Friday, May 10, 2019

රියානාට ලිපියක්

2019.05.10
නිවසේදී,

බුදු සරණයි !
ආදරණීය මිතුරිය රියානා වෙත,

සුපුරුදු ලෙස මෙම ලිපිය ආරම්භයේදී නම් මම ඔබෙන් සුව දුක් නොවිමසමි. මන්ද යත් රට තුල පවතින කලබලකාරී වාතාවරනය නිසා ඔබ සිත තුල ඇති වී ඇති තත්වය මා හට හොඳින් වටහාගත හැකි නිසාය.
මා මේ ලිපිය ඔබට ලියන්නේ ගෙවුණු දින කිහිපය තුල ඔබ පාසල් නොපැමිණීමත්, පැමිණි දින කිහිපය තුල ඔබ මහත් සිත් වේදනාවෙන් සිටි නිසාත්ය.

අප විවිධ ආගම් වල මිතුරන් වුවත් එකම පාසලේ ශිෂ්‍යාවන් වෙමු. එකට සෙල්ලම් කළ , එකට පාඩම් කළ, එකම පන්තියේ යෙහෙලියන් වෙමු. ඒ මිත්‍රත්වය තුල කිසිදු ආගම් භේදයක් නොතිබුණි. එකම බත් පත රසවිදිනුයේ එනිසාම නොවෙද මිතුරියනි. කවුරුන් කවදා කෙසේ කීිවත් ඔබ බොහෝ මිත්‍රශීලී, කරුණාවන්ත, සංවේදී මිතුරියකි. මම කිසියම් පිරිසක් විසින් කරන ලද මිලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා මාගේ මිතුරිය අමතක කිරීමට තරම් සැහැසි මිතුරියක් නොවෙමි. ඔබ බෙහෙවින් සතුටු විය යුතු කරුණ නම් සෑම විටම ඔබේ යෙහෙලියන් සැම දෙනාම ඔබ සමඟ වීමයි.

යම් ආගමක් යැයි පවසන ලද අන්තවාදී පිරිසක් විසින් සිදු කරනු ලැබූ මේ ත්‍රස්ත ක්‍රියාව මුළු ලෝකයක් දුකින් වෙලා ඇති මොහොතක ඔබ වෙත එල්ල වන කිසිදු චෝදනාවක් ඔබ පිළිගත යුතු නොවේ. මන්ද යත් එම චේදනා ඔබට අයිති නොවන නිසාය. මාගේ ශාස්තෘ වු බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේය.

“අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං - අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ”


“තමා විසින් කරන ලද පාපය තමා කිලිටි කරන්නේ ය.
තමා විසින් නොකරන ලද පාපය තමා පිරිසිදු කරන්නේය.
පිරිසිදු බව හා අපිරිසිදු බව තමා අතම පවතින්නකි.
කෙනෙක් තව කෙනෙකු පිරිසිදු නොකරයි.”

මම එය තවත් හොඳින් පැහැදිලි කරන්නම්,

අප කෙතරම් නිවැරදි වුවත් නොකළ වරදකට වැරදිකාරයෙකු වී ඇනුම් බැනුම් , දඬුවම් විදීමට සිදු වන අවස්ථා ඇත. නිවැරදි අපට යමෙකු දඬුවම් කළ පමණින් අප වැරදිකරුවන් වන්නේ නැත. මක්නිසාද යත් අප වරදක් සිදුකොට නොමැති බැවිනි. අල්ලෙහි තුවාලයක් නැතිනම් මොන තරම් විෂක් අතින් ගනු ලැබුවත් ශරීරයට විෂක් ඇතුළු නොවන බව බුද්ධ දේශනාවයි.
සිදු වූ දේ සියල්ල අතීතයයි. ඒ අතීතයත් ගෙවෙනා වර්තමානයත් තුළින් අනාගතය උදෙසා උගෙන අපි සැම දෙනාම ජාති, ආගම් ,කුල , භේද පසෙකලා අවිහිංසාව පතුරවමු. බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, කුමන ආගමක් හෝ වේවා, එක මව් තුරුලේ වැඩෙන එකම ධජයක් සෙවණේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් ලෙස අපි මුළු ලොව පුරා එකමුතුකමේ රාවය නංවමු. එවිට සැම සිත් තුල අවිහිංසාවේ ධජය නැංවේවි. මාගේ මිතුරියනි, නැවතත් ඔබේ අම්මා අතින් සෑදූ ප්‍රනීත වටලප්පමක රස බැලීමේ ආශාව හිතේ රදවාගෙන ඔබ නැවත සුපුරුදු පරිදි පාසල් පැමිණෙන තුරු අපි මගබලා සිටින්නෙමු.

මීට ,
ඔබේම ආදරණීය මිතුරිය,
විහින්දි.


4 comments:

  1. විහින්දි බ්ලොගයට විහින්දි අතින්ම ලියා ටයිප් කල පළමු ලිපියයි. ඇයට මෙවන් ලිපියකට අදහසක් ලබා දුන් ඇයගේ ගුරුතුමන් පැසසිය යුතුය.. දරුවන් යනු දරුවන්ය. ඔවුන් ට යහපත් සිතුවිලි පොඩි කාලයේ පටන් ලබා දීම ගුරුවරුන්ගේ වැඩිහිටියන්ගේ යුතුකමයි. මානව දයාවෙන් පිරි දරු පිරිසක් ඉදිරියේදී මානව දයාවෙන් පිරි වැඩිහිටියන් වනු ඇත. දරුවෙකු වෙත ඇති සෙනෙහසින් ඔබගේ අදහස් පල කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබගේ වදන් ඇයගේ ලේඛන හැකියාව දිරි ගැන්වීමට උපකාර වේවා..

    ReplyDelete
  2. මේ බ්ලොග් අඩවිය ඉතාමත් අර්ථවත්.යහපත් වැඩක්.!
    අද තමයි මුලින්ම මේ පැත්තට ගොඩවුනේ.අපි ඔබේ අඩවිය අපේ අලුත් සින්ඩියටත් ඇතුලත් කලා.
    https://sithuvilifmsindiya.blogspot.com

    ReplyDelete
  3. ඔබගේ පිය තුමාගේ කිමිදුම් ලිපියට කමෙන්ට් එකක් දමා ඇත! එය පියාට සම්ප්‍රශණය කරණ්න!

    ReplyDelete