ මැෂින් 20 ක් තිබුන ලැබ් එකේ මැෂින් 4 යි දැන් වැඩ කරන්නේ කියලා. ඒ හතරත් කොච්චර අමාරුවෙන්ද වැඩ කරන විදියට තියාන ඉන්නේ කියලා.
දැන් ඉතිං අපේ අලුත් විභාග කොමසාරිස් තුමා කොම්පියුටර් ගනන් කලේ මේ වගේ ප්‍රින්සිපල්ලගෙන් අහලනං තමයි වැඩේ අමාරු වෙන්නේ. කොහොම වුනත් කමක් නෑ. කොරන්න යන වැඩේ නං හොදයි. වැඩේ හරි ගියත් හොදයි. කොමසාරිස් තුමා ඇණ ගත්තත් හොදයි. මොකද එහෙම වුනොත් තමයි අපේ රටේ ලොකු ලොකු අයගේ ඇස් ඇරෙන්නේ. කැඩිලා තියෙන පරිගණක ටික හදාගන්න බැරිනං මොනවා හරි කරලා පරණ පරිගණක ටිකක් හරි හොයාන ලමයින්ට පාවිච්චි කරන්න දෙන්න විදුහල්පති වරුන්ට සිදුවේවි. ඒවා නැත්තං එයාලා ඉහලින් ඉල්ලාවි. කොහොම හරි ටිකක් කැලඹිලා යාවි. එහෙන් මෙහෙන් සද්දේ ඇහෙනකොට මොන මොනවා හරි වේවි.
මෙහෙම වැඩක් කරන්න හදනකොට තවත් කට්ටියක් කෑ ගන්ට ගනිවි අද හෙටම. කොම්පියුටරෙන් විබාග කොරන්ට කලින් ඩෙස් පුටු ටික හදලා දීපියව්. ඉස්කෝල වලට ගුරුවරු දීපියව්. පොත් ටික දීපියව්. කන්ට දීපියව්. අරක දීපියව් මේක දීපියව් කියලා දැන් ඇහෙන්ට ගනීවි. දේශප්‍රේමියෝ යැයි කියාගන්නා අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන වහල් මානසිකත්වයක් තියන කොට්ටාසෙකුත් අපේ රටේ ඉන්නවානේ. දැන් ඉතිං නුඹලා ගේ වාරයයි. කෑගහපියව්. මොඩ රැලක් දක්කපියව්. විබාග දෙපාර්තමේන්තුව වටකරවපියව්. පොලිසියට කියලා උන්ට ගුටි අන්නපියව්. උන් ගුටි කනකං තොපි හැංගිලා හිටපියව්. ඊට පස්සේ එලියට ඇවිත් පෝසටර් ගහපියව්. “නිදහස් අධ්‍යාපනය බේරා ගනිව්”
ඔවුන්ගේ තර්කයට අනුව නං එකෙක්ට කන්න නැතුව බඩගින්නේ ඉන්නවා නං ඒ වෙනුවෙන් මුලු රටක්ම බඩගින්නේ සිටිය යුතුයි. කන්ට තියෙන ඇයනුත් කෑම දිහා බල බලා හූල්ල හූල්ලා සිටිය යුතුයි. හැබැයි තර්ක කොරන උන් බඩගින්නේ ඉන්නවා කියලා පෙන්න පෙන්නා හොරෙන් කෑවට කමක් නැත්තේය.
මීට අවුරුදු ගනනාවකට කලිනුත් විබාග දෙපාර්තමේන්තුව ලොකු වැඩක් කරන්නට ගොහින් පස්ස බිම ඇන ගත්තේය. ඒ උත්තර පත්තර බලන මැෂිමක් ගෙනල්ලාය. ඒකෙත් බැට කෑවේ මේ GIT විබාගය කල ලමයින්මයි. දරුවන්ට OMR කඩදාසි වල උත්තර ලියන හැටි පුරුදු කොරන්නේ නැතිව විභාග පවත්වලා උත්තර පත්තර වලින් බාගයක්ම මැෂිමෙන් බලන්නට බැරි තත්වෙට පත්වෙලා උත්තර පත්තර බලාගන්න විදියක් නැතිව අවුරුදු ගානක් ප්‍රතිඵල නැතිව ඉන්නට වුනේ දරුවන්ටයි. මේ සැරෙත් අත්හදා බලන්නට යන්නේ ඒ විබාගයමයි. මේ සැරේ වරදින්නට එපා කියා අපි හැමෝම ප්‍රාර්තනා කරමු.
අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ මිනිසාගේ මූලික අවශ්‍යතා තුනක් ඇති බවත්, ඒවා ආහාර ඇදුම් නිවාස කියලාත්ය. නමුත් දැන් ඒ තුනටම වඩා “තොරතුරු” ඉදිරියට පැමිණ ඇත්තේය. කන්න බොන්න හරියට නැති ගෙදර, අදින්න හරියට නැති තැනක, හරි හමන් නිවසක් නැති තැනක වුනත් ස්මාර්ට් ෆෝන් එකක් , සැටලයිට් ටීවී එකක් තියෙන්නේ ඒ නිසායි. ඒ නිසාම තොරතුරු තාක්ෂණය එක්කලා ඉදිරියට යන්නේ නැති රටක් කවදාවත් ම දියුණු බවට පත්විය නොහැක්කේමයි.
තොරතුරු තාක්ෂණය පිළිගැනීමට නම් අලුත් විදියට හිතන පරපුරක් බිහිවිය යුත්තේය.
අලුත් විභාග කොමසාරිස් තුමනි, ඔබ තුමා ගොඩක් ඉස්සරහා ගැන හිතන, අලුත් විදියට ලෝකය දකින කෙනෙක්. අපේ රට ලස්සන රටක් කරන්න ඔබතුමාගේ ඒ දැක්ම ගොඩක් වටිනවා. ඔබතුමා තැබූ ඉදිරි පියවර සාර්තක කර ගැනීමට අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සැලසේවා කියලා ප්‍රාර්තනා කරනවා.  

5 comments:

  1. 92 දි කරපු අපොස විභාගයේ විභාග දෙපාර්තුමෙන්තුවේ සහතිකයවත් තාම ලැබිලා නෑ. දැන් ඉල්ලුම් කලොත් ලැබේවිද? එක්කෝ ඔනේ නෑ. එදා නොලැබිච්චි සහතිකේ දැන් මොකටැයි.

    ReplyDelete
  2. ළමයින්ට tablet දුන්නම online විභාග ලියන එක ⁣අරුමයක් වෙන්නෙ නෑ..😉😉

    ReplyDelete
    Replies
    1. ඔව්. Smart School ව්‍යාපෘතියත් එක්කම ඒකත් පටන් අරන් තියෙන්නේ රජයෙන්. හැබැයි තොරාගත් පාසැල් කීපයකට විතරයි. දැන් ඉතිං කෑගහයි ඇයි තෝරාගත් කීපයකට විතරක්, හැමෝටම දියව් කියලා. ව්‍යාපෘතියක් කරනකොට නියමුමය ව්‍යාපෘතියක් කරනවා. දැන් ඒක තියෙන්නේ නියමුමය අදියරේ.
      තව එකක්. අපි මොන කතා කිව්වත් උසස් පෙල පන්තිවල ළමයින්ගෙන් හතරෙන් තුනකටකත් වඩා ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා. දවල්ට කන්න දෙන සල්ලි ටික එකතු කරලා හරි උන් ෆෝන් එකක් ගන්නවා. ෆෝන් නැත්තේ සල්ලි නැති අයට නෙවෙයි. ඒ ගැන උනන්දුවක් නැති අයට විතරයි.

      Delete
  3. පාසලක පරිගණකයක් අක්‍රිය වුනාම ඒක හදාගන්න නියම පිළිවෙලට ගියොත් හදන කෙනෙක් එද්දී ඒකෙන් වැඩක් ගන්නම බැරි තත්වෙට ඇවිත්. බය නැතිව අතගහන්න ඉඩ දෙනවනම් දන්නා ගුරුවරු අලුත් ඒවා එනකල් කොහොමහරි හදාගනි.ළමුන්ගේ අතේ තිබෙන ෆෝන් වලට wifi පහසුකම් සපයන්න හැකිනම් ...

    ReplyDelete
    Replies
    1. ආකල්ප වෙනසක් තමයි ඕනේ වෙන්නේ මෙතන්දි. ළමයින්ගේ අතේ තියන ෆෝන් වලට wi-fi දෙනවා කියන එකෙන් අදහස් කලේ කුමක්දැයි තේරෙන්නේ නැහැ. ළමයින්ට පාසැලේ දි ඒවා භාවිතයට ඉඩ නැති වුනාට අනිත් වෙලාවට ඒවා අගේට වැඩ. එයාලට මොනවා නැතත් FB යන්න නං ඕනේ තරං Data තියෙනවා.

      Delete