Friday, March 20, 2020

ගෙදරම ඉදන් ඉස්කෝලේ යං


රට විතරක් නෙවෙයි ලෝකේම අතරමං වෙලා තියන වෙලාවක් මේක. හැමෝම ගෙදරට වෙලා ඉන්න වෙලා. ඔව්. ඒක අපේ ජාතික යුතුකමක්. ගෙදරට වෙලා ඉමු.
ඉස්කෝලේ ගිය දුවලා පුතාලට තමයි ගොඩක් පාලු. තමන්ගේ යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න විනෝද වෙන්න විදියක් නැහැනේ. පාඩම් වැඩත් ගොඩක් මග ඇරෙනවා.
මං අද කියලා දෙන්නේ ඔයාලගේ ගෙදරම ඉදලා ඉස්කෝලේ යන විදියක් ගැන. ඒ කිව්වේ ඉස්කෝලේ කෙරෙන එක දෙයක් තමයි ඉගෙන ගන්න එක. ඉතිං ඒ වැඩේ ගෙදර ඉදලා කර ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ලෑස්ති.
මේකට ඉතිං අම්මලා තාත්තලාගේ උදව් ඕනේ වෙනවා. මේ දවස්වල එයාලත් ගෙදර ඉන්න හින්දා වැඩේ ලේසියි. අම්මලා තාත්තලාට තියෙන්නේ ටියුෂනුත් නිවාඩු හින්දා ඒවට දෙන සල්ලි වලින් අන්තර්ජාල සම්බන්ධතාවය ටිකක් පුළුල් කර ගන්න එක විතරයි. මොකද මේ වැඩේට ඩේටා ටිකක් වියදම් වෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙනවා e-thaksalawa වෙබ් අඩවිය. ඒකේ දුවලා පුතාල හැමෝගෙම ඕනෙම පන්තියක ඕනෙම විෂයක ඕනෙම පාඩමක් උගන්වන විඩියෝ තියෙනවා. ඒවා හදලා තියෙන්නේ පාසැල් වල උගන්වන දක්ෂ ගුරු මහත්ම මහත්මීන් එකතු කරගෙන.



මේකේ ගිහින් අදාල පන්තිය තොරාගෙන එතනින් අවශ්‍ය විෂය තොරාගන්න. පාසැලේ අන්තිමට කල පාඩමට පස්සේ ඊලග පාඩම තොරාගෙන ඒ විඩියෝ බලලා ඉගෙන ගන්න. මුලදි ටිකක් අමාරුයි වගේ තේරෙයි. ඒත් පුරුදු වුනාම වැඩේ හරිම ලේසි වෙනවා.
විඩියෝ එක ඔයාට ඕනේ නැතන නවත්තලා සටහන් ලියා ගන්න පුලුවන්. ඒ වගේම තේරුනේ නැති කොටසක් තියෙනවා නම් ආයෙම play කරලා බලලා ඉගෙන ගන්න පුලුවන්. වැඩේ ගොඩක් ලේසියි.
තවත් එකක්. මේ විඩියෝ තියෙන්නේ youtube එකේ. එතනදි වීඩියෝ play වෙන්නේ HD කොලිටියට. Quality ටිකක් අඩු කර ගත්තොත් ඩේටා වලට යන වියදම ගොඩක් ඉතිරි කර ගන්නත් පුලුවන්. ෆෝන් එකෙන් නම් බලන්නේ 240p වැඩිත් එක්ක. ලැප්ටොප් එකකින් නම් 360p හොදටම ඇති.

අම්මලා තාත්තලාට පුලුවන් දවසට පාඩමක් දෙකක් දරුවට ඉ‍ගෙනගන්න අවස්ථාව හදලා දෙන්න. මේ වැඩේ දරුවෝ ඉගෙනීමෙන් ඈත් වෙන එක වලක්වා ගන්න ලොකු උපකාරයක් වෙනවා. තව එකක් ඉතිං ගෙදර කරන්න දෙයක් නැතුවම වෙන දේටත් උත්තරයක් තියෙනවානේ නේද?

No comments:

Post a Comment