Thursday, August 8, 2019

වරුවක නිවාඩුවක්- රණවන පුරාණ විහාරයට


එදා ඉරිදා දවසක්. වෙනදා වගේම කැම්පස් එකට ගියාට හවස ලෙච්චර් එක තිබුනේ නැහැ. දැන් තාත්තාටත් ටිකක් සනීපයි.  විහින්දි ටත් වාර විභාගේ හින්දා සදුදා උදේ අනිවාර්යයයෙන් විහින්දිව ඉස්කෝලෙට ඇරලවන්න ඕනේ. ඒ හින්දම කොළඹ යන්න කියලා පිටත් වුනා.

අද යන්න සුරේෂුත් ඉන්නවා. ඒ හින්දා වාහනේ එලවන එක ලේසියි. මහන්සි වෙනකොට එයාට වාහෙනේ දීලා මට ටිකක් පැත්තකට වෙලා ඉන්න පුළුවන්නේ.

“ලක්ෂ්මන් අයියේ, අද වෙලා තියන එකේ කොහේ හරි ගිහින් යමුකෝ. අර ලස්සන පන්සලක් තියෙනවා කිව්වා නේද?” ඒ සුරේෂ්.
“එහෙමද? හා එහෙනං යමුකෝ...”

අපි පේරාදෙනියෙන් පිළිමතලාව පහු කරලා දුම්රිය හරස් පාර ගාවින් දකුණට දැම්මා. එතන ඉදලා කිලෝමීටර දෙක තුනක් යනකොට රණවන පුරාණ විහාරය හම්බෙනවා.
ඇත්තටම පුරාණ විහාරයක් කිව්වට මේකේ ගොඩක් තියෙන්නේ මෑත කාලයේ කරපු ඉදිකිරීම්. ඒවා හරිම ලස්සනයි. ඒ වගේමයි පරිසරය, භූ විෂමතාවය සියල්ලම සලකලා බලලා කරලා තියන අපූරු නිර්මාණ තමයි තියෙන්නේ.

වාහන පාක් එක ළගින් ඇතුලට යනකොටම තියෙන්නේ තොරණ. ඒක ඉන්දියාවේ සාන්චි තොරණ විදියට තමයි හදලා තියෙන්නේ.

බුද්ධ චරිතය, ජාතක කතා වගේ ගොඩක් දේවල් නිදහස් පරිසරයේ භූ විෂමතාවය අනුව ගැලපෙන විදියට අඹලා තියනවා. අක්කර කීපයක භූමියක් පුරාවට මේ නිර්මාණ දකින්න පුළුවන්. අටවිසි බෝධින් වහන්සේ අසල වැඩ ඉන්න අටවිසි බුදුරජාණන් වහන්සේ, මහින්දාගමනය, සත්තිකුම්භ ජාතකය, දහම්සොඬ ජාතකය ඒ අතර කීපයක්. ගොඩක් ඈතට පේන්නේ බුදුරජානන් වහන්සේ ගමන් කරන ඉරියව්වෙන් වැඩ ඉන්න ඉතා විශාල පිළිමය. ඒක කන්ද මුදුනෙමයි තියෙන්නේ. බුදුන් වහන්සේ පසුපස ගමන් කරන අසූ මහා ශ්‍රාවකයින් වහන්සේ ලා ගේ පිළිම හරිම ශාන්තයි.

දරුවන්ට  වැඩිහිටියන්ට දැනුම ලබා ගන්නට වගේම ශ්‍රද්ධාව උපදවාගෙන වන්දනා මාන කරගන්නටත් අපූරු තැනක් තමයි පිළිමතලාවේ රණවන පුරාණ විහාරය. පින්තූර බලලා විතරක් මදි. ඊළඟ ගමනේදි ගිහිල්ලා එන්නත් යන්න ඕනෙම තැනක්....






























1 comment: